අලිය කාමරේට ඇවිත් තරමක් කල්, ඒත් ඒක හදිසියේ ලියනෙක අපේ ජොබ් එක නොවේ, අපි වාර්තාකාරයින් නෙවිනෙ. ඒ නිසා අලිය එන්නෙ මොකාටද කියල බලල, මූ කැලෙන්ද ආවෙ, නෙවිනම් කොටන් ඇද්ද ද පෙරහරේ යන්න ද හදන්නෙ ඒව ගැලපුනා ම තමා අපෙ ඔපිනියන් එක එකතු කරන්න ඕනෙ තේකක් ඒම බොන ගමන්.
ඒනම් මේ අලිය ගැන එනම් තලිබාන් ගැන;
ඇෆ්ඝන් කතන්දරේ ගැන කියද්දි මැත අවු පනහම මිස කෑලි අහුලල කතාවෙන්න බෑ. පනහම එක "සිද්දි දාමයක්". ඒ සදහා අඩුම මිනිසුන් පිරිසකගේ නම් සමග ඉතාම කෙටි ඉතිහාස කතාව අදින්න වෙනවා. මේ කතාවෙදි අපි ඇෆ්ඝනිස්තානෙ මූලික ලක්ශණ තුනක් අතිශයින් වැදගත් කියා හිතනව.
1. ආවේණික ප්‍රධාන ජාතියක් කියල එකක් නෑ. සශ්තූන් හෙවත් පතාන් වරුන් ඉන්නව බාගෙකට මදක් අඩුවෙන්න. තජික් වරුන් ඉන්නව ඊට පොඩි ගානකින් වෙනස්ව. පතාන් ලා පාකිස්තානෙ තමා වැඩියෙන් ඉන්නෙ. ලෝක පතාන් ජනගහනය ඉතාලිය විතර සයිස්. උන් ඉන්නෙ බෝඩරේ කියල කියන එක හරහට දෙපැත්තට. ඒ හරියෙ බෝඩර් එකක් හරියට මේන්ටේන් වෙන්නෙවත් නෑ. සමහර පතාන් වරිග සබා බෝඩර් හරහට පවා තියෙනව. මේකෙන් පකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර වෙන් කළ නොහැකි සම්බන්දයකටත් වඩා පැටලිල්ලක් හැදෙනවා. තජික් ලා නම් ඇෆ්ඝනිස්තානයෙ ඉන්නව තජිකිස්තානෙටත් වඩා. ඒකත් තරමක් දියාරු බෝඩරයක්. මේ දෙකට අමතරව අපිට වැදගත් වන තුන්වන සුලු ජාතිය ඇෆ්ඝනිස්තානෙටම ආවේණික ඉරාන සම්භවය සහිත හසාරා වරුන්. 10% පමණ වන හසාරා වරුන් ඉන්නෙ රටේ මැද්දෙ තියෙන හින්දුකුශ් කදු වල. ඉතිරි ඔක්කොම වගෙ සුන්නි වෙන වෙලවෙ හසාරා වරුන් ශියා වීම නිසා නිරන්තරයෙන් පීඩාවට පත්වෙන පාර්ශ්වයක්.
2. ගම් නගර බෙදුම. ඇෆ්ඝනිස්තානෙ කියන්නෙ ආසියාවෙ ග්‍රාමියම රටක්. නාගරික ජනගහන % හොදටම අඩු ලන්කාව නේපාලය වගේ කීපයකට වඩා පමණයි වැඩි, ඒත් වැදගත් ම දේනම් නාගරික ජනගහනයේ සමාජ ජීවිතය ග්‍රාමිය අයගෙන් බොහෝ දුරස්. මෙන්න මේ ගැටලුව පහුගිය වසර පනහෙම වදදෙන එකක්. බොහෝ දේශපාලන සන්කල්ප කෙතරම් හදුන්වා දුන්නත් නගරය සහ ගම අතර තියෙන පවුරෙන් ගම පැත්තට කවදාවත් පනින්නෙ නෑ.
3. බල අරගල. වෙනත් ලෝකෙ බොහෝ රටවලට වඩා පර්සනලිටි කල්ට් හදාගන්න ඇෆ්ඝන් වරුන් පෙළබෙනවා. ඒ අනුව කිසියම් පාර්ශ්වයක් බලය ගත්තත් ඒ මොහොතම ආයෙ දෙකට කැඩිලා බලයට කුලල් කා ගන්න එක සුලබ ලක්ශණයක්. බොහෝ පක්ශ සහ මිලිශියා වල නමේ ම ලොක්කගෙ නමත් සදහන් වෙනව.
ඇෆ්ඝන් මිනිස්සු සන්තෝසෙන් පාඩුවෙ අන්තිමට උන්නෙ මීට අවු 50 කට පමණ ඉස්සර රාජාන්ඩුව කාලෙ. රාජාන්ඩුවක් කිව්වට ඒක තරමක් ඉදිරිගාමියි. මහජනයාගෙන් තෝරන නියෝජනයක් එක්ක බලය බෙදාගන්න ව්‍ය්වස්තාවක් එහෙම හදල තියෙන්නෙ. ආගමික අන්තවාදයට ඉඩ දුන්නු රාජාන්ඩුවකුත් නෙවි. එවකට තිබ්බ බටහිර සහ සෝවියට් ජීවන රටාවන් නිදහසේ රට තුලට එනවා.
පළවෙනි පෙරළිය එන්නෙ ඩාවුඩ් ඛාන් ගෙන්. රජපවුලෙම කෙනෙක් වන ඩාවුඩ් තරමක් දුරට සෝවියට් කොමිනිස්ට් සිස්ටම් එකෙන් ආභාශය ලද්දෙක්, රජා රටෙන් ගිය වෙලාවක් බලල ඔහු රාජාන්ඩුව විසුරුවා හැරල තමන් යටතේ ජනරජයක් හදනවා 1973 දි. මේ ජනරජයේ පෙරතිබ්බ සුලු මට්ටමේ මහජන නියෝජනයත් ඉවත් කරල සමාජවාදයට නැඹුරු ඒකාධිපති ක්‍රමේකට යොමුවන්නෙ. මේ නිස ඔහු ඇමරිකවට තර්ජනයක් වෙනවා. ඔහුගෙ ආශාවක් තියෙනව පශ්තුන් සියලුදෙනා එකතුකර පශ්තුන්ස්තාන් රාජ්‍යයක් හදන්න. ඒ කිව්වෙ වැඩි හරියක්පාකිස්තානයෙ කැලිත් එක්ක. ඔන්න ඔය නිසා ඩාවුඩ් ළදරු පාකිස්තාන දේශයටත් තර්ජනයක් වෙනවා. ඔහුට තදින්ම උදව් වන්නෙ ඇෆ්ඝන් හමුදාව සහ එහි කොමිනිස්ට් කාරයින්, නමුත් පෙර කී දෙවෙනි හේතුව නිසා ඩාවුඩ් ගෙ ජනරජ සහ පශ්තුනිස්තාන් දර්ශනය නාගරික පරිසරෙන් ගමට යන්නෙ නෑ. කෝම හරි අලිභුතෝගෙ ඝාතනය එක්ක සියාවුල් හක් බලයට ඇවිත් පාකිස්තානය සහ ඇමරිකාව සහෝදර ප්‍රේමෙන් බැදෙන වෙලාවෙ ඩාවුඩ් ඛාන් තමා මුලින්ම අෆ්ඝනිස්තානෙට ජාත්‍යන්තරව ගේමක් කෝල් කර ගන්නෙ. අපි ඒකට පස්සෙ එමු
ඒත් ඩාවුඩ් ට ගොඩ කලක් ඉන්න වෙන්නෙ නෑ. ඔහුගෙ දේශපාලනය හිතු තරම් මාක්ස්වාදි නොවන නිසාත් ඔහු ක්‍රමයෙන් තමන්ට තර්ජනයක් වන රැඩිකල් වාමාන්ශිකයන් ඝාතනය කරන්න ගත්ත නිසාත් එහෙම ඝාතනයක් පසුබිම් කරගෙන සවූර් විප්ලවය හෙවත් මාක්ස්වාදි නැගිටීම පටන්ගන්නව 1978. මේකත් නාගරික විප්ලවයක්. මාක්ස්වාදින් සහ හමුදාව එකට එකතුකරාම ඩාවුඩ් නොදැනම හමුදාව තුලට රඩිකල් මාක්ස්වාදය රින්ගනව. මේ අතර සුවිශේශි පුද්ගලයා හෆිසුල්ලා අමීන්. බොහො දෙනෙකුට අනුව ඇෆ්ඝනිස්තානෙ දීර්ඝ කාලයක් පාලනය් පව්ත්වා ගන්න ශක්තිය තිබ්බ අන්තිමයා අමීන්. අමීන් ඇමරිකාවෙ ඉගේනීම ලද මාක්ස්වාදියෙක්. ඒත් අමීන් මාක්ස්වාදි පක්ශයෙ ලොක්ක නෙවි. මාක්ස්වාදිපක්ශයෙ නායකය න්‍යායාචාර්‍ය වෙද්දි අමීන් තමයි බිමේ වැඩකාරයා වෙන්නෙ. අමීන් ඉතාම ම්ලේච්ච දරුණු මිනිහෙක්. කැරැල්ල මෙහෙයවන්නෙ මූලික වශයෙන් අමීන් උනත් බලයට එන්නෙ ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ ආශිර්වාදය ද ලබන ඔහුගේ ගුරා. බිමේ වැඩ ටික කරපු අමීන් සහ න්‍යායාචාර්‍ය ලොක්ක අතර ගැටුමක් ඇතිවන්න යන්නෙ වසරකටත් අඩු කාලයක්. අමීන් තමන්ගෙ පක්ශයේ සහ රටේ නාය්කයව ඇරෙස්ට් කරල මරා දානවා. මීට සමගාමිව අමීන් චිනයට නැඹුරු වෙන්න උත්සාහ කරනවා. ඇමරිකාවට සම්බන්දයි ප්‍රති විප්ලව කාරයෙක් සී අයි ඒ කාරයෙක් කියල අමීන් ගැන කේජීබී චෝදනා තියෙනවා. ඔන්න ඔය වෙලාවෙ මුලදි දැඩි අකමැත්තකින් ඉදල කේජීබී උන්ගෙ පෙළඹීම මත බ්‍රෙශ්නෙව් සෝවියට් හමුදා ඇෆ්ඝනිස්තානයට එවනවා. අමීන් උන්ව මහත් හරසරින් පිලිගත්තත්, මිලිටරි මෙහෙයුමකින් කාබුල් අල්ලන සොවියට් හමුදා 1979 දි අමීන් මරාදානවා.
මෙන්න මේක ඇෆ්ඝන් ඉතිහාසෙ වෙච්ච ලොකුම මිස්ටේක් එකක්.
ආපහු රෝල් බැක් කරමු ඩාවුඩ් ඛාන් ගෙ කාලෙට. 73-78. මේ කාලෙ නාගරික සමාජය විවිධ දේශපාලන සන්කල්ප එක්ක ඩීල් කරද්දි ඒලියනේට් වන ග්‍රාමිය සහ ඇතැම් නාගරික කොටස් නැඹුරු වන්නෙ ඉස්ලාමික අන්තවාදයට. ඒ බොහෝ දෙනෙකුට ඇෆ්ඝනිස්තානෙ ඉන්න අවකාශ නැති නිසා පාකිස්තානයට පැනල යනව. ඔවුන්ට ආරක්ශාව පුහුණුව සහ සල්ලි දෙන්න පශ්තුනිස්තාන තර්ජනයට ලක්වන පාකිස්තාන රජය හමුදාව සහ අයි එස් අයි ඔත්තු සේවය සැදි පැහැදි බලා ඉන්නව. ඒක පිටිපස්සෙ සෝවියට් බලයට එරෙහි ඇමරිකාවත් ඉන්නව. ඒ දෙකටම අමතරව 1979 ට පස්සෙ මක්කමේ කැරැල්ලෙන් පස්සෙ වහාබි අන්තවාදෙට යන සවුදි අරාබිය සල්ලි සමග වහාබිවාදයත් එවනව.
අපිට දැන් මුණ ගැහෙනව ගුලබුද්දින් හෙක්මටියාර්. මේ කතාවෙ ඉන්න ම්ලේච්චම මනුස්සය වෙන්න පුලුවන්, හෙක්මටියාර් ඉන්ජිනේරුවෙක් වෙන්න කැම්පස් ගිය එවකට මාක්ස්වාදි පශ්තුන් තරුණයෙක්. ඒත් පසුව ආගමික අන්තවාදියෙක් වන ඔහු විශ්ව විද්‍යාල කාලෙම බරපතල ක්‍රියාකාරියෙක් සහ (ආගමික) දර්ශනය ගැන ලේඛකයෙක් පවා වෙනව. ඒ වගේම විවි උන්න තරුණියන්ට ඇසිඩ් ගහපු කතා තියෙනව ඒව හරියටම ඔප්පු වී නෑ. ඒත් ඒව නතින්. ඩාවුඩ් ඛාන් ගෙ කාලෙ පාකිස්තානයට පලායන හෙක්මටියාර් තමා එහි නිර්මානය වන පාක්සිතාන සවුදි ඇමරිකන් සහ බටහිර කදවුර විසින් තෝරාගන්නෙ තම නියෝජිතයා වශයෙන්. අනාත කදවුරු ඇතුලෙ හෙක්මටියාර් වෙනම පාලනයක් ගෙනගිය බව කියවෙනවා. ඔහුට අයිති පොලීසියක් සහ හිරගෙයක් පවා ඒව තුල තිබ්බ කියනව. හෙක්මටියාර් මාගරට් තැචර් වගේ අය මුන ගැහිල තියෙනව. ඇමරිකාවෙන් සහ සවුදියෙන් වැඩියෙන්ම මුදල් ඒ කිව්වෙ ඩොලර් මිලියන ගානට කඩාගන්නව. බොහෝ දෙනා දන්න ඔසාමා බින් ලේඩන් කියන්නෙ ඔහු හා සමගාමිව සටන් කල වොලන්ටියර් කෙනෙක්. හෙක්මටියාර් තමා වැදගත්ම පාර්ශ්ව කාරය. තලිබාන් බලයෙ ඉන්න කාලෙ පවා හෙක්මටියාර් තමා වැඩිම තර්ජනයක් ලෙස බොහො දෙනා දකින්නෙ. තරමක් අනාගතේට පැන්නොත් තලිබන කාලෙ ඉරානෙට පනින හෙක්මටියාර් ඇමරිකන් ආක්‍රමණ එක්ක රටින් පිට ඉදන් සටන් මෙහෙයවනව, තලිබාන් සහ අල් කයීඩා පැත්තෙ ඉදිමින්. තලිබාන් විනාස කරාම 2008 දි ඔහු තනියෙන් කැරැල්ලක් ගහනව ඇමරිකාවට. බින්ලේඩන් ට බෝම්බ දාද්දි ඔහුව මුදාගෙන ගෙන ගියා කියන්නෙ හෙක්මටියාර් ගෙ කට්ටිය. හෙක්මටියාර් ගෙ බලය මේ මෑතක් වෙනකම්ම තියෙනව. අවසානෙ වත්මන් ජනාදිපති ඇශ්රෆ් ඝානි එක්ක 2016 සාම ගිවිසුමක් ගහල ඒ හරහ තමන්ගෙ සියලු යුද අපරාධ වලටත් ලෝකෙන්ම සමාව අරගෙන ඊ ගාව ජනාධිපතිවරණෙත් ඉල්ලල තාමත් බෙල්ලට උඩින් ඔලුව නිරුපද්‍රිතව තියාගෙන ඉන්න ඇෆ්ඝනිස්තානෙ අල්ටිමට් මස් වැද්දා සමත් වෙනවා. අපි ආයෙ එයා ගැන හෙටානිද්දම කතා කරයි.
ආපහු 1979 ට ආවොත් සෝවියට් උන් රූකඩ ආණ්ඩුවක් හදනව. මෙතෙක් ගෞරවණීය ව උන්නු බ්‍රිතාන්‍ය සහ රුසියානු අධිරාජ්‍ය දෙකටම පහර දුන්නු රණකාමි ඇෆ්ඝන් හමුදාවෙ කොදු නාරටි කඩනව. මෙතනින් එහාට ඇෆ්ඝන් හමුදාව කියා යමක් කතාවට ගැනෙන්නෙ නෑ එහෙම සලකන්න පුලුවන් පවර් එන්ටිටි එකක් නෑ. සෝවියට් ආක්‍රමණය නිසා වෙන ලොකුම හානිය නම් මෙතෙක් ඉස්ලාම් අන්තවාදෙ පමනක් වාසියට තිබ්බ පාක්සිතානෙ උන්නු කැරලි කන්ඩායම් වලට දේශප්‍රේමය තව මාතෲකාවක් වීම. මුජහිදීන් සටන්කාමින් ලෙස ඇමරිකන් සවුදි පකිස්තාන් තල්ලුවෙන් ඔවුන් සෝවියට් වරුන්ට එරෙහිව සටන් කරනව. 1988 දි ගොර්බශොව් හමුදා ආපහු ගෙන්වනවා. බොහො දෙනෙක් කිව්වට ඒ පැරදිලා නෙවි. ඇෆ්ඝනිස්තානය සෝවියට් උන් පැරදවූ බව වැරදි කතාවක්. ඒක උන්ගෙ මිස්ටේක් එකක්. බ්‍රෙශ්නෙව් පවා මුලින් අකමැති වෙච්ච. ගොර්බශොව් සම්පුර්නයෙන්ම අකමැත්තෙන් උන්නු එකක්. ඒකයි උන්ව ගෙන්වන්නෙ.
සොවියට් හමුදා ගිහින් වසර කීපෙකින් පපට් ආණ්ඩුව පරදා මුජහිදින් ඇෆ්ඝනිස්තානය අල්ලනව ඒ 1992 දි. ඒත් බලය අල්ල ගත්ත ගමන් හෙක්මටියාර් සහ සෙසු මුජහිදින් කණ්ඩායම් අතර ගැටුම් අතිවෙනව. මීට එක හේතුවක් වෙන්නෙ හෙක්මටියාර් ගෙ ආගමික අන්තවාදය සමහර අනෙක් මුජහිදින් ලා පිලි නොගැනීම. තමන් ම අගමැතිකම දරාපු කාබුල් නගරයට රොකට් ප්‍රහාර එල්ල කරන්න හෙක්මටියාර් පෙළඹෙනවා. කාබුල් වල සිවිලියන් මරණ 50000 ට වඩා වුනා කියනව ඔහුගෙන් එල්ල වූ ප්‍රහාරයෙන්. මෙතැන්සිට ගෙවෙන වසර හතර තමා ඇෆ්ඝන් ඉතිහාසෙ අදුරුම කාලෙ, කල්ලි පාර්ශ්වයන් කීපෙකට කැඩෙන මුජහිදින්ල සිවිලියන්ස් ලා ගානකට නොගෙන මාරාන්තික යුද්ද්‍යක් කරනවා. ඒකෙ මරණ සහ තුවාල යටින් කෙල්ලො බුරුතු පිටින් රේප් වෙනව. අරාජ්කත්වය උපරිම.
මේ වෙනකොට බටහිර සවුදි පාකිස්තාන කදවුර හෙක්මටියර් ව අතෑරල දාල තියෙන්නෙ. බටහිර තරමක් ස්ටෙප් එකක් පස්සට යද්දි සවුදි පාකිස්තාන කදවුර පාකිස්තානයේ අනාත කදවුරුවල මද්‍රසා පාසල් වලින් බිහිවෙන පශ්තුන් "ශිෂ්‍ය" සන්විදානයක් වන තලිබාන් මත තමන්ගෙ බෙට් එක දාන්නෙ. තලිබාන්ගේ ආගමනය එක්ක මුජහිදින් ලා ආයෙ එකතු වුනත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. 1996 දි තලිබාන් යුදයෙන් මුජහිදින් පරදා බලය ගන්නව. තලිබාන් ශරීයා නීතිය අකුරටම (ඔවුන්ගේ ඉන්ටප්‍රිටේශන් එක මත) ක්‍රියාත්මක කරනව. කාන්තාවන් සම්පුර්නයෙන් මුලුගැන්වෙනව. මේක ග්‍රාමිය මට්ටමට හුරු වුනාට සැහෙන වෙස්ටනයිස් වෙච්ච ඇෆ්ඝන් නගර වලට දරාගනන් බෑ මේ හේතුව නිසා බොහෝ දෙනාට අධම දඩුවම් දෙනව අතපය කැපීම් ඝාතන. මේ නිසා බාහිර ලෝකයා තලිබාන්ට දක්වන්නෙ අපුලක්. ඒත් ඇෆ්ඝන් පැත්තෙන් ගත්තොත් තලිබාන් තමා අරාජික සහ ම්ලේච්ච යුද්දය නවතා රට ස්ටේබල් කරන්නෙ. මිනිස්සු උන්ට සපෝට් කරන්නෙ ඒකයි. 1979 අමීන් ට පස්සෙ ස්ටේබල් ඇෆ්ඝනිස්තානයක් හැදෙන්නෙ තලිබාන් යටතෙ.
නමුත් උන් වැඩේ වකූර් කරගන්නව. ඒ අල් කයීඩා එක්ක ජාත්‍යන්තර ඉස්ලාමික අන්තවාදයට සහය දෙමින් තුර්කියේ සිට ලන්කාව වෙනකම් කාලිෆේටය හදන්න හිතන නිසා. ඒක හැමෝම දන්නව. ඇමරිකාව සහ උන්ගෙ හැම යුද්දෙටම බහින ඔස්ට්‍රෙලියා කැනඩා බ්‍රිතාන්‍ය ආදි රටවල් ඇෆ්ඝනිස්තානෙ අල්ලන්නෙ 2001 අග.
ඇමරිකාවත් (මෙතැන් සිට ඇමරිකාව කියන්නෙ උනුයි උන්ට කඩේ යන රටවල් ටිකයි) ඇෆ්ඝනිස්තානෙ පරාදයි කියල බොහො දෙනා කිව්වට ඔවුන් පරාද නෑ. ඇමරිකාව ආවෙ අල් කයීඩා එල්ල කල ප්‍රහාරය නිසා. ලෝක යුද්දෙට පස්සෙ ඇමරිකන් ආක්‍රමණ වලින් එකම සාධාරණ එක. ඒ ඉලක්කය එනම් බින් ලේඩන් මරල ඇමරිකන් ජීවිත වල ට දඩුවම දෙනවා. අල් කයීඩා නායකත්වය එක පිටිම්ම වගේ විනාස කරලා ඒක වඩා දුබල කරනව (ඊට වඩා ලොකු දෙයක් කරන්න්න බෑ අන්තවාදි කල්ලියකට). උන්ට කඩේ ගිය තලිබාන්ගෙ නායකත්වයත් විනාස කරනවා. හැබැයි ඊට පස්සෙ බොහො විට ඔබාමා-ක්ලින්ටන් කාලෙ ඩිලුශන් එක නිසා වෙන්න ඕනෙ ඔවුන් ආපහු යන්නෙ නැතුව "ඇෆ්ඝනිස්තානෙට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න" කටයුතු කරන්න යනව. අන්න ඒ ටාගට් එක ෆේල්.
ඇත්තෙන්ම ඒ අතිනුත් ඔවුන් සැහෙන වැඩ කොටසක් කරනව. ඇමරිකන් සිග්නල් වැඩ කරන නාගරික රාමුවෙ බටහිර ලක්ශණ සහිත සමාජ ජීවන රටාවක් හදනව. ලෝකෙ මේන්ස්ට්‍රීම් කල්චරේ ඉපිද ලොකු මහත් වෙන තරුණ පරපුරක් ඇෆ්ඝනිස්තානෙ හදනව. ප්‍රජාතන්ත්‍රවාදය ගේනව. රටේ නායකත්වයෙ ඉන්නෙ මානව විද්‍යා අන්ශයෙන් උගත් විවි චාන්සලර් වරයෙක්. ඒත් අර මන් කිව්ව ගම නගරය අතර ගැප් එකෙන් එලියට මේ දර්ශනය ගෙනියන්න සෝවියට් උන්ට වගේම ඇමරිකන් උන්ටත් බැරිවෙනව. නගර තුල තමන්ගෙ ධර්මය පතුරද්දි ගම්වල නොනවතින යුද්දයකින් දාස් ගණන් මිනිස්සු නොකඩවා මරදාමින් තමා උන්ට ඉන්න වෙන්නෙ. ගමේ ඇෆ්ඝන් මිනිසුන්ට මුජහිදින් සිවිල් යුද්දෙ වගේම තමා.
ඇයි ඇමරිකාව යන්නෙ කියන එකට හේතු ගොඩක් තියෙනව. එකක් තමා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්න අන්තවාදි ම කල්ලිය තලිබාන් නෙවි අල් කයීඩත් නෙවි. අයිසිස් පවා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්නව. ඇමරිකාව දකිනව මේ කල්ලි එකිනෙකාගෙ සතුරන් බව, ඒ නිසා සතාගෙ මාලු ඌ මත්තෙම කප්පන්න පුලුවන් බව. 5000 ඉක්මවා මැරුන ඩොලර් බිලියන හෝ ට්‍රිලියන ගානක් වැය වුන වසර විස්සක් හෙවත් තමන්ගෙ ඉතිහාසෙ දිගම යුද්දෙ තාමත් ඔවුන් ලබාගත් ස්තාවරත්වයක් නෑ. තව සියවසක් ගියත් ඕකට එහා තත්වයක් ගන්නත් බෑ. අනික යුදමය පරාජයක් ඉවෙන්චුවලි ලැබෙන්න පුලුවන්.ඒ නිසා තමා ඇමරිකාව යන්නෙ. ඊට අමතරව රුසියාව සහ චීනය කියන දෙරටම විවිධ අවස්තා වල තලිබාන් එක්ක එකගතා වලට ආපු නිසාත් ලෝක බල අරගලයේ පාකිස්තානය කියන යාවජීව මිත්‍රයා චීනයට කැඩිල ගිය නිසාත් ඇමරිකාවට ලෝක බල අරගලය නිසා ඇෆ්ඝනිස්තානෙ ඉන්න කිසිම හේතුවකුත් නෑ.
1979 ආපු සෝවියට් කාරය කොදු කඩා දැම්මට පස්සෙ ඇෆ්ඝනිස්තානෙට හමුදාවක් කියල එකක් නෑ. තලිබාන් එක්ක ගැටෙන්න ඇමරිකාව හදාපු පපට් හමුදාවාට බෑ. උන් බොහො දෙනේ එක්කො යටත් වෙනව නෙවිනම් තලිබාන්ට එකතු වෙනව ඒ නැත්නම් පලා යනව. ඒ පරාජය ඉදිරියේ ඉතුරු වෙලා ඉන්නෙ මුජහිදින් ජෙනරල් ලගෙ මිලිශියා පමණයි. දැන් මුනුත් ඇමරිකාව හදාපු හමුදාවෙ කොටස්. මේ දක්වා තලිබාන් එක්ක ඔලුව කෙලින් තියාගෙන ඉන්න සමත් වී ඇත්තෙ ඔවුන් පමණයි. අන්තවාදි ක්‍රියා නොකරන බවට තමන්ට තලිබාන් පොරොන්දු වූ බව කිව්වත් එහෙම කලොත් කරන්නෙ මොකද්ද කියල ඇමරිකාව කියන්නෙ නෑ. තලිබාන් දැනටම ශරියාව අරගෙන එන්නෙ. පෙර සේම කාන්තාවන්ට සීමා දාල තියෙන්නෙ. තලිබාන් පොඩ්ඩක්වත් වෙනස් වූ බවක් පේන්නෙ නෑ.
කලින් වතාවෙ තලිබ්බාන්ලගෙ ම්ලේච්චම ප්‍රහාරය එල්ල වන්නෙ හසාරා වාර්ගිකයන්ට. හසාරා නගර වල අයිසිස් පන්නයේ සමූලඝාතන පවා කරල තියෙනව. හසාරා වරුන් ඊට පස්සෙ ඇමරිකාවට උපරිමයෙන් ම සහය දෙනවා. ඒ නිසා මෙවර ඊටත් වඩා ලොකු හින්සනයක් එල්ල වෙයි. හසාරා දැන් සන්නද්ධ වෙමින් ඉන්නෙ ලොකු සිවිල් යුද්දයක් ඇවිලෙන බවට සාක්ශි පෙන්වමින්. ඒත් තලිබාන් වටේට ඉන්නකම් රට මැද්දෙ ඉන්න හසාරාට කල හැකි කිසිවක් නෑ. නොනවතින යුද්දයක් විනා.
අසල්වාසින් ගත්තොත්; ඉරානය තලිබාන් එක්ක මිත්‍ර නෑ. ඒත් කවදාවත් පැටලෙන්න කැමති නෑ. රුසියාව තලිබාන් එක්ක එකගතා වලට ඇවිත් ඉන්නෙ
අයිසිස් වැනි සෙසු අන්තවාදින්ට එරෙහිව සටන් කරන්න. ඒ වගේම රුසියාව තම හිතවතුන් සේ සලකන උතුරු බෝඩර් වන සෝවියට් සමූහාන්ඩු රටවල් වල ආරක්ශාවට ඔවුන් මිලිටරි මට්ටමේ ක්‍රියාකාරකමකට වුනත් යනව කියල තියෙන්නෙ. තජික් ඇෆ්ඝන් බෝඩරේ තියෙනව ලොකුම රුසියන් කදවුරක්. චීනය දැනටමත් තලිබාන් එක්ක කතබහක් පටන්ගෙන. වඛාන් තීරය හරහා චීනයට දේශ සීමාවක් තියෙන ඇෆ්ඝනිස්තානය ස්තාවරව තියාගන්න ඔවුන්ට අවශ්‍යයි. දැනටමත් චීන ආයෝජන රාශියක් ඇෆ්ඝනිස්තානෙ තියෙනව. ඒ නිසාත් චීනයේ හිතවතා වන පාකිස්තානය තලිබාන් පස්සෙ දිගටම ඉන්න නිසාත් චීන තලිබාන් එකගතාවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
කලාපෙ හැම රටක්ම වොරි වන්නෙ ඇෆ්ඝන් මිනිස්සු ගැන නෙවි. ඉදල ගියපු ඇමරිකා සහ හිතවත් රටවල් වුණත් ඒ ගැන වොරියක් නෑ. කොටින්ම තමන්ට සහය දුන්නු නිසා ජීවිතතර්ජනයට ලක්ව සීටින මිනිසුන්ට ඉක්මන් රිෆියුජි වීසාවක් දෙන්නවත් මේ රටවල් වලට බැරිවෙලා තියෙනවා.
ඒ ඔක්කොටම වඩා ලොකු තර්ජනයක් සමහාර්විට බින් ලේඩන්ටත් එහා යන තර්ජනයක් ඇෆ්ඝනිස්තානයට තියෙනව. තලිබාන්ට සහය දෙන්න තුර්කිය කැමත්ත පෙන්වනව. දැනටමත් තුර්කි හමුදා ඇමරිකන් හමුදා වෙනුවට ඇෆ්ඝනිස්තානයේ ස්තානගත වෙනව. මේ අයිසිස් සන්විධානයට විදෙස් කේඩරය සහ මුදල් පොම්ප කල, ලෝකෙ පුරා ප්‍රහාරක ඩ්‍රෝන් විකුනමින් යන ඉස්ලාමික අන්තවාදයේ දොරටුව ළග ඉන්න තුර්කිය. මේක ලොකුඅම් ගැටලුවක් වෙන්න පුලුවන්.
ඇෆ්ඝන් රජය සහ එහි සාම කවුන්සිලය තාමත් හෝප්ස් තියන් ඉන්නව, ඒත් තලිබාන් ඒ කවින්සිලය පිලිගන්නෙවත් නෑ. පැරනි මුජහිදින් ජෙනරල් ලගෙ මිලිශියා තාම තැන තැන නාගරිකයන් බේරගෙන ඉන්නව. මේව වැඩිකල් තියේ කියල විශ්වාසයෙන් යුතුව කියන්න අමාරුයි.
ඇත්තෙනම් මෙතන කාටද ප්‍රශ්නයක් තියෙන්නෙ. වටේ ඉන්න රටවල් කාටවත් ලොකු ප්‍රශ්නයක් නෑ. පෙර ගොන්කම් නොකරන්නේ නම් ඇමරිකාවටත් ප්‍රශ්නයක් නෑ. ග්‍රාමිය ඇෆ්ඝන් ජනයාට අමීන් ගෙන් පස්සෙ ස්තාවර කාලයක් තියෙන්නෙ තලිබාන් යටතෙ පමණයි. මෙතන අනතුරට පාත්‍රවෙලා ඉන්නෙ මේන්ස්ට්‍රීම් ලෝකෙට අනුගත වෙච්ච ප්‍රජාතන්ත්‍රාඅදය අගයන නාගරික ඇෆ්ඝන් වරුන් සහ හසාරා ප්‍රමුඛ ඇතම් සුලු ජාතිකයන් පමණයි.
ඇෆ්ඝනිස්තානයේ ස්තාවරත්වය තලිබාන් පමණයි කියන රියලිටිය බොහෝ විට අමාරුවෙන් දරාගන්න ඔවුන්ට සිද්ද වෙන්න පුලුවන්.
රායිට් මෙතනින් පස්සෙ මන් අවධානය දෙන්නෙ ඇෆ්ඝනිස්තානය ගැන ස්කයි ටීවී එකේ යන ඩොක් එකකට. ඇෆ්ඝන් අර්බුදේ මරුසියට හැමතැනම කතාවෙනවා නෙ. මේ තමා මන් දැක්ක හොදම එක.
මේකෙ ඉන්නව පැන්ශියර් හි සින්හයා හෙවත් අහ්මඩ් ශා මසූඩ් ගේ පුතා අහ්මඩ් මසූඩ්. තජික් වාර්ගික අහ්මඩ් ශා මසූඩ් මුජහිදින් ජෙනරල් කෙනෙක්. සෝවියට්කාරයින්ගෙන් සහ තලිබාන් ගෙන් තමන්ගෙ පැන්ශියර් නිම්නය රැකගෙන එහි රෙසිස්ටන්ස් එක පවත්වාගත් කෙනෙක්. හෙක්මටියාර් අගමැති වෙලා අන්තවාදය ගෙනාවම ඔහුව කාබුල් වලින් එලෙව්වෙ මසූඩ්. සරළව කිව්වොත් අන්තවාදින්ට එරෙහිව ඇෆ්ඝනිස්තානයෙ උන්නු හොදම සටන්කාමියා. ඒ නිසාම ට්වින් ටවර් එකට ශොට් එක දෙන්න දෙදිනකට පෙර කැමරාවක සැගවු කුඩා බෝම්බෙකින් කැමරමන් කෙනෙක් ලෙස යවාපු ත්‍රස්තවාදියෙකු මගින් මසුඩ්ව මරාදමන්නෙ බින් ලේඩන් ඒ ඔහුට තලිබාන් දුන්නු සහයට ප්‍රති උපකාරයක් ලෙස (තලිබාන්ට මසූඩ් එතරම් හිසරදයක්). අහ්මඩ් මසූඩ් පුත්‍රයා දැන් ඉන්නෙ තාත්ත උන්නු තැනටම ඇවිත්. ඒ පොඩි විතර බලාපොරොත්තුවක් තියන්න පුලුවන් එක්කෙනෙක්.
තව කෙනෙක් (මේකෙ නෑ) ඩොස්ටම්. ඩොස්ටම් උස්බෙක් ජාතික ජෙනරල් කෙනෙක්. ඔහු කාලයක් තලිබාන්ට රිදෙන්න ගහපු කෙනෙක්. දැන් උඅප් ජනාදිපති. ඩොස්ටම් ගෙ අවුල නම් දිනන පැත්ටහ් මාරුවුනොත් ඔහුත් මාරුවෙන්න ඉඩ තියෙනව.
තව කෙනෙක් මේකෙ ඉන්නව ඒ හිටපු ජනාදිපති හමීඩ් කර්සායි ඔහු කන්දහාර්වල ගෝත්‍රික සම්ප්‍රදායික නායකයා. ඔහු තමා කලින් පාරත් කන්දහාර් මුදා ගත්තෙ. දැනිත් ඉන්නෙ කන්දහාර් වල. කර්සායිත් සැහෙන බලයක්.
මේකෙ කතාවෙන කීප දෙනෙකුගේම මතය නම් ඇෆ්ඝනිස්තානෙ අල්ලල තලිබාන් සහ අල් කයීඩා ඉවරයක්ම කර දාන්න ඇමරිකාවට ඇතුලු නේටෝවට ශක්‍යතාවය තිබ්බ බවත් ඒත් ඇමරිකාව ඇෆ්ඝනිස්තාන පාලනයෙන් තලිබාන් එලෙව්ව ගමන් ඉරාකෙ ආක්‍රමණය කරන්න පටන් ගෙන මුලු අවධානයම එහෙට දුන්න නිසා ඇෆ්ඝනිස්තානය වැඩියෙන් සෙසු නේටෝ රටවල් මත තිබ්බ කියල. යුද්ද කර පුරුද්දක් නැති ඒ වගේම ඇෆ්ඝනිස්තානෙ අල්ලන් ඉන්න ලොකුවයින් හේතුවකුත් නැති සෙසු නේටෝ රටවල් වලට කෝමත් ඒ යුද්දෙ ට උවමනාවක් හෝ හයියක් තිබ්බෙ නෑ කියල. එනයින් මේ සියල්ල අනවශ්‍ය් ඉරාක ආක්‍රමණයේ ප්‍රතිපල ලෙස සමහරු දකිනවා.
මේ ඩොක් එක පුරාම අපිට තේරෙන දෙයක් තමා ජීවිත හාරසිය ගානක් අහිමි සහ තවත් තුවාල කාරයින් බරගානක් ඉන්න බ්‍රිතාන්‍යයට ඇෆ්ඝන් ආක්‍රමණය අර්තගන්වා ගන්න බැරි කම. ඒ නිසාම මේ සියල්ලක් අපරාදෙ වගේ හැගිමක් ඔවුන්ට එනවා.
ඒත් මට හිතෙන්නෙ ඩොක් එකේ කියන තරම් ඇමරිකාව පරාද නෑ. තම ඉලක්ක සපුරාගත්ත. නේශන් බිල්ඩින් වලට උත්සාහයක් ගත්ත ඒක ෆේලියර් එකක් වුනත්. ඇමරිකාව යන්නෙ හදිසියෙ රට හරියට බාර දීල නොවේ කියනව. ඒත් ඒ කියන අය හිතන්නෙ ඇමරිකාව සාමදූතයෙක් වගේ යන යන තැන්වල රටවල් ලස්සනට හදල බාරදීල යන රටක් කියල වෙන්න ඕනෙ. ඇෆ්ඝන් ජනතාව වෙනුවෙන් නම් ඇමරිකාව ආවෙ මේ විත්ඩ්‍රෝවල් එක පරාජයක් පසුබෑමක් පලායාමක්. ඒත් ඔවුන් ආවෙ ඔවුන්ගේ උවමනා වෙනුවෙන් නම් මේක මිශන් එකම්ප්ලිශ් වන මොහොතක් සහ ඊට පස්සෙ තවත් සල්ලියි ජීවිතයි නාස්ති කරන්න්නෙ මොකටද කියල යන්න යන ගමනක්. මන් ඉන්නෙ දෙවෙනි අදහසේ.
රියල් ලූසර්ස් ලා නම් සෙසු නේටෝ රටවල් සහ ඇමරිකාවෙ ප්‍රාණසම හිතවත් ඔස්ට්‍රෙලියාව වැනි රටවල්. මැරිච්ච ජීවිත තුවාල වූ මිනිසුන් සහ කළ වියදම් වලට මොන කෙහෙම්මලක් ද උන්ට ලැබුණෙ?
අනික කවුද කියන්නෙ ඇමරිකාව ප්‍රොපර් හෑන්ඩ් ඕවර් එකක් කලේ නෑ කියල. ඇමරිකාව ඒක කලේ 2020 ම. ඒ තලිබාන් එක්ක සාකච්චා කරල තමන් 2021 සැප් 11 ට පෙර යනවා කියල එකගතාවයකට ඒමෙන්, අන්න ඒකයි හෑන්ඩ් ඕවර් එක. ඒ එකගතාවය තුල තියෙනව තලිබාන් ලා අන්තවාදයට ඉඩ නොදී ඉන්න ඕනෙ කියන කොන්දේසිය. ඒක රැකීම නම් මන් දන්නෙ නෑ ඒත් අඩුම ගානෙ උන් ඒක තමන්ගෙ බලාපොරොත්තුවක් ලෙස මාධ්‍යවලට කියනව. ඒකත් ලොකු ජයග්‍රහණයක්.
කෝම වුනත් ග්‍රවුන්ඩ් නිව්ස් අනුව තලිබාන් අල් කයීඩා පෙරමුණට අයිසිස් එකතු වෙලාලු. මේක පොඩ්ඩක් අභව්‍යයි වගේ. ඒත් ඇත්තනම් අර කිව්ව පොරොන්දුව රැකීම කෙසේ වෙතත් ෆයර්වර්ක්ස් බලාගන්න පුලුවන් ලෝකෙ වටේම. මුලින්ම තලිබාන් එක්ක රටක් එකගතාවයකට ආවෙ අයිසිස් ඇෆ්ඝනිස්තානෙට ආවම. ඒ රුසියාව. මොකද තමන්ගෙ බෝඩරෙ තියෙන මුස්ලිම් රටවල් වලටත් අයීසිස් බෝවුනොත් කියල රස්සො ට්‍රයි කලා තලිබාන් හරහා ඒ ව්‍යාප්තිය නවතන්න. ඇමරිකාවට එච්චර එකක් කරගන්න බැරි නිසා. අද උනුත් තලිබාන්ට සෙට් වෙලානම් ඒක කතාවට නව මානයක් එකතු කරනව.
මේ අතර ඇෆ්ඝනිස්තානය සාමකාමිව තියාගන්න තලිබාන්ට ඇමරිකන් පොරොන්දුවට එහා යන හේතුවක් තියෙනව. ඒ තමා චීන ප්‍රොජෙක්ට්. දැන් මේ යන යුද්දෙට පවා මීඩියේට් කරන්න චීනය ඉදිරිපත් වන්නෙ යුද්දයක් උන්ගෙ ආයෝජන වලට පාඩු නිසා. චීන සල්ලි වලට දැනටමත් තලිබාන් කෙල හලමින් ඉන්නෙ. චීනය අපේ මිත්‍රයෙක් කියල එහෙමත් කියන්නෙ. කෝමත් තලිබාන්ගෙ ස්පොන්සර් චීනෙ අතවැසියෙක් නෙ.
බොහො දෙනෙක් අහනව ඇයි තලිබාන් මෙච්චර පවර්ෆුල් කියල. ඒකට හේතුව මේ කතාවෙ මිනිහෙක් කියනව. සාමය, ස්තාවරත්වය. තලිබාන් ට පමණයි ඒක ගේන්න පුලුවන්. මිනිසුන්ට මූලික අයිතිවාසිකම් වලටත් වඩා වටිනව නොකඩවා ඇවිලෙන සිවිල් යුද්දයෙන් මිදෙන එක. ගියවරත් තලිබාන් ගේ සාර්තකත්වයේ රහස ඒකයි.
බලන්න
Afghanistan Endgame
July 27:
ඇමරිකාව යන්නෙ තලිබාන් එක්ක ගිවිසුමක් ගහල. තලිබාන් ආයෙ අන්තවාදෙට ඉඩ නොදී හොද ලමයි වගෙ ඉන්නව කියන පොරොන්දුව පිට. ගියා විතරයි උන් ආයෙ යුද්දෙ පටන් ගන්නව මේ මොහොතෙ කළින් තිබ්බ අන්තවාදෙම තමා තියෙන්නෙ අල් කයීඩත් උන් එක්ක ඉන්නව. ඉතින් ඇමරිකාව ගත්ත පොරොන්දුව ඉශ්ට නොවුනොත් මොකද කරන්නෙ. ඒකත් කතාවෙලාද යන්නෙ? එහෙම බවක් පේන්නෙ නෑ.
පාකිස්තානය ඇරෙන්න තලිබාන් එක්ක මුලින්ම ගණුදෙණු කළ රට රුසියාව. ඔවුන්ට ලෝකෙ කිසියම් පිළිගැනීමක් ලැබෙන්න ඒක තදින් බලපෑවා. අතීත සෝවියට් සමූහාණ්ඩු වන තුර්ක්මේන්ස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය අවට බෝඩරේ අයිසිස් සන්විධානය සක්‍රිය වෙනකොට තලිබාන් එක්ක ඔවුන්ට එරෙහිව එකගතාවයක් හදාගන්න රුසියාව පෙළඹෙනවා. මොකද තමන්ගෙ හිතවත් ඒ රාජ්‍ය ටික වගේම රුසියාවටමත් අන්තවාදය ලොකු අවුලක්. ඊට කලින් ඇමරිකාව නේටෝ හෝ ඇෆ්ඝන් වත්මන් රජය මේ ගැන හොයන්නෙ නෑ කියල රුසියාව චෝදනා කරමින් උන්නෙ. ඒ නිසා මේ මොහොතෙ තලිබාන් ලා රටේ බලය තහවුරු කරගැනීම රුසියාව ධනාත්මක ලෙස දකින්නෙ. ඒත් ඇෆ්ඝන් ත්‍රස්ත කල්ලි අතර එකගතා සහ ප්‍රතිවිරුද්ධතා වෙනස් වෙනන් යන්නෙ සුලු කාලයයි. අනික අයිසිස් කියන්නෙ ඉස්සර අල් කයීඩ ම නෙ. දැන් ඔහොම්ම රිවස් කරල අයීසිස් උන්ට තලිබාන්ලා කවර් එක දුන්නොත් රස්සන්ට වහකන්න වෙනව. ඒ වගේම උතුරු ඇෆ්ඝනිස්තානෙ ඉන්නෙ පෙරකී සෝවියට් සමූහාන්ඩු වල ජනවර්ග. තලිබාන් පාකිස්තානෙත් ඉන්න පතාන් වරුන්. සාමාන්‍යයෙන් මේ වෙනත් වාර්ගිකයන්ට හමුදාමය බලයක් තියෙනව. උන්ගෙ පලාත් බේරන් ඉන්න සමත්. එහෙම අවස්තාවක තලිබාන්ගෙ යුද්දය පෙර කී අසල්වැසි රටවලට යන්න පුලුවන්. ඒක රුසියාවට සැහෙන ගැටලුවක්. ඒ නිසා පැත්තකින් තලිබාන්ගෙ හොද කියන ගමන් තම හිතවතුන්ගෙ බෝඩරයෙ ආරක්ශාව තර කරන්න රුසියාව කටයුතු කරමින් ඉන්නෙ.
චීනෙ මේ වෙද්දි පවතින් ඇෆ්ඝන් රජයට ෆුල් ස්පෝට්. ඒ නිසාම තමන්ගෙ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ප්‍රොජෙක්ට් එකෙන් සැහෙන සල්ලි ඇෆ්ඝනිස්තානෙට වැයකර තියෙනව. ප්‍රොජෙක්ට් තාම අතරමැද. ඉතින් චීන එස්ටිමෙට් එකෙන් තලිබාන් බලය අල්ලන්න ඉඩ තියෙන නිසා චීනය තලිබාන් සමග එකගතාවක් හදාගන්නව. දැන් වෙද්දි චීන්නු තලිබාන් රජයකට මූල්‍ය ආධාර වලට පොරොන්දු වෙලා ඉන්නෙ. තලිබාන් චීනය තම මිතුරෙක් කියා කියනව. හැබැයි තලිබාන් කියන්නෙ මිට පෙර චීනෙ සතුරෙක්. උයිගර් සටන්කාමින් තලිබාන් එක්ක උන්න, දැනුත් ඇති. ඒ උයිගර් සටන්කාමින්ගෙන් ආපු බෙදුම්වාදි කල්ලි චීනෙ සැහෙන ප්‍රහාර එල්ල කලා. ඒකට රිටර්න් ලෙස චීන්නු මුලු උයිගර් ජනගහනය ම වගෙ කෑම්ප් දාල උන්ගෙ බ්‍රේන් වොශ් කරගෙන යනව. මේ නිසා දැන් වෙද්දි තලිබාන්ලගෙ උනත් උයිගර් උන් ගැන ලොකු කැක්කුමක් තියෙන්න පුලුවන්. ඔතන අන්තවාදි රටක් හැදෙනව කියන්නෙ චීනෙ උයිගර් අර්බුදේට බලපානව. ඒ විතරක් නොවේ. පාකිස්තානයේ චීන ව්‍යාපෲතියක වැඩ කරන සේවකයින් පිරිසක් ගිය බස් එකක් පල්ලමකට පෙරලිලා බරගානක් මිය ගියා ලගදි. ඒක මිකැනිකල් ෆේලියර් එකක් කියල පකිස්තානෙ මුලින් කිව්වෙ. ඒත් චීන්නු ඉන්වෙස්ටිගේට් කරල හොයාගන්නව බස් එකේ පුපුරණද්‍රව්‍ය තිබිල පුපුරාගිහින් කියල. පාක්සිතානයත් දැන් ඒක පිලිගෙන තියෙන්නෙ. මෙක කළ කෙනෙක් නැතත් හිතන්න ඉන්න ළගම පාර්ශ්වය පකිස්තානෙ තලිබාන් (තෙහෙරාකි ඒ තලිබාන්) කල්ලිය. උඩින් චීනෙට මිතුරුකම් පෑවට යටින් ගේම කෝල් කරනවා වෙන්න පුලුවන්. චීනෙ ආයෝජිත මුදල් අහකයාම වගේම යටපත් කල අන්තවාදෙට නිකම් පෙට්‍රල් ටිකකුත් ලැබෙන්න පුලුවන්. කෝම වුනත් චීන්නු තාමත් කාබුල් ආණ්ඩුවටත් සපෝට්. රෙකමන්ඩ් කරන්නෙ කාබුල් හා තලිබාන් අතර බලය බෙදාගැනීමක්.
පාකිස්තානෙට කියල වෙනසක් නෑ උනුත් කරන්නෙ ගැම්බල් එකක්. ලාබයක් ගන්න නෙවි සහෝදර කමට. පාකිස්තානය තලිබාන් එක්ක ඉන්නෙ ආත්මීය බැදීමක. බෝඩරේ දෙපැට්තෙම පතාන් ඉන්න නිසා උන්ට වෙන් වෙන්න බෑ. උපතින්ම බද්ධ දරුවන් දෙන්නෙක් වගේ. තලිබාන් නිසා පාකිස්තානෙට කොපමණ පාඩුවක් වුණත් උන්ට විද ගන්න වෙනවා. මීට කලින් උන් ඔය ටික රිචර්ඩ් ආමිටේජ් ට කියල අපේ සම්බන්දය බෝම හිස්ටොරිකල් එකක් කිව්වම, ආමිටේජ් කිව්ව කියනවනෙ "නෝ, හිස්ට්‍රි බිගින් නව් රයිට් හිය" කියල. එහෙම තමා උන්ව තලිබාන්ගෙන් වෙන්කරල කලින් පාර ඇමරිකාව වැඩ වලට පාවිච්චි කලේ. ප්‍රහාරය සහ ඒක යට ගහපු හේතු චීනයට කන්සර්න් එකක්. චීන්නු ඔව්ව ඔහොමවත් ඕපන්හැන්ඩ්ල් කරයිද දන්නෙ නෑ. ඒත් තමන් මෙතරම් ආයෝජනය කරද්දි පකිස්තානෙ ඉන්නෙ අනිත් පැත්තෙ කියල තේරුණොත් ඉම්‍රාන් ඛාන්ට ඔලුවත් නැතිවෙන්න පුලුවන්. කෝමත් භක්තියෙන් ෆන්ඩ් කරන අනුන්ගෙ අර්බුදේ තමා පකිස්තානෙ වලපල්ලට ම ඇදදැම්මෙ.
කාබුල් රජයට නම් ඉතින් අමුතු ගැම්බල් එකක් නෑ. ඇමරිකාව පැදුරටත් නොකිය යන මොහොතෙම බෙට් එක පරාදයි. ඒත් එල්ලා මරනකම් බලා නොසිට උන් තලිබාන් ට මුලින් සාකච්චාවට කතාකරල උන් කියන එක අහන්නෙ නැති නිසා හමුදා පියවරට යන්න තීරණය කළා. දැන් රටේම ඇදිරිනිති දාල ඕල් අවුට් වෝ. කලින් පේන්න තිබ්බට වඩා උන්ට බලයත් තියේ වගෙ, අඩුම ගානෙ නාගරික ටික රැකගන්න ශක්තිය තියෙන බවක් පේන්නෙ.
හැමෝටම හිතෙන්න පුලුවන් වටේටම ගේම දීල තලිබාන් සිරාවට ගොඩ නේද කියල. එහෙම්මත් නෑ. මැයි මාසෙ වෙනකොට ගිවිසුම් අත්සන්කරල සටන් නතර කරනව කිව්ව ඇම්‍රිකාව හදිසියෙම ඊයෙ සිට නැවත ගුවන් ප්‍රහාර පටන් ගන්නව. ඒක ගැන ලොකු පැහැදිලි කිරීමක් නෑ. කාබුල් හමුදාවලට බැකින් එකක් ලෙස කියල කියන්නෙ. ඒත් ඒක කොපමන කලක් කරාවිද කොහොමද මැනේජ් කරන්නෙ ආදිය පැහැදිලි නෑ. පේන තාලෙට තලිබාන් මොකක් හෝ ඉරක් පැන්න නිසා (උන් පහුගිය ටිකේ පැන්න ඉරි වල හැටියට කෝක ද ශුවර් නෑ) ඇමරිකාව උන්ට ගුවන් ප්‍රහාර එල්ල කර බලය අඩු කරන්න වගේ හදන්නෙ. අනිත් පැත්තෙන් චිනය ඇත්තෙ අවිනිශ්චිත තත්වෙක. චීන්නු පිටරටවලට හමුදා නම් එවන්නෙ නෑ. ඒත් උන්ට තලිබාන්ලා එක්ක මල පැනල කාබුල් වලට මිලිටරි සැපයුම් දුන්නොත් තලිබාන්ට සැහෙන්න රිදෙයි. රුසියාවෙ ලොකුම කෑම්ප් එකක් තියෙන්නෙ ඇෆ්ඝන් තජික් බෝඩරේ. කෑම්ප් එක දැඩි සූදානමින් ඉන්නෙ අණක් එනකම්. තලිබාන් නායකයින් කටාරයේ සිට මේ සියලු බලවතුන්ට දුන්නු පොරොන්දු වන අන්තවාදයට ඉඩ නොදෙන අන්තවාදි කල්ලි මර්දනය කෙරෙන බිස්නස් ෆ්‍රෙන්ඩ්ලි සාමය පිරි ස්තාවර ඇෆ්ඝනිස්තානය උන්ට හදන්නත් බෑ වගෙ. දැනට යන ආකාරෙට පේන්නෙ උන්ගෙ භුමියෙ ඉන්න උන් දැනටමත් අන්තවාදෙ පටන්ගෙන, බිස්නස් වලට පහර දෙන බවට සලකුනු පෙන්වමින්, සාමයක් ස්තාවරත්වයක් කෙසේ වෙතත් බෝම දිගුකාලින සිවිල් යුද්දයකට යනව වගේ පේන්නෙ. අන්තවාදයට භුමියක් වෙලා උතුරෙ සහ නැගෙනහිර ඉන්න බලවතුන් දෙන්නගෙ අහවල් ආගම සුලබ කලාප වලට ඒක රින්ගවන්න ලොකු ඉඩකුත් තියෙනව. ඉතින් උන්ට එකෙක් හෝ සෙට් එකෙම්ම කොලිටි කෑමක් සෙට් වෙන්න සැහෙන ඉඩක් තියේ කියල හිතන්න පුලුවන්.
මේ තත්ව යටතෙ දාදු කැටේ පැති හයේම සිවිල් යුද්දයක් තමා ලියවිලා තියේ කියල පේන්නෙ. මුල්ලක් උඩට වැටුනත් සාමය උදාවෙන්න පුලුවන් ද ශුවර් නෑ. පිට පිට මුලු තුනක් විතර උඩට හිට්ටන්න වෙයි. සියලු පාර්ශ්ව කරුවන් මාරාන්තික බොහොවිට පරදින්න ඉඩ තියෙන ඔට්ටු දාමින් ඉන්නෙ.
August 15:
සිවිල් යුද්දයකින් තොරව කාබුල් තලිබාන් ට යටත් වෙනව. ජනාධිපති අශ්‍රෆ් ඝානි රට හැර යන්නෙ තලිබාන්ට බලය ඉතුරු කරල. කෝමත් ඝානි යුදයට පුරුදු අයෙක් නොවේ, මීට කලින් තිබ්බ මිලිශියාවක් මෙහෙයවලත් නෑ, ඔහු විවි මහාචාර්‍යවරයෙක් චාන්සලර් කෙනෙක්. ඔහුගේ නික්ම යාම පුදුමයට කාර්ණයක් නොවේ, කොටින්ම තලිබාන් පවා ඔහුට ඉන්න කියල තියෙද්දියි ඔහු යන්නෙ.
වෙන්න තියෙන හොදම විදියකට වුනා කියන්න පුලුවන්. මොකද වෙන්න තිබ්බ සියලු පොසිබිලිටි වල තලිබාන් දිනනව, ඉතින් අඩුම ජීවිත හානි වලින් ඔය වෙච්ච ආකාරය හොදයි. තලිබාන් පරදින තැනක ඉවර වෙනවනම් අපි ඔක්කොම ඒක තෝරයි ඒත් රියලිටියෙ ඒක වෙන්න විදියක් නෑ.
ඉතාම කලබල තාලෙට සයිගොන් සහ ටෙහෙරාන් සිහි කරමින් රොකට් ප්‍රහාර වලකන ට්‍රේසර්ස් ශූට් කරමින් බටහිර රටවල් සිය රටවල කීප දෙනාව ගුවනින් මුදාගන්නව. ඒත් ඔවුන්ට සහය දුන්නු ඇෆ්ඝන් වරුන් රාශියක් ඉන්නව වීස ඔෆිස් වල පේපර්වර්ක් ඉවර වෙනකම්. ඒ අයගෙ ඉරණම මොකක් වේවිද කියල අපැහැදිලියි. බටහිර රටවල් ඇෆ්ඝන් ආන්ඩුවට නොකියම යන්න ගිහින් ඔවුන් අමාරුවෙ දැම්ම වගේම අශ්‍රෆ් ඝානිත් බටහිර රටවලට මුදාගැනීම් කරගන්න චාන්ස් එකක්වත් නොදී දාල ගියෙ. ඒකයි මෙක සයිගොන් ටෙහෙරාන් දෙකේ දිගුවක් වෙන්නෙ.
කලින් අපි කිව්ව වගේ ඇෆ්ඝනිස්තානෙ තලිබාන්ට රෙසිස්ටන්ස් එකක් තියෙන්නෙ ශියා ආගමික හසාරා වරුන් ඉන්න මධ්‍ය කදුකර පෙදෙස් සහ තජික් බලය තියෙන පැන්ශියර් නිම්නය. ඒත් මේ වතාවෙ කලින් වගෙ නෙවි තලිබාන්ලා මේ ප්‍රදේශ සහ බාහිර ලෝකය අතර සම්බන්දෙ කඩල මේව වට කරල තියෙන්නෙ.
හසාරා වරින්ට කෝමත් මේ පරදින සටන කරන්න වෙනව. ඔවුන්ට ලොකු බුරුලක් තලිබාන්ගෙන් ලැබෙන්නෙ නෑ. නෙගෝශියට් කරගන්න වෙන එකකුත් නෑ. ඔවින්ට තියෙන එකම සරණ කන්දෙ වාසිය පමණයි.
පැන්ශියර් හි සින්හයා කිව්ව අහ්මඩ් ශා මසුඩ් ගේ පුත්‍රයා අහ්මඩ් මසුඩ් කළීන් උන්නෙ තම ප්‍රදේශ සුරකින්න ජීවිතේ පුදල සටන් කරන්න. ඒක එයාගෙ තාත්ත කලා. ඒත් ඒ කාලෙ ටජික් දේශ සීමාව වෙනකම් තලිබාන්ට බලය තිබ්බෙ නෑ. අද තත්වය වෙනස්. තලිබාන් දැන් පලමු වරට මුලු ඇෆ්ඝනිස්තානෙම වගේ අල්ලගෙන. අහ්මඩ් මසුඩ් කියනව තමන් සූදානම් කියා එකගතාවයකට එන්න. තලිබාන් තමන්ගෙ ජන්මාන්තර හතුරට කෝම සලකයිද දන්නෙ නෑ
තව වැදගත් ම චරිතයක් තමා කන්දහාර් හි පතාන් සාම්ප්‍රදායික නායක හිටපු ජනාධිපති හමිඩ් කර්සායි. ඔහු කාබුල් වල. ඔහු ගිහින් නෑ. ඔහු උත්සහ කරනව කිසියම් ආකාරයක එකගතාවයකට එන්න.
දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ තලිබාන් මේ කුඩා බල කේන්ද්‍ර කීපය එකක් ගනුදෙනු කරන්නෙ කෝමද? ඒ අයගෙ ජීවිත පවා අවදානමට ලක්ව තියෙද්දි ඒ මිනිස්සු තලිබාන් අන්තවාදෙ කෝම තනුක කරගනීද? පොඩි හරි ජීවන අවකාශයක් නූතනයට ආපු ඇෆ්ඝන් ජනයාට දිනා දේවිද කියන එක.
තලිබාන්ටත් නොහිතු මට්ටමේ හැටලු තියෙනව. බටහිර මේන්ස්ට්‍රිම් සන්ස්කෲතියෙ ඉපදිලා ලොකුමහත් වුණ තරුන පරපුරක් ඇෆ්ඝන් නගර ටිකේ ඉන්නව. ඒ අය කියන තරම් ලේසියෙන් යටත් වෙන එකක් නෑ. ඇෆ්ඝන් විවි වහද්දි සිසුවියන්ට ගුරුවරුන් සමුදුන්න කියනව මොකද එයාලට ආයෙ විවි අරින වෙලාවක ආපහු එන්න ලැබේවිද දන්නෙ නෑ. පාසල් දැරියන්ටත්. එසේම ඉහලට ඉගෙන ගෙන රස්සා සහ ව්‍යාපාර දියුනු කරන් සමාජයේ ඉහල සහ බලය හොබවන තැන්වල ඉන්න කාන්තාවන් රාශියක් ඉන්නව. දැනට අල්ලගත්ත නගර වල ඒ අයට තම බලය හෝ තනතුර හැරදා යන්න තලිබාන් කියල තියෙනව. ඒත් කාබුල් වගෙ ලොකු නගර වල මේක කරන්න ලේසි වේවිද දන්නෙ නෑ.
ඉතින් ආයෙමත් මේ සියල්ල තියෙන්නෙ තලිබාන් අතේ. කලින් වතාවෙනම් මේ වගේ මිනිස්සු කෙලවර වුනේ ප්‍රසිද්ධියේ මරා දැමීමෙන්. අවශ්‍යනම් ඒක කරන්න මෙවරත් තලිබාන්ට පුලුවන්. කෙටිකාලිනව ඒක අමාරු වැඩක් නොවේ.
ඒත් දිගුකාලිනව තලිබාන් යන්නෙ කොහෙද යන්න කෝමද කියන එක ලොකු ප්‍රශ්නාර්තයක්. මතුපිටින් ස්ටේබල් වගෙ පෙනුනට යටින් තලිබාන්ලා ලොකු හිරවීම් වලට ලක්වෙන්න පුලුවන්. කෙතරම් අන්තවාදයට සහය දෙනවාද කෙතරම් ඒ අන්තවාද අසල්වාසි රටවලට පතුරනවාද කියන එක මත තලිබාන්ගෙ ගමන තීන්දු වෙයි.
ඒ අතර කාලයේ කලාපෙ වගේම ලෝකෙ පුරාම අහවලුන්ගෙ අන්තවාදෙ ක්‍රියාකාරකම් උත්සන්න වීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. සමහරවිට ඒවට කාබුල් වලින්ම තල්ලුවක් එන්නත් පුලුවන්.
දැනට එකම පොසිටිව් නෝට් එකක් ලෙස එ ජා සන්විධානයට යන්න එපා ඉන්න කියල තලිබාන් ලා කියල තියෙනව. අන්තවාදෙට නොගියොත් තලිබාන්ලට ලැබිල තියෙන්නෙ මහගු අවස්තාවක්. ඒත් ඔවුන් එහෙම කරන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.
ඉස්ලාමය ජාතිවාදයට විරුද්ධ දහමක්.
ReplyDeleteඒ නිසා තමයි ඇෆ්ඝන් පාකිස්ථාන දේශ සීමාවක් නැත්තේ.
වටිනවා!~
ReplyDeleteනියමයි
ReplyDelete