Showing posts with label ඔසී සීන්. Show all posts
Showing posts with label ඔසී සීන්. Show all posts

Thursday, January 25, 2024

අවුට්බැක් සහ ඔස්ට්‍රෙලියාව අපිට දැනෙන හැටි

මාතෲකාවට එන්න කළින් ඔස්ට්‍රෙලියාව ගැන පොඩ්ඩක් ඇහැ හුරු කරගෙන ඉමුකො. බාහිර අය රට ගැන දන්න තරම අඩු නිසා. 


මේ තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවෙ රෝඩ් ඇන්ඩ් ට්‍රැක් මැප් එක. ඒ කිව්වෙ මහාමාර්ග හා පස් පාරවල්. මේකෙන් පේන්න ඕනෙ  මිනිස්සු වැඩියෙන් ඉන්න තැන් ටික. විශේශයෙන්ම මාර්ග වලින් කියන්නෙ එකිනෙකට සම්බන්ද මිනිස් ජනාවාස ගැනනෙ.

ඔස්ට්‍රෙලියන් අවුට්බැක් කියන්නෙ ඔන්න ඔය මිනිස්සු අඩුවෙන් ඉන්න තැන්වලට පොදුවේ කියන නම. හෙවත් අඩුවෙන් සම්බන්ද ප්‍රදේශ. ඒත් එහෙම කිව්වට මේ අවුට්බැක් ගැන ප්‍රමාණික චිත්‍රයක් කාටවත් නෑ. තියෙන චිත්‍රය තමා මේ පෝස්ට් එකෙ විස්තර කරන්න හදන්නෙ.

පොඩි ඩිස්ක්ලේමර් කීපයක් තියෙනව ඒ ටික ඉස්සරින්ම කියල ඉම්මු
  • අවුට්බැක් කියන්නෙ ලෝකෙ ප්‍රචලිත නමක් ලේබලයක්. මේකට සිංහල වචනයක් හැදුවැකි. ඒත් ලොකෙ තියෙන ඔක්කොටම අපබ්‍රංශ සිංහල වචන ඕනෙ නෑ. ඒක කියවන්නාට හදුනාගන්න අසීරු වෙන තත්වයක්නෙ. ඕනෙම ඔරිජිනල් වචනයකට අර්තයක් තියේනෙ. ඔස්ට්‍රෙලියාව කියන්නෙ දකුණුදිග නොදන්නා ගොඩබිම හෙවත් ටෙරා ඉන්කොග්නිටා ඔස්ට්‍රාලිස් කීයන එකෙන් කැඩුණු එකක්. ඕන්නම් ඕකට "දකුණු රාජ්ජෙ" කියල කිව්වැකි. හැබැයි මං එහෙම ලිව්වම කාටවත් මීටර් වෙන්නෙ නෑ කන්ෆියුශන් පමණයි. ඒ නිසා මම මේ සටහනේ අවුට්බැක් සිංහලට හරවන්නෙ නෑ. 

  • මේ උත්සාහ කරන්නෙ සිතියමක් අරගෙන අවුට්බැක්  ලකුණු කරන්න විතරක් නෙවි (ඒකත් කරනව තේරුම් ගන්න උදව් වෙන්න). ඒක කියවන්නාට එක සර්ච් එකකින් කරගන්න පුලුවන්. මේ සටහනේ අරමුණ නැගෙනහිර ඔස්ට්‍රෙලියානු වෙරළේ ජීවත් වන්නෙක් ලෙස මට හෝ මං දන්න තරමින් මා වටා ඉන්න සමාජයට අවුට්බැක් කියන එක දැනෙන්නෙ කෝමද කියල කියන්න. මම හිතනවා, කෙනෙක් රාජකාරි විනෝදය හෝ ජීවන අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර දෙවේලෙ අවුට්බැක් තැන්වලට යන්නෙ එන්නෙ නැත්නම් මේ කියන ෆීලින් එක එයාල කාටත් ඇති කියල.

  • තවේකක් තමා මම මේකෙ දුරවල් විස්තර කරන්නෙ දවසක ඩ්‍රයිව් එකක් දවස් දෙකක ඩ්‍රයිව් එකක් වගෙ වචන වලින්. ඒ ඉතින් 110 පාරෙ 120-140 ට විතර වාහනේක යන්න ගතවෙන කාලෙ තමා. ඒත් එහෙම්ම යන්න ඕනෙ නෑ මෙහි කියවෙන සියලු ස්තාන වලට ගුවන් පහසුකම් තියෙනව මම වගෙ වාහන මේනියාව නැති අසරණයින්ට ඕනෙනම්. මෙතන ඩ්‍රයිව් වලින් දුර කියන්නෙ කාටත් තේරෙන බාසාවක් නිසා. මොකද කිමි 2000 කිව්වට බොහො දෙනෙකුට ෆීල් වෙන්නෙ නෑ.

  • දැන් ඔය අවුට්බැක් කියන්නෙ එකාතකින් සාපේක්ශ වචනයක්. නිකම් ලන්කාවෙ භාවිතාවෙන "ඩොටේ" වගෙ එකක්,  ඒ නිසා අවුට්බැක් කියන එක තමන් ඉන්න තැනට සාපේක්ශව වඩාත් ගන්පැත්තක් ගැන කියන්න යෙදවෙනව. සිඩ්නි වලදි කිමි 300 පමණ බටහිරෙන් තියෙන  ඩබෝ වගෙ තැනක් අවුට්බැක් කියල කියවෙන්න පුලුවන්. ඩබෝ වලදිත් තරමාක් කුඩා ටවුමකට අවුට්බැක් කියවෙන්න පුලුවන්.  සාමාන්‍යයෙන් ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් බටහිට ඔක්කොම් ව්ගෙ අවුට්බැක් තමා. ඒත් මම මෙතන කතාවෙන්නෙ ඒ පෙදෙස්වල තියෙන අපිට දුර ගැන අනුමාන තියෙන නගර හා ගම්මාන නෙවි. ඒ ඔක්කොටම පිටින් තියෙන අපට ග්‍රහණය නොවෙන රියල් අවුට්බැක් එක ගැන.

හරි, අවුට්බැක් කියන්නෙ මොකද්ද? ඒක මෙහෙම කතාවට ගම්මු.

සිඩ්නි වලින් පටන් ගම්මු මගෙ දෲශ්ටි කෝණයෙන්. දැන් මේ සිඩ්නි කියන්නෙ ලංකාවෙන් 1/5 විතර ලොකු නගරයක්. නව නගර  සැලසුම් එක්ක ග්‍රේටර් සිඩ්නි කිව්වම ලංකාවෙන් බාගෙක විතර සයිස් ඒරියා එකක්. මේ ග්‍රේටර් සිඩ්නි අර්බන් රීජන් එකක් හෙවත් ජනාවාසයෙන් ජනාවාසය එකිනෙක බැදුනු එව්වයෙ ඉන්න මිනිස්සු ඒකෙ එක එක දිහා වලට ගමන් බිමන් යන රස්සාවට යන මිනිස් වාසස්තාන එකතුවක්. මේකෙන් එලියට ගියාම  දවසකින් වගෙ යන්න පුලුවන් මෙල්බර්න් (නිරිත) හෝ බ්‍රිස්බේන් (උතුර) වලට. කැන්බරා (නිරිත) දවස් බාගයක් වගෙ. ඇඩිලේඩ් (බටහිර) දවස් දෙකක්  වැඩිම වුනොත් තුනක්. ඔය ඔක්කොම පහු කරන්නෙ ටෙම්පරට් දේශගුණයක තියෙන පලාතක්. ගොවිබිම් හිස් බිම් වන බිම් පොඩි පොඩි ප්‍රාදේශිය නගර එහෙම පහුකරගෙන තමා යන්නෙ. එක දිගට මිනිස්සු නැතුවාට මිනිස් වාස ළග ළග තියෙනව. වනගහන වෙනම මාක් වෙලා තියෙනව. ග්‍රේට් ඩිවයිඩින් කන්දෙ උඩ කැන්බරා ආසන්නෙ ප්‍රධාන පාරවලින් වෙන අතකට ගියාම තියෙනව වින්ටරේ හිම වැටෙන කලාපයකුත් ස්නෝවි මවුන්ටන්ස් කියමු. තව බ්‍රිස්බේන් වලින් උතුරට ගිය හැකි. දේශගුණය වනගහනය වෙනස් වෙනව ට්‍රොපිකල් තාලෙට. පොල් ගස් කොස්ගස් උක් වතු කෙසෙල් වතු ඝන වනන්තර (ට්‍රොපිකල් පන්නෙ) පහු කරගෙන යන්න පුලුවන් මූද අයින දිගේ කෙයාන්ස් ටවුන්ස්විල් වෙනකම් ඒ බ්‍රිස්බේන් සිට දවස් දෙකක විතර ඩ්‍රයිව් එකක් සිඩ්නි සිට නම් තුනක් වගෙ. 

තව ලංකාව විතර දූපතක් තියෙනව ටැස්මේනියා. ඒ දූපත ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් ඉතිරි වෙච්ච කෑල්ලක් නිසා ඒක තනිකරම මහ කදු ගොඩක්. තැන්නක් හොයාගන්න ලේසි නෑ. ඉඩ තියෙන තැන් කීපෙක නගර කීපයක් තියෙනව ඒකෙ හොබාට් තමා මූලික නගරෙ. ලක්ෂ දෙකතුනක් තමා ඔක්කොම ඉන්නෙ.

දැන් මන් ඔය කිව්ව  කලාපෙ කොනේ සිට කොනට වාහනේක යන්න ගමනට පමනක් එක දිහාකට සතියකට මදක් අඩු කාලයක් යාවි. මෙහි සදහන් ප්‍රධාන නගර වලට අමතරව ප්‍රාදෙශිය නගර ඩොට්  ඩොට් වගෙ තියෙනව සීයක් වගෙ. එව්ව අවට ගොවිබිම්. මේ කොහෙවත් කාන්තාර නෑ. ග්‍රේට් ඩිවයිඩින් කන්ද මේ කිව්ව මුලු ඒරියා එකේ කෙයාන්ස් හරියෙ ඉදන් මෙල්බන් වෙනකම් (හා ටැස්මේනියාවෙත්) උතුරු දකුණු  නාරටියක් වගෙ තියෙනව. නාරටිය මැද උපරිම උස ලංකාවෙ මධ්‍ය කදුකරය විතර ඉදන් නාවල පිටිය ගම්පොල නුවර වගෙ උසකට වෙනස් වෙනව. ඒක දෙපැත්තට ස්ලොප් වෙනව. වෙරළ පැත්ත හෙවත් සුළං මුහුණතේ තමා ලොකු නගර ඔක්කොම තියෙන්නෙ. එහෙට වහිනව ගංගා ගලනව ලොකු ජනගහන ඉන්නව. සුළං මුවාව ලංකාවෙ වියළී/ශුෂ්ක කලාප වගෙ ඒවයෙ තැන තැන පොඩි නගර තියෙන.  බහුතරේ  දුවන්නෙ භූගත ජලයෙන්. ඇඩිලේඩ් එයාගෙම චූටි කදු පන්තියක් එක්ක ඉන්නව කොනේ නගරයක් ලෙස. මම ඔය විස්තර කළ කොටස සැහෙන්න ලොකු රටක්. කම්පෙයා කරනවනම් ඉරානය මෙක්සිකෝව විතර සයිස් රටක් මේ කිව්ව ටික.

තව කලාප තුනක් තියෙනව ඒව වෙන වෙනම සළකන්න ඕනෙ ඒව පෙර කී නොබිදුනු මිනිස් කලාපයට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ. ඒ තමා පර්ත් සහ ඒ අවට කලාපය (ලංකාව සයිස්), ඩාවින් නගරය (ලන්කාවෙ දිස්ත්‍රික්කයක්  විතර), ඇලිස් ස්ප්‍රින්ස් නගරය (ලංකාවෙ පොඩි ප්‍රාදෙශිය ටවුමක් විතර). මේ තුන තරමක ජනගහන ව්‍යාප්තියක් තියෙන කලාප තුනක්. සැකැස්මෙන් පෙර කී ප්‍රදේශය වගේමයි. මේව කලින් එව්ව වගෙ ඩ්‍රයිව් මෙච්චරයි කියල සම්බන්ද කරගන්න බෑ. කලින් කිව්ව රටෙන් වෙන් වෙලා තියෙන්නෙ. නිකම් ෆෙයරි ටේල් එකක ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගෙ නෙවිනම් වෙනත් මානයක තියෙන ලෝකයක් වගෙ ප්ලේන්  වල නැගල මේවයෙ මිනිස්සු යනව ගිහින් ඒ කිව්ව කෑල්ලෙ තියෙන දේවල් විදල එනව. එව්වයෙ ඉන්න අයත් ඉතිරි කෑල්ලට එනව යනව. අපිට මේ කෑලි තුන ගන්න වෙන්නෙ දූපත් තුනක් ලෙස. මැද්දෙ තියෙන්නෙ පස් වුනාට මූද තිබ්බා හා සමානයි. වාහන/ෆෝවීල් පිස්සො, රාජකාරියට ඩ්‍රයිව් කරන උන්, පතල් කාරයො අරුන් මුන් ඇරෙන්න ඉතිරි බහුතරේට ඔය කලාප තුන ෆීල් වෙන්නෙ එහෙම.

මේක තමා ඔස්ට්‍රෙලියාව කියල අපි දන්න දැනෙන රට. මම කළීන් දාපු සිතියමම අරගෙන ඔය කිව්ව කලාප ටික ඒකෙ ලකුණු කරනව. ඔය නැගෙනහිරට වෙන්න තියෙන ඉරානය හෝ මෙක්සිකෝව තරම් ප්‍රදේශය තමා අපි ඉන්න අපිට එදිනෙදා දැනෙන රට. ඕකට එකත් වෙන "ගොඩබිම පිහිටි" දූපත් තුන තමා අනිත් රවුම් කරපු ප්‍රදේශ. 
 



බහුතරයක් ඔස්ට්‍රෙලියානුවො (සංක්‍රමණිකයො පමණක් නෙවි ඔක්කොම  මිනිස්සු) ජීවත් වෙන්නෙ ට්‍රිප් යන්නෙ ෆීල් කරන්නෙ තැන් වශයෙන් දන්නෙ කොටින්ම ඔස්ට්‍රෙලියාව කියල කියන්නෙ ඔය මාක් කරපු කෑලිවලට. ඒව ඇතුලෙ ඔවුන් ජීවත් වෙනගමන් ඒවා අතර එක්කො හයිවේ එකකින් හෝ ගුවනින් යනව. 

හැබැයි අපි තාම කතාවට ගත්තෙ මුළු භුමියෙන් 1/5 ටත් අඩු කෑල්ලක්. ඉතිරි 4/5 තමා අවුට්බැක්.  ඒකෙ තියෙන්නෙ රතුපාට පස් හෝ සුදු වැලි වලින් හැදුනු ශුෂ්ක බිමක්, ඒකෙ තැන
 
තැන පොඩි පොඩි පදුරු,  සමහර දුර්ලභ තැනක පොඩි වන වදුලු, කාන්තාර ශාඛ, ලොකුවට  සත්තු කියල නෑ, වැඩියෙම්ම ඉන්නෙ ඔටුවො තමා ඔටුවන් මිනිස්සු හදල අතෑරිය හෙවත් ෆෙරල් සතුන්. මුන්නම් මිලියනයකට ආසන්න ගානක් ඇති කියා හිතනව සමහර එස්ටිමට් අනුව ලක්ශ 12ක් - ලෝකෙ ලොකුම ඔටු රංචුව. භූවිශමතා ගත්තත් කන්දක් කියල ලොකුවට නෑ (ඔක්කොම කේස් වලට හේතුව මේක තමා). ගංගා  කියල සීසනලි ගලන එව්ව තියෙනව. ඒවයෙ වැඩි හරිය රට තුලට ගලා අතුරුදහන් වෙන්නෙ. විල් කිව්වට සීසනලි පිරෙන  ලවණ විල් තියෙන්නෙ ඒව හිඳිල හැදෙන සෝල්ට් ෆ්ලට්ස් තමා වැඩි. මේ සීසනලි කියන්නෙ ලංකාවෙ වගෙ වසරක් පාසා නෙවි සීසන් වල ටයීමින් අවු 7 8 සිට 10 20 වගෙ කාල ප්‍රාන්තර. මහා වාලුකා කාන්තාර තියෙනව. බ්‍රිතාන්‍ය දූපතට මදක් කුඩා සයිස් තඩි හිරිගල් පර්වතයක් තියෙනව  ඒකෙ කිසිම ගහක් නොහැදෙන නිසා ඒකට නලබෝර් කියල කියනව, ලස්ස්න භූමි නිර්මාණ තියෙනව හැමෝම දන්න උලුරු (අයර්ස්) පර්වතය එකක්.

මේක අස්සෙත් මිනිස් ක්‍රියාකාරකම් තියෙනව. සමහර ජල ප්‍රභව තියෙන තැනක දෙකක ලන්කාවෙන් බාගෙ කාල සමාරවිට ලන්කාවටත් ලොකු සයිස් කෑලි වල හරක් කීප දාහක් වගෙ දාගෙන ඉන්න තනි තනි ෆාම් කීපයක් තියෙනව. තව පොලොව හාරගන්න හැදුනු මයිනින් ටවුන්ස් කීපයක් තියෙනව. එදා පටන් මුලු ඔස්ට්‍රෙලියාවම තම ග්‍රහණයට ගත්ත, මේ කාන්තාර හැදෙන කොට ඒව එක්කම අනුවර්තනය වෙච්ච ස්වදේශික ගම්මාන තියෙනව. යුරොපින් අර පෙරකී "රටෙන්" එලවා දාපු ස්වදේශියන්ගෙන් සමහරුත් ඒ ගම්මාන වලටම ගිහින් තියෙනව. ස්වදේශික කිව්වට දැන් ඉන්නෙ ගෝත්‍රික තාලෙට නෙවි පොඩි පොඩි ගෙවල් හදන් ඒවට ඒසී එහෙම තියෙනව නගර නොවුනට නාගරික හුරුවක තමා ඉන්නෙ. ඔය ඔක්කොම එකතු කළත් නොගිනිය හැකි තරම් කුඩා ජනගහනයක් එන්නෙ මුලු අවුට්බැක් එකටම. මේ කලාපෙ තමයි සමර් එක දවල්ට හතලිස් පහෙන් එහා රෑට තිස්පහෙන් එහා  සති ගණන් තියෙන්නෙ. ඉතිරි පහෙන් හතර හෙවත් අවුට්බැක් කියන්නෙ ඕකට.

හැබැයි මේ පහෙන් හතරෙ සයිස් එක අපි කාටවත් හිතාගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක එහෙම කරගන්න අවශ්‍ය නොකැඩුනු මිනිස් ක්‍රියාකාරකම් පැතිරීමක් වෙලා නෑ.  මේ කියන කලාපෙ කොච්චර කොච්චර එහාට යන්න පුලුවන්ද කියන එක ගැන ෆීල් එකක් නෑ. ඒ නිසාම මේ ඕනෙම තනි ජනාවාසයක් සළකන්න වෙන්නෙ ලෝකෙන් වෙන් වූ කෑල්ලක් කියල. මෙන්න මෙහෙම එක "ලෝකෙන් වෙන් වූ" ජනාවාසයකට ගිය යූටියුබර් කෙනෙකුගෙ වීඩියෝවක් තියෙනව කැමති කෙනෙකුට බලල ෆීල් එක ගන්න පුලුවන්. ස්තානීයව මිසක අවුබැක් ගැන එහි විශාලත්වය ගැන ෆීල් එකක් බොහොදෙනෙකුට නෑ.

අවුට්බැක් වල දිග හා පළල මනින්න අපිට ෆීල් වෙන එක විදියක් තමා ඒ හරහා යන ලක්සරි දුම්‍රිය දෙක. සිඩ්නි සිට පර්ත් දක්වා ඇඩිලේඩ් හරහා යන ඉන්ඩියන් පැසිෆික් ලක්සරි දුම්‍රියේ ඇඩිලේඩ් සිට පර්ත් දක්වා දින තුනක් යනව. මේ තමා අවුට්බැක් වල නැගෙනහිර-බටහිර අතට තියෙන දිග මැනෙන එක විදියක්. ඇඩිලේඩ් සිට ඩාවින් බලා යන ද ඝන් ලක්සරි දුම්‍රියේ කාලය දින දෙකහමාරක්. මේ තමා අවුට්බැක් වල උතුරු-දකුනු පළල මැනෙන එක විදියක්. ඒත් ඩොලර් හාර පන්දාහ ටිකට් අරන් මේ කෝච්චි දෙකේම ගිය පිරිස ඉතාම කුඩා නිසා ඒක බහුතරයක් මිනිස්සු දන්න දෙයක් නෙවි. 

ඔස්ට්‍රෙලියාව සහ අවුට්බැක් ගැන ෆීල් වෙන්නෙ ඔන්න ඔහොමයි. ෆීල් වෙන එව්ව ඉතින් පුද්ගලික නිස හැමෝටම එහෙමයි කියල කියන්න බෑ, ස්පෙශලි අවුට්බැක් අස්සෙ වාහන වලින් නිතර යන එන අයට එහෙම. සමස්ත අදහසකට වඩා මේ දෙන්න හදන්නෙ බහුතර අදහසක්.


Monday, November 7, 2022

අවුරුදු මිලියනයක් තිස්සේ ගලන දියකඳ

වැහි වතුර ගංගා දිගේ මූදට ගලනවනෙ. ඒත් පොලොව වැහි වතුර උරාගන්න තාලෙට සවිවර වුණොත් මොකද වෙන්නෙ? ගංගා හැදෙන්න බෑනෙ. වතුර පොලොවට උරාගන්නව. මේක සුලබව වෙන දෙයක්. හැබැයි එහෙම උරාගන්න වතුර පොලොව යටට ගැඹුරට බහින කොට යටින් එහෙම සවිවර නැති ගල් තට්ටුවක් හම්බුනොත් මොකද වෙන්නෙ? තව බහින්න බෑනෙ ගල් තට්ටුව මත පැතිරෙමින් පස් තුල එකතුවෙනව පස් මිශ්‍ර ටැංකියක් වගෙ, තිරස්ව පැතිරෙනව කොහෙන් හෝ ගඟක් මූදක් ඒම නැතිනම් ගල් තට්ටුවෙ අවසානය හම්බෙනකම්. මතුපිට පස්වල ජලය වාශ්ප වුනාට යට ජලය ඉතුරු වෙනවා. මේ ක්‍රියාදාමයට ඇක්විෆයර් එකක් කියල කියනව. ඇක්විෆයර් එකක් හැදෙන ජියෝලොජික් සැකැස්මට ආටීසියානු බේසින් කියල කියනව.

දැන් ඔය කියන ටැංකිය හෙවත් ඇක්විෆයර් එක අති විශාල භුමියක තියේනම්, ඒකෙ පුරාම ඉතාම ගැබුරෙ - කිමි ගානක් යට - තනිකර ගලක් නම් සහ ගඟක් මූදක් පලාතෙ නැත්නම් මොකක් වෙයිද?

ඔස්ට්‍රෙලියාවෙ මැද හරියෙ වෙන්නෙ එහෙම එකක්. මේ තමා ග්‍රේට් ආටීසියන් බේසින් එක. මේ ජාතියෙ ලොකෙ තියෙන ලොකුම එක.






ඔස්ට්‍රෙලියාව මැද්දෙ ඉදල මූදට ගලන ගංගා නෑ. මතුපිට සවිවර (හිරිගල් වගෙ) පාශාණ කිමි තුනක් පමණ වෙනකම් ගැඹුරට යනව. ඊට යටින් කලුගල් වගෙ වතුර නොබහින බේස් එකක්. ඉතින් මේකට වැටෙන වතුර පාශාණ තට්ටුව ඇතුලෙ එකතුවෙමින් ගලායනව. කොච්චර ගැලුවත් ගඟක් මූදක් හමුවන්න මාර දුරක් තියෙනෙන්, යට කලුගලත් එහෙම්ම තියෙනව. මේ නිසා වතුර එකතුවෙලා ලෝකෙ ලොකුම ස්වාභාවික වතුර ටැංකිය හැදෙනව. වර්ගපලයෙන් මේක ඉරානෙට වටා ලොකුයි, ගැඹුර කිමි තුනක් විතර වෙනකම් තියෙන්න පුලුවන්. රැස්වන මුළු වතුරෙන් මුලු ලෝකෙම මීටර බාගයක් උසට පුරවන්න පුලුවන්. ඇතිතරම් පැතිරී යන ඉඩ තියෙන නිසා හෙමි හෙමි ගලන ජලය අවසානෙ මතුපිටට ඇවිත් ඩාලින් ගඟ හරහා මූදට යන්න අවුරුදු මිලියනයක් පමණ යනව කියනව.

අවුරුදු මිලියනයක් !!! ඕස්ට්‍රෙලියාවෙ මැද්දට අවුරුදු මිලියනේකට ඉස්සර වැහැපු වතුර ඉරානෙ තරම් වපසරියක කිමි තුනක් වගෙ ගනකමට තියෙන ටැංකියක ස්ටෝ වෙලා දැන් තමා මේ මූදට ගලන්නෙ. හෝමෝ සේපීයන් ලා බිහිවෙච්ච කාලෙ වගෙ තුන්ගුණයක් ඉස්සර !!!

ටැංකියෙ මතුපිට හරිය කට්ටෙට වේලිලා කාන්තාර හා ශුෂ්ක දේශගුණයක් වෙලා තියෙන්නෙ. ඒත් ඒකෙ සමහර තැන්වලින් වතුර එලියට එනව. ටැංකියෙ ප්‍රෙශර් සහ භු විශමතා අනුව සමහර තැන්වල පොඩි පොකුණු කළපු වගෙ එව්ව හැදෙනව. එව්වයෙන් තමා මේ රට මැද කෑල්ලෙ ඉතාම තුනීව පැතිරිලා ඉන්න සතුන් හා අවුරුදු පනස්දාහක් වගෙ හීවත්වන ස්වදේශික ප්‍රජාව පැවැත්ම සළසා ගන්නෙ. ඒත් ඒව මදි නවීන ශිෂ්ටාචාරයක් පවත්වාගන්න.

යුරෝපියානුන් මුළින්ම ආවම මේ ජල හිගය නිසා ඔවුන්ගෙ මුල්ම ගවේශකයින් සැහෙන්න කරදර වින්දා. මුල්ම කාලවල මධ්‍ය ඔස්ට්‍රෙලියාව සැහෙන තරමක් ගවේශණය කළ චාල්ස් ස්ටර්ට් ඒ ගමන් වලදි ජල හිගයන්ට මුහුණ දීල ශරීර ආබාධ හදා ගත්ත, නොමැරි බේරුණේ නූලෙන්. ඒත් කෙටි කළකින්ම ඔවුන්ට මේ සම්පත හමුවුණා. 1800 ගණන් වල අගබාගෙ ඔස්ට්‍රෙලියාවේ නල ළිං හාරන එක මහා ලොකු ව්‍යාපරයක් වුණා. නල ළිං සමහරක ප්‍රෙසර් එක නිසා වතුර එලියට ගලා ඇවිත් කුඩා කාණු දිගේ ගලල පරිසරයට වාශ්ප වෙලා ගියා, තාමත් එහෙම ඔහෙ ගලා යනව. නල ළිං වලින් කර්මාන්ත පතල් සත්ව ගොවිපොළ ආදිය කරන්නත් ජනාවාස හදන්නත් පටන් ගත්ත. දැන් මධ්‍ය තරමේ නගර 70 කට වඩා ආටීසියානු බේසම තුල තියෙනව.

හැබැයි ගැටලුවක් තියෙනවා. ටැංකිය ලොකුයි තමා. ඒත් සප්ලයි පොඩියි. පිරෙන්නෙ හෙමින්. දැන් මේ පාවිච්චි කරන්නෙ අවුරුදු මිලියනයක් තිස්සෙ එකතු කළ වතුරනෙ. ඉතින් මේ රේට් එකට පාවිච්චි කළාම ඒක ඉක්මණින් ඉවර වේගෙන යනවා. දැනටම ඒකෙ ලකුණූ පේනව. දැන් වතුර ප්‍රෙශර් එක අඩු වෙනවා. පොකුණු කලපු හිඳී යනවා. තදින්ම බලපෑමට ලක්වන ඩාලින් ගඟ තමන්ගෙ වියළී කාලෙ ආටීසියානු වතුරෙන් පමණයි ගලන්නෙ. දැන් ගඟ හිදිලම යනව නිතරම. මත්ස්‍ය ගහණ වල මහා පරිමාණ මරණ සිද්ද වෙනව එක පාරම.

ස්වභාවයට වෙන හානිය අමතක කළත්, ප්‍රෙශර් එක තව අඩු වුණොත් ජනාවාසවලට ජලය සපයන්න විදියක් නැතිවෙනව. එහෙම වුණොත් මධ්‍ය ඔස්ට්‍රෙලියාවෙන් වැඩි හරියක් හෝ සමහරවිට ඔක්කොම ජනශුන්‍ය වෙයි.


මේ  ගැන වීඩියෝවක් තියෙනව කැමතිනම් බලන්න

Monday, October 3, 2022

අද අපේ කම්කරු දිනය යි



අද අපේ කම්කරු දිනය යි.
 
මේ ඩේ එක නොවී අද අපේ කම්කරු දිනය වුණේ කෝමද හෙවත් අපෙ මේ ඩේ එක ඔක්තෝම්බරේ තියෙන්නෙ කෝමද කියන එක ටිකක් දිග කතාවක්.

එක්දාස් අටසිය ගණන් වල ලෝකෙ හැමතැනම වගෙ සේවා ස්තාන හෙවත් කම්හල් වල තිබ්බෙ සැහෙන්න අමාරු තත්වයක්. සේවකයින් ලෙස වැඩිහිටි පිරිමින් ගැහැණුන් මෙන්ම දරුවන් පවා යොදා ගත්ත. දරුවන් ගෙත් වයස් කාණ්ඩ කඩමින් වයස 10 ට පවා අඩු අය යොදාගත්ත. මේ සේවකයන්ට කරන්න තිබ්බෙ ඉතාම අසීරු රාජකාරි. ජීවිත අතපය අන්තුරට ලක්වෙන වර්ගෙ එව්ව,. ඊට අවශ්‍ය නිසි ආරක්ශක මෙවලම් හෝ ආරක්ශිත සේවා ස්තාන සැකසුම් තිබ්බෙ නෑ. ඒ නිසාම අනතුරට ලක්වෙන ප්‍රමාණය අති විශාලයි. මේ සියලු වයස් කාණ්ඩ වල මිනිසුන්ට දිනකට පැය 10 12 15 වගේ වැඩ කරන්න වුණා. පැය 18 ක් වැඩ ගත්ත ස්තාන පවා තිබ්බ. සතියේ දින හයක් වැඩ කරන්නත් ඕනෙ. යාන්තම් බයිබලේ නිසා ඉරිද බේරුණා. මේ හේතුව නිස ඇතිවන අසාමාන්‍ය තෙහෙට්ටුව (මානව පරිණාමය මේ කාර්මික විප්ලවයට අවශ්‍ය ආකාරයෙ මානවයින් බිහිකර නෑ. ඉතින් කාටවත් ඕක දිගකාලයක් කරන්න බෑ) හෙතුවෙන් ඔවුන් සදාකාලික රෝගින් වීම හා මියයාම සාමාන්‍ය තත්වයක්. මෙතරම් අසීරු තත්ව යටතේ සේවය නොකර මේ මිනිසුන්ට වෙන ජීවන අවස්තා තිබ්බෙ නෑ. ඉඩම් හිමිකම් තිබ්බෙ නෑ. වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ඔවුන්ට අනිවාර්‍යයෙන්ම මේ ආකාරයේ රස්සවක් කරන්න වුණා. මේ තමා කාර්මික විප්ලවය එක්ක හැදුණු ක්‍රමය.
 
ඔය හේතුව නිසා යුරෝපයේ ලොකු රැල්ලක් ආව පැය අටක් සේවය කරන්න, පැය අටක් රෙස්ට් කරන්න ඉතිරි පැය අට විනෝද කටයුතු කරන්න ඔනෙ කියල. ඇත්තෙන්ම මං හිතන්නෙ මුලින්ම පැය අට කතාවට ආවෙ ස්පාඤ්ඤ රජ කෙනෙක් කිසියම් තෝරාගත් ශ්‍රමිකයන් පිරිසකට පැය අටේ වැඩ දිනයක් ලබා දීමෙන්, කෙසේ වෙතත් බ්‍රතාන්‍ය තුල කාර්මික විප්ලවය එකක් පැය අටෙ වැඩ දිනය හෙවත් අටයි අටයි අටේ කතාව ( 8 8 8 කියල සංකේත කල) තදින් පැතිරුණා. ඒත් සේවකයින් මොකක් කිව්වත් ව්‍යාපාර හිමියන් හා රජය (ඒ කාලෙ මේ දෙක අතර තිබ්බෙ ළග සම්බන්ධයක්. නෝට්: සර්වජන චන්ද බලය නෑ. පාලකයින් පත් කරන්නෙ ධනවතුන් වංශවතුන් විසින් ඔවුන් අතරින්) ලොකුවට ගණන් ගත්තෙ නෑ.
 
එක්දාස් අටසිය ගණන් වල ඔස්ට්‍රෙලියාවෙත් මේ තත්වය එහෙම්ම තමා තිබ්බෙ. හැබැයි සෙසු රටවලට වඩා වෙනසක් තිබ්බ. 1800-1850 කාලවල ඔස්ට්‍රෙලියාවේ ස්තාන කීපෙක රත්‍රන් හොයාගෙන ආපු ගෝල්ඩ් රශ් එකත් එක්ක විවිධ නිපුණතා සහිත හෝ බර වැඩ කරන ශ්‍රමිකයන් අධික ලෙස ඕනෙ වුණා. ඒ නිසාම ඒ කාලෙ බ්‍රිතාන්‍යයෙන් විශාල පිරිසක් ඔස්ට්‍රෙලියාවට ගෙනාව. මොවුන් එක්ක බ්‍රිතාන්‍යයෙ තිබ්බ 8 8 8 සන්කල්පයත් ඔස්ට්‍රෙලියාවට ආවා. හැබැයි ඒත් නිපුණතා සහිත ශ්‍රමයට හිගයක් තිබ්බ. ඉතින් හිගයක් තියෙන තැනක ඩිමාන්ඩ් කරන්න ලේසියි.

ඕශනියා කලාපෙ මුල ම පැය අටේ වැඩ දිනය ගැන අහන්න ලැබෙන්නෙ නවසීලන්තෙන්. 1840 ගණන් වල නවසීලන්තෙ වඩුබාස් කෙනෙක් තම සේවාහිමියාට කියනව මං වැඩ කරන්නෙ දවසට පැය අටයි කියල. බාස් ලගෙ හිගේටම මේකට සේවාහිමියා කැමති වෙනව. ඕක ගැන ඒ බාස් පස්සෙ වතාවක කියනව ලෝකෙ පළමු කම්කරු සටන කිසිම ලේ වැගිරීමකින් තොරව එකගතාවයෙන් දින්න කියල.

ඔස්ට්‍රෙලියාව කියල දැන් කියන ප්‍රදේශයෙ මුලින්ම මේක පටන් ගන්නෙ එවකට තිබ්බ නිව් සවුත් වේල්ස කොළණියෙ 1855 දි. සිඩ්නි වල ස්ටෝන්මේසන්ලා පිරිසක් පැය අටේ වැඩ දිනයක් ඉල්ලා පටන් ගන්න වර්ජනයක් නිසා 1855 ඔක්තෝබර් මාසෙ ඔවුන්ට ඒ වැඩ දිනය දෙනව ඒත් දෙන්නෙ වැටුප් අඩු කරල. මෙන්න මේක තමා ඔක්තෝබරයේ යෙදෙන පළමු සදුදා කම්කරු දිනය ලෙස නිසවේ ප්‍රාන්තය සමරන්නෙ.

හැබැයි මේක බොහෝ කම්කරු සන්විධාන වල කේන්තියට හේතු වන්නෙ ඔවුන්ගෙ වැටුප් කපපු නිසා. අන්තිමේ 1856 දි මෙල්බන් විවි හදමින් උන්නු ස්ටෝන්මේසන් ලා පිරිසක් වැඩ වර්ජනය කරල පාර්ලිමේන්තුව වටලල කරන උද්ඝෝශණයක් නිසා පඩි නොකපා පැය අටේ වැඩ දිනයක් සියලුම රජයේ සේවකයින්ට දෙන්න වික්ටෝරියා කොළණි රජය තීන්දු කරනවා. මෙන්න මේක තමා මේ කලාපෙ මුලින්ම මහ පරිමාණෙන් පැය අටේ වැඩ දිනයක් තීන්දු කළ අවස්තාව. මේක වෙන්නෙ 1856 මැයි මාසෙ. ඒත් වෙන මොකද්දෝ හේතුවකට වික්ටෝරියා කොළණිය අදාල දවස මාර්තු මාසෙට දාගන්නවා. ඉතින් එයාලගෙ මේ ඩේ එක එන්නෙ මාර්තුවේ

ඔස්ට්‍රෙලියාව කියල රටක් නෑනෙ ඉතින්, ඒ නිසා වෙනවෙන කොළණි වල මිනිස්සු තම තමන්ගෙ 8 8 8 කැම්පේන් වෙන වෙනම කරල ඉදිරි දශක කීපෙ පැය අටෙ වැඩ දින දිනාගන්නව. දකුනු ඔස්ට්‍රෙලියාව හා නිසවේ වලින් පස්සෙ කඩාගත්ත කැපිටල් ටෙරිටරියත් අද තමා ඒක සමරන්නෙ. ටැස්මේනියා හා බටහිර ඔස්ට්‍රෙලියාව (වික්ටෝරියා එක්ක) මාර්තුවල. ක්වීන්ස්ලන්තෙ හා උතුරු ටෙරිටරිය ලෝක සම්මත මැයි 1 සන්කේත කරමින් මැයි වල මුල්ම සදුද ගන්නව. හොලිඩේ එකේ තේරුමක් තියෙනන් ඔනෙ නිසා සදුදාවක හැමෝම ගන්නෙ.

හැබැයි මේ අයිතින් හැමෝටම එකපාර ලැබෙන්නෙ නෑ. පැය අට දශක ගානක් ලැබෙන්නෙ නිපුණතා ශ්‍රමිකයන්ට පමණයි. ඒ වගේම කාන්තාවන්ට හා ළමයින්ට ලැබෙන්නෙ නෑ. ඒව ඉතින් කාලයත් එක්ක තමා සිද්ද වෙන්නෙ. ඒ විතරක් නෙවි ඒ මත පදනම් ව සෙනසුරාදා නිවාඩුවක් කරගන්න එක එතකොට සේව ස්තාන වල ආරක්ශක තත්වයන් සේවක අයිතීන් ආදිය දිනාගන්න කම්කරු ව්‍යාපාර දිගටම සටන් කරනවා.
 
1891දි බැටලු ලොම් කපන සේවකයන්ගෙ වර්ජනයකට පොලිසිය යෙදවීමෙන් ඇතිවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ කම්කරු නායකයින්ට නඩු දාල ඔවුන් සෙන්ට් හෙලේනා දූපතෙ සිර කිරිම නිසා සටන් කරන්න්නයි නඩු කියන්නයි එකතුවෙන කම්කරු ව්‍යාපාර විසින් ඔස්ට්‍රෙලියානු කම්කරු පක්ශය හදාගන්නව. 1898 ලෝකෙ මුල්ම කම්කරු රජය පත්කරගන්න ක්වීන්ස්ලන්ත කොළණීය සමත් වෙනව. රට නිදහස් කරගන්නත් මේ ක්‍රියාව්ලියෙන් ලොකු දය්කත්වයක් ලැබෙනවා. ඊට පස්සෙ ස්වාධින රටක මුල්ම කම්කරු ආන්ඩුව 1910 දි ඔස්ට්‍රෙලියාවෙ පිහිටුවා ගන්නෙ මේ කම්කරු ව්‍යාපාරය. දැන් ඔස්ට්‍රෙලියාවෙ සහ එහි ප්‍රාන්ත වැඩි හරියක බලයේ ඉන්නෙ ඒ පක්ශය.

ඔස්ට්‍රෙලියාව මේ දිනය වෙනස් ව සමරන්නෙ ඇත්තෙන්ම ලොකු ලේ හැලීමක් නොවී අනිත් රටවලට කලින් ඒක දිනාගන්න සමත් වීම නිසාත් ලෝක කම්කරු ව්‍යාපාර වලින් ස්වායත්තව දේශිය කම්කරු ව්‍යාපාර අනන්‍යතාවයක් පවත්වා ගන්න සමත් වීම නිසාත්.

මේකටම අතුරු කතාවක් එකතු කලොත්, කාලයෙ වෙනස නිසාත් විශේශයෙන්ම කෝවිඩ් නිසාත් ඇතිවූ නව සේවක සටන් වෙලා තියෙනෙන් පැය හයේ වඩාත් ප්‍රඩක්ටිව් වැඩ දින, නිවසේ සිට හෝ කැමති ඕනෙම තැනක සිට සේවය කිරීමේ නිදහස, සහ ඉක්මනින් හම්බකරගෙන ඉක්මනින් සේවයෙන් ඉවත් වෙල තරුන කාලෙ ම රස්සවලින් ලබන නිදහස (F.I.R.E.), තව ඉස්සරහට ඇත්තෙන්ම වෙන්න ඉඩ තියෙන එකක් තමයි ඔටෝමේශන් කියන සන්සිද්ධිය අපි හිතන ආකාරෙටම වුණොත් පැය කීයක් හෝ වැඩ කරන්න දෙන්නෝ කියල ඉල්ලන ව්‍යාපාර බිහිවීම, මොකද ඔටෝමේශන් වලින් ලොකු පිරිසකට රස්සා නැතුවම යන්න පුලුවන් නිසා.

තවත් අතුරු කතාවක් එකතු කලොත් ලොව පුරා කම්කරුවන් සේවකයන් තමන්ට හාම්පුතාලගෙන් වෙන කරදර වලට එරෙහිව සටන් කිරීම එක්දාස් අටසිය ගණන් වල පොදු කතාවක් නෙ. ඒත් සම්පුර්ණ සාමාන්‍ය මිනිසුන් (ටෙක්නිකලි කියමු නිර්ධන පාන්තිකයන්) මේ ආකාරෙට හාම්පුතා ඔවුන්ගෙන් මුදල් උපයාගන්න හූරාකන්න ඇතිකල සිස්ටම් එකට එරෙහිව නැගී සිටි මුල්ම කැරැල්ල 1848 මාතලේ කැරැල්ලද? මේ කැරැල්ලේ තියෙන ලෝකෙ සෙසු සමකාලින කැරලි වල නැති වැදගත් ම ස්වරූපය නම් වංශවතුන් පාලකය්‍යින් දේශිය නායකයින් කවුරුත් මේකට සහබාගි වන්නේ නෑ. මේක තනිකරම සාමන්‍ය මිනිසුන්ගේ කැරැල්ලක්. ඒ වගේම ඊට හේතුව රට නිදහස් කරගන්න අරමුණත් නෙවි. සුද්ද මිනිසුන්ගෙන් මුදල් හූර ගන්න අසාධාරණ බදු ගහපු එක. මං දන්නෙ නෑ කවුරුත් මාතලේ කැරැල්ල මේ කෝණයෙන් බලල තියේද කියල.

Thursday, December 30, 2021

යුද්ද කරන්නත් කළීන් එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය අත්සන් කිරීම

සුද්දන් එන්න පෙර ඔස්ට්‍රෙලියාව කියන්නෙ ඉතාම වැදගත් භියුමන් ඇන්ත්‍රොපොලොජි අධ්‍යනයක්.

ඔස්ට්‍රෙලියාව පුරා එකිනෙකට වෙනස් ගෝත්‍ර හෝ ජාතින් ( මේ දෙකේ අතරමැදි තත්වයක්) පනහකට වඩා ඉදල තියෙනව. ජාතික රාජ්‍ය වගේ දේශ සීම සලකුනු නොකලට උන් උන් හිටපු පලාත් වෙන වෙනම සටහන් කල හැකියි. අදටත් ඔස්ට්‍රෙලියානු රජය ඒ ස්වදේශිය අයිතින්ට ගරුකරන නිසා ඒවට "අහවල්" ලෑන්ඩ්ස් කියල කියනව ඒ ඒ නම්වලින්. මේ සමාජය වැදගත් වන ප්‍රධාන හේතුවනම් ඔස්ට්‍රෙලියාව සම්පත් හීන රටක් වීම. මෙතන සම්පත් කියන්නෙ ඔවුන්ගෙ පැවැත්මට අවශ්‍ය සම්පත්. ආහාර හිගයි ජලය හිගයි සත්තු අඩුයි මූලික මිනිස් පැවැත්මට අවශ්‍ය දේවල් හැමතැනම නෑ.

මේ නිසා බොහෝ ගෝත්‍ර වල මිනිසුන්ට අනෙකුත් ගෝත්‍රවල භුමියෙන් මේ සමහර දේවල් සපයාගන්න වෙනවා. මේ නිසා මුල් කාලවල යුද්ද හටගෙන තියෙනවා. අපි කතාවෙන්නෙ අවු 50000 - 60000 ක ඉතිහාසයක්. මුල් කාල කියන්නෙ අඩුම ගානෙ 10000 ට එහා. හෝ ඊටත් බොහො කලින්.

අදින් වසර 10000 ට පමණ ඉස්සර ඔවුන් ඩෙවලොප් කරගන්නව ඒ ඒ ගෝත්‍රවල වැඩිහිටියන්ගෙන් සමන්විත වරිග සබා වර්ගයක්. මේ වරිග සබාවල අරමුණ තමා යුද්ද ඇති වීම වැලකීම සහ දුර්ලභ රිසෝසස් ශෙයා කරගන්න එක. මේ හේතුවෙන් යුද්ද නැති වෙනව. ගෝත්‍රවලට ඩොමිනන්ට් ඒරියාස් තිබ්බට ඒවයෙ තනි අයිතියක් ඒ ගෝත්‍රයට නෑ. සමහර වෙනත් ගෝත්‍රවලට ඒ භුමියෙන්ම සමහර අවශ්‍යතා සපයා ගනන් පුලුවන්. හැබැයි ඒ ගන්නකොට අනිත් උන්ටත් ඇතිවෙනන් ඉතුරු කරල ගන්න ඕනෙ. මේ නිස කියනව ඒ ඒ ගෝත්‍ර වල ප්‍රදේශ ඉන්ටලීව් වෙලා තියෙන්නෙ කියල. භුමිය ඉරි ගහල සිමා කිරීම වෙනුවට භාවිතාවට සිමා ගහල භුමියශෙයා කරගන්නව.

මේව මැනේජ් වෙන්නෙ අර වරිග සබා වලින්. මේ සම්මුති සමාජය ලව පිලිපද්දවන්න ඒව උන්ගෙ ඩ්‍රීම් ටයිම් කතා වලට අන්තර්ගත කරනව. ස්වදේශිකයන් වෙනම ඩොමේන් එකක ඉන්න තම මලගිය ආත්ම එකක් සම්බන්ද වෙන්නෙ මේ කතා තුලින්.

මේක සරලව කිව්වොත් ලෝකෙ සම්පත් බෙදා ගන්න බැරුව කොලෝනියල් ම්ලේච්ච යුගයකුත් ගෙවල අන්තිමට යුරොප්පෙ ලෝක යුද්ද දෙකකුත් කරන කොට ලෝකයා එ ජා සන්විධානෙ හදාගන්නව නෙ අවසානෙ සාමකාමිව ලෝකෙ බෙදාගන්න. ඔස්ට්‍රෙලියානු ස්වදේශියන් අවු 10000 ට විතර කලින් තමා එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය වාචිකව සකසා ගන්නෙ. ඒ වගේම එඩියුකේට් කරනව ඔක්කොටම,

එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය එතරම් ඉස්සර හදා ගත්ත එකේ අවුල තමා ප්‍රමාණවත් යුද්ද කරල නෑ. ලෝකෙ පොරම පොරවල් වෙන්නෙ වැඩියෙම්ම යුද්ද කල රටවල්. ඒකයි යුරෝපෙයි චිනෙයි මැදපෙරදිගයි ලෝකෙ පොරවල් වුනේ. මේ අයගෙ ආයුද තාක්ශනේ උපරිමෙන්ම හැදෙනව සාපේක්ශව ම්ලේච්චකමත් උපරිමයි. ඔස්ට්‍රෙලියානු ස්වදේශිකයන්ගෙ ආයුද ඩෙවලොප් නොවෙන නිසා තාක්ශනය නෑ. සාමෙන් ඉන්නකොට බලකොටු ආරක්ශිත නිවාස හදනන් ඔනෙ නැති නිසා නගර නිර්මානය ආදි ශිශ්ටාචාර සලකුනු අඩුයි. මේ සියල්ලට එක හේතුවක් උන්ගෙ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය මුලින්ම සයින් කල එක.

තනිකර එකම හේතුව ඒකම නෙවි. බොහෝ රටවල ශිශ්ටාචාර දියුණූ වෙන්න බලපාපු ෆොරේජර් ගෙන් ගොවියාට වෙච්ච ට්‍රාන්සිශන් එක හෙවත් කෲශි විප්ලවය වෙලා නැ. ඒක වෙන්න අමාරු තරම් භුමිය ශුශ්කයි. වාර්ශික වර්ශා රටා නෑ. වර්ශා සීසන් එන්නෙ වසර හත අටේ සයිකල් වල. මෙච්චර දියුනු අදකාලෙවත් වතුර එක් රැස් කරන ක්‍රම හදල තියෙද්දිත් ඔස්ට්‍රේලියන් කෲශිකර්මාන්තෙ හැම වසරෙම පවත්වා ගන්න බෑ. හැබැයි අඩුම ගානෙ සත්ව පාලනයවත් මහා පරිමාණෙට දියුණු නොවන්නෙත් එකාතකට යුද්ද නැති නිසා වෙනන් පුලුවන්. මොකද ඔය ආහාර නිශ්පාදන ක්‍රමවේද ලොකුවට හදාගෙන තියෙන රටවල් වල එහෙම කරපු එක හේතුවක් හමුදාවකට කන්න ආහාර හැදීමේ උවමනාව. එහෙම නොවෙන්න වසර 18000 කට පෙර මත්ස්‍යයන් ඇතිකරන්න ලෝකෙ මුල්ම ඉරිගේශන් ප්ලෑනින් කළ මිනිස්සුන්ගෙ සත්වපාලනය මීට වඩා දියුණු වෙන්න ඕනෙ.

මේ කතාවට ෆේස්බුක් එකේ  වැදගත් කමෙන්ට් එකක්  ආව. ඒ තමා සත්ව පාලනය කරන්නත් ඩොමෙස්ටිකේට් කරන්න පුලුවන් සත්තු ඔස්ට්‍රෙලියාවෙ නෑ කියල. ඒක අප්‍රිකාවෙත් තියෙන අවුලක් කියල. ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් වලට ගෙනල්ල කොටු කරල හදන්න පුලුවන් සත්තු නෑ. ඉන්න බහුතරය යැපෙන්නෙ විශාල ශුශ්ක භුමියකින්. සත්වපාලනයක් කරනවනම් මොඩර්න් ඉරිගේශන් නැතුව කරන්න බෑ. සත්තු දිගටම එහා මෙහා යන්න ඕනෙ කෑම හොයන්. අනික ඉන්න මාසුපියල් සත්තු හෙවත් අර්ධ ලෙස වර්ධනය වුනාම පැසට ගිහින් පැස තුල හැදෙන සත්තුන්ගෙ පැටවුන් හැදෙන්න අමාරුයි සහ කල් යනව කියල. ඉන්න එකම මහාපරිමාණ මස් සම්පත කැන්ගරුවා කොටු කරන්නත් අමාරුයි.

ඒ වගෙ හේතු නිසා ස්වදේශික සත්ව පාලනයත් ඉවෝල් වෙල තියෙන්නෙ අප්‍රිකාවෙ වගෙ තමා. අප්‍රිකාවෙ මසායි ගෝත්‍රිකයන් විල්ඩර්බීස්ට් ලා එක්ක දිගටම සන්ක්‍රමණය වන්නෙ. ඔවුන් විල්ඩර්බීස්ට් ලව බලාගන්නව ඒ වගේම මරාගෙනත් කනව ඒත් උන් කොටු කරන්නෙ නෑ.

ඔස්ට්‍රෙලියාව කියන්නෙ එහෙම දෲශ්ටිකෝනයකින් තනිකර එක සත්ව ගොවිපොලක්. සුද්දන් එන්න කලින් ඔස්ට්‍රෙලියාවෙ "වනන්තර" තිබිල නෑ. මේ බව මුල් යුගයේ සන්චාරකයොත් කියනව. ඔස්ට්‍රෙලියාවෙ "වනන්තරේ" තියෙන බොහෝ තුරු වදුලු දිහා බැලුවම ඒව කිසියම් රටාවකට කවුරුන් හෝ සිටුවා ඇති බවක් පෙනුනා කියල කියන්නෙ. ඒ සිටුවා තියෙන්නෙ සතුන්ට නොතේරෙන්න උන්ට ලන් වෙනන් පුලුවන් විදියට ස්වදේශිකයන්. ඒ රටාවට පිටින් හැදෙන වෙනත් ගස් වලින් සතුන් කවර් කරන නිසා ඒව ඉවත් කරල තියෙනව. ගහෙන් ගහට මුවා වෙලා ඇවිත් සතා ලගටම ඇවිත් පහරදෙනව.

සතුන්ට පැටවු ලොකු කරගන්න කුඩා තුරුවදුලු තියල ලොකු බිම ගස් වලින් තොර තණබිමක් කරල තියෙනව. පැටවු ලොකු වුනාම ඒ පොඩි තුරුවදුලු වලට ගිනි තියල එලියට දුවන සතුන් දඩයම් කරගන්නව. මේ ක්‍රමවේදයට ෆයර් ස්ටික් ෆාමින් කියනව. මේ ගිනි රටා නිසා කවදාවත් බුශ් ෆයර් ඇතිවන්න තරම් ලොකු ගස් ගහණයක් හැදෙන්නෙ නෑ. වනන්තර වල සාක්ශි අනුව බුශ් ෆයර් පටන්ගෙන තියෙන්නෙ සුද්දන් ඇවිත් ස්වදේශිකයන්ව වද කලාට පස්සෙ කියල තමා කියන්නෙ. ඒ පාර තමා රියල් වනන්තරේ වැවිල තියෙන්නෙ.

මුල් යුගයේ සන්චාරකයෙක් "මම ඉන්නෙ ලොකු වතුයායක කියල මට හිතෙනවා" කියල කිව්ව කියමනක් මත ලෝකයේ ලොකුම වතුයාය කියලත් ඔස්ට්‍රෙලියාවට විරුද නාමයක් ඒ කාලෙ තිබ්බ.

ඔන්න ඔහොමයි ලිමිටඩ් තත්ව වල සත්වපාලනය හෙවත් ෆාමින් කලේ.

අවසානෙ උන්ට මුන ගැහුනෙ ලෝකෙ ඉන්න ම්ලේච්චම සහ දියුනුම ශිශ්ටාචාරයක්, අපි ඔක්කොම දන්නව ඒකෙ එන්ඩ් රිසල්ට් එක. ඔය බොහෝ ස්වදේශික සමුලඝාතන වලට හේතුව සත්ව ගොවිපොලවල සතුන් "සොරකම් කිරීම". ඒත් ස්වදේශිකයන්ගෙ සන්කල්පය අනුව භුමියට සීමා නෑ. අධික ලෙස සම්පත් සන්කේන්ද්‍රගත වෙනවනම් එතනින් සීමිත තරමක් ගන්න හැමෝටම අයිතියක් තියෙනව. ඉතින් ගොවිපොලවලින් සත්තු කීපයක් ගන්න එක ඔවුන්ට අනුව නිවැරදි දෙයක්.

බොහෝ දෙනා දන්න ස්ටෝලන් ජෙනරේශන් කියන්නෙ මේ වගෙ වෙනස් චින්තනයක් එක්ක පවතින්න තිබ්බ අමාරුව නිසා උන්ගෙ පොඩි ළමයි පැහැර්ගෙන ඇවිත් උන්ව මේන්ස්ට්‍රීම් සිස්ටම් එකට අනුගත කරල මෙහෙකාරයින් මෙහෙකාරියන් ගොවිපොළ අත් උදව් කරුවන් ලෙස සමාජගත කරන්න හෙවත් ඒ කාලෙ සුද්දගෙ චින්තනෙන් උන්ව "ශිශ්ටාචාරගත කරන්න" ගත් උත්සාහයක්. යුද්ද ලෙඩ රෝග අලුත් සිස්ටම් එකට අනුගත වීමේ අපහසුතා සහ තමන්ගෙ සන්ස්කෲතික කොදු නාරටිය බිද දැමීම එක්ක දැන් ඔවුන් ඉන්නෙ දෙලොවක් අතර.

Thursday, January 9, 2020

ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන්ගේ කතාව

ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් සාමාන්‍යයෙන්  කිසියම්  රටක ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්.

ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව.

ඇෆ්ඝනිස්තානය  ඉන්දියාව වගෙ පැතිවලින් ඔස්ට්‍රෙලියාවට  ඔටුවන් ගේන්නෙ  රටේ තියෙන කාන්තාර  හරහා  භාණ්ඩ  ප්‍රවාහනයට.  අශ්වයින්ට  ඔස්ට්‍රෙලියාව හරහා දිගු දුර යන්න බෑ.  මැද්දෙ  කාන්තාරෙ  නිසා.  විශේශයෙන්ම  ඇඩිලේඩ්  සිට  උතුරට  බිහිවන රත්‍රන් පතල්  ජනපද  වලට  ද්‍රව්‍ය   සපයන්නෙ මේ  ඔටුවන්  සහ ඔවුන් සමග ආ  ඇෆ්ඝන්  ජාතිකයන්. පසුව  ඔස්ට්‍රෙලියාවෙ  උතුර  දකුණ  යා  කරමින්  දුම්‍ රියක් පටන් ගන්නව,  ඒකට  නම දාන්නෙ  දි  ඇෆ්ඝන්  එක්ස්ප්‍රස්  කියල, ඒ  ඇෆ්ඝන් මිනිසුන් හා  ඔටුවන් සිහි වන්න. පස්සෙ කෝච්චියෙ  නම  කොට  කරනවා  ද ඝන්  කියල.  දැනටත්  දුවන ප්‍රධාන සහ ලෝක  ප්‍රකට  දුම්රියක්  නම් කර  තියෙන්නෙ  ඇෆ්ඝන් ඔටුවන් සහ මිනිසුන් නමින්. ඔය කෝච්චි  පාර හදන්නත් භාණඩ  ගෙන ගියේ  ඔටුවොම තමා.  එක්දාස් නවසිය ගණන් මුල  ඒ දහස්  ගාණක  ඔටු රැළ  කාන්තාරෙට මුදා හරිනවා.

උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්‍රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. වසර  නවයකට  වරක්  ගහණය  දෙගුණ  වෙනවා  කියනවා.

ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ.
ඔටුවන් බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්.

ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්.

ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම.

එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා.

සමාන්තර සිද්ධියක් ලෙස ලන්කාවට ආසන්නව ගැලපෙන්නෙ අලි සහ වෙනත් වන සතුන්ගෙ පාරිසරික පද්ධති අස්සට නිවැසි හරක් පට්ටි රින්ගවන එක. මේකෙන් වන සතුන් සැහෙන්න පීඩා විදිනවා. ඒත් හරක් පට්ටි මිනිසුන්ගෙ නිසාත් නීති මගින් ඒක තහනම් කල හැකි නිසාත් උන්ව ගහණ පාලනයකට ලක් කරන්න වෙන්නෙ නෑ. ලන්කාවෙ ආක්‍රමණික ශාඛ වලට නම් ගහණ පාලනය කරවනවා.

ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්‍රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. දරුවන් උන්ට පෑගෙන  රිස්ක්  එකකුත් තියෙනවා.  මුන් හීලෑ  ඔටුවන් නොවේ.

මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව 2009  සිට ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව.

සමහරු  යෝජනා  කරනවා  දැක්ක  ඔටුවන්  අපරාදේ මරනව  අඩුම  ගානෙ  උන්ගෙ  මස්  වලින්වත් මොකවත්  කරන්න පුළුවන් නේද කියල.  ඒත්  මේ  ඔටුවන්  සත්ව පාලන සම්මුති  යටතේ  හදාපු  උන් නෙවි.  සාමාන්‍යයෙන්  වනගත  සතුන් මරා  මස්  කෑම  සෞඛ්‍ය  අතින්  නුසුදුසු  කියා  තමයි  සම්මුතිය  තියෙන්නෙ.  පෙර කී ඔටු  බිස්නස්  වල  ඔටුවන්  කුඩාකළ  සිට  මිනිසුන්  ආශ්‍රයේ  පාලිත  තත්ව  යටතේ හැදෙන්නෙ. අනික  මේ  කාන්තාරෙ  ඉන්න ඔටුවන් මිනිස්  වාසවලින් බොහෝ  දුර නිසා උන්ගෙ මළ  සිරුරු  ආපහු  ගේන්න ලොකු  වියදමක්  යනවා. උන්ව  මරන්නෙ හෙලිකොප්ටර්වලින් ගිහින්.

මෙතන  ආයෙත්  ජෛව විද්‍යාත්මක  ලෙස වැදගත්   කාරණයක් තියෙනවා. මිලියනයකට වඩා සෙට් එකක් පරිසරයෙන් දේවල් උකහා ගත්තම උන් මරල උගේ මස් වික්කොත් පරිසරයේ කොලිටිය තවත් හීන වෙනවා. උන්ගෙ මස් ආපහු ඔස්ට්‍රෙලියන් භුමියට ම එකතු වෙන්නයි ඕනෙ චක්‍රියභාවය පවතින්නෙ එහෙම. මූ ලොකු සතෙක් නිසා මුන් ගොඩක් පරිසරයෙන් ඉවතට ගත්තොත් මේ වගේ ඉතාම දුබල පරිසර පද්ධතියකට දැනෙනවා තදින්.

හිතන්න ඔටුවා  ස්වාභාවිකව  උන්න්නු  පරිසරයක  ඌට  විලෝපිතයෙක්  උන්න කියල.  එහෙමනම් ඒ විලොපිතය  ඔය  ලක්ශ  දොළහක ඔටු ගහණයෙන්  කීප දාහක් කනවනෙ  හැමදාම.  ඒ කන උන්ගෙ  දාල යන කොටස්  ඒ  පරිසරයේ  ඉන්න  අනිත් සතුන් කනවා.  ඉතින්  මේ කෘතිම  ඔටු  ගහණයට  මිනිසා  කරන්නෙ කෘතිම විලෝපිතයකුගේ  භුමිකාව. 
 ඒ මැරෙන සිරුරු ස්කැන්වෙන්ජර්ස් ලා කන එකෙන් ආහාර දාමයක් හැදෙනවා.  ඒ නිසා  මළ  සිරුරු  දාල යන එක තමා  නිවැරදි. 2009-2013 මහා  ඝාතනය කරන්නෙ සයන්ටිස්ට් ලා ගේ අනු දැනුමින් ඒ නිසා ඕකත් කල්පනා කරන්න ඇති.

මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින් සාමාන්‍ය  ගහණ  පාලනයකට සාපෙක්ශව. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්. 


මේ ඔටුවන් මරා  දැමීම  නිතර වෙන එකක්.  ගමකට  හෝ කිසියම් වැදගත්  ස්තානයකට  හානි කරන  ඔටුවන් කීප  දාහක්  මරණ  එක.  ඒත්  මීට අමතරව ගහණ පාලනයට   ඔටුවන් ලක්ශ  ගාණක්  මරණ  එකනම්  කරන්නෙ සත්ව  සන්‍රක්ශණ  කටයුතු  වලට  වග  කියන  ආයතන විසින්.

ඔටුවා වන සතෙක් බවට පත්වෙන දවසක් එන්න වසර දාස් ගාණක් මිලියන ගාණක් උන් එක්ක පරිසරය වෙනස් වෙන්න ඕනෙ. එතකල් ඌ පවතින පාරිසරික රාමුවට තර්ජනයක්.

ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි.

මෙතෙක්  දිගටම  වෙච්ච 
ඔටුවන් මරා  දැමීම මෙවර  බොහෝ  දෙනාගෙ  අවධානය දිනාගන්නෙ මාධ්‍ය  ආයතන කීපයක්  ඒක  ලැව්ගිනි  සමග  පටලා  දැමීමෙන්. ඒක  වැරදි  අවබෝධයක්.  මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ.

කෝම  වුණත්  ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු  සතුන්  අතර  උඩින්ම  ඉන්නෙ  ඔටුවා  නොවේ.  බල්ලා  සහ  පූසා. උන් ගෙවල් වලින් පළා  යනවා  වගේම අකාරුණික  සතුන්  හදන්නන්  උන්ව  කැලේට  ගිහින් දාන එකකුත් [ලන්කාවෙ තරම් නොවුණට]  එක්තරා   දුරකට වෙනවා.   ලන්කාවෙ නම් මෙහෙම  අතාරින  සතුන් වෙනත්  සතුන්  කා  දමනවා.  ඒත් මේ කිසිම සතෙකුට  විලෝපිතයන් නෑ  මෙහෙ. ඔස්ට්‍රෙලියාවෙ  උන්නු  නියම සතුන් ස්වදේශිකයන් අතින් වද  වී  යාමෙන් පස්සෙ  මෙහෙ ඉන්නෙ අතන මෙතන ඉතුරු වෙච්ච  සත්තු. වෙන්නෙ මොකද  වනගත බලු  සහ පූස්  රන්චු වේගයෙන් බෝ  වෙනවා. බල්ලො නම් ස්වදේශිකයන් ගෙන් පළා ගිය  ඩින්ගෝ  එක්ක මුහු   වෙනවා.


ගෘහාශ්‍රයෙන් පළා ගිය  පූසන් ලක්ස  විස්සේ  සිට හැට  අතර  ප්‍රමාණයක්  වන්නන්තරේ  ඉන්නව කියනව.  මේ පූසර් ලා සත්ව විශේශ  විස්සක්  දැනට මිහිමතින්  අතුගාල දාල තියේ  කියනවා.  මේ වසරෙ පටන් ගන්න වැඩසටහනකින්  මේ පූසන් ලක්ශ  විස්සක්  මරා  දාන්න ඔස්ට්‍රෙලියාව හිතාගෙන  ඉන්නවා.  ඒත්  ඒක  නිව්ස්  හිට් වෙන්නෙ නෑ  බුශ් ෆයර් වගේ ට්‍රෙන්ඩින් කතාවකට  එල්ලන්න බැරි  නිසා.


ඕකට  අමතරව ඔස්ට්‍රෙලියාවෙ ගොවිපොල  සතුන් ලක්ශ  ගානක් හැමදාම මරා  දානවා.  ඒක  නම්  මොන නිව්ස්  එකක්ද? ලන්කාවෙත්   මරනවනෙ.


මේ  කතාව  සන්වේදී කතාවක්. පුද්ගලිකව ගත්තොත්  මට  මේ  ක්‍රියාව එක්ක  එකගතාවයක් නෑ.  ඒත්  මට  මේ ගැටලුවට විසදුමකුත් නෑ. මේ සටහනේ  අරමුණ  පවතින  තත්වය  ගැන වාර්තා  කිරීමක් පමණයි.

මේ ලියන්නෙ මාතෘකාව ගැන පවතින ලෝකල් මතය. ලෝකල්  මතය  එහි  අර්ත දැක්වීම්  සමග කන්සිස්ටන්ට්  ලෙස  ඉදිරිපත් කළ  හැකියි. මේ  ගැන  වෙනත් කන්සිස්ටන්ට්  මතවාදයක්  හෝ  සන්විධිත  දැනුමක් නෑ.  විකල්පයක්  ලෙස  තියෙන අනිත් එකම එක  මොකුත්ම නොකර  ඉන්න එක.  එය  ප්‍රශ්නවලට  විසදුමක් නොවේ.