Saturday, January 15, 2022

සැන්සිබාර විප්ලවයෙන් ලෝකෙට ලැබුණු ඉහළම දායාදය

සැන්සිබාර විප්ලවය ගැන සයිබරයේ කීප වරක් කතාවෙන්න යෙදුනා. මේ පෝස්ට් එක ඒ කතාබස් වල එකතුවක්. මීට පාදක වෙනව මේ සම්බන්දයෙන් සාමාන්‍ය දැනීම් සමූහ වල දාපු ප්‍රශ්න හා වෙනත් සන්වාද. මේක ලියන්න කියල දිරිමත් කර ක්‍රිශ්ණා  රාමනායකට විශේෂ ස්තූතිය.

සැන්සිබාර විප්ලවය නිසා කතාවට ගන්න ඕනෙ වැදගත් නම් හතරක් මෙහි සදහන් වෙනව. මෙයින් පළමු වැනි කෙනා විප්ලව කාරයෙක් වුණාට ඒ ගැන ලොකු අවබෝධයක් තිබ්බ කෙනෙක් නොවේ. සැන්සිබාර් වාසියෙකුත් නෙවි. වෲත්තියෙන් ඔහු කුලීවැඩක් හොයාන රටින් රට ගිය මිනිහෙක්. ස්ත්‍රී දූෂණ ආදී සිද්ධි වලට හිරගත වෙච්ච කෙනෙක්. එහෙත් ඔහු වැඩ කරන්න ගිය රටේ පීඩිත ජනතාව මෙහෙයවා සන්නද්ධ කැරැල්ලක් ගහලා රාජාණ්ඩුව පරදා බලය ගන්නවා, ඊට පස්සේ ඔහු රටේ ප්‍රබලව උන්නු ප්‍රජාවට එරෙහිව ම්ලේච්ච සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණ රැල්ලක් පටන් ගන්නවා. ඔහු තමා විසින්ම ඉහල හමුදා තනතුරකට පත්කර ගන්නවා. 

මෙන්න මේ වෙලාවෙ අපි කතාවට ගන්න අනිත් චරිත දෙක ක්‍රියාත්මක වන්නෙ. එක්කෙනෙක් මේ විප්ලවීය පක්ශයේ නායකය දෙවැන්නා අසල තියෙන ලොකු රටේ එවනිම විප්ලවීය නිදහස් සටනකින් බලේට ආපු නායකය. මේ දෙන්නගෙ එකගතාවය නිසා පෙර කී පුද්ගලයගේ ම්ලේච්ච පාලනය යටපත් වෙලා අලුත් ම රටක් ලොකෙට එකතු වෙනව. ඒ ටැන්සානියාව.

හතරවෙනි කෙනා මේ කිසිවකට සම්බන්ද කෙනෙක් නෙවි. ඔහු සැන්සිබාරයේ ජීවත්වූ සුලු ජනවර්ගයක මනුස්සයෙක්. කැරැල්ලෙන් පස්සෙ වෙනත් ධනවත් සුලු වාර්ගිකයන්ට එරෙහීව මුදාහරින ම්ලේච්චත්වයෙන් බේරෙන්න ඇදිවත පමණක් එක්ක ඒ පවුල බ්‍රිතාන්‍යයට පළා යාවා. ඒත් ඒ ගමන නිසා මේ පුද්ගලයා දවසක ලෝක පූජිත කෙනෙක් වෙනව. මගෙ මතය අනුව සැන්සිබාර් විප්ලවය නිසා ලොකෙට වුන ලොකුම යහපත ඒකයි.

සැන්සිබාර් කියන්නේ අරාබි වහල් වෙළඳුන් ගේ තිප්පොල. කාලෙක පටන් අප්‍රිකානු මහද්වීපයෙන් වහලුන් ගෙනයන්න ඉරාන [පර්සියන්] සන අරාබි මිනිසුන් සැන්සිබාර් දූපත පාවිච්චි කළා. පසුව එය ඕමාන අධිරාජ්‍යයේ කොටසක් වුනා. ඊගාවට ස්වාධීන සුල්තනට් එකක් වෙලා පස්සේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂිත සුල්තනෙට් එකක් ලෙසයි පාලනය ගියේ.

මේ කාලවල මුස්ලිම් අරාබි සුළුතරය රටේ ඉඩම් සහ ධනය තනිකර භුක්ති වින්දා. අප්‍රිකානු/පර්සියානු බහුතරයක් සහ නිදහස් වූ වහලුන් ආදිය 60% පමණ වුණා. ඔවුන් සම්පත් රහිතව දුප්පත් ජීවිත ගෙව්වේ. 60 දශකයේ බ්‍රිතාන්‍යයන් නිදහස දීල පවත්වන චන්දෙ වැඩි චන්ද ලැබෙන්නේ අප්‍රිකානු/පර්සියානු බහුතරය නියෝජනය කළ පක්ෂයට වුනත් චන්ද ක්‍රමය නිසා වැඩි ආසන යන්නේ අරාබීන්ට. ඒ වගේම මේ විශාල සමාජ අසාධාරණය පදනම් කරගෙන මාක්ස්වාදී නැඹුරුවකින් බිහිවන පක්ෂය තහනම් කරල තිබ්බේ.

අපේ  කතාවෙ පළමු පුද්ගලයා වන ජොන් ඔකෙලෝ කතාවට ඇතුළු වන්නේ කුලී කාරයෙක් ලෙස සැන්සිබාරය යටතේ පවතින දූපතකට ආවම. ඔකෙලෝ උපන්නේ උගන්ඩාවේ. කුඩාකල මව්පියන් මිය යනවා පස්සේ ඔහු කුලී රස්සා කරමින් තැන් තැන් වල ඇවිදිනවා. නැගෙනහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඇවිදින අතරේ ස්ත්‍රී දූෂණ කතාවකට සිර දඬුවම් පවා විඳිනවා. ඔකෙලෝ දැඩි අන්තවාදී ක්‍රිස්තියානි කාරයෙක්.

ඔකෙලෝ පෙම්බා [සැන්සිබාරයේ කොටසක්] දූපතේ වැඩ කරන ගමන් රට පුරා ඇවිදිනවා ආගමික කතන්දර කියමින්, ඒ කාලේ ඔහු තම අනන්යතාවය නියෝජනය වන අප්‍රිකානු [සහ පර්සියානු] පක්ෂය එක්ක දේශපාලනේ පටන් ගන්නවා. ආගමික හේතු සහ සමාජ පීඩනය අසාධාරණය ආදිය නිසා සුල්තාන් එක්ක අරාබින් එක්ක සහ බ්‍රිතාන්‍යයින් ගෙන ආ ඉන්දියානුන් එක්ක මාර වෛරයකින් ඔහු ඉන්නේ. මේ වෛරය එක්ක ඔහු පක්ෂය තුල අන්තවාදී කල්ලියක් හදා ගන්නවා, එසේම තහනම් කළ මාක්ස්වාදී පක්ෂයත් එක්ක එකඟතා ඇති කර ගන්නවා.

අප්‍රිකානු/පර්සියානු පක්ෂයේ නායකයා තරමක් ලෝකෙ ඇවිදල තියෙන දේශපාලනය ගැන හොඳ  අවබෝධයක් තිබ්බ අබෙඩ් කරුමේ මේ තත්වය දැකලා පොලිසියට ඔත්තු දුන්න බවත් කියවෙනවා. ඔහු මේ වෙද්දී ඉන්නේ ප්‍රජාතාන්ත්‍රිකව රටේ බලය ගන්න සංවාදයක - මොකද ඔහුට දැනටමත් චන්ද බහුතරය ඇවිත් ආසන ගාන පමණයි අඩු. ඉන් පසු ඔහු රටින් ඉවතට යනවා [කැරැල්ල මග හරින්න ගියා වෙන්නත් පුළුවන්]

ඔකෙලෝ ගේ කරලිකාරයින්ට ආයුධ වත් ඒ හැටි නැහැ. ඔකෙලෝ සැලසුම් කරන්නෙ කැති පොරෝ අරන් ගිහින් එක පොලිසියකට  ගහල ඒකෙන් වෙපන් අරගෙන ඉස්සරහට යන්න. නොසිතු පරිදි මේක සාර්තක වෙලා  ඔවුන් සන්සිබාරය අල්ලනවා. [මෙය රෝහණ විජේවීර විසින් කොපි කළ බව කියවෙනවා එහෙත් සැන්සිබාරය ලක්ෂ තුනක මිනිස්සු උන්න 50000 පමණ අරාබින් පිරිසක් පාලනය කළ කුඩා රටක්. වැරදුනු තැන එතනින් කියවන්න පුළුවන්] මෙය හැමෝටම සර්ප්‍රයිස් එකක් . ඊට පස්සේ තමා ෆීල්ඩ් මාෂල් ලෙස නම්කරගෙන කැරලිකාරයින් ලවා අරාබි ඉන්දියානු සමූලඝාතනයක් හා ස්ත්‍රී දූෂණ කරනවා. මසක පමණ අරාජික සමූල ඝාතන යුගයක 20000 පමණ මැරුණා කියා හිතනවා. ඔකෙලෝ දෙවියන්ගේ [ක්‍රිස්තියානි] දූතයා ලෙස මේ ඝාතන වලට අණ දෙන්නේ.

ඔකෙලෝ අබේඩ් කරුමේ ආපහු ආවම ඔහුගේ නායකත්වය පිලිගන්නවා. දේශපාලන නායකත්වය ඔහුට පවරන නමුත් මිලිටරි තියාගන්නෙ තමන් අතේ. ඒ නිසා බලය තියෙන්නේ ඔකෙලෝ අතේ. ඔකෙලෝ මේ අතරේ කෙන්යාව එක්ක සැන්සිබාරය එකතු කරන්න උත්සහ ගන්නවා

අබේඩ් කරුමේ සහය පතන්නේ අසල්වැසි ටන්ගනිකා රටේ නායක ජුලියස් නියරේරේ ගෙන්. මෙහි සූක්ෂම මෙහෙයුම කරන්නේ නියරේරේ. විදෙස් සංචාරයකට ගිය ඔකෙලෝ ට නැවත සැන්සිබාර දොපතට යන්න නොදී ඔහු රඳවා ගන්නවා. ඒ සමගම කරුමේ ඔහු ද්‍රෝහියෙක් ලෙස නම්කර පිටුවහල් කර පසුව නියරේරේ එක්ක එකතු වෙලා ටැන්සානියා දේශය හදනවා. කරුමේ මෙය කරන්නේ තම රටේ තමන්ට පාලනයක් නැති නිසා කියලයි කියන්නේ, ඔකෙලෝ ගේ අන්තවාදීන් සහ මාක්ස්වාදීන් ගෙන් බේරෙන්න. අදටත් සැන්සිබාර් දේශය ටැන්සානියාවෙ කොටසක්. අදටත් එය නිදහස් වෙන්න ඕනේ කියා වාද විවාද සහ තරමක් උණුසුම් ගැටුම් ඇතිවෙනවා. දැන් ජනගහනය මිලියනයට වැඩියි.

ඔකෙලෝ උපන් රට වන උගන්ඩාවට යනවා. එහිදී ඉඩි අමීන් ගේ සටනට ප්‍රසිද්ධියේ උදව් දෙනවා, අමීන් බලය කොල්ල කාල තමන්වත් ෆීල්ඩ් මාෂල් කර ගත්තම ඔකෙලෝ කියනවා දැන් උගන්ඩාවට ෆීල්ඩ් මාෂල් ලා දෙන්නයි කියල ඔකෙලෝ ගැන ඊට වඩා දන්නේ නැහැ. ප්‍රකාශය නිසා අමීන් අතින් මැරුම් කාපු බව තමා සැලකෙන්නේ.

මේ දේවල් මෙහෙම වෙන අතරෙ මේ විප්ලව කතාවලට කිසිම සම්බන්දයක් නැති එක්තරා තරුණයෙක් ඉන්නව සැන්සිබාරයේ. ඔහුගේ නම ෆාරොක් බල්සාරා. ෆාරොක් උපදින්නෙ සැන්සිබාරයේ ස්ටෝන් ටවුන් අගනුවර. ඔහු එවකට බ්‍රිතන්‍ය රජයේ නිළයක් දරන ඉන්දීයන් පාර්සි පවුලක දරුවෙක්. ඒ කියන්නෙ ඉරාන සම්භවය තියෙන ඉන්දියානුවෙක්.

මේ  ධනවත් ඉන්දියන් පවුල ෆාරොක් ව පාසල් අධ්‍යාපනය ලබාගන්න ගන්න ඉන්දියාවට යවනව. ඔහු ඉන්දියාවෙදි බටහිර සන්ගීතය හදාරනව. මියුසිකල් ගෲප් එහෙමත් හදනව. ඒත් බල්සාරා පවුලේ අනිත් කසින්ස් ලා වගෙ ඉහලට ඉගෙන ගන්නෙ නෑ. පස්සෙ තාත්ත ඔහුව සැන්සිබාරෙ ගෙනල්ල උගන්වන්න හැදුවත් ඒකත් ෆේලියර් එකක්. ෆාරොක් විවි ප්‍රවේශය හොදට කරන්නෙ නෑ, මිනිහගෙ හිත සන්ගීතෙ ගැනමයි. ඔන්න ඔය වෙලාවෙ තමා විප්ලවේ වෙන්නෙ.

විප්ලවයට පසු භීම සමයේ කැරලි කාරයින්ගෙ ඉලක්ක වෙන්නෙ එහි සිටින අරාබින් ආසියානුන් බ්‍රිතාන්‍ය සම්බන්ධකම් ඇත්තන් සහ සල්ලිකාරයින්. බල්සාරා ලට මේකෙ කොලිෆිකේශන් ගානක් තියෙන නිස පලා යන්න සිද්ද වෙනව. ආපහු ඉන්දියාවට යන්න නම් පුර්වැසිකම් ප්‍රශ්නයක් එනව මොකද ෆාරුක් ගේ තාත්ත එන්නෙ බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින්. එහෙම දෙයකට ගත කරන්න කාලයක් නැති නිස ඔවුන් බ්‍රිතාන්‍යට පැනල යනව.

දහ අට වියැති ෆාරොක් බල්සාරා බ්‍රිතාන්‍යට යන්නෙ එහෙමයි. ඔහුට ඉහලට උගන්වල ලෝයර් කෙනෙක් අකවුන්ටන්ට් කෙනෙක් කරන ඉන්දීය ටයිප් මවුපියන්ගෙ හීනය තවදුරටත් ෆේල් වෙනව. ෆාරොක් තෝරාගන්නෙ කලාව. සන්ගීතය සහ චිත්‍ර. ෆාරොක් පාට් ටයිම් බැගේජ් හැන්ඩ්ලර් ජොබ් එකක් කරමින් සන්ගීතය ඉගෙන ගන්න විවි ට යනව.

ඒ විශ්ව විද්‍යාලෙ සෙට් වෙන යාලුවන් එක්ක තමා වයස 24 දි පමණ ඔහු සන්ගීත කණ්ඩායමකට එකතු වෙන්නෙ. පස්සෙ ෆාරොක් ගේ අදහසුත් එක්ක ඒ කණ්ඩායම් තමා ක්වීන් ලෙස නම් කෙරෙන්නෙ. මේ වෙද්දි ඔහුගෙ නම වෙනස් කරගන්නව ෆ්‍රෙඩි මර්කරි කියල.

ක්වීන් රොක් බෑන්ඩ් එකයි ෆ්‍රෙඩි මර්කරි යි ගැන මන් ලියන්න ඕනෙ නෑ. ඒත් 18 දි සැන්සිබාරය වගෙ එ තැනක සිට එන්ගලන්තෙට පය තිබ්බ ඉන්දියන් පාර්සි කොල්ලෙක් 25 දි ලෝක පූජිත රොක් බෑන්ඩ් එකක් හදපු එක රිමාකබල්. වයස 29 දි මෙතෙක් ඉතිහාසෙ ලියවුනු හොදම රොක් ගිය ලෙස බහුතරයක් හිතන බොහිමියන් රැප්සොඩි ගීය ලියල එහි ලීඩ් ගායනය කරන්නෙත් ඔහු. ඉතිරි ටික මෙතන ලියන්නවත් ඕනෙ නැති තරම් ප්‍රකට කාරණා.

සැන්සිබාර් විප්ලවේ නොවෙන්න ඉතාම ඉහල සමාජයෙ උන් ධනවත් කොලෝනියල් පවුලෙ උන් ෆාරොක්ට උගන්නල හො බිස්නස් එකක් සෙට් කරල දීල මිනිහ එක්කො හරියට හෝ වැරදියට ඒක කරල ඔය පොඩි බැන්ඩ් එකකුත් හදන් රස්තියාදු වෙලා ටැන්සානියාවෙ හෝ සැන්සිබාරෙ ම ඉවරයක් වෙන ලොකු ඉඩක් තිබ්බ. මේ සියල්ල මෙලෙසින් වුනේ සැන්සිබාර් විප්ලවය නිසා කියල හිතන එක බොහෝ දුරට ලොජිකල්.

ඒ නිසා සැන්සිබාර් විප්ලවය ලෝකෙට දුන්න ඉහල ම දායාදය කියල මට හිතෙන්නෙ ෆ්‍රෙඩි මර්කරි ක්වීන් බෑන්ඩ් එක සහ බොහිමියන් රැප්සොඩි වගෙ නිර්මාණ.