Sunday, December 31, 2017

ෆර්ගනා නිම්නයේ ස්පයිරල දේශසීමාව

වරින් වර අහපු ප්‍රශ්න කීපයක් සාමාන්‍ය දැනීම සමූහ වල.

ලෝකයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා රටවල් තුනක් විසින් අයිතිවාසිකම් කියන. මේ රටවල් වල අයිතිය නිරවුල් ලෙස වෙන්කිරීම අසීරු නිසා එයාලගේ වාර්ගික වෙනස්කම් මත තමා බෝඩර් එක හැදෙන්නේ. පොඩි පොඩි බෝඩර් වලි සුලබ තැනක්. අපි රටවල් තුන A, B, C කියමු.

මේ ප්‍රදේශයෙ තියෙනවා A රට තුල B ට අයිති එක්ස්ක්ලෙව්  එකක්. හැබැයි ඒ එක්ස්ක්ලෙව් එකේ ඉන්න මුළු ජනගහනයම වගේ වාර්ගිකව C රටේ මිනිස්සු.

1. ප්‍රදේශයට කියන නම කුමක්ද?

2. එක්ස්ක්ලෙව් එකේ නම මොකද්ද ?

3. A, B, C රටවල් මොනවාද?

4. [බෝනස්] එම ප්‍රදේශය වටපිටාවෙන් වෙන් වන්නේ භූගෝලීය ඉතිහාසයේ වැදගත් අතීත සිද්ධියක් නිසා ඒ මොකද්ද?

--------------------

උත්තරය ෆර්ගනා [ෆෙර්ගානා, ෆර්ගොනා] නිම්නය සහ සොඛ් දිස්ත්‍රික්කය. A, B, C රටවල් පිළිවෙලින් කිර්ගිස්තාන්, උස්බෙකිස්තාන් සහ තජිකිස්තාන්.

ෆර්ගනා කියන්නේ මධ්‍යම ආසියාවේ කඳුවලින් වටවූ පහත නිම්නයක්. මේ ස්ථානය හා අවට කලාපය [බැක්ට්‍රියාව ටරීම් පහත්බිම] ඉතා දීර්ඝ ශිෂ්ටාචාර ඉතිහාසයක් සහිතයි. ආර්ය ජනයා සංක්‍රමණ අතර මෙහි බොහෝ දිගු කලක් විසු නිසා [වසර තුන්දාහකට පෙර] මෙය සමහරු ආර්යයන්ගේ මුල් බිම ලෙස සලකනවා. එසේම පර්සියානු කියල ලෝක ප්‍රසිද්ධ වන ශිෂ්ටාචාරය හදාපු ඉරාන් වරු එන්නෙත් මේ හරියෙන්. පසු කාලීනව ෆර්ගනා වල මායිමට සයිරස් ඇලෙක්සැන්ඩර් සහ අශෝක හදන අධිරාජ්‍ය එනවා. කුෂාන් අධිරාජ්‍යය මේ පෙදෙස් පාලනය කරනවා. තජික් වරුන්ගේ පැරණි ශිෂ්ටාචාරයක් වන සොග්දියා රාජ්‍යය පිහිටුවන්නෙත් මෙතන. සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක්.

ඒ අතීතය කෙසේ වෙතත් මෑතක් වෙද්දී මේ ප්‍රදේශය වාර්ගික ලෙස මිශ්‍ර වෙලා තියෙන්නේ. ටර්කික් ජනයා වන උස්බෙක් කිර්ගීස් වගේම ෆාසි සම්බ්භවයක් සහිත තජික් වරුන් එකිනෙක සමග මිශ්‍රව ඉන්න පෙදෙසක්, මීට අවු 150 ට විතර පෙර රුසියානු අධිරාජ්‍යයට යටත් වෙන්නේ. ඒ සමග රුසියානු පාලක ප්‍රජාවකුත් හැදෙනවා.

මේ කලාපය මධ්‍යම ආසියාවේ ජන ඝනත්වය අධික පෙදෙසක් [සාපේක්ෂව]. උස්බෙකිස්තානයේ නම් අධිකම ජන ඝනත්වය තියෙන්නේ මෙහෙ. අගනුවර පවා තියෙන්නේ ෆර්ගනා ප්‍රදේශය ආසන්නයේ. තජිකිස්තාන් සහ කිර්ගිස්තාන් දෙකේත් ජන ඝනත්වය අධික පෙදෙසක් මේ.

ඒ නිසාම වාර්ගික විවිධත්වය සහ මිශ්‍රණය අධිකයි. ගමින් ගමට වාර්ගිකත්ව වෙනස් වෙනවා. මේ කලාපයේ ජන මිශ්‍රණය කෙතරම් අධිකද කිව්වොත් ඉස්සර කාලේ එය රටවල් ලෙස කොහම බෙදිලා තිබ්බත් දේශ සීමා මේන්ටේන් කර නෑ. මොකද ඒ ජන කොටස් එකිනෙකා එක්ක සම්බන්ධ නිසා. මේ තත්වය වෙනස් කර ප්‍රදේශ සීමා දාන්නේ සාර් රුසියන් සහ සෝවියට් රජයන් විසින්. හැබැයි අභ්‍යන්තර සමූහාණ්ඩු වන උස්බෙක් කිර්ගීස් සහ තජික් ප්‍රදේශ සීමා නිර්ණය කලාට ඒ කාලෙත් බෝඩර් එකක් තිබිලා නෑ. මේ ප්‍රදේශ සීමා දාද්දි වාර්ගික බහුතර බවට මුල්තැන දෙන්න ගිය නිසා ඒ ඒ ජනවර්ග සුලබ පෙදෙස් ඒ ඒ සමූහාණ්ඩුවට දෙන්න ගිහින් මෙතන හැදෙන්නේ ස්පයිරලයක් වගේ වටේ එතෙන සිහින් තීරු තුනක්. තීරු තුන ෆර්ගනා නිම්නය මැද ලක්ෂයකින් ඉවර වන්නේ.

කෙසේ වෙතත් සොඛ් දිස්ත්‍රික්කය නම් කිර්ගී
ස්තානය ඇතුලේ පිහිටි තජික් බහුතර ප්‍රජාවක් ඉන්න කෑල්ල උස්බෙකිස්තානයට අයිති එක්ස්ක්ලෙව් එකක් ලෙස නම් කරන්නේ සෝවියට් වරු. හේතුව අපැහැදිලියි. කතා සහ ජෝක් තියෙනවා. එක ජෝක් එකක් තමා සොඛ් දිස්ත්‍රික්කය කිර්ගිස් සහ තජික් කොමියුනිස්ට් පක්ෂ ලොක්කෝ දෙන්න උස්බෙක් ලොක්ක එකක් කාඩ් ගේම් එකක් පැරදිලා අහිමි වුනා කියන එක. කෝමත් ඔය අමුතු දේශසීමාව හදාපු එක ගැනත් සෝවියට් ජෝක්ස් තියෙනවා. ගමින් ගමට ගිහින් උඹලගේ ජාතිය මොකද්ද්ද කියල අහල පාට තිත් තියලා. ඒවා යා කලාලු. එතකොට ස්පයිරල් ආම් තුනක් ආවලු.

දැන් ඔහොම වෙලා අවසානේ සෝවියට් දේශය කැඩිලා යනවනේ. එතකොට මේ රටවල් තුන නිදහස් වෙනවා. මේවා දේශ සීමා වෙනවා. ඒ වෙලත් කාලයක් යනකම් ෆර්ගනා කලාපයේ ජනයා නිදහසේ ඉඳල තියෙනවා. එහෙත් සොඛ් කලාපයේ වැඩිවන ඉස්ලාමික අන්තවාදය සහ බෝඩර් වලි නිසා බෝඩර් හමුදා අතර වෙඩි තබාගනීම් ආදිය නිසා අද මේ දේශ සීමා තදින් මාක් කරලා බෝඩර් පෝස්ට් දාලා බෝඩර් වල බිම්බෝම්බ වලලා දාල තියෙන්නේ. වෙනත් බසකින් කිව්වොත් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ කඩා වැටිලා. ගමේ එළවලු ටික ටවුමට ගෙනියන්න දැන් ස්පයිරල් දිගේ යන්න වෙනවා. හොරෙන් රිංගන්න ගිහින් බිම්බෝම්බ වලට අහුවෙන එකත් සුලබ සිද්දියක්. ඒ වගේම නිතර බෝඩර් වල වෙඩි තියාගන්න සහ ඉඳහිට සෙබලෙක් මැරෙන කලාපයක්. ඒ ඔක්කොම උඩින් ඉස්ලාමික අන්තවාදය තජිකිස්තාන් සහ කිර්ගිස්තාන් දිහාවලින් එනවා. තරමක අන්රෙස්ට් එකක් සහ ටෙන්ෂන් එකක් තියෙන තැනක්. ඇවිලෙන්න ආසන්න බිම්කඩක්.


මේ දේශසීමාව යුනික් වෙන්නේ මෙතන පෑන් හැන්ඩ්ල් හෙවත් ගොඩ තුඩු තුනක් තියෙන එකම තැන නිසාත් මෙහෙම ස්පයිරල් එකක් වගේ කැරකුණ එකම තැන නිසාත්. සොඛ් දිස්ත්‍රික්කය වගේ එක රටක ඇතුලේ වෙන රටකට අයිති තවත් තුන්වෙනි රටක මිනිස්සු ඉන්න අමුතු සීන් එකත් වෙන කොහේ වත් ඇද්ද මන්දා. නැගෙනහිර ජෙරුසෙලම ආසන්න ලෙස තෘප්ත කරනවා එහි අයිතිය ජෝර්දානය සතුනම්.

එම ප්‍රදේශය වටපිටාවෙන් වෙන් වන්නේ භූගෝලීය ඉතිහාසයේ වැදගත් අතීත සිද්ධියක් නිසා. අතීත කිව්වේ භූගෝලීය ඉතිහාසය එනම් වසර මිලියන දෙසීයක් විතර ඉස්සර දෙයක්. මේක ලිව්වේ අපි මේ ගැන කලින් කතා කල නිසා. ඔය කලාපය තමා ඉස්සර පැන්ජියා මහාද්වීපය විසින් වටකළ ටෙතිස් සාගරයේ පූර්ව අවස්ථාවේ ආසියානු බ්ලොක් එකේ දකුණු වෙරළ. තුර්කිය ඉරානය ඇෆ්ගනිස්තානය ටිබෙටය මලයාව ආදී පෙදෙස් සිමරියා කියා හැඳින්වෙන මහද්වීපික පටියක් පහල සිට ඇවිත් ඒ ආසියාවට සවිවීමෙන් තමා හැදෙන්නේ. මේ සමග පූර්ව ටෙතිස් සාගරය නැතුව යනවා නව ටෙතිස් සාගරය කියල එකක් වඩාත් දකුණෙන් හැදෙනවා. මේ මහද්වීපික ගැටුම නිසා කොකේසස් අල්තායි ටියෙන් ශාන් වගේ කඳු මෙන්ම පාමීර් තැන්නත් හැදෙනවා. එතකොට එක මහද්වීපික තට්ටුවක් යට යාම නිසා පහත්බිම් සෙට් එකක් හැදෙනවා ඒ තමා කළු කැස්පියන් ඇරල් මුහුදු සහ බැක්ට්‍රියා ෆර්ගනා ටරීම් ආදී බෙසින්ස්. පූර්ව ටෙතිස් සාගරයේ ශේෂ කියා හිතන්න තියෙන්නේ ඔය ටික. ඒ නිසාම ඛනිජ තෙල් තියෙන පෙදෙස්. ෆර්ගනා වලත් තෙල් ඇති කියල හිතනවා. අවාසනාවකට එහෙම උනොත් මේ ඇවිලෙන්න ළඟ දේශසීමා බෝම්බෙ පුපුරනවා.

මේ පින්තුරේ KR සහ TM කියන පෙදෙස් එනම් කසාක් සහ ටරීම් වලට පහලින් ඔය පාතින් එන භූ තැටිය යට බහින කොට තමා ෆර්ගනා ඇතුළු පහත්බිම් පටියක් හැදෙන්නේ. ඔය පින්තුරය වමි 250 පෙර ලෝකය ගැන දළ සටහනක්


මේ ස්ථානයේ සිතියමේ  "සරල රේඛාවක" යන අයෙකුට රටවල් තුනක් පමණක් සම්බන්ධ දේශ සීමා අට වරක් පසු කිරීමට සිදු වෙන  අවස්තාවක්  තියෙනවා  පහත  ආකාරයට.

මේ පුද්ගලයා;

1. පළමු රටෙන් ගමන් අරඹයි
2. දෙවන රටට ඇතුළු වේ
3. නැවත පළමු රටට ඇතුළු වේ
4. තෙවන රටට ඇතුළු වේ
5. නැවත පළමු රටට ඇතුළු වේ
6. නැවත තෙවන රටට ඇතුළු වේ
7. නැවත දෙවන රටට ඇතුළු වේ
8. නැවත තෙවන රටට ඇතුළු වේ
9. නැවත දෙවන රටට ඇතුළු වී ගමන නිමා කරයි

එනයින් ඒ ඒ රටවල වෙන වෙනස් තුන් වරක් බැගින් ඔහු ගමන් කරනවා 


No automatic alt text available.

ඔය වගේ  කම්බිනේෂන්  සෑහෙන  ප්‍රමාණයක් මේ  ප්‍රදේශයෙන්  අඳින්න  පුළුවන්. මට හයිලයිට්  කරන්න  උවමනා  කෙතරම්  විකාරයක්ද  මේ  දේශසීමාවෙන්  ඇති  කරන්නේ  කියල.  සිතියම  ඔහොම නම්  භුමිය  කොහොම  ඇද්ද?  මේ  දේශසීම  විකාරය  ම  ප්‍රමාණවත්  හේතුවක්  කලාපයේ  අන්තවාද  සහ  කැරලි  ඇතිවන්න. අවු  දෙදාස්  පන්සීයක්  විතර  දේශසීමා  නැතුව  සහජීවනයෙන්  උන්නු  ජන මිශ්‍රණයක්  අද  ඇවිලෙන්න  ආසන්න  තත්වයේ.

Friday, December 8, 2017

ගිලීගිය සාගරය

කාලයක් තිස්සේ ලියන්න හිතා උන්නු මේ ප්‍රශ්නයට ආසන්න හේතුව වෙන්නේ පැන්ජියාව බිඳ වැටුන ආකාරය ගැන අහපු ප්‍රශ්නයක්.

----------------------------

නෙදර්ලන්ත පහත්බිම්, ගංගානම් ගඟ, පර්සියානු බොක්ක, මධ්‍යධරණී මුහුද, ඒරල් මුහුද, කළු මුහුද, බැවෙරියානු තැන්න කැස්පියන් මුහුද, ඉන්දු නිම්නය, ඩනියුබ් නදිය

මේ ඔක්කොටම පොදු එක අතීත වචනයක් තියෙනවා.

1. ඒ මොකද්ද?

2. ඒකට සිද්ධ වුනේ මොකද්ද?

3. එහි ඉරණම ලෝකයට ඇතිකලබවට සලකන බලපෑම් මොනවාද?

4. පෙර සඳහන් කල කලාපයේ මේම සිදුවීම් නිසා නිධානයක් පහල වෙනවා. ඒ මොකද්ද? වුනේ කොහොමද?

------------------------------

නෙදර්ලන්ත පහත්බිම්, ගංගානම් ගඟ, පර්සියානු බොක්ක, මධ්‍යධරණී මුහුද, ඒරල් මුහුද, කළු මුහුද, බැවෙරියානු තැන්න කැස්පියන් මුහුද, ඉන්දු නිම්නය, ඩනියුබ් නදිය මේ ඔක්කොටම පොදු එක අතීත වචනයක් තියෙනවා. ඒ තමා ටෙතිස් සාගරය. වඩාත් නිවැරදිව ටෙතිස් ට්‍රේන්ච් එක.

වසර ම්ලියන තුන්සීයකට එහා පැන්ජියාව නම් තනි මහාද්වීපයක් තිබ්බ කියල හිතන කාලේ ඒ මහාද්වීපයේ වලයාකාර හැඩයෙන් අන්තර්ගත වෙච්ච සුවිසල් සමුද්‍රයට තමා මුලින්ම මේ නම කියන්නේ. ටෙතිස් සාගරයේ මුල්ම ස්වරූපය නිසා මෙයට පූර්ව ටෙතිස් සාගරය කියා කියනවා.

pangea growing earth theory owen Atlas of Continental Displacement


පසුව පැන්ජියාව කැඩෙනවා. එම් කැඩීම එක්ක ටෙතිස් සාගරය උතුරු මුහුදට සම්බන්ධ වෙනවා. මුල් කාලේ ඉඳලම ටෙතිස් සාගරය විශාල ප්‍රමාණයක් ජීවින් උන්නු සාගරයක්. මීට හේතුව එක තැනකට එකතු වෙච්ච ගොඩබිම් අස්සේ පැවතීමත් සමකාසන්න වීමත් පසුව උතුරු සාගර එක්ක සම්බන්ධ වී වෝටර් වේ එකක් වීමත්. මේ සාගරයේ සශ්‍රීක බව නිසා වෙන්න ඕනේ ගොඩබිම හුන් ක්ෂීරපායි ශාක භක්ෂකයෙක් ක්‍රමයෙන් සාගරයට හුරුවෙලා තල්මසුන් බවට පත්වන්නේ. තල්මසුන් ගේ මුල්ස්ථානය වගේම විශාල තල්මස් ප්‍රජාවක්  උන්නු සාගරයක් ටෙතිස්.

මහද්වීප ලෙස කැඩිලා යන යුරේසියාව කියන්නේ යුරෝපයේ සහ ආසියාවේ හරි මැදින් උතුරු කොටස් පමණක් සහිත මහාද්වීපයක්. යුරෝපය කිව්වම ස්පාඤ්ඤ කෑල්ල වෙනම දූපතක් වෙලා ටෙතිස් සාගරය බටහිර යුරෝපය පුරා පැතිරෙනවා ජර්මනිය පෝලන්තය හරියෙන් ගොඩබිම ඉවරයි. දකුණේ තිබ්බ ගොන්ද්වානාලන්තය කියන්නේ අප්‍රිකාව දකුණු ඇමරිකාව මධ්‍යම ආසියාව දකුණු යුරෝපය ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකා සහිත තනි මහාද්වීපයක්.

Image result for tethys 20 ma


මේ ගොන්ද්වානාලන්තය නැවතත් කැඩෙනවා. එහෙම කැඩුණු පටියක් තමා තුර්කියේ සිට ඉරානය ඇෆ්ගනිස්තානය ටිබෙටය තායිලන්තය මලයා අර්ධද්වීපය ඉන්දුනීසියාව ආදිය අයිති පටිය. මේ පටිය වඩාත් දකුණේ සිට පෙර කී පූර්ව ටෙතිස් සාගරය පටු කරගෙන කරගෙන එය භූ තැටි යට ගිල්වමින් ඇවිත් ආසියාවට සවි වෙනවා. පූර්ව ටෙතිස් සාගරය මේ අනුව වමි 100 විතර කාලෙක ක්‍රමයෙන් නැතිව යනවා. කැස්පියන් මුහුද එරල් මුහුද කාරකොරම් කාන්තාරය ඇතුළු මධ්‍යම ආසියානු පහත්බිම් මුහුදු මට්ටමට පහත ස්ථාන සහිත ඒ කොටස පූර්ව ටෙතිස් සාගරයේ අවසානය. අද වෙනකම් ඔරිජිනල් ටෙතිස් සාගරයෙන් කියා ඉතිරි එපමණයි.

No automatic alt text available.


මෙසේ පූර්ව ටෙතිස් සාගරය වහගෙන යන පටු ගොඩබිම් පටියේ දකුණෙන් විවර වී පුළුල් වන සාගරයට නව ටෙතිස් සාගරය කියනවා. ඒත් අප්‍රිකාව සහ ඉන්දියාව වේගයෙන් උතුරට ගිහින් නව ටෙතිස් සාගරයත් පෙර සේම වසා පාෂාණ තට්ටු වලින් යට කරනවා. ඒ අතරේ ඉතාලිය බෝල්කන් ග්‍රීක ආදී කොටස් ඇවිත් යුරෝපයේ ගැටිලා විශාල කඳු හදනවා. බටහිර යුරෝපයට හිමි ටෙතිස් සාගර කොටස් පහත් තැනිතලා ලෙස ගොඩබිම් බවට පත්වෙනවා.

Image result for tethys 20 ma


මේ දෙවැනි ක්‍රියාවලිය ඉවර වෙලා ටෙතිස් සාගරය සමාප්තවන්නේ වමි 10-20 වගේ බොහොම මෑතක. මේ කියූ කලාපයේ අද ඉතිරි සාගර කොටස් එනම් මධ්‍යධරණිය, කළු මුහුද, පර්සියන් බොක්ක ආදිය ටෙතිස් මුහුදේ කොටස් මතින් වෙනත් භූතැටි ගිහින් ඒවා ගිලා බැහැල හැදෙන්නේ. ඔය කියූ පටියේ බොහෝ පහත් බිම් [නෙදර්ලන්තය] තැනිතලා [බැවෙරියාව] ගංගා නිම්න [ඩනියුබ් වොල්ගා ගංගානම් ඉන්දු] ටෙතිස් සාගරය නිසා පහල බහින ගොඩබිම් වල හැදෙන්නේ.

Related image


ටෙතිස් සාගරය විසින් නිර්මාණය කරන උතුරු දකුණු නැගෙනහිර බටහිර යාකිරීම නිසා සාගරික උෂ්ණත්ව යාමනය වීමෙන් පොළොවේ උණුසුම මීට අංශක 10 වගේ උඩින් තියෙන්නේ. මේ කාලේ පොළොවේ ග්ලෙසියර තිබිලා නෑ. ටෙතිස් සාගරය වැහිලා අප්‍රිකා ඉන්දියා පටියෙන් සාගර වෙන් වුනාම තමා ලෝකය සිසිලනය වී ග්ලෙසියර හැදෙන්නේ. මෙයට තවත් බලපානවා පැනමා බිම්කඩ විසින් ඇමරිකා දෙක යාකර එතනින් වෙන සාගර උෂ්ණත්ව යාමනය නැවතීම. ඔය සිසිලනය බලපානවා අප්‍රිකාවේ බොහෝ වනාන්තර සැවානා වෙන්න. එන එතකොට තමා වනාන්තර වල ඉන්න වානරයෙක් පරිසරයට හැඩ ගැහෙන්න තනකොලට බැහැලා එහි උස නිසා දෙපයින් හිටගෙන යන්න පටන් ගන්නේ. රෙස්ට් වොස් හිස්ට්‍රි.

ටෙතිස් සාගරය කියන්නේ ජීවයෙන් පිරුණු එකක් තඩි තල්මස්සු එහෙම සුලබ. එහි පළල අඩු වෙද්දී ජීව ඝනත්වය වැඩි වෙන්න ඇති. ඒ වගේම  ගොඩබිම්  ආශ්‍රිත නොගැඹුරු  මුහුදු  පෙදෙස්  වල  විශාල  ලෙස  ප්ලැන්ක්ටන්  නිර්මාණය  වෙනවා. මේ සියලු ජීව කොටස් එහි පතුලට බැහැල තියෙන්නේ. ඒ පතුල ගිල්වාගෙන දකුණින් ආ භුතැටියට යට වෙනවා. අන්න ඒ ජීව ද්‍රව්‍ය තමා බොරතෙල් කියල අද ගන්නේ. ඒ අනුව අප්‍රිකාවේ උතුරු වෙරළ මැද පෙරදිග ඉරානය කැස්පියන් එරල් මුහුදු අවට ආදී කලාපයේ වත්මන් ගොඩබිම් යට බොහොම ඉහල මට්ටමක පැරණි ටෙතිස් මුහුදු පතුලේ මේ සත්ව ශේෂ හෙවත් බොරතෙල් තියෙනවා. ඔවුන්ට ඒ සම්පත ලැබෙන්නේ ටෙතිස් සාගරයෙන්.

Friday, December 1, 2017

චැඩ් විලට කොන්ගෝ වතුර

බොහොම ඉස්සර කාලෙක දමාපු ප්‍රශ්නයක්. මේක අද ඇදෙන්නේ Para San දාපු වීඩියෝවක් නිසා. ඒ වීඩියෝව අන්තිමට. මුලින්ම ප්‍රශ්නය.

කිසිම සාගරයකින් ජලය නොගෙන සහරාව සශ්‍රීක කරන වැඩ සටහනක් එක්තරා මහා පරිමාන ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිරිපත් විය.

1. එහි කතාවට ගත් සහරාවට ජලය සපයන ක්‍රමවේදය කුමක්ද?

2. අදාළ වැඩ සටහන සහිත මහා පරිමාණ ව්‍යාපෘතියේ නම හා පොඩි විස්තරයක් දෙන්න

--------------

පලවෙනි ප්‍රශ්නෙට උත්තර ගොඩක් තියෙනවා. ඉන්එකක් මාර වැදගත් එකක්. ඒ තමා කොංගෝවේ ජලය ගෙනත් චැඩ් විල පිරවීම. ඒ හරහා කාන්තාරකරණය වන සහේල් කලාපයේ විශාල පෙදෙසක් බේරාගන්න සහ දියුණු කරන්න පුළුවන් කියන එකයි  මූලික අදහස. එහෙත්  මේ  අදහස  දැන්  සියවසක්  පමණ  තිස්සේ  විවිධ  මුහුණුවරින් විවිධ  බල  කඳවුරු  වල  සහයෙන්  කතාවට  ගැනෙනවා,  තවම  කිසිවක්  කර  නැහැ.

මුලින්ම සහේල්  කලාපය ගැන හිතුවොත් චැඩ් විල තියෙන්නේ සහේල් කලාපයේ මධ්‍යයේ. සහෙල් කියන්නේ අත්ලාන්තික් ඉඳලා රතු මුහුද වෙනකම් සහරාවේ දකුණු සීමාවේ දිවෙන හීනි පටියට. වෙරළ හෙවත් සහේල් කියන්නේ වෙරලක් නොවුනට වෙරළාශ්‍රිත ශාක වර්ග වලින් බහුල වැලි තීරයක කෙළවරක් නිසා. සහරාව දකුණට පැතිරීම නිසා ලෝකයේ ලොකුම ජල හා ආහාර හිගයක් තියෙන ප්‍රදේශයක්. [සහරාව තුල මිනිස්සු නැහැනේ ඒ නිසා එහෙ අවුලක් නැහැ. අවුල තියෙන්නේ මිනිස්සු ඉන්න පැති වලට කාන්තාරේ එන කොට. ඒ  තමා සහේල් ]

බඩගින්නේ සංකේතය ලෙස අප දුටු ඉතියෝපියානු හා සෝමාලියානු මිනිසුන් මේ කලාපයේ අර්බුදයේ ප්‍රතිපල. එතරම් ප්‍රකට නොවුනත් චැඩ් නයිජර් මාලි සුඩාන් වගේ රටවලත් ඒ ගානටම බඩගින්නේ මැරෙනවා. වාර්ෂිකව මිලයන ගානක් මියයන තත්වයක්. මේ ලෝකයේ බඩගිනි කලාපය.

චැඩ් විල තමා කලාපයේ එක ප්‍රධාන ජල සැපයුමක් වන්නේ. චැඩ් විල ලංකාවෙන් තුනේන්  එකකට වඩා ලොකුවට තිබ්බ එකක්. මද්යම අප්‍රිකාවේ සිට චැඩ් විලට ගංගා ගලන නිසා ඒ කාලේ ඒ හරියේ මිනිස්සු සෙට්ල් වුනා. ඒත් සහරාව දකුණට ඒමත් මිනිස් ක්‍රියාකාරකම්, විවිධ වල් පැලැටි නියං ආදී හේතු නිසා චැඩ් විල හිදෙන්න ගත්ත. වර්තමානයේ චැඩ් විල වකිමි 1000 වගේ කුඩා විලක්. 1960 කාලේ 26000 ක්. ඒ කියන්නේ දැන් තියෙනෙන් 4% ට වඩා අඩු ප්‍රමාණයක්.

අප්‍රිකාවේ භූ විෂමතාවය ගත්තොත් [පහත සිතියම බලන්න] එහි මූලික ද්‍රෝණි දෙකක් තියෙනවා. එකක් කොන්ගෝ ද්‍රෝණිය, අනික චැඩ් ද්‍රෝණිය. මේ දෙක කිමි 1000 ක විතර පරාසයකින් එකිනෙකාට අසල්වාසිව තියෙන්නේ. චැඩ් ද්‍රෝණිය පෙර කී ලෙස මිය යද්දී කොන්ගෝ ද්‍රෝණියේ සියළු ජලය තප්පරෙකට ඝන මීටර 60000 ක විතර රේට් එකකින් මූදට ගලනවා කොන්ගෝ ගඟෙන්. සිතියමේ  චැඩ් විල හා කොන්ගෝ ගඟත් පෙන්නනවා. පටිය තමා සහෙල්




දැන්  වැඩේ  පැහැදිලියි නේ.  ඔය එක  රවුමක  උතුරා  යන  වතුර  අනික්  රවුමේ  පැතිරෙන  කාන්තාරය  මැද්දේ  හිඳිලා  තියෙන  විලට  පිරවීමයි  උවමනාව.  වැඩිය  ඕනේ  නෑ.  5%  ක  ප්‍රමාණයක්  ඇති  වැඩේට.  පෙර කී පරිදි දැන්  සියවසක්  පමණ  තිස්සේ  විවිධ  මුහුණුවරින් විවිධ  බල  කඳවුරු  වල  සහයෙන් මේක  ගැන  කතාවෙනවා.  ඒ  ඒ  කාලවල  විවිධ  නම්  කියල  තියෙනවා.  අපි  වෙන  වෙනම  සලකමු.

ඇට්ලන්ට්‍රොපා
ඇට්ලන්ට්‍රෝපා ව්‍යාපෘතිය කියන්නේ යුරෝපයේ වැඩිවන ජනගහනයට අප්‍රිකාව අල්ල ගන්න 1920 විතර හදාපු සැලසුමක්. ජිබ්රෝල්ටා වලින් බැම්මක් බන්දලා මධ්‍යධරණිය මීටර 200ක් හින්දලා අප්‍රිකාව හා යුරෝපය කීප තැනකින් යාකරන එක තමා පළමු සැලසුම. ඒ මගින් අඩු ජනාවාස සහිත සහරා කලාපය යුරෝපීය ප්‍රජාවෙන් ජනාකීර්ණ කරන්න.

මේ නිසා සහරාව සශ්‍රීක කිරීමට කොන්ගෝ ජලය සහරාවට ගෙන එන එක තමා දෙවන කොටස. ඒ අනුව කොන්ගෝ හරහා විශාල වේල්ලක් බැඳ වර්තමාන කොන්ගෝ රාජ්‍ය දෙකේ වැඩි හරියක් ජලයෙන් යට කර එම එකතු වෙන ජලය චැඩ් විල දිහාට ගෙන ගොස් චැඩ් විල ආශ්‍රිතව ඇති විශාල ජලාශයක් කරවා එමගින් සශ්‍රීක කලාපයක් හදන්න

[කලකට පෙර චැඩ් විල කැස්පියන් මුහුද මෙන් එකහමාරක් විතර ලොකු කාලයක සහරාව සශ්‍රීකව පැවතුනු බවට පසුව සාධක ලැබෙනවා]

මේක සුද්දගේ මහන්තත්ත වැඩක්. අප්‍රිකාව දකින්නේ හිස් ඉඩමක් ලෙස. එහි ඉන්න ම්නිසුන්ට වෙන්නේ මොකද්ද කියා නිකමටවත් හිතලා නැහැ. මේක සමහරවිට වෙන්න ඉඩ තිබ්බ හිට්ලර් අතින්. එහෙම වුනානම් අපි ඉන්නේ මේ ලෝකයේ නොවේ වෙනස් එකක.

කොටස් වශයෙන් යමු. තව ස්ටේජස් තියෙනවා.

ට්‍රාන්ස්ඇකුවා

ඇට්ලන්ට්‍රෝපා නැතත් ඉතාම තාර්කිකව කොන්ගෝව චැඩ් දිහාට හැරවීම තුලින් මේ ඛේදවාචකය නිමා කල හැකියි [සැහෙන්න දුරට].

මේ සම්බන්ධයෙන් ආපු ඊළඟ ප්‍රොජෙක්ට් එක තමා ට්‍රාන්ස්ඇකුවා. 1970 කාලේ ආපු එකක්. පස්සේ චන්ද්‍රිකා සහයෙන් 1980 කාලේ සැලසුම් කල මේ ව්‍යාපෘතිය තුල ලොකු සැලසුම් බරගානක් තියෙනවා. කොන්ගෝ ඉඳලා චැඩ් දිහාට කිමි දෙදාස් ගානක ඇලක්.

ජල  විදුලිය  මහා මාර්ග  සමග යන මෙගා  ප්‍රොජෙක්ට්  එකක්. මේ වැඩසටහන ගැන විස්තර මෙතනින් ගන්න 

උබන්ගයි

පසුව අප්‍රිකානු රාජ්‍ය එකතු වෙලා අප්‍රිකානු ඉංජිනේරුවන් සමග කරන කෙටි හා පහසු වැඩසටහනක් තමා උබන්ගයි. උබන්ගයි කියන්නේ කොංගෝවේ අතු ගංගාවක්. එය වඩාත් උතුරට වෙන්න තියෙන්නේ. කොන්ගෝ ප්‍ර ජනරජයේ හා මධ්‍යම අප්‍රිකාවේ මායිම. ඒ වගේම මධ්‍යම අප්‍රිකාවේ අගනුවර වන බන්ගායි තියෙන්නෙත් මේකේ. කොන්ගේවෙන් 1/5 වතුර එන්නේ මේකේ

උබන්ගයි වල ඉඳලා චැඩ් විලට ජල සපයන චාරි ගංගාවට කිමි එකසිය ගානක ඇලක් කාපුවම ඇති කියලා පස්සේ හොයා ගන්නේ. ඒ අනුව තමා උබන්ගයි වැඩසටහන් පටන් ගන්නේ. මධ්‍යම අප්‍රිකාවේ හදන ජලාශයකින් [පලම්බෝ] හරවන වතුර චැඩ් විල දක්වා  ගෙනයන එක.

මේක ගැන විවිධ අධ්‍යන කලත් මේකත් තාම පටන්ගෙන නැහැ. ඇත්තෙන්ම මේක කරන්න බැරි මොකද කියා තේරෙන්නේ නැහැ. වසරකට සහෙල් වල මැරෙන හා ඉන්න උන්ව නඩත්තු කරන්න යන වියදම ම මිලියන බිලියන ගානක්. මේ ඇල බොහොම සාමාන්‍ය ඇලක්. මුළු වියදම මිලියන හයයිකියලත් තියෙනවා පහත වාර්තාවේ [ඒකනම් මට ෂුවර් නැහැ]

මේ වාර්තාව 2009. වාර්තාවේ ලස්සනට තියෙනවා චැඩ් විල හිඳුනු හැටි. 2009 ලෝක බැංකු ආධාර ලැබෙනවා ෆීසිබිලිටි ස්ටඩි එකකට. ඒත් මේ ගැන අප්‍රේල් 24 වෙනිදා ආපු පුවතක තියෙනවා චැඩ් විල සම්බන්ධ රාජ්‍ය වල කමිටුවේ නායකයා ප්‍රශ්න කරන බව ඇයි මේක තවම නොවෙන්නේ කියලා.

වර්තමානය

Para San දාපු වීඩියෝව තමා මේක.  මේකට  අනුව අපි ආපහු ඇවිත්  ට්‍රාන්ස් ඇකුවා ප්‍රොජෙක්ට් එකට. කරන්න යන්නේ චීන සහයෙන්. බටහිර රටවල්   වැඩේට කොක්ක අදිනවා.

ගැටළු  සහ  යතාර්තයන්


අපි කලාපයේ භූ දේශපාලනික තත්ත්ව විමසා බැලුවොත්; 
  • ප්‍ර කොන්ගෝ ජනරජය හෙවත් මානව වර්ගයාගේ පහුගිය සියවස තුල ලොකුම ඛේදවාචකය තුල තමා වතුර තියෙන්නේ. මේ වෙද්දී මේ රට පාලනය කරනවා විවිධ අවිගත් කල්ලි විසි ගානක්. ඒ නිසා මේ හරියේ මොකක් හරි කරන එක ලෙහෙසි නැහැ. ඇමරිකන් ගැති මොබුටු සෙසේ සෙකෝ ගේ කාලේ මොනවා උනත් කිසියම් ස්ථාවරයක් තිබ්බා. මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් කලේ එයාගේ කාලේ. ඊට පස්සේ කබීලා ඇවිත් රට අරාජික වුනා 
  • කොන්ගෝ දෙරට වතුර දෙන්න කැමති නැහැ. ඉන්ගා බලශක්ති ප්‍රභවයට බලපාන නිසා. සහ මත්ස්‍ය ප්‍රමාන අඩු වෙන නිසා.
  • උබන්ගයි වල පලම්බෝ ජලාශය හදන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ [ගඟෙන් බාගයක් කොන්ගෝ දේශයට අයිතී]. මෑතක් වෙනකම් තරමක් ස්ථාවරව පවතී නමුත් මධ්‍යම අප්‍රිකාවේ ඉස්ලාමික අත්න්තවාදින් හා ක්‍රිස්තියානි අන්තවාදීන් අතර ගැටුම් නිසා රට දැනටම දෙකට බෙදා ඉවරයි කියා මුස්ලිම් අන්තවාදීන් කියන්නේ. ප්‍රොජෙක්ට් එක යන්නේ ඒ පසු තලයේ
  • දිගු ජල මාර්ග ඔස්සේ වියලි පෙදෙස් වලට ජලය ගෙන එම එතරම් සාර්ථක දෙයක් නොවේ. මොකද ඒ ජලයෙන් වැඩි හරියක් වාෂ්ප වෙන නිසා. 
  • චැඩ් විලේ අර්බුදය වතුර නැති එක නොවේ එහි රොන් මැද හා ජලය උරා ගණන් වල පැලැටි වැවීම ලෙස සිතන පිරිසක් ඉන්නවා. ඔවුන් කියන්නේ එක විසඳන්නේ නැතුව බොරුවට වතුර දැම්මට වැඩක් නැහැ කියා.
  • ග්‍රේටර් සහරාවට කෙලින්ම වතුර දුන්නට සශීක වන්නේ නැහැ මොකද වැලි තට්ටු මාර යටට තියෙනවා.
  • ට්‍රාන්ස් ඇකුවා එකේ මුළු ඉලක්ක වගා බිම් ප්‍රමාණය ලංකාවට වඩා කුඩායි. උබන්ගායි එකේ ඊට වඩා වැඩි වෙන්න බැහැ.  වියදමට වටීද?
  • මේක සහෙල් වල මුළු ප්‍රශ්නයට විසඳුමක් නොවේ. ඒක මීට වඩා ලොකු පරිමානයේ ප්‍රශ්නයක්. සහෙල් කියන්නේ රුසියාවේ දකුණු දේශ සීමාව විතර තඩි පටියක්. මේ සුළු  පෙදෙසක්  පමණක්  සශ්‍රීක  කරන  වැඩක්.
  • අප්‍රිකාවේ හා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය. මේ කලාපයේ ජනගහනය පහුගිය වසර තිහේ ඩබල් වෙලාලු. කොන්ගෝ වේ දෙකහමාරක්.
  • මුස්ලිම් අන්තවාදය හා සහරා කාන්තාරය ඇවිදින් වසා ගන්නේ මේ මහා ජනගහනය. අනාගත ලෝකයේ ආගමික යුදබිම මෙතන තමා.
  • බටහිර විරෝධයෙන් ප්‍රොජෙක්ට් එක කරන්න යාමෙන් කලාපිය අන්තවාදයට බටහිර ආශිර්වාදය ලැබිලා උත්සන්න වෙන්න පුළුවන්. ඒක ලොකු කන්සර්න් එකක්.

Saturday, November 25, 2017

ගොඩබිමට ගලා බසින ගංගාව

මේකත් සාමාන්‍ය දැනුම සමූහවල අහපු එකක්.

බොහොම කාලෙකට කලින් එක්තරා කාන්තාර පෙදෙසකින් විශාල ගංගා කීපයක් ගලනවා. මේ ගංගා ගලන තැනිතලාව එක පසෙකින් කාන්තාරේ වැලි පර වලිනුත් අනෙක් පසින් ඉස්මතුවන කඳුවැටියකිනුත් හිරවෙනවා. ඒ පාර එම ගංගා කාන්තාරයේ හැදෙන බේසින් එකකට පිරෙන්න ගන්නවා. එම නිසා එතන අතිවිශාල විලක් හැදෙනවා. විල මගින් කාන්තාරය සශ්‍රීක කරනවා, කලාපයේ විශාල සත්ව ගහනයක් හැදෙනවා. පහුකාලීනව මානව ගහනයත් මේ පළාතේ වර්ධනය වෙනවා.

ඊට පස්සේ එකපාරටම අර විල කන්දේ දුබල තැනක් හොයාගෙන එතන විවර කරගන්නවා. මේ හරහා ලෝකයේ ඉතාමත්ම සුන්දර නිර්මාණයක් බිහිවෙනවා. හැබැයි විල හින්දෙනවා.

අද මෙම විල නැහැ, ඒ වෙනුවට තියෙන්නේ ලවණ තලාවක්. සුන්දර නිර්මාණය පවතින්නේ අර එක ගංගාවක. ඒ වගේම තවත් ගඟක වතුර මුහුදට හෝ විලකට නොගොස් ලෝකයේ දුර්ලභ භූ ලක්ෂණයක් බිහිකරනවා. තැනිතලාව ආයිත් මහා කාන්තාරයක් වෙනවා. වැඩේ තියෙන්නේ මේ ඔක්කොම වෙන්නේ බොහොම වේගයෙන් නිසා අදටත් ඒ කාන්තාරේ සත්තු මිනිස්සු ඉන්නවා. ඒ අය මේ අසීරු පරිසරයට හැඩ ගැහිලා තියෙන්නේ.

හැබැයි තාමත් ගංගා පෝෂක ප්‍රදේශයට වැස්සම ටික කාලෙකට ඒ කාන්තාරේ විල තිබ්බ හරියේ පරණ විලේ කොටසක් ප්‍රතිෂ්ටාපනය වෙනවා. වැලි කාන්තාරේ එක පාරට විලක් වෙනවා. වැලි අස්සේ තියෙන ගස් ඉක්මනින් හැදෙනවා. මේක දන්නා සත්තු ඒ කාලෙට ඒ කාන්තාරේ ට ඇවිත් වතුර ඈත කඳු අස්සෙන් ගලාගෙන එනකම් බලා ඉන්නවා. ඔක්කොම ජොලිය ටික දවසයි වතුර හිඳුන ගමන් ආයිත් කාන්තාරේ

1. කාන්තාරය කුමක්ද?

2. විල කඩාගෙන ගිහින් හැදුනු සුන්දර නිර්මාණය කුමක්ද?

3. මුහුදට හෝ විලකට යන්න බැරිවුණු ගඟ නිර්මාණය කරන අමුතු භූ ලක්ෂණය කුමක්ද? එහි නම කුමක්ද?

4. එදා විලට කිව්ව නම අද ලවන තලාවට කියන්නේ. ඒ මොකද්ද? [ඒක සිංහලෙන් ලියන්න මටත් බැහැ, ඒ නිසා ඉංග්‍රීසියෙන් තිබ්බත් ඇති]

---------------

මේ කතාව සැම්බෙසි ඔකවන්ගෝ ගංගා සහ කලහාරි කාන්තාරය ගැන කතාවක්. පහත පින්තුරේ ස්ථාන තියෙනවා දළ වශයෙන් අතීත විලේ සටහනකුත් සමග. [ලෝක  ව්‍යවහාරයෙන්  කලහාරි  කාන්තාරය  කිව්වට  කලහාරිය  කාන්තාරයක්  නොවේ.  එය  අර්ධ  ශුෂ්ක  පෙදෙසක්. එහි  වාර්ෂික  වර්ශාපතනය  කාන්තාරෙකට  වඩා  වැඩියි.  එහෙත්  ඒ  වැස්ස  එකපාරට  කෙටි  කාලෙක  වැටෙන  නිසා  ස්වභාවය  කාන්තාරයක්  වගේ. මේක  සයිඩ්  ෆැක්ට්  එකක්]



No automatic alt text available.

කලහාරි කාන්තාරයේ උස වැලි පර සහ සිම්බාබ්වේ වල භූගෝලීය හේතුවක් නිසා උස්වන කඳු පද්ධතය නිසා තමයි බොට්ස්වානා නැමීබියා අවට බේසින් එකක් හැදෙන්නේ. කාලෙකට කලින් මේ බේසින් එක සපුරා ලොක් වීම නිසා ඉහල සැම්බෙසි, ඔකවන්ගෝ ආදී ගංගා රාශියකට මුහුදට ගලන්න බැරි වෙනවා. මේ ගංගා ගෙනෙන ජලය රැස්වීමෙන් විශාල ජලාශයක් හැදෙනවා. ජලාශය බොට්ස්වානා නැමීබියා දෙරටේ කලහාරි කාන්තාරයට වර්තමානයේ අයිති විශාල ප්‍රදේශයක පැතිරෙනවා, විශාලත්වයෙන් වර්තමාන සුපිරියර් විල [විශාලම මිරිදිය විල] තරම් අගයක් ගන්න බව හිතන්නේ. විලට කියන නම මක්ගඩික්ගඩි [Makgadikgadi]. අද එතන තියෙන ලවන තලාවට කියන නමින් තමා විල නම් කෙරෙන්නේ

විල නිසා අවට සශ්‍රීක වෙනවා. කලහාරි  කාන්තාරය  වනාන්තරයක්  වෙනවා.  අප්‍රිකාවේ දකුණු කලාපයේ සත්ව ගහනය වර්ධනය වන්න විලෙන් සැහෙන වැඩක් වෙනවා. පූර්ව ශිලා යුග මිනිස් ක්‍රියාකාරකම් පවා සුලබයි. විශාල මිනිස් ගහනයක් උන්නු බවට සාධක තියෙනවා

විල පිරිලා ජල උස ක්‍රමයෙන් වැඩි වෙද්දී එක තැනකින් උතුරනවා මේ ඉතිරීම නිසා එම දුර්වල ස්ථානය ඛාදනය වන්න පටන් ගන්නවා. ඒ ගලාගිය පාර දිගේ තමා අද මධ්‍යම හා පහල සැම්බෙසි ගඟ ගලන්නේ. [මතක ලෙසට ටාසන් කතාව දිග ඇරෙන්නේ මෙන්න මේ හරියේ - පින්තුර මතක් කරගන්න] මීට වසර ලක්ෂයක් එකහමාරක් පමණ පෙර කෙටි කාලෙක විශාල වතුරක් ගලාගිය සලකුණු තියෙනවලු බොහෝ දෙනා හිතන්නේ ඒ ඛාදනය වීමෙන් විශාල විල එකපාර ගලාගිය මොහොත ලෙස. කෙසේ වෙතත් මේ ඉවුර බිඳෙන තැන ලස්සන දිය ඇල්ලක් හැදෙනවා ඒ ලෝක ප්‍රසිද්ධ Mosi-oa-Tunya හෙවත්  වික්ටෝරියා ඇල්ල.

මීට වසර දහදාහකට පෙරත් විල තිබුනලු. ඒ අනුව  විල  හැදෙන  සහ  කැඩෙන  එක  චක්‍රීයව  වෙනවා  කියා  හිතන්නේ. ඒ කාලෙ විශාල ජල ගලායාමක් එක පාර වෙලා කෙටි කලකින් තමා හිඳිලා තියෙන්නේ. ඒ වෙද්දී අවට උන්නු සත්ව හා මිනිස් ප්‍රජා ශුෂ්ක තැනිතලාවක සහ වැලි කාන්තාරයක හිර වෙනවා. අද ඒ ප්‍රජාවන් කලහාරි තත්වයන්ට හුරුවෙලා ඉන්නේ. කලහාරි වනගත මිනිසුන් ඒ වගේ එක ප්‍රජාවක්. දැන් විල වෙනුවට තියෙන්නේ පතුලටම හිඳිලා ලුණු මිදුණු ලවන තලා කීපයක්.

පැරණි විල දිගේ ගලා බහින ප්‍රධාන සැපයුම්කරු වන සැම්බෙසි ගඟ අද කෙලින්ම වික්ටෝරියා ඇල්ල ලෙස වැටෙන්නේ. ඒ හරහා ඉස්සර ගංගා දෙකක් වෙච්ච ඉහල සැම්බෙසි හා මධ්‍ය-පහල සැම්බෙසි එකතු වෙනවා. සැම්බෙසි ලෝකයේ ධාරිතාවය අධිකම ගඟක්. ඒ හැරෙන්න තවත් ගංගා කීපයක් පැරණි විල හරහා ගලලා පහලට යනවා. කැනියන් සුලබ ප්‍රදෙශයක්.

මේ පැරණි විලට ආපු ඔකවන්ගෝ ගඟ තියෙන්නේ කෙලින්ම අනිත් පැත්තේ නිසා යනවනම් මුළු ලවන තලාවම ක්‍රොස් කරන්න ඕනේ. ඒ නිසා ඒ ගඟ ලවන තලාව දිහාට ගලනවා. එය කලහාරි  බේසින්  එකේදී    අතු ගානකට බෙදෙනවා ඒ අතු බෙදෙමින් පැතිරී ගිහින් අන්තිමේදී මුළු ගඟම පොලොවට පැලැටි වලට හා වාතයට උරාගෙන සපුරා ඉවර වෙනවා. මේක ඔකවන්ගෝ ඩෙල්ටාව විශාලත්වයෙන්  ලංකාවෙන්  හතරෙන් එකක්  විතර. සාමාන්‍ය ඩෙල්ට වලට වඩා වෙනස් මේ ඩෙල්ටා එක මුහුදට හෝ විලකට සම්බන්ධ නැහැ. නිකම්ම අභ්‍යන්තර බිමක තියෙන කොහේටවත් යන්නේ නැති ඉන්ලන්ඩ්  ඩෙල්ටාවක්. එය දුර්ලභ භූ ලක්ෂණයක් ඔකවන්ගෝ ඩෙල්ටා පෙදෙස ජලය සහිත වගුරක්. ඔකවන්ගෝ ගඟ කිසිම ජලාශයකට නොගලන ගඟක්, තනිකර වාෂ්ප වෙලා ඉවරවෙන [අතීත ඉන්දියාවේ තිබ්බා කිව්වා සරස්වතී ගඟත් මෙහෙම එකක් කියල භාරත සාහිත්‍ය පොත්වල තියේලු. ඒ ගඟ එහෙම පිටින්ම වේලිලා කියල කියන්නේ]


වසරේ එක කාලෙක ඇන්ගෝලාව අවටට වහින කොට ඔකවන්ගෝ ඩෙල්ටාවට ඔබ්බෙන් කාන්තාර පෙදෙස් වලට සත්තු එකතු වෙනවා උන් එන්නේ වටේ ශුෂ්ක පෙදෙස් වලින්. බොහෝ විට ඒ වෙද්දී එතැන වැලි කාන්තාර වුනත් උන් අපහසුතා නොතකා එතනට එනවා. මේක ලෝකේ ලොකුම සත්ව ඒකරාශී වීමක්. ඔකවන්ගෝ ගඟේ වතුර ඩෙල්ටා පහුකරලා කාන්තාරේ දිගේ ගලාගෙන ගිහින් කලහාරියේ නැගෙනහිර කොටස තනිකර විලක් බවට හැරෙනවා. සීසනල් ගස් එක පාරට මතුවෙනවා. සත්තු එකතු වෙනවා. මේ සිද්ධිය ඩේවිඩ් අටෙන්බොරෝ එක වාර්තා වැඩසටහනක ලස්සනට පෙන්නනවා. අලි කාන්තාරේ දිගේ ඇවිත් වතුර එනකම් බලා ඉන්න හැටි.

සැන්දෑ හිරුරසින්  දිදුලන ඔකවන්ගෝ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෙනෙන ආකාරය

Friday, November 24, 2017

සහරා ඇමසන් ප්‍රේමය

ඔන්න එකෝමත් එක කාලෙක තෘණ භුමි දෙකක් තියෙනවා එකිනෙකින් බොහෝ දුර. මේවා දැවැන්ත තෘණ භුමි. මේ දෙකේම වාසයට සුදුසු කම නිසා මිනිස්සු පදිංචි වෙනවා.

ඉතා කෙටි කලකදී වෙන විපර්යාස එක්ක එයින් එක තෘණ භූමියක් වාසයට නුසුදුසු වෙලා අ ක්ෂණිකව කාන්තාරයක් වෙනවා. ඒ හා සමගාමිව අනික ක්‍රමයෙන් වනාන්තරයක් වෙනවා.

අද සොයාගෙන තියෙනවා මේ කාන්තාරේ හැදුනු එකෙන් දුර තියෙන වනාන්තරය හැදෙන්න උපකාරයක් ලැබුණා කියල. ඒ වගේම කල්පිත මට්ටමේ තියෙනවා කාන්තාරේ වගේම වනාන්තරය හදන්නත් මිනිස්සු බලපෑම් කළා කියල. සමහරු කියන විදිහට දෙකම මිනිස් ක්‍රියා නිසා තමා ඔහොම වුනේ [ඒ කෑල්ල කල්පිතයක්]

1. කාන්තාරේ හැදුනේ කොහෙද?

2. වනන්තරේ හැදුනේ කොහෙද?

3. කාන්තාරෙන් වනන්තරේට ලැබෙන සපෝට් එක මොකද්ද?

4. කල්පිතයක් ලෙස කාන්තාරේ හදන්න මිනිස්සු දුන්න දායකත්වේ මොකද්ද?

5. කල්පිතයක් ලෙස වනන්තරේ හදන්න මිනිස්සු දුන්න දායකත්වේ මොකද්ද? අත්තෙම්ම මේක අවධි දෙකක වුණු සිද්ධි දෙකක් මූලික වශයෙන්.
--------------------------
අදින් වසර 10000 කට පෙර සහරාවේ තැනින් තැන විශාල පෙදෙස් ප්‍රමාණයක් සහ ඇමසන් වල නැගෙනහිර හා උතුරු පෙදෙස් තෘනභුමි හා කුඩා වනාන්තර ලෙස පැවතුනා කියා කියන්නේ. සහරාවේ නම් කුඩා විල් සහ ගංගා ගලාගොස් තියෙනවා [අදටත් මොරිතානියා බටහිර සහරා ආදියේ කාලෙකට දියපාරවල් ගලනවා].

මේ සමගම සහරාව ඊට කලින් කාන්තාර කාලේ නයිල් නදිය අවට උන්නු මිනිස් ප්‍රජා නව සරු බිම් කරා සංක්‍රමණය වෙනවා. මිනිස්සු වගේම සත්තුත්. ඇමසන් තෘනභුමියට ආපු මිනිස් ප්‍රජා එහි ශිෂ්ටාචාරයක් හදනවා.

මේ දෙගොල්ලම ගොවීන්. ගොවිකම පටන් ගත් බව හිතන ඊශ්‍රායල් සිරියා තුර්කි ඉරාන් ෆර්ටයිල් ක්‍රසන්ට් එකට පිටින් ඊට සමගාමිව කෘෂිකාර්මික ජීවිතේට ආපු ප්‍රජා දෙකක්.

වසර 8000 විතර කාලේ එකපාරට සහරාව කාන්තාරයක් වෙන්න ගන්නවා. මේක ක්ෂණික වෙන දෙයක්. අවු 1000-2000 ස්පේස් එකක අද ගානට ඇවිත්. ආයිමත් මිනිස්සු මිසරය දීහාට යනවා.

වැලි කාන්තාර වන සහරාවේ තිබ්බ විල්වල සත්ව ද්‍රව්‍ය සහිත මඩ වේලිලා ග්රෙන්ස් වලට කැඩිලා දූවිලි වෙනවා. මේ දූවිල්ල සුළං ධාරා අනුව අත්ලන්තික් සහ ඇමසන් කලාප මත පතිත වෙනවා. මේක චන්ද්‍රිකා වලින් ඔප්පු කල එකක්.

ඇමසන් තෘනභුමියෙ තිබ්බ අඩුවක් තමා ෆොස්පරස් වගේ මූලද්‍රව්‍ය හිගය. මේ නිසා තම වනයක් වෙන්නේ නැත්තේ අර දූවිල්ලේ ඒ ද්‍රව්‍ය තියෙන නිසා ඇමසන් පොලොව වඩාත් සරු වෙනවා. ඒ මත තමා ඇමසන් වනයේ නැගෙනහිර උතුරු ලොකු කෑල්ල හැදෙන්නේ.

ඒත් ඇමසන් ශිෂ්ටාචාර පවතිනවා. ඒවා සෙසු දකුණු ඇමරිකාවට වඩා ලොකු ඒවා කියා කියනවා. සැතපුම් පහලවක් එක දිගට ගෙවල් තිබ්බ නාගරික විසිරි තිබ්බ කියනවා. එවකට විශාලම නගර වන පැරිස් වැනීසිය වගේ ලොකු නගර තිබ්බ කියනවා. කුහි කුගු එවැනි නගරයක්. ඒවා වැනසෙන්නේ යුරෝපියන්ගෙන් ලෙඩ රෝග හැදිලා.

ඇමසන් ප්‍රජාවන් දීර්ඝකාලීනව පස ට්‍රීට් කරමින් හදන සරු පසක් තියෙනවා ටෙරා ප්රිටා කියල. මේක ඇමසන් වනයේ බිමෙන් සැහෙන ප්‍රතිශතයක්. ඒ වගේම බටහිර කන්දේ කැලෙන් විවිද කෘෂි වටිනාකම් ඇති ලොකු ගස් ගෙනත් තෘනභුමි යෙ වගා කලේ ඔවුන්. ඒ වගාව තමයි ඔවුන් අභාවයට යත්ම කන්ට්‍රෝල් නැතුව වැවෙන්නේ. ඇමසන් ශාඛ ව්‍යාප්තියේ පැටර්න් පෙනෙන්න තියෙනවා ඒ පැටර්න් සමග නටඹුන් සමපාත වෙනවා. මේ හේතු නිසා වගාවට ගෙනා ශාඛ වර්ධනය වීම හා ඔවුන් පසුව ලෙඩ රෝගවලින් වැනසී යාම කියන හේතු ඇමසන් හැදුනු ආකාරය ගැන කල්පිතයක් ලෙස පවතින්නක්.

අර සහරා තෘනභුමි වල ධාන්‍ය වගාකළ ප්‍රජාවන් ඒ භුමියේ සීමිත ජල සම්පත් ඕව යුස් කිරීම නිසා සහරාව හැදුනා කියන එක තව කල්පිතයක්. හැබැයි සහරාවට බලපෑ තව හේතු තියෙනවා. කොටින්ම අවු 14000 සිට 6000 දක්වා විතර කාලෙකට මෝසම් රටා වෙනස්වීමෙන් වහින්න ගත්ත එක තමා තෘනභුමි වලට ප්‍රධාන ලෙස සලකන හේතුව. හැබැයි කාන්තාරකරණය වෙන්නේ  ක්ෂණිකව එය  ජනාවාස කරණය එක්ක සමගාමී බවක් පෙන්වනවා.

Wednesday, November 15, 2017

ග්‍රේස් මුගාබේ ට එරෙහි සිම්බාවන්ගේ කැරැල්ල

සිම්බාබ්වේ කැරැල්ල ගැන කියවනවා නම් කතා කල යුත්තේ රොබට් බුගාබේ ගැන නෙවි ග්‍රේස් මුගාබේ ගැන. මේවා අතිශය පුද්ගලික කරුණු වුනත් අවසාන උත්තරේ ට එන ස්ටෙප්ස් නිසා කතාකරන්න වෙනවා.

පහත දැක්වෙන්නේ ග්‍රේස් ගේ ටයිම් ලයින් එක.

> උපත - 1965

> පළමු විවාහය -1983 [යුද සෙබලෙක් සමග]

> පළමු විවාහයේ දරුවා - 1984

> රොබට්මුගාබේ ගේ ලේකම් වරිය ලෙස - 80 දශකය අග

> රොබට් මුගාබේ සමග අනියම් සම්බන්ධය - ඒ කාලයේම

> රොබට් මුගාබේ ගෙන් පළමු දරුවා - 1988 [ඉන්පසු තවත් දරු දෙදෙනෙක් අනියම් සම්බන්ධය තුල හා දෙවැනි විවාහයෙන් පසු]

> පළමු විවාහයෙන් දික්කසාදය - 1996

> රොබට් මුගාබේ හා විවාහය - 1996 [ඔහුගේ පළමු බිරිය මියගිය පසු]

වයස 31 දී ඇය විවාහ වන්නේ 72 හැවිරිදි මහලු නායකයා සමග. ඔවුන් දෙදෙනාගේ ලොකුම දරුවා ගේ වයස තවම 29 යි.

මුගාබේ ගේ පෙර විවාහයේ [ග්‍රේස් ට වඩා වසරක් වැඩිමල්] දරුවා මියයනවා වයස 3 දී නිදහස් සටන අතරතුර මව සමග සැඟවී සිටියදී. මුගාබේ එවකට හිරේ දරුවා ගේ මරණයටවත් යන්න ලැබෙන්නේ නෑ.

මුගාබේ පවුලේ ගැටලුව තියෙන්නේ මෙතන. පක්ෂයේ ඊ ගාව නායකයට නොදී පවුල තුල බලය තියාගන්න කරන උත්සාහය. එහෙත් නිසි අනුප්‍රාප්තිකයෙක් නෑ. පළමු විවාහයේ දරුවා උන්නා නම් 53 වියැති ඔහු මේ වනවිට ක්‍රමිකව ගෙනත් තියෙයි.

මේ උත්සාහය කෘතීම ලෙස ග්‍රේස් එතනට ගන්න. එහි නියමුවා රොබට් ද ග්‍රේස් ද කියන්න දන්නේ නෑ. එය ක්‍රමික පරිවර්තනයකුත් නෙවෙයි. ක්ෂණිකව 2014 විතර පටන් ගන්න එකක්. ඊට පෙර එවකට 90 වියැති රොබට් කිසියම් උත්සව අවස්තාවක ඇද වැටිලා රෝගාතුර වෙලා ඉන්නවා. ඒ අනුව ස්වභාව ධර්මයේ තීන්දුවට පෙර මේ වැඩ සටහන හදිස්සි කළා වෙන්න පුළුවන්. ඉතාම මහලු නායකයා නොවේ දැන් රියදුරු අසුනේ ඉන්නේ බිරිය. රොබට් ගේ මළ සිරුර ඉල්ලුවත් අපි දිනනවා කියන ඇගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අස්සෙත් තියෙන්නේ මේ සැලසුම වෙන්න ඕනේ.

මේ ග්‍රේස් ගේ කතාවේ ඉතිරි ටික.

> පක්ෂ කාන්තා කණ්ඩායමේ නායකත්වය - 2014

> ජනාධිපති තනතුරට ඉදිරිපත් වීම ගැන කතා කරන්නේ - 2015 සිට

> උප ජනාධිපති එක්ක පක්ෂයේ ප්‍රතිරෝධය - 2016 සිට [නිදහස් සටනේ නියමුවෙක් මෙයත්]

> උප ජනාධිපති එළවීම - 2017

ඒ අනුව කතාව පැහැදිලියි. සිම්බාබ්වේ රටේ මිනිසුන්ටත් මේ කොහෙවත් නැති ගෑනියෙක් උඩින් පාත් වෙලා බලය ගන්න එක අවුල්. ලෝකයා එක්ක කෙතරම් ගැටුනත් රොබට් අදත් රටවැසියාගේ නොමද ගෞරවය ලබන්නෙක්. නිදහස් අරගලය තුල ඔහු විඳි දුක් හා කල කැපකිරීම් නෙල්සන් මැන්ඩෙලා හා සමානයි.

කැරලි ගහපු උනුත් රොබට් ට කරදරයක් නෑ රොබට් යහතින් ඉන්නවා රොබට් එක්ක තරහක් නෑ කියන්නේ ඒ නිසා.

එහෙත් මේ කාන්තාව රටවැසියා තුල නිර්මාණය කර ඇත්තේ 50-50 දැක්මක්. 2014 ට පෙර ඇය ප්‍රසිද්ධ අධි වියදම් සාප්පු සවාරි වගේ දේවල් වලට. නිදහස් සටනේ වැදගත් කාර්යභාරයක් කල අම්මා ලෙස ජාතිය විසින් ආදරයෙන් සිහි කල පෙර බිරිය ඉන්න තැනට මෙයා හොරපාරෙන් ඇවිත් එතන අල්ල ගන්නවට ඒ රටේ ජන මානසිකත්වය පවා අකමැති ඇති.

රොබට් ට කරදරයක් කරන්නේ නෑ එහෙත් ඔහු වටා සිට රටේ ධනය කොල්ලකන එවුන්ට දඬුවම් කරනවා කියන්නේ ඒකයි. දැනට දන්නා තරමින් ග්‍රේස් ඉන්නේ හමුදා අත් අඩංගුවේ.

ප.ලි. ග්‍රේස් නැමීබියාවට පළා ගිය බව පසුව දැනගන්න ලැබුණා. ස්තුතියි අජිත් ධර්මකීර්ති මේ නිවුස් එක අප්ඩේට් කලාට

Tuesday, October 31, 2017

ෆෙරියක් නිසා බිහි වූ දේශ සීමාව කසුන්ගුලා

මේක  ඉස්මතු  වන්නේ ඩිරාන්  කාරියවසම්  අද  මේ  ප්‍රශ්නය ආයිත්  ඇද්ද  නිසා.  මේක  කලකට  පෙර  සාමාන්‍ය  දැනුම  සමූහයක  අහපු  ප්‍රශ්නයක්.

----------

[කිසියම් රටවල්  හතරකින්] රටවල් තුනක් යා කරන මුල්ලක් එසේම රටවල් තුනක් යා කරන තවත් මුල්ලකට මීටර කීපයක් [සීයක් හමාරක් විතර] දුරින් තියෙන තැනක් ලෝකේ තිබේ.

1. මීට හවුල් වන රටවල් හතර මොනවාද?

2. මෙසේ මීටර සීයක බෝඩරයක් ඇති වීමට හේතුවන කිසියම් ක්‍රියාකාරකමක් තියෙනවා ඒ මොකද්ද?

3. මෙම ක්‍රියාකාරකමට එරෙහිව මෑත ඉතිහාසයේ දෙරටක් ක්‍රියා කළා. ඔවුන් කලේ මොකද්ද? එසේ කලේ ඇයි?

----------

මේ ප්‍රශ්නයට පිළිතුර නැමීබියා බොට්ස්වානා හා සැම්බියා බෝඩර මුල්ල සහ සිම්බාබ්වේ බොට්ස්වානා සැම්බියා මුල්ල අතර දුර මීටර සීයක් පමණ වීමයි.

ඒ අනුව රටවල් හතර වනුයේ නැමීබියා, බොට්ස්වානා, සිම්බාබ්වේ හා සැම්බියාවයි. මීටර් සීයේ බෝඩරය හිමි දෙරට සැම්බියාව හා බොට්ස්වානා වේ. ඒ අනුව මීටර සීයකින් මිස් වීම නිසා නැමීබියාව හා සිම්බාබ්වේ අඩුම දුරින් පිහිටි ඒත් අසල්වැසියන් නොවන දෙරට වනු ඇත.




මෙම රටවල් වෙන් කරන්නේ සැම්බිසි ගඟේ ඇති තැනකිනි. මෙම දේශසීමා, මුළු හා මායිම් සියල්ල අයිති සැම්බිසි ගඟට වේ. කලකට පෙර මෙම මුල්ල ගැන හරි නියාමකයක් නොවූ අතර එය හරහා සැම්බියාව හා බොට්ස්වානා අතර ෆෙරියක් පැවතුනි. එම ෆෙරිය සහිත  තොටුපොල කසුන්ගුලා නම්  වේ.  මෙසේ  අවිනිශ්චිත  ලෙස  පැවති සීමාව  නිත්‍යානුකූල  ලෙස  ලකුණු  කරන්නට හේතු වූ ක්‍රියාකාරකම මෙම ෆෙරියයි.

පළමු වෙඩි මුරය පත්තු කලේ අපාතයිඩ් දකුණු අප්‍රිකාවයි. මීට දශක කීපයකට පෙර ඔවුහු නැමීබියාව පාලනය කළහ. මෙම මුල්ල රටවල් හතරක් හා කරන මුල්ලක් බැවින් දෙරටක් පමණක් පාලනය කරන ෆෙරිය නීති විරෝධී බව ඔවුහු පැවසූහ. පවසා ෆෙරියට වෙඩි තැබූහ. සිද්ධියේ අනිකුත් පාර්ශ්ව කරුවා වන සිම්බාබ්වේ එවකට රොඩේශියාව නම් සුදු ආන්තික දේශයයි. ඔවුහු ෆෙරිය ගිල්වා දැමූහ. අවසානයේ සිද්ධිය දුරදිග යාමට එරෙහිව එකතු වූ අප්‍රිකානු රාජ්‍ය ෆෙරිය පවත්වා ගන්නට එය හිමි දෙරටට බිම් කඩක් වෙන් කරන ලදී.




කුඩා බිම්කඩ දේශ සීමාවක් වන්නේ එලෙසිනි. කෙසේ වෙතත් මොහොතේ කසුන්ගුලා හරහා ඉදිවන පාළම මෙම ෆෙරිය භාවිතයෙන් ඉවත් කරනු ඇත. පහත දැක්වෙන්නේ එහි අවසන් ස්වරූපය ඇඳි සිතුවමකි. පාළම 2018 වසරේ නිමාවීමට නියමිතය

රටවල් හතරක් එකවර මුණ ගැහෙන ලක්ෂ්‍ය වලට quadrapoints කියා 
කියයි. රටවල් මායිම් කරන quadrapoints වර්තමාන ලෝක සිතියමේ නැත. මේ ඊට ආසන්නම අවස්ථාවයි. මට හමුවූ මේක ලඟට ඇති ඊළඟ අවස්තාව තුර්කිය හා අසර්බයිජානයට අයිති නක්චිවාන් ඔටෝනොමස් රීජන් එකේ කිමි 10 බෝඩරය වේ. මේ කිමි 10 නිසා ඉරානය හා ආමේනියාවට බෝඩරයක් නොමැත.

වර්තමානයේ නැතුවාට අතීතයේ quadrapoints තිබී ඇත. නයිජීරියා රාජ්‍යයේ කොටසක් නිදහස් නොවී පැවති 1960 දශකයේ චැඩ් විල අසල එවැනි ස්ථානයක් පැවතුනි


Sunday, October 1, 2017

පෙම් හුටපටයක්, මාලිගා කුමන්ත්‍රණයක්, අඩ සහස්වසකට පසු තවම ලිහාගන්න බැරි ගැටයක්

මේක නියම "මාලිගා කුමන්ත්‍රණ" කතාවක්.

එකමත් එක රජෙකුට කසාද දෙකකින් ළමයි කීපයක් ඉන්නවා. ඉන් සමහරෙක් කුඩා වියේදී මියයන අතර අපේ කතාවට වැදගත් වන්නේ පළමු කසාදයේ පුත් කුමරුවෙකු සහ ඔහුට බෙහෙවින් ලාබාල දෙවැනි කසාදෙ කුමාරිකාවක්. මේ කුමාරි උපන්න ගමන් පිය රජු මැරෙනවා. තරුණ වයසේ උන්නු අනිත් කසාදෙ පුත් කුමරා බලය ගන්නවා.

ඊට පස්සේ ඔහු කුමාරිකාව සහ ඇගේ පවුලේ භාරකාරත්වය අරගෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා කර තරමක නිවාස අඩස්සියක සීමිත ජීවිතෙක ඔවුන් පවත්වා ගන්නවා මීට හේතුව වනුයේ තමන්ගේ දුවට ඔටුන්න පවරා දෙන්න.

සැලසුම හරියට කරන්න ඇති ප්‍රධාන බාධාව වෙන්නේ පෙර කී කුමාරිය. ඒ නිසාම එයාව බොහෝ දෙනෙකුට බන්දලා දෙන්න ඇගේ ටීනේජස් වල සිටම උත්සහ කරනවා.

මේ කුමාරිකාව දැඩි මතයක ඉන්න ශක්තිමත් චරිතයක්. ඇය දිගටම සිය වැඩිමහල් අර්ධ සහෝදරයා කරන සැලසුම් ව්‍යර්ථ කර ගන්නවා. ඇය බලෙන් බන්දලා දෙන්න හදන සැලසුම් කීපයක් වාසනාවට මිස් වෙනවා. මේ අතරේ කුමාරි සමත් වෙනවා කුඩා කාලෙම ඇය බන්දලා දෙන්න කියල වැඩිහිටියන් හිතා උන්නු කුඩා වියේ සිට එකට හැදුනු කුමාරයෙකු සමග රහසිගතව ප්‍රේමයක් පටන් ගන්න,

රටේ කැරලි ඇතිවෙනවා. මිනිස්සු කුමාරිය එහි නායකත්වයට ගන්න හැදුවම ඇය ඒ අවස්තාව ගෙන යුද්ධය නවතා සහෝදරයා සමග එකඟතාවයකට එනවා ඇය ගේ කැමැත්තට පිටින් ඇය බන්දා දෙන්න හෝ රජුගේ දුවට රජය පවරා දෙන්න බෑ තමා ඔටුන්න හිමි කෙනා ලෙස නම්කරන ලෙස. තාම කුමාරිට 17 යි.

රජා ආයිත් කපටි සැලසුම් ගහනවා මේ කරදරකාර සහෝදරිය බන්දා දෙන්න. ඒ වෙලාවේ කුමාරිය මාලිගාවෙන් පලා යනවා. ඇගේ පෙම්වතා සේවකයෙක් ලෙස වෙස්වලාගෙන ඔහුගේ රටින් එනවා. මේ දෙන්න බඳිනවා.

ටික කලකින් සහෝදර රජු මළාම ඇය රජවෙනවා. ඇය කසාද බඳින්නේ අසල රටක ඔටුන්න හිමි කුමරෙක්. ඒ අනුව ඒ දෙන්නට හිමි රටවල් දෙක එකතුවෙලා ලොකු රටක් හැදෙනවා. එය පාලනය කරන්නේ කුමාරි රැජින ලෙස. මේ රැජින ඒ රටේ ඉතිහාසයේ ගත්තු ප්‍රබලම තීන්දුවක් ගන්නවා, ඒ රට ලෝකයේ ප්‍රබලම රටක් බවට පත්කරන්න හේතු වෙච්ච.

දැන් මේ 2017 දී මේ අමාරුවෙන් කසාද බැන්ද ප්‍රේමවන්තයින් දෙදෙනා ගැට ගහපු එක ගනුදෙනුවක් ලිහාගන්න සිද්ද වෙලා තියෙනවා.

-----------
ඔබ මෙය මේ දක්වා ගෙස් කර සිටියා නම්, මේ ඉසබෙලා සහ ෆර්ඩිනන්ඩ් ගේ පැවැත්ම උදෙසා බැඳී ප්‍රේමයේ කතාවයි. කැටලෝනියා දේශයේ කතාවයි.

කැටලෝනියා කියන්නේ වසර පන්සීයකට වඩා කාලයක් නිදහස් ව පැවති රටක්. එය පිහිටුවන්නේ මොරොක්කෝව දිහාවෙන් එන මුස්ලිම් ආක්‍රමණ නවතන අදහසින්. පසුව අසල්වැසි ඇරගන් දේශය සමග එකතුවෙලා ඔවුන් ඇරගන් රාජධානිය හදනවා. ක්‍රමයෙන් මධ්‍යධරණී දූපත් ආඳා ගන්න මේ රාජ්‍යය ප්‍රබල රාජ්‍යක්. වෙනත් බොහෝ යුරෝපිය ජාතික රාජ්‍ය තරම් ම දීර්ඝ ඉතිහාසයක් සහ අනන්‍යතාවයක් සහිතයි. මේ වෙද්දී ඉතිරි ස්පාඤ්ඤ කොටස හඳුන්වන්නේ කැස්ටීලය කියල.


Image result


1451 දී කැස්ටීලයේ ඉසබෙලා කුමරිය ඉපදිලා වසරකින් විතර තාත්ත මිය ගිහින් අර්ධ සහෝදර හෙන්රි යටතේ "නගර අඩස්සියේ" තමා හැදෙන්නේ. හෙන්රි බලන්නේ ඉසබෙලා බන්දලා දීල ලයින් එකෙන් ඉවත් කරලා තම දුවට ඔටුන්න පවරන්න. ඉසබෙලා විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ඉන්න බලනවා. හෙන්රි ඇය "විකුණා දමන්න " හෙවත් භාණ්ඩාගාරයට සල්ලි දෙන්න කැමති කෙනෙකුට බන්දලා දෙන්න හැදුවත් ඒ ගමනේදී මනාලයා මියයන නිසා ඇය බේරෙනවා. මේ කාලේ ඉසබෙලා දැරියක්.

ඉසබෙලාට 17 වෙද්දී ඇතිවෙන කැරැල්ල තුලින් ඇය සහෝදරයාගේ බලය පාලනය කරගන්නවා. ඉසබෙලා මේ අතර ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නේ අසල්වැසි ඇරගන් රාජ්‍යයේ ෆර්ඩිනන්ඩ් කුමාරයා එක්ක. ප්‍රේම සම්බන්ධ කිව්වට මුලින්ම මේක යෝජනා කරන්නේ ඇය කුඩා කාලේ. පස්සේ වෙද්දී ඒ සම්බන්ධය හෙන්රි ට පාඩු නිසා ඔහු එයට එරෙහි වෙද්දියි ඉසබෙලා ප්‍රේම සම්බන්ධයකට හරවා ගන්නේ. ඒ සියල්ල පැවැත්ම වෙනුවෙන් කරන අරගලයක් වෙන්නත් පුළුවන්.

කොහොම හරි වයස 18 වෙද්දී සහෝදරයා විසින් බලෙන්ම බන්දා දෙන ඉඩකඩ නිසාත් ප්‍රේම සම්බන්ධයට ඔහු දක්වන විරෝධය නිසාත් ඉසබෙලා මාලිගාවෙන් පලා යනවා. ඇගේ පෙම්වතා කැස්ටීලය ට එන්නේ සේවකයෙක් ලෙස වෙස්වලාගෙන. මෙයාල අතර ඥාති සම්බන්ධ නිසා [යුරෝපේ රජ පවුල් ඔක්කොම නෑදෑයෝ] මෙයාලගේ විවාහය නීතිගත කරගන්න පාප් තුමාගේ විශේෂ අවසරයක් පවා ගන්න වෙනවා. මේවා සඳහා විවිධ පාර්ශ්ව මැදිහත් වෙනවා. ඒ අනුව මේ ප්‍රේමවන්තයින්ගේ සම්බන්ධය වගේම විවාහයත් විශාල දේශපාලන සිද්ධි වලින් මෙහෙයවෙන බොහෝ දෙනා යටින් සපෝට් කරන මාලිගා කුමන්ත්‍රණ ම තමා.

කෙටි කලකින්හෙන්රි මැරෙනවා. කැරැල්ල වෙලාවේ පොරොන්දු ප්‍රකාරව 22 හැවිරිදි ඉසබෙලා කැස්ටීලයේ රැජින වෙනවා. ෆර්ඩිනන්ඩ් මේ අතර ඇරගන් දේශයේ රජු වෙනවා. දෙන්න විවාහ වෙලා හවුල් රජුන් ලෙස දෙරට පාලනය කරන්නේ. මේ දෙන්න මෙහෙම එකතු කරන රට තමා ස්පාඤ්ඤය වන්නේ. ඒ සමග වසර දාහකට ආසන්න ඇරගන් හෙවත් කැටලෝනියා ස්වාධිපත්‍යය වඩාත් විශාල කැස්ටීල් දේශයේ දියවෙලා යනවා.

නව රජ යුවලට සැහෙන ගැටළු එනවා,. හෙන්රිගේ බිරියගේ පැත්තේ අය පෘතුගීසි. ඒ නිසා හෙන්රිගේ දුවට රාජ්‍යය දෙන්න ඔවුන් යුද ප්‍රකාශ කරනවා. රට වැසියා කැරලි ගහනවා. ෆර්ඩිනන්ඩ් ඉසබෙලා යුවල මේවා එක්ක සටන් කරලා විවිධ උපක්‍රම වලින් කෙසේ හෝ දිනනවා. එපමණක් නොවේ කැටලෝනියා දේශය බිහි කරන්න පාදක වෙච්ච මුස්ලිම් ආක්‍රමණය දකුණු ස්පාඤ්ඤ පෙදෙස් වලින් එළවා, ඒ පෙදෙස් වල මුස්ලිමුන් පිටුවහල් කිරීමෙන් හෝ බලෙන් ක්‍රිස්තියානි කරවීමෙන් සහ කැරලි මර්දනය කිරීමෙන් ක්‍රිස්තියානි යුරෝපය මුස්ලිමුන්ගෙන් සුද්ද කිරීමේ පල්ලියේ කොන්තරාත් එකත් ඉවර කරන්නේ මේ ජෝඩුව. මේ දෙන්නම යුදයේ සහ නෙගොශියේෂන් වල සමතුන් ලෙස සැලකෙන්නේ. පස්සේ මෙයාලගේ මුනුපුරෙක් ශුද්ධ වූ රෝමයේ මහාධිරාජ තනතුර [මේක දෙන්නේ එහි අසොසියෙට් රටවල කෙනෙකුට] දක්වා යනවා. ඒ වගේම හබ්ස්බර්ග් නම් මධ්‍යම යුරෝපිය රජ වංශය ස්පාග්න්ග්නයට ගෙන්වන්නේ මෙයාලගේ මානසික අර්බුදයක් සහිත දියණිය ඒ වංශයේ කුමාරයෙකුට සරණ දීමෙන්. ඇයට පාලනය් කල නොහැකි නිසා සැමියා රජ වීමෙන් ස්පාඤ්ඤ හබ්ස්බර්ග් පරපුර පටන් ගන්නවා. මෙය සියවස්  ගානක්  දිගට  ඇදෙන යුරෝපා සහ කොලොනියල් රටවල්  අතර  එදිරිවාදිකම්  සහ   ගැටුම් වල මූලයක් වෙනවා.

කෙසේ වෙතත් ඉසබෙලා ගේ ස්පාඤ්ඤ දේශය පිළිගන්න හිලව්වට පෘතුගීසින් ඔවුන්ගේ අප්‍රිකානු කොලනි පවරා ගන්නවා [කැනරි දූපත් හැර]. යටත් විජිත වල සම්පත් නැවතීමෙන් ස්පාඤ්ඤය බංකොලොත් වෙද්දී, ලෝකය බෝලයක් කියල හිතු ටිකක් පිස්සු වගේ පොරක් ඇවිත් ඉසබෙලා කන්වින්ස් කරනවා බෝලේ වටෙන් ගිහින් ඉන්දියාවට යන්න සහ කුළුබඩු ගේන්න පුළුවන් කියල. ගැම්බල් එකක් වැනි මේ සැලසුමට ඇය සහය දෙනවා. රෙස්ට් වොස් හිස්ටරි. ස්පාඤ්ඤය ලෝකයේ ප්‍රබලම අධිරාජ්‍යයක් වෙන්න යන්නේ තව අවු පනහක් සීයක් වගේ.

ඔය හෙන්රිගෙන් බේරෙන්න බැඳුනු රහසිගත ප්‍රේමේ නිසා ජාතියක් භාෂාවක් සංස්කෘතියක් තිබ්බ කැටලන් වරුන්ට අහිමි වෙච්ච ස්වාධිපත්‍යය ආයේ හිමිවන්නේ නෑ. මෙතැනදී කියන්න ඕනේ ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ ස්වර්ණමය අවස්ථාවේ එහි ආර්ථික වාසි නිසා ඔවුන් දිගටම ඒක ඇතුලේ රැඳිලා ඉන්න බව. එහෙත් වරින් වර වෙන්වෙන්න ගන්න උත්සාහයන් බිඳ වැටෙනවා. 1900 ගණන් වෙද්දී කැටලන් වාමාංශිකයන් බිහිකරන වාමවාදී කෙටිකාලින සමූහාණ්ඩුව ස්පාඤ්ඤ ජාතිකවාදී මිලිටරි නායකයින් බිඳ දමලා [ස්පාඤ්ඤ සිවිල් යුද්ධය] ඔවුන් යටපත් කලත්, පස්සේ ටික ටික ඔවුන්ට ඔටෝනොමස් බලයක් දෙන්න සිද්ධ වෙනවා. කටලෝනියාව සෙසු ස්පාඤ්ඤය ට වඩා ආර්ථික අතින් දියුණු පෙදෙසක්

මේ මොහොතේ කැටලන් වරුන් නිදහස් වෙන්න ජනමතවිචාරණයක් තියනවා. කැටලන් ප්‍රාන්ත ආණ්ඩුව ඒක දින්නොත් නිදහස ප්‍රකාශ කරන්න ඉන්නේ. එහෙත් මේ වෙන්වීම ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පටහැනියි. චන්දය නීතිවිරෝධී ලෙස නම් කරලා ප්‍රාන්ත ආණ්ඩුව සතු බලය මධ්‍යම ආණ්ඩුවට අරගෙන ස්පාඤ්ඤ පොලිසිය කටලෝනියාවේ චන්ද මධ්‍යස්ථාන රේඩ් කරලා තියෙන්නේ. කැටලන් පොලිසිය කොයි පැත්ත ගන්නවද කියන එක මත සියල්ල රැඳිලා තියෙන්නේ. සමහර විට වයලන්ට් අවසානයක් වෙන්න පුළුවන්.

අද පුවත් වල කියනවා සිය ගානකට තුවාල කරගෙන ස්පාඤ්ඤ පොලිසිය ප්‍රචණ්ඩ ලෙස මර්දනය කළත් කැටලන් වරුන් නිදහසට අවශ්‍ය චන්දය දිනලා කියල. ඒ අතරම ස්පාඤ්ඤය ඒ ප්‍රතිපලය ප්‍රතික්ෂේප කරනවා නීති විරෝධී කියල. ස්පාඤ්ඤ ව්‍යවස්ථාව අනුව එය නීති විරෝධියි. එහෙත් කැටලන් වරුන් මේ තත්වය වෙනස් කර ගනියි කියා මට වැටහෙන්නේ. සමහර අවස්ථා වල ව්‍යවස්ථා වල කියන කාරණා තව දුරටත් වැලිඩ් නොවෙන්න පුළුවන්. ඒවා කොහෙවත් අර්ථ දක්වා නැහැ.

කැටලෝනියානු ප්‍රශ්නය සතුරුකම් කරන සහෝදරයෙකුට එරෙහිව තම පැවැත්ම උදෙසා  කුමාරියක් වෙනත් කුමාරයෙකු සමග සරණ යාමෙන් බිහිවූ එක්තරා ආකාරෙක විකෘතියක්. එහෙත් ඒ ප්‍රශ්නයේ ඉතිහාසය අමතක කලොත් මෙතන අපිට ගන්න දෙයක් තියෙනවා.

ඒ තමා ව්‍යවස්ථා වල මොන බහුබූත ලිව්වත් ඇතැම් මට්ටමකින් එහා දේශපාලන බල බෙදුමකින් පස්සේ රට එකට තියෙන එක at their mercy තත්වයක් කියල. මධ්‍යමය මොන බම්බුව කලත් ව්‍ය්වසතාවේ උසාවියේ මොන කෙහෙම්මලක් කිව්වත් එතනින් පස්සේ උන්ට ඕනෙනම් වෙන් වෙන්න පුළුවන්. වාර්ගික ලෙස බෙදා වාර්ගික ආතල් උත්කර්ෂ කරන තැනක නම් ඒ වාර්ගිකයන් ඉතාම ප්‍රාථමික හේතු මත වෙන්වෙන තැනට දක්කන්න පුළුවන්.

අපිට කැටලෝනියා ප්‍රශ්නය ලස්සන කේස් ස්ටඩි එකක්

ප. ලි. අන්තර්ජාලයේ  ලියවෙන  දේවල්  වල  වටිනාකම  නම්  අපිට  ඒවා නැවත  ලියන්න  හැකිවීම. ඔක්තෝබර් 1 පළමු  සටහන  ලිව්වට පස්සේ  කැටලෝනියානු  කතාන්දරයේ  ඉදිරි  විකාශයන්  වරින් වර  එකතු කරන්න  හිතුවා.

ඔක්තෝබර් 12:


කැටලෝනියාව ස්වාධීනත්වය ප්‍රකාශ කර ස්පාඤ්ඤය සමග කතාබස් කිරීමට එය අත් හිටුවා ඇත.

ස්පාඤ්ඤය කැටලෝනියානු පාලනය බලෙන් ඉවත් කර ප්‍රාන්තය මධ්‍යගත පාලනයට ගැනීම සඳහා නිදහස ප්‍රකාශ කළේදැයි ඔවුන්ගෙන් නිල වශයෙන් විමසා ඇත.

කැටලෝනියා පොලිසියේ ප්‍රධානියා ස්පාඤ්ඤ උසාවිය සමග එකඟ වන කැටලෝනියානු උසාවිය විසින් කැඳවා ඇති අතර ස්පාඤ්ඤය කැටලෝනියාවේ ස්පාඤ්ඤ පොලිස් සහ අතුරු හමුදා බලය වර්ධනය කර ඇත.

යුරෝපා සංගමය සහ ප්‍රංශය ස්පාඤ්ඤ අනුදැනුමකින් තොරව කැටලෝනියාවක් බිහිවීම ප්‍රතික්ෂේප කරති. බොහෝ ව්‍යාපාර ආයතන කැටලෝනියාව හැර යති.

ඔක්තෝබර් 13:


කැටලෝනියා කතාන්දරයේ ටයිම් ලයින් එක.

පොයු 500 ට පෙර: රෝමානු පාලනය. ස්පාඤ්ඤ ප්‍රදේශවලින් මුලින්ම රෝමානුකරණය වෙච්ච පලාතක්.

700 සියවස: අරාබි කාලිෆෙට් සහ ගොතික් ෆ්රෑන්ක් වරුන් අතර බලය හුවමාරු වීම

800-900: ෆ්‍රෑන්ක් වරුන් දකුණෙන් එන මුස්ලිමුන් නතර කරන්නට පිහිටුවන ෆ්රෑන්ක් රාජ්‍යයේ වෙසල් ස්ටේට් එක. පසුව කැටලෝනියා ලෙස නම් කෙරෙන්නේ මෙය

1100 සියවස: ෆ්‍රෑන්ක් වරුන්ගෙන් ස්වායත්ත වීම. රජුගේ විවාහයක් හරහා ඇරගන් රාජ්‍යය සමග එකතු වීම. ඇරගන් රාජධානියේ කැටලන් කියන්නේ ස්වාධීන හා සමාන ලෙස බලය හිමි පෙදෙසක්. රාජ්‍යය එකතු වුනාට පාලන දෙකක්.

1470 දශකය: ඇරගන් රජු ෆර්ඩිනන්ඩ් අසල්වැසි කැස්ටීලයේ ඉසබෙලා රැජින හා විවාහ වීම. දෙදෙනා සම-රජුන් ලෙස දෙරට වෙන වෙනම පාලනය් කරනවා.

1500 සියවස: පෙර කී යුවලගේ මුණුපුරා යටතේ එකම ස්පාඤ්ඤ දේශයක් ලෙස බාහිරයට පෙනී සිටිනවා. අභ්‍යන්තර පාලනයන් දෙකක්,

1640 දශකය: නිදහස් සටනක් තාවකාලික ස්වාධීන රාජ්‍යයක්. පසුව පරාජය වුනත් ස්පාඤ්ඤ දේශය තුල දිගටම ස්වාධීනව ඉන්න දෙනවා.

1700 ගණන් මුල: ස්පාඤ්ඤ කිරීටයේ අර්බුදයකදී පරාජිත් පිලට සහය දෙනවා 1714 බාසිලෝනා යුදමය අතින් පරාජය වෙනවා. ප්‍රතිවාදී රජු මෙතෙක් පැවති ස්වාධිපත්‍යය ඉවත් කර ස්පාඤ්ඤ දේශයේ ප්‍රාන්ත බවට පත් කරනවා

1900 ගණන් මුල: නිදහස් ව්‍යාපාර. විවිධ උත්සාහයන්. ඇතැම් විට තරමක බලතල ස්පාඤ්ඤ පාලනය ලබා දෙනවා

1930 දශකය: ස්වාධෙන ජනරජයක් ලෙසත් කැටලෝනියානු සමාජවාදී රාජ්‍යය ලෙසත් දෙවරක් ස්වාධීනත්වය ප්‍රකාශ කලත් ජෙනරල් ෆ්රන්කෝ යටතේ එන ස්පාඤ්ඤ ජාතිකවාදී හමුදා අතින් පරදිනවා [ස්පාඤ්ඤ සිවිල් යුද්දය]

1970 දක්වා: ෆ්රන්කෝ ඒකාධිපති යුගයේ සියලු පාලන අයිතීන් ඉවත් කෙරෙනවා

1978: ෆ්රන්කෝ ට පස්සේ නැවත බලය බෙදීම පටන් ගන්නවා,

2005: කැටලන් භාෂාවට මුල්තැන දෙන්න, ව්‍යපාර වලට අවැසි නිදහස වගේ විශාල මට්ටමේ නිදහසක් ලැබෙනවා.

2010: ඒ 2005 දුන්නු බොහෝ දේ නැවත පවර ගන්නවා.

2017: තවම  ලියවෙමින් ...

ඔක්තෝබර් 28:


දැන් ඔය කැටලෝනියා සිද්දිය ගැන කලක් ලියල මම එයාලව තනි කලේ නෑ ෆ්රෙන්ස්. අවදානමෙන් සොරි අවදානයෙන් උන්නේ. හැබැයි මෙතෙක් ඉග්නෝ කලේ එයාලත් සිරිසේන රනිල් යුවල වගේ තවුසන් ඉන්කම්ප්ලීට් ටෝක්ස් වීම නිසා.

පහුගිය සති කීපය කිව්වොත් කැටලන් කට්ටිය චන්දෙ තියල දිනන්නේ. නිදහස් ප්‍රකාශනයට අත්සනකුත් දැම්ම. හැබැයි ඊට පස්සේ එක සස්පෙන්ඩ් කළා. ස්පාඤ්ඤය එක්ක සාකච්චා කරන්න ඕනේ කිව්ව. දැන් එහෙම කිව්වම හිතෙයි තාම යන්න අදහසක් නෑ කියල. මොන? යන හැටි ගැන ඒ කිව්වේ ඉස්සරා දොරෙන් ද පස්ස දොරෙන් ද වගේ එව්වාලු කතා කරන්නේ. නෝ නෙගොශියේෂන් අබවුට් වට් ටු නෙගොශියෙට්

ස්පාඤ්ඤ කාරයත් එහෙමම වැඩක් කළා. ඉස්සරින්ම කිව්ව නිදහස ප්‍රකාශ කලාද කියා කියන්න කියල. කැටලන් එකා මීක් නොකියා ඔය සමහරු ලොරි ටෝක් දීල උත්තර දුන්නම ෆේස්බුක් ආවේ නෑ වගේ ඉන්නේ එහෙම හිටියා. ඒ පාර ස්පාඤ්ඤ ලොක්ක තරවටු කළා ආටිකල් 155 දානවා කියල.

ආටිකල් 155 කියන්නෙත් මුන්ටම හරියන එකක්. ඕකේ තියෙන්නේ මෙච්චරයි. කවුරු හෝ ප්‍රාන්තයක් රටේ නීති කඩයි නම් ස්පාඤ්ඤ පොදු අවශ්‍යතා වලට එරෙහිව ක්‍රියා කරයිනම් ඒ පොදු අවශ්‍යතා වෙනුවෙන් ඒ නීති කැඩීම නවතන්න කළහැකි ඕනෙම එකක් කරන්න මධ්‍යම රජයට බලය ලැබේ කියල. ෆයර් වර්ක්ස් බලා උන්නනම් මේකේ ඇතුලේ මොකුත් නෑ. ඒවුනාට ඒක අත්සන් දැමු හිස් කොලයක් නිසා ස්පාඤ්ඤ රජයට තියෙන නියුක්ලියර් ඔප්ෂන් එක කියලයි කියන්නේ

[ඔප්ෂන් එක නියුක් වෙන්නනම් දරන්නා ස්පාඤ්ඤය වගේ පවර්ෆුල් වෙන්න ඕනේ කියල තේරෙනවනේ]

හැබැයි ඕක අස්සේ තියෙන සරල අර්ථය නම් රට බෙදන්න ආවොත් ප්‍රාන්ත ආණ්ඩුව විසුරවා එහි පාලන මූල්‍ය පොලිස් මාධ්‍ය වැනි ආයතන මධ්‍යමය යටතට ගන්න කියන එක.

දැන් මෙයාලගේ කැට් මවුස් ගේම ඔහොම සිරිසේන ටයිප් තර්ජන එක්ක ඇදිලා ගියා. ඒ අතරේ දෙගොල්ල නිකම්ම හිටියේ නෑ.

ස්පාඤ්ඤය බිම් මට්ටමේ ක්‍රියාකාරී කැටලන් නිදහස් කාමී පක්ෂ දෙකක නායකයින් දෙන්නෙක් ඇරෙස්ට් කරනවා. ඒ උද්ඝෝෂණ මෙහෙයවීම කියන චෝදනාවට. ඒ වගේම කැටලන් පොලිසිය අධිකරණය යටතට ගන්නවා. මොකද පොලිසිය ට පමණයි වචන වලින් එහා යමක් කල හැකි. කැටලන් පොලිසිය මේ දක්වා දෙපැත්තම නොගෙන නියුටල් උන්නේ. හැබැයි ඒ නිසාම රජයට [ස්පාඤ්ඤ] ද්‍රෝහී වීමේ චෝදනාවට එකේ ලොක්කට නඩු දාල ඌ ෆයර් කරලා තමන්ට ඕනේ එකෙකුට පොලිසියේ බලය දෙනවා ස්පාඤ්ඤය.

කැටලන් වරු ලෝකේ පුරාම කිය කියා ගියාට යුරෝපා සංගමේ නිශේධ බලයක් තියෙන ඇමරිකාවට යුදමය ලෙස සහය සපයන නේටෝ සාමාජිකයාට මොකෙක්වත් මීක් කිව්වේ නෑ. මිනිස්සු පාරට බස්සන එක තමා එකම දේ. දැනට ඔවුන් ඒක කරගෙන යනවා. දන්නවනේ සපෝට් තියෙන්නේ 50/50,

ස්පාඤ්ඤය පොර උනාට ඌටත් ලොකු ඔප්ෂන් නෑ. පාලනය පවරා ගත්තට වැඩිකල් තියාගන්න බෑ සදාචාර පදනමින්. ඉක්මනින් චන්දයක් තියලා අලුත් ආණ්ඩුවකට දෙන්න ඕනේ. එතකොට මූ වගේ වෙන එකෙක් අයි එන්න පුළුවන්. ඔන්න ඕක නිසාම වැඩි බලයක් දාල මිනිසුන්ට රිද්දන්න බෑ. ස්පාඤ්ඤය දැන් ට්‍රයි කරන්නේ බෙදුම්වාදීන් චන්දෙන් පරද්දන්න.

ඔන්න ඔය හේතුව නිසා මේක දුර යන්න දෙන්න බෑ. ඒ නිසා අද ස්පාඤ්ඤ සෙනෙටය ආටිකල් 155 සම්මත කළා. ඒ අනුව ස්පාඤ්ඤ පොදු අවශ්‍යතා වලට එරෙහිව ක්‍රියා කරයිනම් ඒ පොදු අවශ්‍යතා වෙනුවෙන් ඒ නීති කැඩීම නවතන්න කළහැකි ඕනෙම එකක් කරන්න මධ්‍යම රජයට බලය ලැබේ.

දැන් අර ජනමත විචාරණය කෝමත් රෝල් කරලා ගහගන්න වෙන නිසා ඔන්න ඔහේ කියල කැටලන් වරු නිදහස සම්මත කරලා ප්‍රකාශ කළා.

දැන් ආයිත් වටයක් නඩු කියන්න වෙනවා ඔබ්වියස් උනාට මෙව්වා ඉලීගල් කියන්න.

මෙතනින් එහාට කිසිම නිශ්චයක් නෑ. ශක්තිවන්තයා දිනයි. ඒ කිව්වේ ඉතින් ස්පාඤ්ඤය.

හැබැයි ස්පාඤ්ඤය මේ එක සටන දිනන ආකාරය මත යුද්දය පරදින්න පුළුවන්. මොකක් කලත් ආයේ මාස කීපෙකින් කැටලන් මිනිස්සුන්ට චන්දයක් පවත්වා පාලකයෙක් ගේන්න දෙන්න වෙනවනේ. මෙතන නා ගත්තොත් සබන් එදාට ලැබෙයි.

ඔක්තෝබර් 29:

පෙරදා ලියු සටහනට අමුතුවෙන් එකතු කරන්නට ඇත්තේ;

- කැටලෝනියා ප්‍රාන්ත රජය මධ්‍යමය විසින් විසිරුවාහරින ලද බවත්;

- කටලෝනියාවේ අලුත් ප්‍රාන්ත මැතිවරණයකට දින නියම කර ඇති බවත්,

- දැනට පවතින නීති යටතේ වත්මන් ප්‍රාන්ත පාලකයාට චන්දයට ඉදිරිපත් විය හැකි බවත්,

- ඔහුට විරුද්ධව ස්පාඤ්ඤ උසාවිය "රට දෙකඩ කිරීම" යටතේ නඩු දැමීමට සිතා සිටින බවත්,

- කැටලන් පොලිසිය මධ්‍යම රජයේ අණසක යටතට ගෙන ඇති බවත් ය.

ප්‍රාන්තය විසිරුවා හරින්නට පෙර නිදහස ප්‍රකාශ කල නිසා ඒ විසිරුවා හැරීම වැලිඩ් නැතැයි ප්‍රාන්ත පාලකයින් කියන කතාව හුදු වාගාලපයකින් එහා දුරක් යන බවක් නොපෙනේ.

එහෙත් මේ මොහොතේ ප්‍රාන්ත රජයේ නායකයාට එරෙහිව මධ්‍යමය ගන්නා පියවර දෙපැත්ත ම කැපෙන පිහියකි. යම් හෙයකින් ඔහුට එරෙහිව නඩු දමා දඬුවම් කලොත් ඔහු චන්දයට ඉදිරිපත් වීම වැළකිය හැකිය එහෙත් එවැන්නකින් ජන මතය වඩාත් ඔවුන් දෙසට හැරෙනු ඇත.

මේ මොහොතේ බෙදුම්වාදීන් පැරදී ඇති මුත් ස්පාඤ්ඤ රජයට දිනන්නට චන්දයක් තිබේ. 40%ක් විවිධ බාධා මධ්‍යයේ පවා බෙදී යාමට පක්ෂ බවට සටහන් කර ඇත. තවත් මේ දිහාවට හැරෙන පිරිස් වැඩි වීමට ඉඩ ඇත. ස්පාඤ්ඤ රජයට ඇති එකම බලාපොරොත්තුව නම් මේ අවිනිශ්චිත අස්ථාවර අපහසු තත්වය හිසරදයක් වී ජනයා ආපහු හැරෙන්නේ නම් පමණි.

කෙසේ වෙතත් මේ කතාව අස්සේ මිනිසුන් දෙදෙනෙක් ජයගෙන ඇත. මේ දක්වා යන්තම් මාජින් එකේ බලය ලබාගත් [හිටපු] කැටලෝනියා නායක කාලස් පුයිජමොන්ට් තම ප්‍රාන්තයේ වීරයෙක් බවට පත්වන බව පෙනේ. එය ඊ ගාව චන්දයට එන්න ලැබුනොත් වාසියක් වනු ඇත. එසේම ඉතා සුළු බලයක් ලබා වෙනත් පක්ෂ ආධාරයෙන් බලයේ ඉන්න ස්පාඤ්ඤ නායක මරියානෝ රහොයි ත් මේ හාරහා තමන්ට අවශ්‍ය කැරිස්මා එක හදා ගන්න බවයි තේරෙන්නේ.


මේ අවස්ථාවේ  ස්පාඤ්ඤ  රජයේ  ලොකුම තුරුම්පුව  බෙදුම්වාදයට එරෙහි  කැටලන් විපක්ෂය. ගැටලුව  විසඳන්න  නම්  පහත  පින්තුරේ  ඉන්න  කැටලන්  විපක්ෂ  නායිකා  තිස්  හය  වියැති  අ'නීස්  ඇරිමදස් අතට  බලය  ගන්න වෙනවා ඊ ගාව  චන්දෙ.  අ'නීස්  ගේ  එක  වැදගත්කමක්  තම අ ඇය  නියෝජනය  කරන්නේ  ස්පාඤ්ඤ  ජාතික  මට්ටමේ  පක්ෂයක්  වීම  ඒ  නිසා  අ'නීස්  ට  ස්පාඤ්ඤ  අගමැති  පුටුව  දක්වාම  යන්න  පුළුවන්.  මේ  සියලු  ගැටළු  විසඳෙන්න  තිබ්බ  ස්පාඤ්ඤ  එකමුතුව  වෙනුවෙන්  සටන්  වදින  කැටලන් තරුණ ආකර්ශනීය  දේශපාලන  නායිකාව  රටේ  ලොකුම  පුටුවට  ගියානම්. අවුරුදු  පන්සීයකට  ඉස්සර  ලස්සන  තරුණ  කෙල්ලක්  නිසා  පැටලුනු  ගැටේ  විසඳන්නත්  එහෙමම  එක්කෙනකුට  බැරි  නෑ.


Image may contain: 1 person, smiling, sitting

ඔක්තෝබර් 30:

මේ මොහොතේ බාසිලෝනා හි එක්රැස් වන්නේ එක්සත් ස්පාඤ්ඤ දේශයක් වෙනුවෙන් ඇති අවසන් තුරුම්පුවයි. එනම් බෙදී යාමට එරෙහි කැටලෝනියා ජනතාවයි. ඒ අනුව ඉදිරි මැතිවරණයේ ඔවුන් බහුතරය බවට පත්කර ගන්නට මරියනෝ රාහොයි ප්‍රමුඛ ස්පාඤ්ඤ පාර්ශ්වය උපරිම උත්සාහය ගනු ඇත.

ගැටලුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිවාදී පාර්ශ්වය ගැනයි. බිම් මට්ටමේ උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කුඩා බෙදුම්වාදී අන්තවාදී පක්ෂ දෙකක නායකයින් අත් අඩංගුවට පත්විය. මේ මොහොතේ ස්පාඤ්ඤ උසාවිය කටයුතු කරන්නේ සහ මේ උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ බෙදුම්වාදී කැටලන් නායක කාලස් පුයිජමොන්ට් සිරගත කරන ලෙසයි.

එය කෙතරම් සීරියස් තර්ජනයක් ද කිවහොත් ඔහුට දේශපාලන රැකවරණ දීමට බෙල්ජියම ඉදිරිපත් වී ඇත. තමන් මේ තර්ජනය ගැන සිතන්නේද කියා පුයිජමොන්ට් මතයක් පළකර නැති අතර ඔහු අදහස් කරනුයේ තවමත් මැතිවරණයට ඉදිරිපත් වී නැවත ජය ගෙන වෙන්ව යාමේ ක්‍රියාවලිය පෙරට ගෙන යාමටයි. වැදගත් තර්කය නම් රැකවරණ දීමට හේතුව ලෙස බෙල්ජියම නගන කාරණය වේ. පුයිජමොන්ට් හට සාධාරණ විනිශ්චයක් නොලැබෙන බවට බෙල්ජියම සිතයි. එය බරපතල තත්වයකි.

මෙතැන් සිට කැටලන් බෙදුම්වාදීන් හට සාධාරණ සම අවස්තාවක් ලැබේයයි කොහෙත්ම සිතිය නොහැක. ඔවුන්ගේ මැතිවරණ මෙහෙයුම් රට බෙදීමේ චෝදනා නීති කැඩීමේ චෝදනා වල සීමාවන්ට යටත්ව ඉතාම දියාරු ලෙස කරගෙන යන්නට සිදුවනු ඇත. කොහොමත් 50/50 බැලන්ස් එකක ඇති කැටලන් මතයට එමගින් බලපෑමක් ඇති කරනු නො අනුමානයි. ස්පාඤ්ඤ රජය අනිසි මට්ටමේ බලහත්කාරකමක් නොකලොත් එහි වාසිය ඔවුන්ට ලබාගත හැකි වනු ඇත.

කෙසේ නමුත් රට එක්සත් ව තියාගන්නට "ඕනෑම දෙයක් කරන්නට" [මූලික නීති බිඳ නොදමා] ස්පාඤ්ඤ රජයට ආටිකල් 155 යටතේ බලය ලැබේ. එහෙත් ආටිකල් 155 තිබ්බත් එය හුදෙක් වගන්තියක් පමණි. ස්පාඤ්ඤ රජය සතු සැබෑ බලය මේ මොහොතේ ඔවුන් හා එකතු වන කැටලන් ප්‍රජාවයි. ඔවුන් නොමැති නම් ආටිකල් 155 ට කල හැක්කක් නැත.

එහි වැදගත් ම කාරණය නම් නීතියේ මොකක් ලීවත් වෙන්වී යන කතිකා ඉස්මතු කල හැකි ප්‍රාදේශීය ඒකක බිහි කරන්නේ නම්, රට එක්සත්ව පවත්වා ගන්නට ඒ ප්‍රාදේශීය ඒකක වල සැලකිය යුතු ජන සහයක් එක්සත් මතවාදයට අවැසි බවයි. 50-50 ලෙස නොමැතිව 80-20 ලෙස බෙදුනා නම් අද ස්පාඤ්ඤ රජය කුමන ලියවිලි සම්මත කලත්, උසාවි මොන තීන්දු දඬුවම් දුන්නත්, සෙසු ලෝකයා කුමක් කීවත් කැටලෝනියා දේශය බෙදී යාම වැළකිය නොහැක.

කාලස් පුයිජමොන්ට් සිරගත කරන මෙන් ඉල්ලන ඔහුගේම වාර්ගික ප්‍රජාවේ බාසිලෝනා රැලිය ස්පාඤ්ඤ-කැටලෝනියා අර්බුදයේ මේ මොහොතේ වැදගත් ම සාධකය වන්නේ එබැවිනි.

නොවැම්බර් 5:


විසිරුවා හරින ලද කැටලන් පාර්ලිමේන්තුවේ නායකයා සහ ඇමති තනතුරු දැරුවන් ඇතුළු සියලු ඉහල නිලධාරින් ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ස්පාඤ්ඤ උසාවිය කටයුතු කරයි. රාජ්‍ය විරෝධය, කැරලි ගැසීම සහ මහජන මුදල් නාස්ති කිරීම [මේ මහජන මුදලින් ජනමත විචාරණය පැවැත්වීම නිසා නගන චෝදනවාවකි] ඒ චෝදනා වේ ලබාදිය හැකි උපරිම දඬුවම් වසර තිහ පමණ දිගු සිර දඬුවමකි, එය මේ බොහෝ දෙනාට ජීවිතාන්තය දක්වා වනු ඇත.

හිටපු කැටලන් නායක කාලස් පුයිජමොන්ට් දැනට ඉන්නේ බෙල්ජියමේ ය. ඔහු සමග චෝදිතයෝ හතර දෙනෙක් සිටිති. තව අට දෙනෙක් දැනටම අත් අඩංගුවට ගෙන ඇත.

තමන්ට සාධාරණ විනිශ්චයක් නොලැබෙන නිසා ආපසු නඩුවට නොඑන බව කැටලන් නායකයා පවසයි. ස්පාඤ්ඤ දෘෂ්ටි කෝණය අනුව ඔවුන්ට බේරීමට ඒ හැටි ඉඩක් නොපෙනේ. පුයිජමොන්ට් හට සාධාරණ තීන්දුවක් නොලැබෙන නිසා ඔහුට දේශපාලන රැකවරණ දීමට බෙල්ජියම ඉදිරිපත් වූ නමුත් පුයිජමොන්ට් ඒ අවස්තාව තවම ඉල්ලා නැත.

පුයිජමොන්ට් අල්ලා ස්පාඤ්ඤ රජයට බාරදෙන නියෝගයක් යුරෝපා කලාපය සඳහා ස්පාඤ්ඤ උසාවිය විසින් නිකුත් කර තිබේ, දේශපාලන රැකවරණ ඉල්ලා නැති නිසා මේ සඳහා බෙල්ජියම බැඳී සිටින මුත් මේ සුවිශේෂී අවස්තාව ගැන අවසන් තීන්දුවක් ගන්නට මාස තුනකට වඩා ගතවන බව බෙල්ජියම පවසයි.

තව මසකින් කැටලන් මැතිවරණය පැවැත්වේ. කැටලෝනියා නිදහස පතන සියල්ලන් එකතු කල එක සන්ධානයක් හැදීම සඳහා පුයිජමොන්ට් උත්සහ කරයි. අවස්ථාවේ හැගීම්බර වාසිය ද ඊට යොදාගත හැකිය.

එහෙත් ඔවුන් ඒ මැතිවරණය දිනුවත් ඉතාම දරදඬු ලෙස උසාවිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පෙනේ. කැටලන් අර්බුදයේ 2017 කතාන්ගයේ අවසානය තුල දේශපාලන පිටුවහල් වීමක් හෝ පොදු සමාවක් හැරෙන්නට වෙනත් ගැලවීමක් ඔවුන්ට නොපෙනේ. ඒ හැරෙන්නට ඉතිරි වී ඇත්තේ යුරෝපයේ මානව වාදය දැඩි අවඥාවට ලක් කෙරෙන නෙල්සන් මැන්ඩෙලා පන්නයේ සිරකරුවන් කීපයක් පමණි. කිසිම රටක් කැටලෝනියා දේශය පිළිගන්නේ නැත.

නැවත වරක් සිහිපත් කරනුයේ මේ තත්වය ලංකාවේ සිදු වීනම් දේවල් සපුරා වෙනස් වන ආකාරය සංසන්දනාත්මක ලෙස සැලකිය යුතු බවයි. 90 දශකයේ මුල භාගයේ එවකට උතුරු නැගෙනහිර නම් පළාතේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශකළ මහා ඇමති වරයාට ශ්‍රී ලංකා රජය දිගටම ආරක්ෂාව දුන් අතර අදටත් යුද්ධයට සම්බන්ධ කිසිවෙකුත් රාජ්‍ය විරෝධය හෝ කැරලි ගැසීම යන කාරණා වෙනුවෙන් නීතිය හමුවට ගෙනත් නැත.

නොවැම්බර් 17:


ජනමත විචාරණය දිනවල කොලාහාල කිරීම සහ රාජ්‍ය විරෝධය යන චෝදනා මත අත් අඩංගුවේ සිටින කැටලෝනියා බෙදුම්වාදී සුළුතර පක්ෂ වල නායකයින් [පුයිජමොන්ට් ගේ පක්ෂයේ අය නොවේ] දෙසැම්බර් මැතිවරණය සඳහා පුයිජමොන්ට් සමග එකතුවෙති. ඒ අනුව සියලු බෙදුම්වාදීන් එක අරමුණකින් එක පක්ෂයකින් ඉල්ලන්නටත් සිරගත කිරීම් නඩු ආදිය තම මැතිවරණ ව්‍යාපාරයේ මූලික ප්‍රචාරක පාටයක් කරගන්නටත් බොහෝ විට ඉඩ ඇත. කැටලෝනියානු බෙදුම්වාදීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ස්පාඤ්ඤය කල ගැම්බල් එක මෙයයි.

කෙසේ වෙතත් නීතියෙන් වරදකරුවන් වුවහොත් ඒ අයගේ තනතුරු අහිමි වනු ඇත. එහෙත් ගැටලුව නම් ඔවුන්ගේ සිදුවීම් පාදක කරගෙන බෙදුම්වාදීන් කැටලෝනියා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කිරීමේ ඉඩකඩ යි.

ස්පාඤ්ඤය ජයග්‍රාහි බවක් මේ මොහොතේ පෙනුණත් මේ ක්‍රියාදාමය දීර්ඝ කාලයක් පවත්වා ගන්නට ඔවුන්ට හැකි නොවනු ඇත. ස්පාඤ්ඤය සතු එකම ගැලවීම බෙදුම්වාදීන් කැටලෝනියා මැතිවරණයකින් පැරදවීම පමණි.

දෙසැම්බර් 22:


කතළුඤ්ඤ දේශය හෙවත් කැටලෝනියාවේ ප්‍රාන්ත රජය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම නිසා විසුරුවා හැර, ස්පාඤ්ඤ මධ්‍යම රජයට බලය පවරා ගත්තනේ. ඊට පස්සේ නැවත පැවැත්වූ ප්‍රාන්ත මැතිවරණයේ වැඩි බලය නැවතත් යන්නේ බෙදුම්වාදී කණ්ඩායම් වලටමයි. හැබැයි මෙවර පෙර වතාවේ තරම් විශාල බලයක් නෑ. දැනට පෙනෙන පරිදි ආසන 70-65 වගේ තියෙන්නේ.

මේක පුදුමයක් නෙවි, චන්දයට පෙර සිද්ධි ගතහොත් වෙන්වීමේ ජනමත විචාරණය පොලිස් පහරදීම් මගින් මර්දනය කරන්න හදල ඊට පස්සේ වෙන්වීම ප්‍රකාශ කිරීම සමගම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා, ජනමත විචාරණය පවත්වපු ප්‍රාන්ත ඇමතිවරු සහ වෙන්වීමට විරුද්ධ පාර්ශ්ව වල නායකයින් අත් අඩංගුවට අරගෙන, අත් අඩංගුවට ගන්න එක වලකන්න හිටපු ප්‍රාන්ත නායක පුයිජමොන්ට් ට රටින් පැනල යන තැනට වැඩ සලස්වපු ස්පාඤ්ඤ රජය බෙදී යන්න කැමති පක්ෂ වලට ජනමතය වාසි වෙන තැනට කටයුතු කළා. කෝමත් ජනමත විචාරණයේ දැක්කේ ලියාපදිංචි චන්ද වලින් 40% එදා වෙන්වෙන්න සහය දුන්න කියල. මේ චන්දෙ ප්‍රකාශිත මුළු චන්ද 80% ක්.

කෙසේ නමුත් වැඩිම ආසන ගණන දිනන්නේ බෙදී යාමට එරෙහි සිටිසන්ස් හෙවත් පුරවැසියෝ පක්ෂය. තනි බහුතරයක් නොවන නිසාත් බෙදී යාමට එරෙහි අනෙක් පාර්ශ්ව වලට ආසන අඩු නිසාත් ඔවුන්ට බලය ගන්න අමාරුයි. විශේෂයෙන්ම ස්පාඤ්ඤ මධ්‍යම රජයෙ අගමැති ගේ පක්ෂය කැටලෝනියාවේ අන්ත පරාජයක් ලැබීම ඊට එක හේතුවක්.

සිටිසන්ස් ප්‍රාන්ත නායිකා  අ'නීස් අරිමදස් කියනවා අවස්තාව අවම වුණත් බලය ගන්න උත්සහ කරනවා කියල. බොහෝ විට දැනට ප්‍රාන්ත පාලනය පවරාගෙන ඉන්න ස්පාඤ්ඤ මධ්‍යම රජය ඇයට රජයක් පිහිටුවන්න යෝජනා කරන්න ඉඩ තියෙනවා, එහෙත් එහෙම වුනොත් එය සුළු කාලෙකට පමණක් පවතින රජයක් වෙයි බොහෝ දුරට. එහෙම නොවෙන්න නම් ජාතිකවාදීන් සහ වාමාංශික හරිත පාක්ෂිකයන් එකම රජයකට ගත්ත නවසීලන්ත කම්කරු පක්ෂ අගමැතිනිය කළා වගේ මැජික් එකක් කරන්න වෙනවා අරිමදස් ටත්.

ව්‍යවස්ථාව අනුව ස්පාඤ්ඤ රජයට ඕනෙනම් ප්‍රාන්තය දිගට තියාගන්න වුනත් පුළුවන්. එහෙත් තව දුරටත් එය කල හැකි දෙයක් ලෙස පෙනෙන්නේ නෑ. මේ තත්වය නිසා ස්පාඤ්ඤ රජය පරාජය වුණා කිව්වත් නිවැරදියි. ඔවුන්ට පෙනෙන එකම ධනාත්මක දෙය නම් මේ චන්දයේ ආසන වැඩියෙන් ගියාට බෙදුම්වාදීන්ට ප්‍රකාශිත චන්ද වලින් 50% ලැබිලා නෑ කියන එක. එනම් බෙදී යාමට ජනමත විචාරණයක් තියල මේ ආකාරෙටම මිනිස්සු චන්දෙ දුන්නනම් මාජිනලි බෙදුම්වාදීන් පරාදයි.

ඒත් දැන් ඒවා රැඳිලා තියෙන්නේ ප්‍රාන්ත රජය අතේ. ස්පාඤ්ඤ රජය සමහරවිට අත් අඩංගුවේ ඉන්න අයට දැඩි දඬුවම් දීල පුයිජමොන්ට් ට එන්න බැරි තැනට කටයුතු සලසන්න ඉඩ තියෙනවා, එහෙත් ඒක තවත් මිනිස්සු කුලප්පු කරන්න හේතු වෙන්න පුළුවන්. අනික මේක පුද්ගලයින් ගැන කතාවක් නෙවි. එසේම කැටලෝනියා දේශපාලකයින්ට මේක අමුතු දෙයක් නෙවි. පුයිජමොන්ට් ට කලින් උන්නු නායකයත් වෙන්වී යාමේ චන්දයක් තිබ්බ කියල වසර ගණනක දේශපාලන තහනමක ඉන්නේ. එතකොටයි පුයිජමොන්ට් ආවේ. ඉතින් පුයිජමොන්ට් සහ සිරගත වී ඉන්න අය නැතිනම් වෙන එකෙක් එතනට එයි.

මේකෙන් නැවත පෙන්නන්නේ බෙදී යාමට අවශ්‍ය දේශපාලන රාමුව හදල දුන්නට පස්සේ ඒක නවතන්න කෙතරම් අමාරුද කියල. ස්පාඤ්ඤ රජයට තියෙන ජාත්‍යන්තර බලය නිසා කාගෙන්වත් සහයක් නොලැබිලත්, රටේ ව්‍යවස්ථාවෙන් ස්වයන් තීරණ අයිතිය ප්‍රාන්තයට තහනම් කරලත්, නායකයින් අල්ල අල්ල දේශපාලන තහනම් සිර දඬුවම් දීමට නීති පියවර ආදිය අරගෙනත්, ප්‍රාන්ත පොලිසිය සම්පුර්ණයෙන් නිෂ්ක්‍රිය කරලත් තවම මේකේ වාසිය බෙදුම්වාදීන්ට. ඒකත් යන්තම් චන්දදායකය 50/50 ට බෙදිල ඉන්න වෙලාවේ. අනික නීතියට කටයුතු කල හැක්කේ අතීත කාලීන ලෙස හෙවත් බෙදන්න උත්සහ කල උන්ට එරෙහිව පමණයි. අනාගතේ ඒ තැනට වෙන එකෙක් එන එක වලකන්න බෑ. බෙදුම්වාදයට කාගේ මූණ ඉස්සරහට දානවද කියන එක ගැටලුවක් නෙවි. ඒ නිසා බෙදුම්වාදයේ මොමෙන්ටම් එක එකතු වුනොත් ආපහු හරවන එක ඉතාම අමාරු වැඩක්.

මැයි 18:


කැටලෝනියා ප්‍රාන්ත පාලනය සඳහා මාස පහකට ඉස්සර තිබ්බ චන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුව නායකයෙක් පත්කරගෙන තියෙන්නේ දැන්. ඊට හේතුව නම් හිටපු නායක කාලස් පුයිජමොන්ට් ට නැවත රටට එන්න ස්පාඤ්ඤ රජය ඉඩ දෙන්නේ නැති එක. ස්පාඤ්ඤ නීතියට පටහැනි වෙන්වී යාමේ චන්දය නිසා ඔහුව අත් අඩංගුවට ගන්න ඉන්නේ ස්පාඤ්ඤ මධ්‍යම පාලනය විසින්.

මේ නිසා අවසානේ ඔහුගේ සහාය ලබන හොකිම් තෝරා තමයි බලය ලබා ගන්නේ. ඒ සඳහා තිබ්බ චන්දය 66-65 ලෙස ජය ගනිමින්. වෙන්වී යාමට පක්ෂ පාර්ශ්ව වලට සභාවේ 70-65 බලයක් තිබ්බත් ඉන් සමහරු පෙර රජය පැවැත්වූ ජනමත විචාරණය හේතුවෙන් සිරගත කරන්න ඉඩ තියෙන නිසා රටින් පලා ගොස් තියෙනවා.

දැනටමත් පෙර රජයේ තනතුරු දැරූ බොහෝ දෙනෙකු නීතිය ඉදිරියට ගෙනත් නඩු මෙහෙයවමින් පවතින්නේ. ඒ අතර කාලස් පුයිජමන්ට් සහ රට හැර පලා ගොස් ඉන්න කීපෙකුත් ඇතුලත්. අනික් අය මැඩ්රීඩ් වල රිමාන්ඩ් කර තියෙන්නේ.

මීට කලින් නායකයෙක් තෝරන්න ගත්ත උත්සාහය කෙළවර වන්නේ ස්පාඤ්ඤ රජය ඔහුව පෙර ජනමතවිචාරණය හේතුවක් ලෙස දක්වා සිර කිරීමෙන්. දැන් පත්වෙලා ඉන්න නායකයාවත් ඔහුගේ ට්විටර් එකේ පෝස්ට් හේතුවක් කරගෙන සිරගත කරන්න මේ වෙද්දී වැඩසටහනක් ක්‍රියාත්මකයි.

කොහොම වුණත් අපි මේ දකින්නේ ප්‍රබල ස්පාඤ්ඤ රජය ක්‍රමයෙන් බෙදුම්වාදී උත්සාහය නීතිය යොදාගෙන යටපත් කරන ආකාරය. ඔවුන්ට තව සුළු වෙනසක් කිරීමෙන් හෝ සමහරවිට තව එක වරක් චන්දයක් පැවැත්වීමෙන් බලය මාරු කල හැකි බවක් පෙනෙන්නේ. මේ නිසාම වෙන්න ඇති වෙන්වී යාමට එරෙහි පාර්ශ්වයේ පුරවැසි පක්ෂ නායිකා අනීස් අරිමදාස් දැනට නායකත්වයට තරග නොකර තමාට සහය දෙන ආසන 65 දිගටම බෙදුම්වාදී නායකයට එරෙහිව යොදාගනිමින් ඉන්නේ. අවසාන ජයග්‍රාහිකාව ඇය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

Tuesday, July 25, 2017

කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් වරුන් අතට වැටෙන්නට බලපෑ ස්වාභාවික සංසිද්ධියක් තිබේද?

ප්‍රශ්නය සාමාන්‍ය දැනුම ග්රූප් [දැන් හෙණ ගොඩයි] වල අහපු එකක්.

---------------

රෝම අධිරාජ්‍යයේ අගනුවර ලෙස කලක් පැවතුනු කොන්ස්තන්තිනෝපලය පසුව බයිසන්තිනු අධිරාජ්‍යයේ අගනුවර විය. ඉන්පසු ඔටෝමන් තුරකින් 1453 දී එය අත්පත් කර ගත්හ. මෙය ලෝක ඉතිහාසයට වැඩිම වෙනසක් කල තනි සිද්ධිය ලෙස සැලකිය හැකිය.

පූර්ව රෝම යුගයේ බයිසන්තියම නම් නගර රාජ්‍යයක් ලෙස ද රෝම හා බයිසන්තිනු අධිරාජ්‍ය තුල කොන්ස්තන්තිනෝපලය ලෙස ද පසුව තුරකින් අතේ ඉස්තාන්බුල් ලෙස ද නම් ලද මෙම නගරය කොන්ස්තන්තිනෝපලය ලෙස සහශ්‍රයකට වඩා බොහෝ සුරක්ෂිත ලෙස පැවතුනි. දුර්ලභ ලෙස වරක් පමණක් පරාජය වූ නමුත් ඒ කාලයේ දරුණු ආක්‍රමණ රාශියක් සාර්ථකව පරාජය කරන ලදී. වසර ගණනක් වටලා සිටියත් ප්‍රබල මොංගල් හමුදාවකට පවා නගරය අල්ලා ගත නොහැකි විය.

මෙතරම් ප්‍රබල ලෙස පැවතුනු නගරය ඔටෝමන් අතට පත්වීමට පිරිහෙන යුද බලයට අමතරව ප්‍රබල මානසික කඩා වැටීමක් ඇතිකළ ස්වාභාවික සිද්දියක් බලපෑ බව කියවේ. නැගෙනහිර ක්‍රිස්තියානියේ අවසන් බල කඳවුර ලෙස මුස්ලිමුන් වටලා සිටින මොහොතක අනාවැකි කරුවන් කී අශුභ ලකුණු රාශියක් එකවර ප්‍රාදුර්භූත වූ බව කියවේ. මේ අසුභ සලකුණු සාමාන්‍යයෙන් සිදු නොවන දුටුවන් බියගන්වන දේවල්ය. එසේම ඒ ස්වාභාවික සංසිද්ධිය නිසා නගර වාසීන්ට ලැබෙන ආහාර අස්වනු අඩු වීමක් වූ බව ද කියවේ, ඒ නිසා වැටලීම වඩාත් සාර්ථක විය.

අවසන ඔටෝමන් වරුන් පහර දෙන්නේ මේම ස්වාභාවික අසුභ සලකුණු දැක පරාජයේ භීතියෙන් ආත්ම විශ්වාසය බිඳී නගරයකටය. මෙය නගරයේ නොබිඳිය හැකි මුරකාවල් බිඳ වැටීමට හේතු වූ බව පැවසේ,

මේම සිද්ධීන් ගැන නිරවුල් ඔප්පු කිරීම් නැති නමුත් දැනට ඒම ස්වාභාවික සිදුවීම ගැන සැක කෙරෙන ස්ථානයක් පවතී.

1. මේම ස්වාභාවික සිද්ධිය කුමක්ද? සිදුවූ බවට සැක කෙරෙන්නේ කොතනද?

2. එහි බලපෑමෙන් නගරය අත්විඳි බියජනක දේවල් මොනවාද?

-------------------

කොන්ස්තන්තිනෝපලය ලෙහෙසියෙන් කෙනෙක් අල්ලලා නෑ. කීප වරක් ෆේල් වෙන නිසා ඔටෝමන් ලා ආපහු යන්න පවා කතා වෙනවා

දැන් ඔය ප්‍රහාරයට මාස කීපෙකට පෙර නගරයේ වසන්ත අස්වනු හොඳටම අඩු වෙනවා මෙය සීජ් එක නිසා තදින් වදිනවා. ඒ එක්කම මැයි මාසේ දවසක සඳ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වගේ දුඹුරු අඳුරු පාටකින් පායන්නේ. සඳ නගරේ සලකුණ. අනාවැකි අනුව නගරේ වැනසෙන්නේ සඳ ඔහොම වෙන දවසක. ඒ එක්කම මහා මුරුගසන් වැස්සක් වැටෙනවා. හේල් එක එක්ක හිටගන්න පවා බෑ කියනවා නගරය යටවෙනවා. ඒ සමගම ෆොග් එකක් එනවා. මේ කාලෙට කවදාවත් ෆොග් ඇවිත් නෑ. ෆොග් ඉවර වෙනකොට දේව මෑණියන් ට යාඥා කරමින් ඉන්න මානසිකව වැටුණු මිනිස්සු දකිනවා මහා බැසිලිකාවේ වහලෙන් රැස් හෝ ගිනිදැල් අහසට විහිදෙනවා. දුර තියෙන ගම්මාන වලිනුත් එහෙම වෙනවා. මේ සමග දෙවියන් පවා අප හැර ගියා කියලයි උන් හිතන්නේ, ඔටෝමන් ලා බහින්නේ මෙහෙම මානසිකව බිඳ වැටුණු නගරයට. ඒ නිසා තමා වැටෙන්නේ.

ඔටෝමන් ලාත් මෙලෙසින්ම මානසික ව වැටෙනවා මේ සීන් උන්ටත් පෙනෙන නිසා, ඒ වැටිල්ල නිසා තමයි ආපහු යන්න හදන්නේ. හැබැයි එක උපදේශකයෙක් හමුදාවේ මතය ලෙස බොරු මතයක් රජාට කියල එක සටනක් කොහොම හරි කරගන්න අවසර ඉල්ලන්නේ [මූ ග්‍රීකයෙක් - පාවාදෙන්නෙක්], ඒ සටන උන් ග්‍රෑන්ඩ් ස්ටයිල් කරන්නේ. ගහන්න කලින් ගිනි මැල ගහනවා හැම තැනම. ඒවා තුර්කියේ පවා ගහනවා. නගරවාසීන් වටෙන්ම ඇවිලෙන ගැනිය නොහැකි ගිනි ගොඩවල් දැක බියෙන් බියට පත්වෙනවා [ඒ වෙද්දී දෙවියොත් හැර ගිහින්]. ඊට පස්සේ අල්ලා තමයි දෙයියා මොහොමඩ් තමයි පණිවුඩකරු කියන එක එකම වෙලාවේ මුළු ඔක්කොම ඔටෝමන් ලා කෑගහනවා. විසි තිස් දාහක් මෙහෙම කා ගහද්දි නගරය ඇතුල තවත් වැටෙනවා. ඊට පස්සෙයි උන් එන්නේ.

රෙස්ට් වොස් හිස්ට්‍රි නොවේ. හිස්ට්‍රි වොස් රී රිට්න් බයි රෙස්ට්. එදා ඔය නගරේ නොවැටෙන්න මේ මුළු ලෝකෙම වෙනස් තැනක්. එහෙනම් තුනපහ හොයාගෙන පෘතුගීසින්  අප්‍රිකා/ආසියා  කලාපෙට  එන්නෙත්  නෑ,  ඉන්දියාවට  යන්න  ගිහින් කොලොම්බස් ඇමරිකාවේ  හැප්පෙන්නෙත්  නෑ.  එව්වා  වෙයි  හැබැයි  ඔයිට  හෙමින්. ඉතින් ලෝක ඉතිහාසය  ආයෙත්  කොණක  සිට ලියන්න  වෙයි

රායිට් දැන් හැබෑටම මොකද වුනේ?

ඔය සිද්ධි වුනේ ඔතන පමණක් නොවේ. චීනයේ නොකඩවා මාසගානක් වැටෙන අඩි ගානක් ගනකම හිම නිසා මිනිස්සු දාස් ගණන් මැරෙනවා. ස්වීඩනයේ අස්වනු හටගන්නේ නෑ. ඒ වෙද්දී ලෝකය කුඩා මට්ටමේ හිම යුගයක උන්නේ එය තීව්ර වෙනවා. 1456 හේලිගේ ධූම කේතුව පායන්නේ රතු පාටට.

මේ ඇයි?

බොහෝ දෙනෙක් හිතනවා 1452 හෝ 1453 මුල විශාල ගිනි කන්දක් [සුපර් පවුලට ආසන්න එකක්] විදාරණය වෙලා කියල. එයින් යන විශාල ප්‍රමාණයක් දූවිලි පොලොව වටේ පැතිරීමෙන් මේ සිද්දි වෙනවා කියල. අස්වනු නැත්තේ ඉර එලිය අඩු නිසා, වර්ෂා හිම ෆොග් එන්නේ ඒ ධුලි සහ සල්ෆර් වල බලපෑමෙන්. හඳ සහ ධුමකෙතුව රතු/දුඹුරු වන්නේ දූලි වලින්. ඒ වගේම විශාල විදාරනයකින් වාතයට මුදාහැරෙන ආරෝපිත අංශු විසින් ලෝහමය වහලවල් වල ගිනි වැනි සලකුණු ඇති කරනවා [1880 දශකේ ක්‍රකටෝවා පිපිරුනාම ඇමරිකන් බිල්ඩින් වලට ෆයර් බ්‍රිගේඩ් ගෙන්නලා තියෙනවා]. කොහොම වුනත් ඔය කාලේ වසර 400 විතර අස්සේ මහා විදාරණ හතරක් විතර වුනා කියනවා. 1200 ගණන් වල වෙච්ච ලොකුම එක හිම යුගයට හේතුව ලෙස සලකනවා මිනිස් ඉතිහාසයේ වාර්තාගත ලොකුම එක වන ටම්බෝරා ට වඩා ලොකුයි කියා හිතන්නේ. හැබැයි ඒ තැන දන්නේ නෑ.

1452 වෙච්ච එක නම් දැනට ලෝකේට් කරගෙන ඉන්නේ කොන්ස්තන්තිනෝපල් එකෙන් ලෝකේ අනිත් පැත්තේ වනවාටුවල කුවායේ [Kuwae] විදාරණය කියල. දූපතක් චකබ්ලාස් වී විශාල සුනාමියක් ෆැසිෆික් වල ඇතිකර දූපත් වාසීන් රැසක් මරාගෙන දැන් Kuwae ගිනිකන්ද තියෙන්නේ මූද යට. 1450 අවට කාලයට දින තීන්දු වෙලා තියෙන නිසා මේක තමා සැලකෙන්නේ කල්ප්රිට් ලෙස.