Monday, June 6, 2016

කැළණි ගංවතුර - II (කැළණි ගඟ දකුණට හරවමු !!!)


කැළණි ගංවතුර  ගැන  ලියවුනු  පළමු  පෝස්ටුවේ  දිගුවකි.

අපි  කලින්  පෝස්ට් එකේ  කතාකලේ  ගංවතුර  ඇතිවෙන්න  බලපාන  දීර්ඝකාලීන  හේතු,  කොළඹ  නගරයේ  ව්‍යාප්තිය  සහ  ගංගාව  අවට  පෙදෙසේ  භූ  විෂමතාවය  ආදිය  ගැන.

වර්තමාන විසඳුම්

කැළණි  මෝයෙන්  වතුර  ඔක්කොම  ඔහේ  බහින  එක  හැරුණු විට,   දැනට  යෙදෙන  විකල්ප  විසඳුම්  මොනවාද  කියල හරියටම පැහැදිලි  නැහැ.

පහුගිය  ගංවතුර  සමග  පොම්පාගාර  පද්ධති  වලින්  ගන්වතුර  බැස්සීම,  කෝට්ටේ  ඇල  හරහා වතුර  බැස්සීම  ආදිය  ගැන ප්‍රවෘත්ති  වාර්තාකරුවන්   දේශපාලකයින්  එහෙම   කතාවෙනවා  දුටුවා. ලොක්  ගේට්ටු  වහලා  ගඟේ  වතුර  විවිධ  ස්ථාන  වලින් ඇල  පද්ධතියට පොම්ප  කිරීම [ඇලවල්  ගඟට  වඩා උස  නිසා]  තමයි ඒ  කතා  වලින්  ගන්න  තිබ්බ  අර්ථය.  එම  පොම්ප  කරන  ජලය  මුට්වොල්  උමග  වැල්ලවත්ත  ඇල,  වෙරස්ස ගඟ  ආදී  පෙදෙස්  කරා  යැවෙනවා.

ගඟේ  විශාල ගංවතුර  අවස්තාවක  හංවැල්ල  හරියෙන්  තත්පරයට  ඝන  මීටර  2700  ඉක්මවන  ධාරිතාවයකින්  වතුර  ගලන  බව  චමිලාගේ පෙර  සටහනේ  සඳහන් කල  පර්යේෂණයේ  සටහන්  වෙනවා. ලංකාවේ  භාවිතා වෙන  පොම්පාගාර  වල  ඇත්තේ  තත්  ට  ඝ මී 1.5  සිට  3  දක්වා  මෝටර්  කියලයි  කියවෙන්නේ.  යෝජිත  මට්ටමේ  තියෙනව  5, 10  වගේ. බොටම් ලයින්  එකනම්  මෙහෙම  පොම්ප  කරලා  විශාල  හානියක්  නවතාගන්න  බැහැ. එසේම අපි  විශාල  වියදමක්  දරල  තත්  ට  ඝ මී  100  ඉක්මවන  ප්‍රමාණයක්  පොම්ප  කළත්,  කොළඹ  ප්‍රධාන  නගරය  හරහා  ඒ  ජලකඳ  ගියොත්  නගරය  යටවෙනවා.  ඒ  කියන්නේ  පොම්පාගාර  සහ  කොළඹ  ඇලවල්  හරහා ලබාගන්න  පුළුවන්  සීමිත  වතුර  ඉවත්  කිරීමක්.  තත්  ට  ඝ මී දහස් ගණනක  ගංගාවේ  ගැලුම ට  සාපේක්ෂව  තත්  ට  ඝ මී පහක්  දහයක්  වගේ.

[ප.ලි] කෙසේ   වෙතත්  මේ  සටහන  කියවූ  අදාළ  ආයතන  වල  සේවය  කරන  අය  කියා  තියෙනවා  කැළණි  ගංවතුර  එහෙම  බස්සන්න  ක්‍රමවේදයක්  එයාලා  කරන්නේ  නැහැ.  ලොක්  ගේට්ටු  පවා  වහල  නගරයට  ඒ  වතුර  එන  එක  නවතා  දමනවා  කියලා.  පහල  තියෙන  මාදිවෙල  දකුණ  ව්‍යාපෘතිය  "ගංවතුරට  පිලියමක්"  කියා  මාධ්‍ය  තුලින්  දුන්නට  ඒ  ව්‍යාපෘතියෙන්  කතා  කරන්නේ  කොළඹ  වැසි  ජලය  බැස්සවීම  ගැන  කියා  ඔවුන්  කියනවා. ඒ  අනුව  කැළණි  ගංගාධාර  ගංවතුරට  විසඳුම්  හැටියට  ප්‍රසිද්ධ  මාධ්‍ය  කතාවෙන්නේ  කොළඹ  වැසි  ජලය  බස්සන  විසඳුම්  කියා  හිතන්න  වෙන්නේ.  මම  කලින්  පෝස්ටුවේ  මෙන්න  මෙහෙම  කිව්වේ  ඔය  පැටලවීම  නිසා.

"කැළණි ගංවතුර ගැන කතා කරන බොහෝ අවස්ථා වල අපි දකින තවත් පැටලිල්ලක් තමා කොළඹ වැසි ජලය බැසයාමේ ගැටළු නිසා ඇතිවන ගංවතුර එක්ක මේ කතාව පැටලෙන එක. මේ තත්වය අපි දැක්කා කැළණි ගංවතුර එක්ක සෙබස්තියන් ඇල කොළඹ අභ්‍යන්තරයේ ජලමාර්ග සහ මුට්වෝල් උමඟ ආදිය කතාවට සම්බන්ධ කිරීමෙන්. එහෙත් මේවා කැළණි ගන්ගාධාරයේ එන ගංවතුරට සම්බන්ධයක් නැහැ. අනික ගන්ගාධාරයේ වතුර එනකොට කරන්නේ සෙබස්තියන් ඇලේ කට ලොක් කරන එක. දැනට මෙට්‍රෝ කොළඹ පවතින ඇලවල් සහ ජලාශ අතරින් දියවන්නාව හැරුණුවිට සියල්ල කැලණියට වඩා උසින් වැඩි නිසා නගරයේ වර්ෂා ජලය ගඟට බස්සන එකයි ගංගාධාරයේ වර්ෂා ජලය නගරය දෙසට ගලන එකයි සිද්ධ වන්නේ දෙපැත්තට."


තව  සමහරු  කතා  කරපු තමයි කැළණි  වතුර  හැමිල්ටන්  ඇල  හා  මුතුරාජවෙල  වගුර  දිහාවට  යවන  එක.  එතන  අවුල  වෙන්නේ  ගඟ ඇල  වගුර  සහ  මුහුද  සියල්ලම  පවතින්නේ  එකම  වගේ  උසක.  ඉතින්  වතුර  වේගවත්ව  යන්නේ  නැහැ.  ඒ  වගේම  මේ  හරිය එනම්  කොළඹටත්  තව  ගඟේ  මෝය  දිහාට  වෙන්න  තියෙන  තැනකින්  හරවලා  කඩුවෙල  සිට  ඔරුගොඩවත්ත  දිහාවේ  වතුර  ගලන  එක  නවතන්න  බැහැ. කොහොමත්  දැන්  මුතුරාජවෙලත්  කැළණි ගඟෙන්   වෙන්  කරලා  ජනාවාස  හැදිලා  තියෙන්නේ.

ඒ  අනුව  කැළණි  ගංවතුර  සම්බන්ධයෙන්  ප්‍රබල විසඳුම්  දැනට  භාවිතාවේ   නැහැ.  ගංවතුර  වලකන  කිසිම  ක්‍රමයක්  නැහැ  වගේම  ගන්වතුර  ආවට  පස්සේ දැනෙන  ආකාරයට  ජලය  බස්සන  කිසිම  ක්‍රමයකුත්  නැහැ.

වෙනත්  ගැටළු

මූලිකම  ගැටලුව  ගන්  මෝයේ  වැලි  පිරීම. ඉඩම්  ගොඩකිරීමේ  සංස්ථාවේ  හිටපු  ප්‍රධානියෙක්  කියන  මෙන්න  මේ  මහත්තය  කියනවා මීට  පෙර  ගංවතුර  අවස්තාවක  පළමු  වැස්සත්  එක්කම  ඔහු  මෝය  සුද්ද  කල  නිසා  වතුර  ඉක්මනින්  බැස්සා  කියා.  කොළඹ  වරාය  දකුණ  දියකඩනය  නිසා දැන්  වැලි  පිරීම  වැඩි  බවත්  කියවෙනවා. 


 [පොඩි  නෝට්  එකක්  දාන්න  ඕනේ  ඒ  ලිපියේ  ඉගොයිස්ටික්  ගතිය  වැඩියි.  ගංවතුර  කාලෙට "අපේ  කාලේ  ඔහොම  නැහැ,  උඹලට  දැන්  කරගන්න  බැහැ"  වර්ගයේ  කතා  පත්තර  වල  නිතර  ලියවෙන  බව  දකින්න  ලැබුනා]


මාදිවෙල දකුණු  හැරවුම


 කැළණි  ගංවතුර  සමග  බොහෝ  දෙනෙක් කතාවෙන  එකක්  තමයි කෝට්ටේ  පැත්තෙන්  මාදිවෙල  දිහාවට  වතුර  අරගෙන  ඒවා වෙරස්ස   ගඟෙන්  බොල්ගොඩ  ජලාශයට  හරවන  එක. දැනටත්  අබලන්ව  පවතින  ඇල  පද්ධතිය  වඩාත්  වැඩිදියුණු  කරවීම. මාදිවෙල  දකුණ  හැරවුම  කියන  මේ  වැඩ  සටහන පහත  පින්තුරයෙන්  පේනවා.





ඒ  වගේම  එකක්  කතාවෙනවා  අඹතලේ  හරියෙන්  ජලාශයකට  වතුර  පොම්ප  කරන්න. මේ  වගේ  කොළඹ  ගංවතුර  බස්සන්න  කතාවෙන  විවිධ  ව්‍යාපෘති  තියෙනවා. හැබැයි  මගේ  පළමු  සටහනේ  කියූ  පරිදි  ගංගාධාර ගංවතුර  සහ  කොළඹ  වැසි  වතුර  මේ  කතාවේ  ගලන්නේ  දෙපැත්තට.  ඒ  දෙක  පටල  ගෙන  ලොකු  විසඳුමකට  යන්න බැහැ.

[ප.ලි.] ඉතාම  සරළව  පෙනෙන්නේ  මේ  එක  ව්‍යාපෘතියක්වත්  කැළණි  ගංගාධාර  ගංවතුර  වෙනුවෙන්  සැලසුම්  කළ  ඒවා  නොවන  බවයි. මෙය  අදාළ  ආයතනවල  සේවය  කරන  විසින්  ස්ථිරවම  ලබා දුන්නු  ප්‍රතිචාරයක්.

සහෝදර  බ්ලොග්  කාරයෙක්  වගේම  විෂය  විද්වතෙක්  වෙන  කස්සප ලියනවා  මෙන්න  මෙහෙම  ලිපියක්. කස්සපගේ විසඳුම්  වනුයේ  කොළඹ  නගරයේ  ස්වාභාවික  ව්‍යාප්තිය  සලකා  බැමි  පද්ධතිය  තවත්  ගඟ  දිගේ  ඉහලට  ගෙනයාම හෝ  ඔරුගොඩවත්ත  කොලොන්නාව  කඩුවෙල  පලාත්වල  අනාරක්ෂිත  ජනතාව  වෙනත්  පෙදෙස්  වලට  යැවීම.

කස්සපගේ  දෙවැන්න  ප්‍රායෝගිකයි  කියා  හිතන්නේ  නැහැ.  පළමුවන  විසඳුම  මූලික  ගැටලුව  එනම්  කොලොන්නාව  කඩුවෙල ආදී  පෙදෙස්  යටවීමට  විසඳුමක්  වුනත් ඒ  අදහස  එක්ක  මට  එකඟ  වෙන්න  බැරි  හේතු  දෙකක්  තියෙනවා.  එකක්  තමයි ඔහු  කියන්නේ  කොළඹ  නගරය  විසින්  ගඟ  අහුරන නිසා  කඩුවෙල  යටවෙන  තත්වය  තවත්  නැගෙනහිරට  යවන්න  කියන  එක.  ඒ  අනුව  කඩුවෙල  දක්වාම  ගඟේ  පැතිරීම  බැමි  වලින්  වලකා  දැම්මම  එන  වතුර  බහින්න  තැනක්  නැති  නිසා  හංවැල්ල  සීතාවකපුර  ආදී  පෙදෙස්  යටවෙනවා.  ඒ  වගේම  ගඟේ  උතුරු  බැම්ම උසින්  අඩු  නිසා වත්තල  ජා  ඇළ  ආදී  පෙදෙස්  යටවෙනවා. ඒ නිසා  මට  එය  සාර්ථක  විසඳුමක්  ලෙස  පෙනෙන්නේ  නැහැ. සමහරවිට  ඔහු  කියන  ආකාරයේ  බැමි  වලින්  ස්තානිය  වැදගත්කමක්  සහිත  ප්‍රදේශ  කීපයක්  වගේ  බේරන්න  පුළුවන්  වේවි.  එහෙත්  ඒ  වෙනුවෙන්  වෙනත්  කොහේ  හෝ  බිල්ලට  දෙන්න  වෙනවා.

මේ  කතන්දර  වලට  අමතරව  1961  සිට  සැලසුම්   කරපු  වැඩසටහනක්  තියෙනවා කැළණි  ගඟේ  කඳුකර  පෙදෙස්  වල  ජලාශයක්  හදලා  ඒ  වතුර  වයඹට  හරවන්න.  ඒ  සමග  ජල  විදුලියත්  නිපදවන්න.  විශාල  බැම්මක්  සහ  කිමි  අසූ  ගානක්  දිග  ඇලක්. මේකනම්  කලොත්  ගංවතුර  නවතියි.  එහෙත්  අධික  වියදම්  වැඩක්.  කරන්න  වෙන්නෙත්  ජනාකීර්ණ  ප්‍රදේශයක.  මේක  කලොත්  බොහෝවිට  ලංකාවේ  විශාලම  ව්‍යාපෘතිය  වෙන්න  පුළුවන්.


සියල්ල  සලකා  පෝස්ට්  එකට පස්සේ  ආපු  ප්‍රතිචාරත්  අනුව  මට  පෙනී  යන්නේ  කැළණි  ගඟේ  මෝසම්  කාලෙට  එන  වසර  පනහ  චක්‍රයේ  ගංවතුරක්  වලකන්න  දැනට  යෝජනා වෙන්නේ  අර  ජලාශයක්  හදන  එකම  පමණයි.  ඒ  නිසා  අපිට  මේ  ගැන  තවම  කතාවට  ගන්න  දේවල්  ඉතුරු වෙලා තියෙනවා.

බොල්ගොඩ ජලාශය

කැළණි  ගඟේ  කතාවේ  නොකිය  බැරිම  කොටස  තමයි   බොල්ගොඩ  ජලාශය.  පානදුර  නගරය  දෙපැත්තේ  පිහිටි  ජලාශ  දෙකක් ගොඩබිමින් සම්බන්ධ  කරමින්  පානදුර  මොරටුව  අතරිනුත්  පානදුර  වාද්දුව  අතරිනුත්  මුහුදට  වැටෙන  බොල්ගොඩ  ජලාශ  පද්ධතිය  ලංකාවේ  විශාලම  ජලාශ  පද්ධතිය.  වකිමි 394  ලෙස  මැනෙන  මේ පද්ධතිය  ලංකාවේ ලොකුම  ජල  වර්ගපලය  සහිත  කෘතීම  ජලාශය  වන  සේනානායක  සමුද්‍රයට  වඩා සැහෙන්න  ලොකුයි.  පද්ධතියට  ජලය  සපයන වේරස්ස  ගඟ (රත්මලාන බොරලැස්ගමුව  අවට),  සහ  මහා  ඔය  (පන්නිපිටිය මහරගම හෝමාගම  අවට)  වගේ  කුඩා ප්‍රාදේශීය   ගංගා  හැරෙන්න  වෙනත්  ස්වාභාවික  පෝෂකයක්  නැහැ.  


හැබැයි  බොල්ගොඩ  කියන්නේ  විශාල  ගංගාවක්  මුහුදට  වැටීමෙන්  සැකසෙන  එස්ටුවාරියක්. මේ  ගැන  පර්යේෂණ  කරපු  විද්වත්තු කියන  හැටියට  බොල්ගොඩ  කියන්නේ  අතීතයේ  කළුගඟ  මුහුදට  වැටුණු  එස්ටුවාරිය. කලකට පෙර  සාගර මට්ටම  මීට  වඩා  ඉහල  ගිය  කාලෙක  බොල්ගොඩ ට  ගලපු  කළු  ගඟේ  ඉවුර  බිඳෙන  නිසා  ගඟ  වර්තමාන  ක්‍රමයට  ගලන්න  ගත්තම බොල්ගොඩ  සැපයුම  නවතිනවා. සිතියම  බලන්න  කළු ගඟ  කෙලින්ම  යන්න  බොල්ගොඩ  දිහාට,  එක  තැනකින්  බොහොම  ලඟින්  මිස්  කරගෙන  තමයි හැරෙන්නේ. අද එතනින්  ඇලකින්  ඒ  දෙක  සම්බන්ධිතයි. 

මේකත්  ගන්නේ  ජයිකා  වාර්තාවකින්.








බොල්ගොඩ  කැළණි  ගඟට  වඩා ලෙහෙසියෙන්  වතුර  බහින  ඕනෑම වතුර  ප්‍රමාණයක්  දැරිය  හැකි  ගඟක්.  මුහුදු  මට්ටම පහත  කාලේ කළුගඟ  හාරපු  කැනියන්  එකක්  මුහුද  යට  තියෙන  බව කියවෙනවා.  ඒ  නිසා දිය  බැස්ම  ප්‍රබලයි.

බොටම්ලයින්  එකනම්  කැළණි  වතුර  යම්හෙයකින්  බොල්ගොඩ  ට හරවන්නේ  නම්  බොල්ගොඩ  අවට  පෙදෙසේ  ලොකු  වතුර  මට්ටම්  වෙනසකින්  තොරව  මුහුදට  ගලා  යන  බවයි. අද  වෙද්දී  ප්‍රබල  පෝෂකයක්  නැති  නිසා බොල්ගොඩට  තමන්ගේ  ලොකු  ජලකඳක්  එන්නේ  නැහැ.

යෝජනාවක්


දැන්  අපි  දකින  ගැටලුව  වෙන්නේ  කැළණි  ගඟේ  වෝටර්  හෙඩ්  එක  පහත  නිසා ගංවතුර බස්සන්න  බැරි  එකනේ.  ඒ  නිසා මේ  වැඩේ  ටිකක්  ගඟ  ඉහත්තාවෙන්  කරන්න  බැරිද?  කඩුවෙලට  ඉහලින්  කැළණි  ගඟ  බොල්ගොඩ  දිහාට  හරවන්න  බැරිද?

මෙන්න  ආයිත්  ගංගා  දෙකේ  සිතියම. ගත්තේ  මෙතනින් 







මේ  සම්බන්ධයෙන්  කතා කරන්න  සමෝච්ච  රේඛා  සිතියම්  අවශ්‍යයි.  මට  එහෙම  සිතියමක්  ලැබුනේ  මෙන්න  මේ  ප්‍රකාශනයෙන්. දළ  අදහසක්  පමණයි  ගන්න  පුළුවන්.





ඔය  භුමියේ  උස  පෙන්වන  සිතියමේ  මා  ඊ  තලයක්  ඇඳලා  තියෙන්නේ  කැළණි  ගඟේ  හංවැල්ල  සිට  බොල්ගොඩ  ද්‍රෝණියේ  මහ  ඔය  කියන  අත්ත  ගලන  නිම්නයක  පිහිටි  පොල්ගස්  ඕවිට  දිහාට.  ඒ  ප්‍රදේශයේ  පටු  නිම්න  තියෙනවා  උස  මීටර  10 , 20  අවට. ඒ  ප්‍රදේශ  අනෙක්  සිතියමේ  පෙන්නා  දෙන  ආකාරයට  නිතර  ගංවතුරට  ලක්වන  ජනාවාස  රහිත  වගුරු.

යෝජනාව  තමයි මේ  ප්‍රදේශ  යාකරලා  කැළණි  ගඟේ  විශාල  ජල  පරිමාවක්  කඩුවෙල  හංවැල්ල  අතර  හරියෙන්  පොල්ගස් ඕවිට  පැත්තට  හරවන්න  කියන එක.

මේක තනිකරම  ඇලකින්  කරන්න  බැහැ.  හංවැල්ල  අවටදී   කැළණි  ජල  මට්ටම  මීටර  දහයක්  පමණ.  ඒ නිසා ඇලවල්  වගේම  උමං  පද්ධතිත්  යොදා ගන්න  වෙන්න  පුළුවන්. ජනාවාස  පාරවල්  කඳුගැට  ආදිය  උමං  වලින් ක්ලියර්  කරගෙන  ඉතිරි  වගුරු  දිගේ  ඇල  මාර්ග  හරහා  වතුර  ගන්නවා  නම්  සැහෙන  කොටසක්  මහ  ඔය  දිගේ  ගලන්න  අරින්න  පුළුවන්  වෙයි.  මොන  ආකාරයට  කලත්  අඩුම  ගණනේ  තත්  ට  ඝ මී  100  ඉක්මවන  ප්‍රවාහයක්  එන්නේ  නැතිනම්  තේරුමක්  නැහැ.  ඇලමාර්ගය  දිගේ වතුර පරිමාව වැඩි  වුනත්  වගුරු තත්වය  නිසා ඒවා මිනිසුන්ට  ලොකු  හානියක්  නොවී  රඳවාගෙන   බොල්ගොඩ  පැත්තට  යවන්න  පුළුවන්.

මේකත්  ඉතා  ලාබදායි  සරල  වැඩසටහනක්  නෙවි.  එහෙත්  අර  ජලාශය  හදන  එකට  වඩානම්  බොහෝ  සෙයින් අඩු  මිලකින්  කල  හැකි  වේවි.  මේ දිනවල  කෙරීගෙන  යන  උමා  ඔය  වැඩපිළිවෙලේ  මෙහෙම  උමගක්  තියෙනවා  කිමි  15  ට  වඩා  දිගයි [බදුල්ලේ  භූගත  ජල  සංචිත  නිසි  අධ්‍යනය  නොකිරීමෙන්  වෙච්ච  අවුල්  මේකට  ගාවන්න  එපා -  ඒවා  ඉංජිනියරින්  මිස්ටේක්ස්].

හැබැයි  බ්ලොග්  පෝස්ට්  දෙකක්  දිගට  ලියන්න  තරම් සැහෙන  මහන්සි  වෙලා හෙව්ව  කැලණි ගඟේ  ගංවතුර "වලකන්න"  තියෙන  හොඳම  ක්‍රමයක්  මේක  කියලා  මට  හිතෙනවා.  බොහෝ  විට  එකම  ප්‍රායෝගික  ක්‍රමය  ඕක  විතරක්  වෙන්න  පුළුවන්.

1989  වසර 50  චක්‍රයේ  ගංවතුර  එද්දී  තිබ්බ  පිට්ටනි  වල කුඹුරු  වල  දැන්  මිනිස්සු  පදිංචි  වෙලාලු.  නිකමට  හිතන්න  වසර 50  චක්‍රයේ  ඊ  ගාව  එක  එද්දී  කොහොම  තත්වයක්  තියේවිද? ඒ  නිසා  අර  කොලොනියල්  කාලේ  ඇලවල්  මත්තේ  එල්ලිලා  වතුර  බස්සන්න  පොම්ප  හයි  කරනවාට  එහායින්  හිතල  "ගංවතුර  වැළකීමේ"  ක්‍රමවේදයකට  ඉක්මනින්  නොගියොත්  ඊ  ගාව  එක  ලොකු  ව්‍යසනයක්  වෙන්න පුළුවන්.






Sunday, June 5, 2016

කැළණි ගංවතුර - I (අතීතය සහ වර්තමානය)

පොඩි බ්‍රේක්  එකක් ගන්නවා කියල  ගිහින් කෙලින්ම අවුරුද්දක් මේ බ්ලොග් එක  නවතා දමා තිබ්බා. 2016  මැයි මාසේ කැළණි ගඟේ  ආපු ගංවතුර වගතුග ආයිත් ලියන්න පටන් ගන්න  හොඳ හේතුවක්. අපි  එතනින්  ආපහු පටන් ගම්මු.

කැළණි ගංවතුර සම්බන්ධයෙන් විවිධ ලිපි  කියවන්න පටන් ගැනුනේ  ඉබේම වගේ.  මම මේ  සම්බන්ධ  විෂය විද්වතෙක් නොවුණත්, විෂය  සම්බන්ධයෙන් බොහෝ  දේ  ලියවී  ඇති  නිසාත්  තාක්ෂණික  සහය  සපයන්න  පෙළඹුණු  තම  පර්යේෂණ ප්‍රකාශන  ලබාදීලා  උදව්  කරපු  විෂය  විද්වතුන් කීප  දෙනෙකු නිසාත්  මට  මේ  සටහන සම්පුර්ණ  කරගන්න පුළුවන්  වෙන්නේ.

විශේෂ  ස්තුතිය  යන්න  ඕනේ ඔරිජිනලි  මේ  ප්‍රශ්නය  මතු  කල  උදිත  මීගහතැන්නටත්,  පර්යේෂණ  ප්‍රකාශන, ව්‍යාපෘති සැලසුම් ආදිය  ලබා දී  උපකාර  කල  චමිලා නිරෝෂිනී, නදීෂා  චන්ද්‍රසේන  සහ  කස්සප  දෙව්මිණි ගම්ලත්  වැනි  විෂය විද්වතුන්ටත්, පුවත්පත්  වාර්තා  ලබා  දුන්නු  තරිඳු උඩුවරගෙදර, හෂිත අබේවර්ධන සහ සුභාෂ් වීරතුංග  ජයවර්ධන වැනි  විෂය  ගැන  උනන්දුවක්  දක්වන සහ මාධ්‍යකරණයේ  නියුතු අයටත්.

සටහනේ මූලික අරමුණ කැළණි  ගංවතුර ගැන කියවන්න  යෙදුනු  දේවල් එක  තැනකට  ගන්න  එක. ඒ නිසාම  ඔබ  දන්නා  වෙනත්  මූලාශ්‍ර  තියේනම් ඒවා  මෙතනට  එකතු  කරන්න.  ඒ  සමග  පෝස්ට්  එක  තවත්  දිගට  ලියවෙයි.  හැබැයි  මගේ  අදහස්  සහ  යෝජනාත්  මීට එකතු  වෙනවා.  විෂය  විද්වතෙක්  නොවුනත්  මට  හිතෙන මතයක්  මට  හැකි   පමණ  ස්තාවරත්වයකින්  ඉදිරිපත්  කරන්න  බලාපොරොත්තු  වෙනවා. සටහන  දිගු  වීම  ගැනනම්  කරන්න  දෙයක්  නැහැ. බොහෝ  විට  කොටස්  දෙකකට  කඩන්න වෙයි.



අතීතය 

කැළණි  ගඟ  කියන්නේ  සැහෙන  දුරක් ඉතාම පහත්  තැනිතලාවක් දිගේ ගලන  විශාල  ජල ප්‍රවාහයක්  සහිත ගඟක්. ඇවරේජ් ඩිස්චාජ්  එක  (වාර්ෂික) අනුව  දෙවැනි විශාලම  ගඟ. කැළණි  ගඟේ  ජලය මුදාහැරීම  මූලිකව  පවතින්නේ  මෝසම්  කාලයට  පමණයි. ඉතිරි  කාලෙට  ගඟ දිගේ  ලවන  ජලය ඉහලට  ගලනවා. ඒ කියන්නේ   කැළණි ගඟ මෝසම්  කාලෙට  එක  පාරට විශාල  ජල  ප්‍රමාණයක්  ඉතාම  පහත, මුහුදු මට්ටමට  ආසන්න ප්‍රදේශයකට මුදාහරින බව. මේ  නිසා  ගඟේ  නැවුම් ආශිතව පිටාර  තැනි  බිහිවෙනවා.  අතීතයේ  කැළණි ගඟ  වර්තමාන  කොළඹ  නගරය  මෙන්ම  ජා ඇල  වත්තල  ආදී  ප්‍රදේශ  හරහා  මෙසේ  පිටාර  ගලන්න  ඇති.  කොළඹ  නගරයේ  හා  අවට  පෙදෙස්  වල  පැතිරුණු   වගුරු  පද්ධතියක්  පවතින්න හේතුව ඒ  කැළණි  ගඟේ  පිටාර තැන්න  නිසා. 

කැළණි  ගඟ හරස්  කරලා හදන මුල්ම  ජනාවාසය  වනුයේ  නිශ්ශංක  අලගක්කෝනාර කැලණියේ  ජලය  බස්සවා  තැනු කෝට්ටේ  [බලකොටුව] පසුව  මෙය  අගනගරයක්  වෙනවා.  ඊට  ටික  කලකට  ප්‍රතුගීසින් කොළඹ  නගරය  තම  වාසස්ථානය කරගන්නවා.  පෘතුගීසින්  කොළඹ  කිව්වේ  වර්තමාන ගාලු  මුවදොර  හරියේ  ඉඳලා  කොටුව දිහාට  තියෙන   කඳුගැටයක්  වැනි පෙදෙස. මේ  වෙද්දී  වර්තමාන දකුණු කොළඹ  වගුරේම  කොටසක්.  කැළණි  ගඟ  එතනින්  පිටාර ගලන්න  ඇති.  මෙම වගුරෙන් කොටසක් ජලාශයක්  බවට  පත්කරන්නේ පෘතුගීසින්.  බෙරේ  වැව  ලෙස හඳුන්වන ජලාශය නිර්මාණය කරගන්නේ  රාජසිංහ  රජුගේ  ආක්‍රමණ  වලින්  නගරය  බේරා ගන්න. මේ  වගුරු  කොළඹ  හා  කෝට්ටේ  මැදින්  ගඟට  සම්බන්ධ  වී  තිබුණු  බවට  පහත  ඕලන්ද  සිතියම  සාධකයක්. එහි  ලොකු  කොටු  වශයෙන්  තියෙන්නේ  වගුරු  හෝ කුඹුරු.







ලන්දේසි යුගය සහ සෙබස්තියන් ඇල 

ලන්දේසින් කොළඹ කොටුව පුළුල්  කරද්දී  කොටුවට  මදක්  උතුරෙන්  වේල්ලක්  බන්දලා කැළණි  ගඟ  එක්ක  ඇති  වගුරු  සම්බන්ධය  බිඳ  දමනවා. අද  වේල්ල  වීදිය  කියන්නේ  එතන. ඒ  සමගම  ඔවුන් එතනින්  ඇල මාර්ගයක්  දානවා. සෙබස්තියන් ඇල  ලෙස  ප්‍රකට  වෙන  මේ  ඇල  බෙරේ වැව  සහ  කැළණි  ගඟ  සම්බන්ධ  කරනවා.  ගූගල් ගෙන්  හොරකම් කල  මේ  සිතියමේ  තියෙන්නේ  ඒ  ඇල.


 වර්තමානයේ  සෙබස්තියන්  ඇලේ  කොටසක්  කොළඹට  නැගෙනහිරින්  ගිහින්  කෝට්ටේ  ඇලට  වගේම  නාවල  දිහාවෙන්  වැල්ලවත්ත  ඇලටත්  තව  දෙහිවල  නැදිමාල  බෙල්ලන්තර  කවුඩාන ඒ  වගේම  කෝට්ටේ මාදිවෙල  වගේ  පැතිවලින් ඇවිත්  වේරස්ස  ගඟටත්  සම්බන්ධ  වෙනවා.  ඒ  වගේම  මුතුවැල්ල  හෙවත්  මුට්වෝල්  හරියෙන්  උමඟකින්  මුහුදට  ගලා බහිනවා.

ඕලන්දක්කාරයින් මේ  ඇල  තනන්නේ  ගොඩබිම්  ප්‍රවාහනය  දුබල  කාලේ  නගරයට  ප්‍රවාහන  මාධ්‍යයක්  ලෙස  භාවිතා  කරන්න.  සෙබස්තියන්  ඇලේ  මැද  හරිය  කැළණි  ගඟට  වඩා  උසයි.





මුතුරාජවෙල 


කැළණි  ගඟ  මෝය  ආසන්නයට ගලද්දී  මුතුරාජවෙල  වගුර  හමුවෙනවා  එය  තියෙන්නේ  කැළණි  ගඟට  උතුරට  වන්නට, එයත්  ගඟේ  නැම්මක  පවතින  පිටාර  තැන්නක්.  මුතුරාජවෙල  ඉස්සර  කැළණි  ගඟේ  සිට  මීගමුව  දක්වාම  පවතින්න  ඇති,  එහෙත්  දැන්  ඉතුරු  පුළු  ප්‍රමාණයක්  පමණයි.  මුතුරාජවෙලට  සමාන්තරව  ඕලන්ද  කාරයින්ගේ  ඇලක්  යනවා.  මුතුරාජවෙල  දැන්  කැළණි  ගඟට  සම්බන්ධ  වන්නේ  නැහැ  ම අ දන්නා  තරමින්. එය වර්තමාන  සිතියම්  වල  එතරම්  විශාල  ලෙස  නැති  නමුත්  මාර්ග  සැලසුමක   පහත  පැරණි  සිතියමෙන්  පෙනෙනවා වඩාත්  පැහැදිලිව.

මුතුරාජවෙල  හරියේදී  ගඟ  මුහුදු  මට්ටමට  ආසන්නයි.    




ඉංග්‍රීසි  යුගය

 
ඉංග්‍රීසි  යුගයේ  කැළණි  ගඟේ  දකුණු  පිටාර  තැන්න  අහුරමින් කරන  ඉඩම්  ගොඩ  කිරීම නිසා  තමයි  අද  තිඹිරිගස්යාය  තුම්මුල්ල  හරියේ  ඉඳලා  නාරාහේන්පිට  වෙනකම්  තීරුව  ගොඩබිමක්  වන්නේ.  මේවාත්  ගඟෙන්  අල්ලපු  ඉඩම්.  කොළඹ  හත  කියන සැලසුම්  කල කොළඹ  ටිකක්  ලස්සන හරිය  හදන්නේ  එහෙම.

මේ  කාලේ  මතය  අනුව  මූලික  වැදගත්  පෙදෙස  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  නිසා  
[ග්‍රෑන්ඩ් පාස්  පෙදෙසේ සිට] ඉවුරට  ආරක්ෂක  පවුරු  දමනවා නගරය  ගංවතුරෙන්  බේරාගන්න. හදිසි  ගංවතුර  තත්වයකදී  කැළණි  ගඟ  සෙබස්තියන්  ඇල  හරහා  කොළඹ දිහාට  උතුරන  එක  වලකන්න  ග්‍රෑන්ඩ්පාස්  හරියෙන් ලොක්  ගේට්  එකක්  දානවා,  නෝත්  ලොක්  ගේට්  කියන්නේ  ඒකට.

ඒ  අනුව  ගඟ  හරහට  නගරය පුළුල්  කරලා  නගරය පමණක්  බේරනවා. ඒ කාලේ  දැක්මෙන්  ඔරුගොඩවත්තේ  විතර  ඉඳලා  කඩුවෙල  දිහාට  පෙදෙස  බේරාගන්න  ලොකු  උනන්දුවක්  නැහැ  මොකද  ඔය  කියන  කාලේ ඒවායේ  වැඩි  [උසස්  සමාජයේ] ජනගහනයක්  නැති  නිසා වෙන්න ඇති.  ඒ  අනුව  ගඟේ  ස්වාභාවික  ගමන  බාධා කරලා නගරය පුළුල්  කිරීමෙන් නගරයට  කලින්  ගඟේ  පිහිටි  එම  පෙදෙස්  යටවීම  ඔවුන්  බලාපොරොත්තු  වූ තත්වය  වෙන්න ඕනේ.

පහත  "ස  රස" කොමෙන්ටුවක  කියන පරිදි ලොක්  ගේට්ටු  කැළණි  ගඟට  ගලන  හැම  ඇලකම  වගේ  තියෙනවා.  මේ  ලොක්  ගේට්ටු  වලින්  මනාව  පැහැදිලි  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  පමණක්  බේරාගන්නට  එවකට  පාලකයින්  දැක්වූ  උනන්දුව.  නගරයේ  වතුර  ගඟට  බස්සන්නත්,  ගඟේ  වතුර  නගරය  හරහා  පුරුදු  විදිහට  ගලන  එක  නවතන්නත්  තමයි  ඉවුරු  වල  පවුරු  බන්දලා  ලොක්  ගේට්ටු  දාන්නේ.  මේ  හේතුව  නිසා  කැලණියේ  පිටාර තැනි  වලින්  මුහුදට  ගැලීම  නැවතෙනවා.  ඒ  බ්ලොක්  වෙච්ච  වතුර  තමයි දැන්  ගංවතුරක්  වන්නේ.

පසුකාලීනව  කෙරෙන  වැඩේ  තමයි  කිසිම  සැලසුමකින් තොරව  ඒ  යටවෙන්න  නියමිත  පළාතේ  ජනාවාස  පුළුල්  කිරීම. අද  ගඟ  දිගටම  විශාල  ජනගහනයක්  සහිත  මහා  නගර  සභා  කීපයක්  තියෙනවා. එතනින්  එහාට  ගියත්  මිනිස්සු  දිගටම  පදිංචිව  ඉන්නවා.

කැළණි ගඟ 

කැළණි  ගඟේ  හැසිරීම  ගතහොත්  ගංවතුර  චක්‍ර  තුනක්  ගැන  කියවෙනවා,  වසර  පහකට, දහයකට  හා පනහකට  වරක්  ලෙස - කාලය  වැඩි  වෙද්දී  ප්‍රමාණාත්මකව  විශාලයි.  මේ  චක්‍රීය  කාලයන්  සරල  සාමාන්‍ය  අගයන්  පමණයි.  වසර  පනහකට  වරක්  එන  මහා  ගංවතුර  අවසාන වරට  ආවේ 1989.  ඊට  වසර  27  කට  පස්සේ  2016  ආපු  ගංවතුර  ඒ  වසර  පනහ  චක්‍රයේ  ඊ  ගාව  එක  කියා  හිතන්න  පුළුවන් [පර්යේෂණාත්මක  දත්ත  තවම නැහැ]

මේ  වසර  පනහ  චක්‍රීය  ගංවතුර  වේගයෙන්  ව්‍යාප්ත  වෙන  ජනාවාසකරණය  තුල  සැලකිල්ලට  ගන්නේ  නැහැ.  කඩුවෙල  පැත්තෙන්  හොයා  බැලුවොත්  දකීවි  1989  යටවෙච්චි ඉඩම්  පිට  පැතිවල  අයට  විකුනපු  බවත් මෙවර  යටවුණේ  ඔවුන්ගේ  නිවාස බවත්.  ඒ අනුව  ගැටලුවේ  ප්‍රධානම  අර්බුදය  කෙටිකාලින  දැක්මක්  එක්ක  කෙරෙන  නගර  ව්‍යාප්තියට  දිගුකාලින  ගංවතුර  චක්‍රය  නිසි  ලෙස  අවබෝධ  නොවීම  කිව්වොත්  වඩාත්  නිවැරදියි.

කැළණි  ගංවතුර  ගැන  කතා  කරන  බොහෝ  අවස්ථා  වල  අපි  දකින  තවත්  පැටලිල්ලක්  තමා  කොළඹ  වැසි   ජලය  බැසයාමේ  ගැටළු  නිසා  ඇතිවන  ගංවතුර  එක්ක  මේ  කතාව පැටලෙන  එක.  මේ  තත්වය  අපි  දැක්කා  කැළණි  ගංවතුර  එක්ක  සෙබස්තියන්  ඇල  කොළඹ  අභ්‍යන්තරයේ  ජලමාර්ග  සහ  මුට්වෝල්  උමඟ  ආදිය  කතාවට  සම්බන්ධ කිරීමෙන්.  එහෙත්  මේවා  කැළණි  ගන්ගාධාරයේ  එන  ගංවතුරට  සම්බන්ධයක්  නැහැ. අනික  ගන්ගාධාරයේ  වතුර  එනකොට  කරන්නේ 
සෙබස්තියන් ඇලේ   කට  ලොක්  කරන එක.  දැනට මෙට්‍රෝ කොළඹ  පවතින  ඇලවල්  සහ ජලාශ  අතරින්  දියවන්නාව  හැරුණුවිට  සියල්ල  කැලණියට  වඩා උසින්  වැඩි නිසා  නගරයේ  වර්ෂා  ජලය  ගඟට  බස්සන  එකයි  ගංගාධාරයේ  වර්ෂා ජලය  නගරය  දෙසට  ගලන  එකයි  සිද්ධ  වන්නේ  දෙපැත්තට.

භූ  විෂමතාවය  සැලකුවොත් ගඟ  ඉතාම පහත  මට්ටමකින්  ගලන්නේ. කැළණි ගංවතුර  ගැන  වටිනා  පර්යේෂණ  රාශියක්  කරපු  චමිලා  නිරෝශානි ගේ  මේ  පර්යේෂණයෙන්  උපුටාගන්නා  පරිදි  කොළඹ  ආසන්නයේ  ගඟ  මුහුදු  මට්ටමින්  මීටර  දෙකක්  විතර  තමා  උස.  හංවැල්ල  ප්‍රදේශයේදී  මීටර  දහයක්  පමණ. දකුණු  දිහාවට  ගලන  ගඟ  හංවැල්ලෙන් අංශක  අනුවක  නැම්මකුත්  ගන්නවා.  ඊට  පස්සේ  අහුවෙන  පහත්  බිමේ  දඟර  ගැහෙමින්  ගලන්නේ.

පහත සිතියම  ගන්නේ ජයිකා  පර්යේෂණ  වාර්තාවකින්.


ඒ  අනුව  ඇත්තෙන්ම  දැන්  සිද්ධ  වන්නේ  ගංගාධාරයේ  එන ගංවතුර  හංවැල්ල  හරියේ  සිට  පිටාර  තැනි  වලට  එකතු  වෙන්න  පටන්  ගැනීමයි. ගඟ  පහලින්  ඇති  කොළඹ  මෙට්‍රෝ  පෙදෙස  නිසා  ඒවා  මුහුදට  ගලන්න  විකල්ප  මාර්ග  නැහැ.  වෝටර්  හෙඩ්  එක  මදි  නිසා  [මු මට්ටමට  වතුරේ  උස] වේගයෙන්  බහින්නේත්  නැහැ.  ඒ  නිසා ඒ  ඔක්කොම  වතුර  ගඟ  දිගේ  ගලනකම්  දෙපැත්තේ  පහත්බිම්  වලට  ගංවතුර  පිරෙනවා.

මෙහි  දෙවැනි  කොටසින්  මේ  ගැටලුවට  වර්තමානයේ  දී  ඇති  විසඳුම්  සහ  අනාගතයේ  දෙන්න  යන විසඳුම්  එක්ක  මගේ  අදහසත්  ලියන්න  බලාපොරොත්තු  වෙනවා.