Friday, July 21, 2023

පසුසත්‍යය

ප්‍රංශයේ ජනප්‍රිය රූපවාහිනි සේවාවක ප්‍රවෲත්ති වැඩසටහන් කරන බෝම සීනියර් මාධ්‍යවේදියෙකුව හිටිහැටියේ තනතුරින් පහකරනවා. පරික්ශණ පැවැත්වෙන නිසා මුලදි හේතුව හෙළිදරව් වන්නෙ නෑ. ඒත් පසුව හෙළී වූ සිදුවීම කාටත් වැදගත් වේවි කියල හිතනවා.

මේ මාධ්‍යවේදියා විවිධ මූලයන්ගෙන් සපයාගන්නා ගවේශණශීලි පුවත් ඉදිරිපත් කරන්නෙක්. ඔහුට එල්ල වෙන චෝදනාව එතරම් නොවැදගත් පුවත් වලට අනවශ්‍ය ප්‍රචාර ලබාදීම හා බොරු පුවත් නිර්මාණය කිරීම. දැනට ඔහු මේක පිළි අරන් නෑ ඒත් ඔහු තමන්ගෙ පුවත් ආයතනයේ නිරවද්‍යතා පිරික්සුම් වලට පිටින් පුවත් තනි මතේට තෝරාගත් බව පමණයි පිළී ගන්නෙ. මෙතැන් සිට මම ලියන්නෙ තවම ඔප්පු වී නැති ඔහු ට එල්ල වූ චෝදනාව.
මේ මාධ්‍යවේදියාට ටෙල් අවිව් හි සමාගමකින් පුවත් සපයනවා. එහෙම පිට මූලයන්ගෙන් පුවත් ගන්න එක වරදක් නොවේ. ඒත් ප්‍රශ්නෙ ටෙල් අවිව් සමාගම සපයන්නෙ එක්කො සත්‍ය නොවෙන පුවත් හෝ සුලු සිද්දියක් අනවශ්‍ය ලෙස පුම්බපු හෝ විකෲති කල පුවත්. ටෙල් අවිව් සමාගමේ නම නිව්ස් ෆො හයර්. නම අනුවම ඔවුන් කරන්නෙ මුදලට බොරු නිව්ස් හදා වැපිර්‍රිම.
 
මේක ලොකු ගැටලුවක් නොවේ කියල හිතෙන්න පුලුවන්. බොරුවක් නම් කවුරුත් ගණන් නොගෙන යාවි නේද? නෑ මේක ඊට සංකිර්ණයි. අදාල සමාගමේම සහයක සමාගමක් තියෙනව සයිබර බොට්ටන් හදා ව්‍යාප්ත කරන. ප්‍රධාන පුවත් සේවය මේ පුවත කී සැණින් ඒ බොට්ටො මේක සමාජ මාධ්‍යවල ශෙයා කරගෙන යනව. ප්‍රධාන පුවත් ආයතනයක් කීම නිසා එස්ටැබ්ලිශ් නිව්ස් එකක් බවට පත්වෙනව. නිකමම් නිකම් බොට්ටො සෙට් එකක් හෑල්ලක් දාගෙන යනවනම් කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ වගේම නිකම්ම ටිවී නිව්ස් එකක ගියානම් ඒත් ගණන් ගන්නෙ නෑ. ඒත් බොට්ටො ඒ ලින්ක් එක වයිරල් කර දානව. මේ දෙක එකතු වුණාම ඔතෙන්ටික් නිව්ස් සෝස් එකක් භාවිත කර බොරුවක් වයිරල් කරන්න පුලුවන්. ඊශ්‍රායල සමාගමට හා බොහොවිට මාධ්‍යවේදියට මේ වෙනුවෙන් ගෙවනව ඇති.
 
අපේ කතාවෙ ඉන්න මාධ්‍යවේදියා ප්‍රසන්ට් කළ පුවත් අතර තියෙනව, රුසියාවට එරෙහි යුද්දය නිස මොනාකෝ හි යොට් නිශ්පාදනය ඇණහිටීමෙන් 10000 කට වැඩි පිරිසකට රැකියා අහිමිවන බවත් මේ ගැන ඒ පිරිස මොනකෝ හි ඇල්බට් කුමරු ට දැණුම් දුන් බවත්. කටාර් රජයෙ එක්තරා නිළධාරියෙක් දූශිත බවට කළ පුවත තව එකක්. සුඩානයේ හමුදා නායකයෙක් ජනාධිපති වෙන්න යනව කියන එකත්. මේ තුනම බොරු. මේ තුනෙන්ම අතුරු වාසියක් වෙන පාර්ශ්වයක් ඉන්නව. ඔවුන් තමා මේව ප්ලාන්ට් කරන්නෙ. බටහිර සහරා රාජ්‍යයෙ පවත්වන වෙළද ප්‍රදර්ශනයක් ගැන පුවතක් යනව ඒකෙ බටහිර සහරාව නම් කර්න්නෙ කලින් ඒ පෙදෙස ආලනය කළ මොරොක්කොව ඊට භාවිතා කළ නමින්.
 
මේ සියල්ල සුළු වෙනස්කම් බව ඇත්ත. ඒත් මේවයින් ලෝකයෙ මිනිසුන්ගෙ මතයන් ඒ කාරණා සම්බන්දෙන් වෙනස් කරන්න පුලුවන්. වඩාත් වැදගත්ව මේ පුවත් සියල්ල මෙහෙම පළ කරල වයිරල් කරගන්න මුදල් විසික් කරන පාර්ශ්වයන් ඉන්නව. මේ පාර්ශ්වයන් සමහරවිට විවිධ කණ්ඩායම්, ප්‍රතිවාදින් හෝ රටවල ආණ්ඩු වෙනන් පුලුවන්.

සයිබරයේ ආගමනයට ඉස්සර තිබ්බ ලෝකය ලොකු දර්ශන තිරේක පොදු පුවත් පළවූ තැනක්. හැමෝටම ආවෙ එකම නිව්ස්. ඒත් සයිබරය හා සමාජ මාධ්‍ය එක්ක මිනීස්සු ලෝකය පුංචි පුංචි කාමර ගොඩක් කරගෙන තියෙන්නෙ. ඒ ඒ නිව්ස් රූම් වල යන්නෙ එකිනෙකට වෙනස් කතන්දර. තමන්ගෙ නීව්ස් රූම් එක තමන්ට ඕනෙ තාලෙට වෙනස් කරගන්නත් පුලුවන්.

මේ සන්දර්භය තුල තවදුරටත් සත්‍යය කියා දෙයක් පවතින්නෙ නෑ. පවතින්නෙ සත්‍යය රිසි සේ සකසා වැදගත් කතා යට ගසා නොවැදගත් කතා හෝ තනිකර බොරු ඉස්මතු කර කපා කොටා සකසන ලද පසුසත්‍යය හෙවත් පෝස්ට්-ටෲත් පමණයි. අපි අහන දකින සියල්ල පසුසත්‍යයක්. පසුසත්‍යය කියන්නෙ බොරුවට කියන තව නමක් නොවේ. එය සත්‍ය ම වෙනත් පුලුවන්, හැබැයි හොයාගන්න බෑ. මේ පසුසත්‍යය තුල තියෙන්නෙ කොපමණ සත්‍යයක් ද මොනවද හංගල තියෙන්නෙ, මොනවද උලුප්පල තියෙන්න ඇයි අපට මේක මෙහෙම කියන්නෙ කියල හොයාගන්න විදියක් නෑ.
 
කෙනෙකුට කියන්න පුලුවන් ඉස්සරත් තිබ්බෙ පසුසත්‍යයක් නෙ මාධ්‍ය වලට ඔනෙ තාලෙට සකසන එකක් නෙ කියල. ඒක හරි. ඒත් ඒ කාලෙ අවශ්‍යනම් කෙනෙකුට සත්‍යය හොයල ඒක ප්‍රසිද්ද කරන්න පුලුවන්. ඒත් අද සත්‍යය හොයල ප්‍රසිද්ද කරන කෙනාට කෝ ඒක පතුරුවන්න බොට් ලා කෝ ඒක උලුප්පන්න සයිබර මාධ්‍ය. ඒව තියෙන්නෙ සත්‍යය කපා කොටන්න උවමනාවක් තියෙන අයට පමණයි. අනික සයිබරයේ සත්‍යය සුවිශේශිව හුවා දක්වන්න කොහෙත්ම බැරිනම් සත්‍යය හොයා ගත්ත කියන එකා කියන්නෙත් සත්‍ය්‍ය කියල කෝමද දන්නෙ? පසුසත්‍යය සහ සත්‍යය කියල එකක් වෙන් කරගන්න බෑනෙ. ඕක ලෝක බොරුවක් කියන එකා කියන්නෙත් බොරුවක් ම වෙන්න පුලුවන්.

තව දුරටත් සමහර දේවල් ගැන "ඕක බොරුවක් බන්. මේක තමා ඇත්ත" කියල කිව්වට කිසිම තේරුමක් නෑ. අපිට අතේ ශාක්ශි තිබ්බත් තේරුමක් නෑ. පසුසත්‍යය මිස අන් කිසිවක් පවතින්නෙ නෑ. අපි එහෙම කියන එකත් පසුසත්‍යයේම කොටසක්. අපි නගන ඒ කුඩා හඬ සංවිධානාත්මක පසුසත්‍ය මූලයන් එක්ක අලගු තියන්නත් මදි. අපි මොක කිව්වත් එස්ටැබ්ලිශ් වුණ පසුසත්‍ය පවතිනව.

ඉතින් පවතින්නෙ පසුසත්‍යයක් පමණයි නම් පසුසත්‍යය කියන්නෙම මැනිපියුලේට් කල හැක්කක් නම්, පසුසත්‍යය මැනිපියුලේට් කිරීමට ව්‍යාපාර බිහිවීම වැලකිය නොහැකියි.

සමහර දේවල් හරිම සියුම්. බටහිර සහරාවෙ වෙළද ප්‍රදර්ශනය ගැන කතාව ගත්තොත් එහි විකෲති කරන්නෙ රටේ නම පමණයි. එය වෙළඳ ප්රදර්ශනයට අදාල නෑ. ඒත් ඒක වයිරල් කලාම ලෝකෙ වැඩිමනක් මිනිස්සු ඒ රට මුලින්ම හදුනා ගන්නෙ අර නමෙන්. පසුසත්‍යය තනන්නාට ඕනෙ ඒක.

මේක ලංකාවෙත් සුලබ සිද්දියක්. ඉතාම ලේසියෙන් පෙන්වන්න පුලුවන් දේශපාලන අරමුණු මත තැනු පසුසත්‍ය ලොරි ගාණට තියෙනව. ඒත් වඩාත් බය හිතෙන්නෙ වෙනත් අරමුණු මත තැනුව කියල හිතෙන එව්ව ගැන.
කවුරුත් දන්න ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් ගෙ ඝාතනය බලන්න. ඒ ඝාතනය ගැන මුලින් කිව්ව කතා අනුව ඔහුගෙ දෑතම ආසනේට ගැටගහල ඉන්න වෙලාවෙ ඔහු සියදිවි නසාගත්ත කියන එක හිතන්න හරිම අමාරුයි.

ඒත් ඒක එහෙමද නොවේද කියල ජජ් කරනවටත් වඩා මං කැමති මේ නිවුස් එක ප්‍රසන්ට් වෙන ආකාරය පෙන්වන්න. මුලින්ම කියනව මිනිමරුව ගැන මේ මේ සාක්කි ලැබුනා, මෙන්න මේ මේ අයගෙන් ප්‍රශ්න කලා කියල. ඒත් එක පාරට එනව එකක් ශාෆ්ටර් සියදිවි නසාගත්ත කියල. ආයෙ ටික දවසකින් කියනව මිනි මරුව මෙන්න මෙතන හිටිය කියල සැක කරනව මෙන්න මේ මේ කාරනා හොයාගෙන, ආයෙ කියනව ශාෆ්ටර්ගෙ සියදිවි හානි කරගැනීමට මෙන්න මේ ශාක්ශිය හමුවුනා කියල. මේ කතාව දෙපැත්තට දෝලනය වන ආකාරයට එකම පිරිසක් මේ දෙකම කියනව කියල හිතන්න පවා අමාරුයි. එතකොට හිතෙනව මෙයින් එක නැරටිව් එකක් කවුරු හෝ මැනිපියුලේට් කරල සයිබරයේ ශක්තිය යොදාගෙන බෙදාහරිනවද කියල. අපි දන්නෙ නෑ. ඒත් පසුසත්‍යයයෙ ස්වරූපයත් ඒකම තමා. අපිට දැනගන්න වෙන්නෙම නෑ. අවසානෙ වෙන්නෙ හැමොම ඒ පසුසත්‍යය තමා වුනේ කියල හිතාගෙන ඉන්න එක.

ප්‍රංශෙ පුවත් ආයතනයක් ජ්‍යෙශ්ට මාධ්‍යවේදියෙක් රස්සාවෙන් දොට්ට දාපු එකට වඩා ලොකු කතාවක් මෙතන තියෙනව. ඒක සැහෙන්න වොරි වෙන්න ඕනෙ තත්වයක්.