Saturday, May 23, 2015

සෙනෝබියා සහ පැල්මයිරා

ඇලෙක්සැන්ඩර් සීසර් හිට්ලර් ඔක්කොටම කලින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කලාම වෙන වැඩේ ගැන ලියන්න මෞර්ය රජතුමාට පොරොන්දුවක් දුන්නා. තාම කටු සටහනක ස්වරූපයෙන් තියෙන ඒක ලියන්න ටිකක් වෙලාව අවශ්‍යයි. ඒ අතරේ සිද්ධ වුනු කාලකන්නි සිද්ධියක් නිසා මේ පෝස්ටුව ඉක්මන් වෙනවා.

මේ සාමාන්‍ය දැනුම සමූහ දෙකක පළ කරන්නට යෙදුනු ප්‍රශ්නයක් [සබැඳි 1, සබැඳි 2].

1. වසර තුනකදී දැවැන්ත අධිරාජ්‍යයක් මෙල්ල කර එයින් විශාල කොටසක බලය තහවුරු කරගෙන අධිරාජ්‍යයක් තැනු රූමත් තරුණ ගැහැණිය කවුද? මෙයා සැබවින්ම සටන් කල කෙනෙක්, අසු පිට ගිහින් හමුදාව එක්ක පාගමනින් යමින් සටන් කල තරුණ ගැහැනියක්

2. ඇය උන්නේ කොහෙද?

3. ඇය සමග සටන් කල දැවැන්ත අධිරාජ්‍යය කුමක්ද?


4. වසර තුනට පස්සේ වෙන්නේ මොකද්ද?

5. ඇයගේ අධිරාජ්‍යයට වර්තමානය සමග ඇති සම්බන්ධය කුමක්ද?

6. [බෝනස්] රූමත් කිව්වට එක එකා කියන කතා තමා. හැබැයි රූමත් වීමෙන් වාසියක් වුනා කියා ඇය ගැන අධ්‍යනය කරන සමහරු කියනවා. ඒ වාසිය මොකද්ද?

--------------

නිවැරදි පිළිතුර වනුයේ පොයු [CE] 270-273 කාලය තුල විශාල පැල්මරින් අධිරාජ්‍යය බිහිකළ සිරියාවේ පැල්මයිරා නගර රාජ්‍යයේ සෙනෝබියා රැජිනයි.

සෙනෝබියා කියන්නේ වංශවත් පවුලකින් පැවතෙන කෙනෙක් ලෙස සැලකෙන්නේ. අලෙක්සන්ඩර්ගෙන් පස්සේ ඒ හරිය පාලනය කල ග්‍රීක සම්භවය ඇති පාලකයින්, එලෙසින්ම ඊජිප්තුව පාලනය කල ක්ලියෝ පැට්‍රා ගේ පියා වන ටොලමි ආදීන්ගේ සිට කාතෙජියානු [ෆිනිශියානු] සහ යුදෙව් කලාපයේ ප්‍රධාන ධාරාවල නායකයින් එක්ක ඇයට පරම්පරාගත සම්බන්ධයක් තියෙනවා. එහෙත් ඇය අයිතිවන්නේ සිරියාව ආශ්‍රිතව ජීවත් වෙච්ච යුදෙව් වාර්ගික පවුලට අයත් ඇරමියන් වරුන්ට. ඇරමයික් බසින් ඇගේ නම ලියවෙන බාත් සබ්බායි කියන ස්වරූපය තමා ඇය භාවිතා කරලා තියෙන්නේ. සෙනෝබියා කියන්නේ රෝමන් නම [ඒ කාලේ කලාපයේ සක්‍රිය සංස්කෘති වල බලපෑම නිසා කෙනෙක් නම් කීපයක් භාවිතා කල බවත් පෙනෙනවා, සෙනෝබියාට අරාබි බසිනුත් නමක් තියෙනවා]

සෙනෝබියා පැල්මයිරාවේ ප්‍රාදේශීය රජෙකුට විවාහ කරදෙන්නේ බොහොම ලාබාල වයසින්. රජු සහ රජුගේ පෙර වීවාහෙන් උපන් ඔටුන්න හිමි කුමාරයා මියයද්දී සෙනෝබියාට වයස තිහක්වත් නැහැ. ඊ ගාවට ඔටුන්න හිමි ඇගේ පුතාට වසරයි වයස. ඒ අනුව පුත්‍රයා අභිෂේක කර සම්මතය අනුව සෙනෝබියා පාලනය අතට ගන්නවා භාරකාරයෙක් ලෙස. මේ පොයු 267 වෙද්දී.

පැල්මයිරා නගරය සිරියා කාන්තාරය මැද්දේ තියෙන ක්ෂේමභුමියක්. ඒ නිසා මධ්‍යධරණී වෙරළේ සිට ඉන්දියානු සාගරය පැත්තේ තියෙන මෙසපොතේමියාව වැනි .පෙදෙස් වලට යන බොහෝ මාර්ග වැටෙන්නේ ඒ හරහා. මේ හේතුවෙන් පැල්මයිරා නගරය ඒ වෙද්දී සැහෙන්න බලවත් වෙන්න ඇති. කෙසේ වෙතත් රෝමයේ අනුදැනුම යටතේ ප්‍රාදේශීය පාලකයෙකු යටතේ තමයි නගරය පාලනය වන්නේ. මේ රෝමයේ බලය ඉහලින්ම පැතිරුණු කාලයක්. යුදෙව්වන්ගේ කැරලි දෙකම මෙල්ල කරලා යුදෙව්වන් ඔවුන්ගේ භූමියෙන් කුදලාගෙන ගිහින් යුරෝපය පුරා වහල් මෙහෙයට වික්කට පස්සේ කලාපයේ ඔවුන්ට තර්ජනයක් තිබ්බේ නැහැ. සෙනෝබියාගේ සැමියාත් එහෙම රෝමය යටතේ උන්නු ප්‍රාදේශීය රජෙක්.

කෙසේ වෙතත් රෝමය ගැලික් යුද්ධ [ප්‍රංශය - සූර පප්පලගේ පසුකාලින ඇටැක් එක :) ] එක්ක පැටලෙන වෙලාවේ පොයු 270 දී තිස් හැවිරිදි සෙනෝබියා රැජින තීරණය කරනවා නිදහස ලබා ගන්න. ඇත්තෙන්ම ඇයගේ සටන පටන් ගන්නේ රෝමය වෙනුවෙන් පර්සියාව පැත්තෙන එන ආක්‍රමණයට එරෙහිව. එහෙත් රෝමය 
මේ සටනට ඒ හැටි උනන්දුවක් නොදෙන නිසා ඇය තනියම යන්න තීරණය කරනවා. ඊට පස්සේ සිරියාවේ සිට යුදෙව් පෙදෙස් පසුකර සෙනෝබියා ඊජිප්තුව ආක්‍රමණය කරනවා. සටන් කරලා ඊජිප්තුවේ රෝමානු පාලකයාව මරා දානවා. ඒ වගේම වර්තමාන තුර්කිය දිගේත් සැහෙන දුරක් යනවා. වසර තුනකින් මෙම කාන්තාව කලාපයේ රෝමානු හමුදා පරදවා ඒ කාලේ හැටියට සැහෙන්න විශාල අධිරාජ්‍යයක් හදනවා. පැල්මරින් අධිරාජ්‍යය කියන්නේ එය.

සෙනෝබියා අසු පිට යන්න සෙබළු එක්ක හරි හරියට පා ගමනින් යන්න සමත් බවත් ඇය සටන් පෙරමුණේ සිට සටන මෙහෙයවූ බවත් කියවෙනවා.

කෙසේ වෙතත් නැගෙනහිර බලය ගිලිහීම වඩාත් දරුණු බව දකින රෝමන් කාරයෝ ගැලික් යුද්ධේ පසෙක තබා මුළු බලය යොදා පැල්මයිරා පැත්තට එනවා. තියුණු සටන් රාශියක් සහ ශූර රාජ්‍යතාන්ත්‍රික හැකියා යොදාගෙන රෝමන් කාරයින් සෙනෝබියා ගේ හමුදා පරදවනවා. පැල්මයිරාවෙන් පලාගිය සෙනෝබියා සහ දරුවා පස්සේ අල්ල ගන්න ඔවුන් සමත් වෙනවා. පැල්මරින් අධිරාජ්‍යය පවතින්නේ වසර තුනයි. මෙතරම් විශාල අධිරාජ්‍යයක් එතරම් කෙටි කලකදී හදල නැති වෙච්ච එක දුර්ලභ දෙයක්.


අතුරු  කතාවක්  ලෙස,  සෙනෝබියාගේ සැමියා සහ ඔහුගේ  පෙර  විවාහයේ  පුත්  කුමරාගේ මරණ  ගැන  කතාවේ  දෙපැත්තක් තියෙනවා. රජු හා කුමාරයා මරන්නේ  රජ පවුලේම ඥාති  සහෝදරයෙක්.  ඊට  මූලික  හේතුව  ඔහුට  රජු  දුන්  දඬුවමක්.  හැබැයි  ඒක  යට  වෙනත්  හේතු  තියෙන  බවට  මත  පවතිනවා.  පහසුවෙන්ම  සැක  කල  හැක්කේ  සෙනෝබියා තම  පුත්‍රයා  රජකරවන්න  මේක  කළ  බව.  එහෙත්  බොහෝ  දෙනා  සිතන්නේ  මේක  රෝමන්  කාරයින්ගේ  වැඩක්  බව.  මොකද සෙනෝබියා  පස්සේ  මෙහෙයවන  ප්‍රබල හමුදාව හදන්නේ ඇයගේ  සැමියා.  ඇත්තෙන්ම  රෝමන්  කාරයින්ට  ගහලා  අධිරාජ්‍යයක් හදන  එක  ඔහුගේ  සැලසුමක්.  ඒ  නිසා රෝමන්  කාරයෝ  ඔහුව  මරා  දැම්ම  බව  කියවෙන්නේ.  රෝමානු  ඉතිහාස  මූලාශ්‍ර  මේකේ  බිල  සෙනෝබියාට  දාලා  තියෙනවා.  එය  ඇය  පරාජය  කරන්න  ගෙනගිය  ප්‍රචාරක  ව්‍යාපාරයේ  කොටසක්  ලෙස  බොහෝ  දෙනා  හඳුනාගන්නේ. කෙසේ වෙතත්  අන්තිමේදී  සෙනෝබියා  පරදින්නේ  මේ  කූට  ප්‍රචාරක  වැඩසටහන්  මගින්  ඇගේ  පිරිස  ඇය  කෙරෙහි  බිඳුවා  ලීමෙන්.

අල්ල ගත්ත සෙනෝබියා දම්වැලින් බැඳ රෝමයේ ඇවිද්දවන ප්‍රකට දඬුවම සඳහා ගෙන යනවා. ඇයගේ දරුවා මගදී මියයනවා [හෝ මරා දැමෙනවා] එහෙත් සාමාන්‍යයෙන් අල්ලගත්ත නායකයින්ට අත්වෙන ඉරණම හෙවත් මරණය සෙනෝබියාට වුනාද කියන එක විවාදාත්මකයි. සමහරු එහෙම හිතනවා. එහෙත් සමහරු කියන්නේ අතිශයින් රූමත් නිසා ඇය මරා දමන එක අධිරාජයා නතර කරනවා කියා. සමහර විටෙක කිසියම් රෝමානු වංශවතෙක් ඇය විවාහ කරගන්න ඇති කියා හිතන්නේ. මොකද පසුකාලින රෝමානු නම්ගොත් අතර සෙනෝබියා ගෙන් පැවතෙන බවට සැක හිතෙන නාම දකින්න ලැබෙන නිසා.

සෙනෝබියා වර්තමානයට දක්වන සම්බන්ධය නම් ඇය විසින් උපරිමයට පත්කළ සුන්දර පැල්මයිරා නගරයේ ඉපැරණි නටඹුන් ඉස්ලාමික රාජ්‍ය කල්ලියේ අතට පත්වීම නිසා. මෙම නගරයේ නටඹුන් පුරා විද්‍යාත්මකව ඉහල වටිනාකමක් ගන්නවා. අවාසනාවකට යක්ස පැටවූ එකත් වනසා දාවී. ශිෂ්ටාචාරය තරම් ඔවුන්ට දරා ගන්න බැරි වෙන දෙයක් නැහැ.

පහත  පින්තුරයේ පැල්මයිරානු අධිරාජ්‍යය කහපාටින් සලකුණු කර තියෙන්නේ. සංසන්දනාත්මකව අනෙකුත් එව්වා එක්ක හරි හරියට ඉන්නවා. මේකයි ඊ ගාව පින්තුරයයි දෙකම විකියෙන්.





මේ ඓතිහාසික මූලාශ්‍ර මත පසුකාලයේ ඇඳපු චිත්‍රයක්. පැල්මයිරා පරාජය වෙද්දී නගරය අතහැර යන්න පෙර ඒ දිහා ඇය අවසාන වරට බලන මොහොත. අයිරෝනිකලි, අපිට ඒ ශිෂ්ටාචාරය දිහා අවසානෙට බලන්න තියෙන්නේ දැන්. තව ටික කලකින් ඔතන මිලිටරි කෑම්ප් එකකට වඩා යමක් තියෙන එකක් නැහැ






මේකත්  පසුකාලීනව  ඇඳපු  එකක්.  සෙනෝබියා රැජින  සටන්බිමේ  සෙබළුන්ට  උපදෙස්  දෙන  අවස්තාවක්  පාදක  කරගෙන. ගත්තේ  මෙතනින්





Wednesday, May 6, 2015

කොහේද කොහේද අපේ ලොවක් - මුරකාවල් නැති - අපේම අපේම නවාතැනක්


අඩසියවසකට ආසන්න කාලයක් රාජ්‍යයක පාලනයකින් තොරව පැවති, එවකට ලොව විශාලම ජන ඝනත්වය හිමි, මහා මාර්ග රහිත ප්‍රදේශයේ නම කුමක්ද? මේ ගැන ඔබ දන්නා කරුණු එකතු කරන්න

--------------------

අපෙක්ෂා කල පිළිතුර වනුයේ හොංකොං ආසන්නයේ පිහිටි කොව්ලූන්  හි බැමිවටකළ නගරය [Kowloon Walled City]. නගරය වටේ බැඳෙන පැරණි බැම්ම නිසා තමයි නම එන්නේ. හරියටම  තියෙන්නේ  
හොංකොං  දූපතට  කෙලින්ම  අනිත්  පැත්තේ  ගොඩබිමේ.






කොව්ලූන් කියන්නේ හොංකොං ප්‍රදේශය ආශ්‍රිත පැරණි බලකොටුවක්. අක්කර 7ක විතර පෙදෙසක්. මෙම බලකොටුව කාලයක් තිස්සේ චීනුන් පාලනය කළා. ගිවිසුමකින් හොංකොං ගත්ත බ්‍රිතාන්‍ය ජාතිකයින් එක්කත් සමගාමිව මෙහි බලකොටුවක් හා චීන හමුදා පිරිසක් තිබ්බලු. නමුත් මේ හමුදා පිරිස කාලෙකට පස්සේ ඉවත් කරගෙන තියෙනවා. ඒ වෙද්දීත් මෙය චීන භූමියක්.

හමුදාව තවම ඇති කියා සැකකරන 
හොංකොං බ්‍රිතාන්‍ය පාලනය මෙය ආක්‍රමණය කරනවා. ඒ වෙද්දී හමුදාවක් උන්නේ නැහැ. ආක්‍රමණයත් එක්ක චීනුන්ට මෙහි බලය ගිලිහෙනවා. හැබැයි හමුදාවක් නැති නිසා බ්‍රිතාන්‍යයත් ආපහු යනවා.

තවත් අඩ සියවසක් පමණ මෙම කලාපය බ්‍රිතාන්‍ය බලපෑමට යටත් පෙදෙසක් ලෙස පවතිනවා. මෙහි බොහෝ ගොඩනැගිලි කඩා දැමෙන අතර මිනිස්සු පැල්පත් අටවාගන්නවා. බ්‍රිතාන්‍ය පාලනය සපුරා ගිලිහෙන්නේ ජපනුන් දෙවෙනි ලෝක යුද්ධේ කාලේ මෙය අල්ලා ගැනීමෙන්. ඒ වෙද්දී චීනුන් කොවලූන් වලින් ඈත්වෙලා. හතලිස් ගණන් වල සිට බ්‍රිතාන්‍ය 
හොංකොං පාලනයත් කොව්ලූන් අමතක කර දානවා.

මේ කලාපයේ විවිධ අවුට් ලෝ අය සහ සමාජවාදී චීනයෙන් පලා එන්නන් පදිංචි වෙනවා. ඒ වෙද්දී තිබ්බ ගොඩනැගිලි ගිනි ගැනීම් වලින් විනාශ වෙලා යන අතර හිස් වන ඉඩට තවත් මිනිස්සු එකතු වෙනවා.

"නගරය" වේගයෙන් හැදෙනවා. මෙය වංචාවේ හා දූෂණයේ කලාපයක්. සියලු දුරාචාර හා හොරකම් මේක පුරා පැතිරෙනවා.  හොර කල්ලි තම තමන්ට රිසි දේවල් කරනවා. හිටිගමන් 
හොංකොං පොලිසිය රේඩ් එකක් එහෙම කලත් ඒ අයටත් ඇතුලේ රැඳෙන්න අමාරුයි.කොව්ලූන් නගරයේ එකකට එකක් බැඳුනු මුඩුක්කු ගෙවල් තට්ටුවෙන් තට්ටුව උඩ යනවා. එහි උපරිම උස තට්ටු දාහතරක් දක්වා ගියාලු. කිසිම සිවිල් ඉංජිනේරුවෙක් නැතුව කිසිම ආධාරකයක් පහලට බස්සපු ගැඹුරු අත්තිවාරමක් නැතුව තනි තට්ටු එක්ස්ටෙන්ඩ් කරලා තට්ටු දාහතරක් උසට හදාපු එකත් මැජික් එකක්. මම හිතන්නේ බිල්ඩින් වැටෙන්න නියමිත නමුත් එකකට එකක් හේත්තු වෙලා නිසා ඔහේ තිබ්බ කියලා. කලාපය භුගොලියව සක්‍රිය නමුත් එහෙමවත් ක්‍රමයකින් "ටෙස්ට් වෙලා" නැහැ. [එහෙම  නොවීම  පූරුවේ  වාසනාවක්.  නැත්නම්  ලෝකයේ  ලොකුම  ස්වාභාවික  විපතක්  වෙන්න  තිබ්බා ]

විකියෙන්  සහ  මෙන්න  මෙතනින්  ගත්ත  පින්තූර. ඔය  ලින්ක්  එකේ  තව  පින්තුර  තියෙනවා.



A large solid block of ramshackle buildings varying in height, with many taller buildings and some mountains in the background.

Kowloon Walled City was notorious for drugs and crime but many of its 50,000 residents lived their lives peacefully until it was demolished in the early 90s

Canadian photographer Greg Girard and Ian Lambot spent five years getting to know the residents and taking pictures of the densely populated buildings

The area was made up of 300 interconnected high-rise buildings, built without the contributions of a single architect and ungoverned by Hong Kong's health and safety regulations

The city, lit up during the night, was the scene of the 1993 movie Crime Story starring Jackie Chan and includes real scenes of buildings exploding


මුල  සිටම ඇතුලේ වාහන යන පාරවල් නැහැ. මුලදී බිල්ඩින් මැද්දෙන් ඇවිදගෙන යන්න විතරයි පුළුවන්. පහුවෙද්දී  එහෙමත්  යන්න  බැරිලු.  කොවලූන්  වල  පොලොව  පෙනෙන්නේ  එහෙමත්  තැනක  විතරයි  කියා කියන්නේ.
බොහෝ ගමනාගමන වෙන්නේ හතරවෙනි තට්ටුව හරියෙන්, අතනින්  මෙතනින්  රිංගාගෙන. ත්‍රිමාන මේස් එකක්  වැනි  මාර්ග  පද්ධතියක් තිබිලා තියෙන්නේ. අර හොංකොං පොලිසිය රේඩ් කළේ ඒකෙ. ජැකී චෑන් ලා ලෝකෙට ආවේ හොංකොං වලින් වීම පුදුමයට කරුණක් නොවන්නේ ඒ නිසා.

පෙර කී ලෙස මුළු වර්ගපලය අක්කර 7 කට අඩුයි. ඒ කියන්නේ හෙක්ටයාර තුනකට අඩුයි. ව කි මි 0.03 ට අඩුයි. මේක නිකම් අර කොළඹ තියෙන "වත්තක්" වගේ හරියක්. අසු ගණන් වෙද්දී ජනගහනය 33000 ට වැඩියි [සමහරු  කියන  පරිදි  50000 ඉක්මවනවා]. අඩුම  ගාන  සැලකුවත් ඒ කියන්නේ 33000/0.03 = ව කි මි ට මිලියන 1.1 ක ජන ඝනත්වයක්. අදටත් ලෝකේ දේශසීමා වලන් වටවන පෙදෙසක තියෙන වැඩිම ඝනත්වය ව කි මි ට 35000 වගේ ගානක්. මෙය චීන හා බ්‍රිතාන්‍ය දේශසීමා වලට පිටස්තර වෙනම කලාපයක් ලෙස සැලකුවොත්  එකල මෙන්ම පහුගිය දීර්ඝ කාලයකට තිබ්බ ලොකුම ජන ඝනත්වය. 



Over time, both the British and the Chinese governments found the massive, anarchic city to be increasingly intolerable - despite the low reported crime rate in later years


For many residents who lived in the upper levels of the city, ion in particular, the roof was an invaluable sanctuary: a 'lung' of fresh air and escape from the claustrophobia of the windowless flats below


දුරාචාර  වලින්  පිරුණු  මුඩුක්කු  වගේ  වුනාට  බහුතරය  හොඳ  අහිංසක  මිනිසුන්.  විශේෂයෙන්ම  සමාජවාදී  චීනය  නිසා පලායන  අහිංසකයින්  තමා  වැඩියෙන්  ඉඳලා  තියෙන්නේ. 


Law Yu Yi, aged 90, lived in a small and humid third-floor flat with her son's 68-year-old wife off Lung Chun First Alley. The arrangement is typical of traditional Chinese values in which the daughter-in-law looks after her inlaws

The shrieks of children playing on rooftops were frequently drowned out by the sounds of jet engines as aircraft powered through their final 100 metres on the runway at Kai Tak Airport


පසු  එකතුවක්  ලෙස  මේ  පින්තුරය  දාන්නේ  එහි  අගය  නිසා.  මේ  තමා  හොංකොං වලින්  අනුයුක්ත  කළ  ලියුම්  බෙදන්නා.  ඔහුට  මේක  නොකර  බැරිනිසා  කරන්නේ.  තොප්පියක්  දාගෙන යන්නේ  අවුව  වැස්ස  නිසා  නොවේ.  ඒවා  පොළොවට  වැටෙන්නේ  නැහැ.  එහෙත්  හැම  තැනින්ම  නොකඩවා  දියබිඳු  වැටෙනවා.  ඒවා  මොනවාද  කියන්න  රසායනික  පරික්ෂනයකින්වත්  බැරිවෙයි.  තට්ටු  දහයක  දොළහක  අපරි  ද්‍රව්‍ය.


Mir Lui was assigned to work in the city as a postman in 1976 and had no choice but to go. He was one of the few people who knew the ins and outs and wore a hat to protect him from the constant dripping


1990 දශකයේ චීන හොංකොං [බ්‍රිතාන්‍ය]  එකඟතාවයකින්  මිනිසුන් නැවත පදිංචි කරලා මෙය සපුරා විනාශ කරනවා [මුලින් පෝස්ට්  එක  ලියද්දී චීනයට නැවත පවරා ගත්තම කළා  කිව්වා  එක  වැරදියි.  දෙගොල්ලෝ  එකතුවෙලා  කරන්නේ]

මෙහෙම මුඩුක්කු ලෝකේ කොහෙත් ඇති. එහෙත් රටක පාලනයට නතු නොවී මෙහෙම තියෙන තැනක් වෙන ඇද්ද කියා මම දන්නේ නැහැ. මම දන්නා තරමින් මේ තමා එකම එක.

මේකත් එක්තරා විදිහක අරාජික සමාජයක් . අරාජික සමූහ  සලකද්දී අපි සාමුහිකවාදී හා ක්‍රිස්තියානි පම්ප්‍රදායානුකුලව ඉන්න කවදාවත් අපරාධයක් නොවුන ට්‍රිස්ටන් ද කුඥ්ඥ දූපත ගැන කතා කළා.  එහෙත් එය කෘතිමයි. මේ තමා මිනිස්සු කිසිම පාලනයක් නැතුව ඔහේ ඉන්න ගියොත් හැදෙන ස්වාභාවික තත්වය.

අද  
කොව්ලූන්  හි  කොටසක්  පමණක්  සිහිවටනයක්  සේ  ඉතුරු කර  චීනුන්  එය  උද්‍යානයක්  බවට  පත්කරලා.






ප.ලි.  

"පලියක්" ලියන්න  හිතුනේ  මේකේ  හෙඩිම  වෙනස්  කල  හේතුව  කියන්න.  කලින්  දාලා  තිබ්බේ  කොව්ලූන්  බැමිවටකළ නගරය  කියලා.  එහෙත්  පස්සේ  මට  වික්ටර්ගේ  සින්දුවක්  සිහිවුනා. උඩින්  බැලුවම  මේක  මහා  දහජරාවක්  නිසා සින්දුව  දැම්මේ  නක්කලේට  කියා  හිතෙන්න  පුළුවන්.  එහෙත්  මම සින්දුව  දැම්මේ  මේ  ජනයාට  උපහාරයක් ලෙස.

ඇයි මිනිස්සු  මෙහෙම  තැනකට  ආවේ?  බර  පිරිසක්  ආවේ  කොමියුනිස්ට්  චීනයෙන්.  ඒ  අය  දුප්පතුන් නොවේ. ඒ අයට  චීන  ක්‍රමයට  එකඟව  මීට  වඩා  හොඳ  භෞතික  ජීවිතයක්  ගෙවන්න  තිබ්බා.  ඒත් ඒ මිනිස්සු පලා යන්නේ  කොච්චර  මුඩුක්කුවක  උනත්  මානසික  නිදහස  සොයාගෙන. පාටි එකේ  ප්‍රාදේශීය  ලොක්කන්ට  මල  පනීද,  මුරකාවලුන් ඇවිත් කොයි මොහොතේ උස්සගෙන යාවිද,  පවුල - කුඩා දරුවන් එක්කම - පර්ජ් කර  දාවිද [කිව්වේ  මරා  දාන  එකට  කියාපු  නම],  එහෙමත්  නැත්නම්  වධකාගාරේට  දාවිද ඔන්න ඔහොම බයෙන්. තමන්ගේ  ජීවනෝපාය කනබොන  දේවල්  ජීවිතේ  ඔක්කොම  ආණ්ඩුවෙන්  තීන්දු කරන ලෝකෙන් මිදිලා  ඒ  මිනිස්සු  පැනලා  ආපු ඔවුන්ගේ  "අපේ ලෝකය" තමා  කොව්ලූන්.  ඔන්න යටින්  බැලුවම පෙනෙන  හැටි.

ගීතය  දැම්මේ  ඔවුන්ට  උපහාරයක්  ලෙස. 

Sunday, May 3, 2015

නේපාලය ගාධිමායි සහ හිමාල කන්දේ භූ තැටි මායිම

නේපාලයේ සිදුවූ රික්ටර් 7.9 ක භූමිකම්පාව මෑතකාලයේ නිච්චියටම අනාවැකියක් ලෙස කියන්න හැකි වූ එකක්. එම ස්ථානයේ භූ විද්‍යා ඉතිහාසය ගැන පරීක්ෂණ කරන විද්වතුන් අතීත භූ කම්පන වල රටාවක් අනුව 1934 කම්පනයෙන් වසර හැත්තෑවක් අසූවක් යද්දී තව එකක් වෙන්න ඕනේ කියා අනාවැකියක් පළකරනවා කම්පනයට  සතියකට  පෙර. මේක හරියටම පෙර  කම්පනයට වසර අසූවක් ගෙවෙන මොහොත. කම්පනය වෙන බව ස්ථිර නිසා ඔවුන් හදිසි සමුළුවකින් ඊට මුහුණ දෙන ආකාරය පවා කතා කළාලු [ලු කිව්වේ ඒ කතාව කිව්වේ නේපාල ජාතිකයෙක් නිසා]. එහෙම දැනගෙන හිටියත් මේ වගේ සුවිසල් කම්පනයකින් පස්සේ මිනිසාට කල හැක්කක් නැහැ. කම්පනයෙන් මියගිය නිවැරදි ගණන් දැනගන්න ලැබෙන එකක් නැහැ. මොකද සමහර පෙදෙස් වල ටිබෙටයේ චීන පාලනයෙන් පලා ආපු අනවසර අනාථයින් පදිංචිවී උන්නු නිසා. ඒ ගම්මාන වල කීයක් උන්නද කියන එකට නිශ්චිත සංඛ්‍යාලේඛන නැහැ. හොයා ගන්න තරම් කෙනෙක් ඉතිරි වෙලාත් නැහැ.

කම්පනය නිසා වෙලා තියෙන්නේ භූ පැළුම තවත් අස්ථාවර වීම කියා කියන්නේ. ඒ අනුව නේපාලයේ භූතානයේ ඉන්දියාවේ පකිස්තානයේ හෝ බුරුමයේ කම්පන වෙන්න ඉඩ තියෙනවා. රික්ටර් 7.9 ට පස්සේ 6.5 හා 6.6 පසු කම්පන දෙකක් වෙනවා. ඒත් බොහෝ දෙනා බයේ ඉන්නේ තවත් ලොකු එකක් වේවි කියා. ඒ වගේම කඳු නායයාම් නිසා වතුර එකතු වෙලා විශාල ගංවතුර ඇතිවීමේ අවදානමක් තියෙනවා. ගැස්සිච්ච පොළොවේ නායයාම් දිගටම වෙන්න පුළුවන්. ඒ වගේම ඇවලාන්ච් වෙන්නත් පුළුවන් ඉහල කඳු වල.

නේපාලයේ කත්මන්ඩු අගනුවර මීටර කීපයක් දකුණටත් මීටරයක් පමණ ඉහළටත් ඉස්සෙනවා. එවරස්ට් මුදුනත් මීටරයකින් උස ගිහින් [කම්පනය නිසා නායයාමක් නොවුනානම්]. කොහොමත් එවරස්ට් අවුරුදු දෙසියකදී විතර ඒ ගානට උස යනවා වර්තමාන වර්ධන වේගය සැලකුවොත්.

හිමාල කඳුවැටිය මීටර අටදාහට වඩා උස මුදුන් සියල්ලේ හිමිකරු. මම දන්නා තරමින් හත්දාහට වඩා උස මුදුනක්වත් ඊට පිටින් නැහැ. හිමාල කන්ද එක්තරා භූ විද්‍යා අසාමාන්‍යතාවයක් වන්නේ කන්දේ උස මගින් භු තැටියට දෙන භාරය සාමාන්‍ය අගය ඉක්මවා යන නිසා. කවදා හෝ දවසක එය ගුරුත්වය නිසා කඩා වැටෙන්න [Gravitational Collapse] ඕනේ. පොළොවේ කබොලේ ගනකම, පාෂාණ වල බර හා ගුරුත්වාකර්ශන බලය අනුව එවරස්ට් වගේ උස කන්දක් හැදෙන්නේ මේ වගේ බොහොම සුළු කාලෙකට පමණයි. හිමාලයේ වර්තමාන උස සීමාව වසර මිලියන 10 කට වඩා වයසින් අඩු "ලාබාල" අවස්තාවක්. භූ විද්‍යා වයස් අනුව තාවකාලික අවස්තාවක් ලෙස සැලකිය හැකියි. කන්ද කලප්ස් වෙන එක කාලයක් තිස්සේ වෙන්න නියමිත එකක්.

බොටම් ලයින් එක: ඔය හරියේ භූ කම්පන තව තවත් සිද්ධ වේවි. මේකෙනුත් කිසිම දෙයක් ස්ථාවර වී නැහැ

පහත  පින්තුර  ගත්තේ  මෙතනින් හා විකියෙන්.





නේපාල් භූමිකම්පාව හා ගාධිමායි නම් සත්ව බිලි පූජාව බොහෝ දෙනා සම්බන්ධ කරගන්නවා. ගාධිමායි නිසා භූ කම්පනය වුනා කියලා බෞද්ධ කර්ම කියවීමෙන් මේක පැහැදිලි කරන්න හදනවා. විශාල විනාශයක් වුනාම ඒක ආගමික ක්‍රමවේදයකින් පැහැදිලි කරන්න හදන එක සුලබ සිද්ධියක්. ඒ මිනිස්සු නරක නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා, උන්ගේ කරුමේ ආදී ලෙස මිනිස්සු කැෂුවල් තාලෙට ආගම අරගෙන මේවා පැහැදිලි කරන්නේ. එහෙත් ස්වාභාවික සංසිද්ධි වලට එහෙම දේවමය හෝ කර්ම බලපෑමක් නැති බවත් ඒවා වෙන්නේ ඒ මිනිසුන්ගේ වරදින් නොවන බවත්, ඒවා ලෝකයේ සාමාන්‍ය ධර්මතාවක් සේ සිදුවන බවත් අහඹු ලෙස කවුරුන් හෝ ඊට හසුවිය හැකි බවත් එක්තරා විද්‍යාත්මක දර්ශනයක් ගෙනාපු ඉපැරනි විද්‍යාඥයෙක් පවසා සිටියා. පාරම්පරිකව එයාට සිද්ධාර්ථ ගෞතම කිව්වට පස්සේ මිනිස්සු ගෞරවනීයව බුදුන් වහන්සේ කියා කිව්වා. බුදු දහමේ එන නියාම ධර්ම පැහැදිලි කිරීම අනුව මෙය උතු නියාමයක් හෙවත් ස්වාභාවික සංසිද්ධියක් ලෙසයි මට තේරෙන්නේ. බුදු දහම උතු නියාම හා කම්ම නියාම දෙකක් සේ සලකන බව නවය වසරේ බුද්ධාගම පොත හෝ සාමාන්‍ය පෙළ මට්ටමින් එහාට  නොකියවපු අපිත් දන්නවා. ඒත් ඔව්වා බුදු හාමුදුරුවෝ ම ආපහු කිව්වත් අපේ එව්වෝ පිළිගනීද?

අනික තමා ඔය ගාධිමායි නේපාල උත්සවයක් ලෙස සැලකීම වැරදියි. ගාධිමායි කියන්නේ ඉන්දියාව හා නේපාලය අද තියෙන ලෙස වෙන්කර නොතිබුණු කාලේ වර්තමාන නේපාලයේ ඉන්දීය බෝඩර් එක හරියේ ගමක උන්නු රදලයෙක් කල හොරකමක් - සමහරු කියන හැටියට හරක් හොරකමක් - සඳහා දඬුවම් නොලබුනොත් වාර්ෂිකව සතුන් බිලිදෙනවා කියා ඒ මනුස්සයා ගාධිමායි දෙවඟනට වූ පොරොන්දුවක ප්‍රතිපලයක්. මිනිහා බිලි පූජාව තම හිතවතුන්ටත් විකුනනවා. ඒ අයත් තමන්ගේ හිතේ තියෙන දේවල් කරගන්න සත්තු ගෙනත් බිලිදෙනවා. අර රදළයා මෙතන දේවාලෙකුත් හදනවා. ඒ හරහා මෙතෙක් හොරෙන් කාපු හරක්මස් මිනිහට නීත්‍යානුකූලව නොමිලේ ලැබුනා වෙන්නත් බැරි නැහැ. මොකද හොරුන් හොරෙන් ගන්න දේවල් නීත්‍යානුකූලව ගන්න උන්ටනේ දේවාල අයිතිකාරයෝ කියන්නේ. අදකාලේ ගාධිමායි වල මස් බාරගන්න වෙනම සමාගම් ඉදිරිපත් වන්නේ.

දැන් ඔය බිම්කඩ අයිති වන්නේ ටෙරායි කලාපයට. ටෙරායි කියන්නේ ඔය භූ පැලුම් නිසා ඉන්දීය තැටිය හිමාලයේ යටට රින්ගද්දී හැදුනු මුහුදු මට්ටමට ආසන්න පහත් බිම. මෙහි හිමාලයේ වතුරෙන් ගලන ගංගා හා යමුනා නදී දෙකෙන් සශ්‍රීක වෙන සරු ගොවිබිමක් හැදෙනවා. මේ තමා ඉන්දියාවේ ආර්ය ශිෂ්ටාචාරයේ තොටිල්ල. ටෙරායි කිව්වම උත්තර්කන්ද, උත්තර ප්‍රදේශ් බිහාර් හරහා බංග්ලාදේශය ආසන්නයට එනවා. ටෙරායි වල වැඩිහරිය තියෙන්නේ ඉන්දියාවේ. එහෙත් එහි සුළු කොටසක් නේපාලයේ දකුණු දේශ සීමාව දිගේ පටියක් සේ විහිදෙනවා. අන්න ඒ පටියේ තමා ගාධිමායි දේවාලේ තියෙන්නේ. ටෙරායි වල බෝඩර් එකේ දෙපැත්තේම ඉන්නේ ඉන්දියානු සම්භවය සහිත මාදේසි [මධ්‍ය දේශි] කියන මිනිස්සු. මේ අය චීන ආර්ය මිශ්‍ර කත්මන්ඩු ප්‍රජාවෙන් සපුරා වෙනස්. ඒ මිනිස්සු බෝඩර් එකවත් හරියට ගණන් ගන්නේ නැහැ. ගාධිමායි උත්සවයට එන්නේ වැඩිපුර ඉන්දියානුන්. මරන්න සත්තු වැඩියෙන් ගේන්නේ ඉන්දියාවෙන්. නේපාලය කරන එකම බලු වැඩේ තමන්ගේ වාසියට මේ උත්සවයට ලොකු කොක්කක් දාන්නේ නැති එකයි. එහෙත් එක අතකින් එය රටේ සුලුජාතියකගේ ආගමික අනන්‍යතාවය සම්බන්ධ කතාවක් [මම පුද්ගලිකව ඔය "ආගමික අනන්‍යතාවය යොදාගෙන කුප්ප වැඩ කිරීමට" එකඟ නැති වුනත්]

මේ සිතියම විකියෙන්. ටෙරායි කියන්නේ කොළපාට කෑල්ල. මායිම කහපාටින්.


මුහුදු මට්ටමෙන් මීටර එක්දාස් පන්සීයක් උස කත්මන්ඩු සහ ඊටත් ඉහල කඳුවල වසර දහස් ගානක තිබ්බ රාජ්‍ය අනාර්ය එකක්. චීන සම්භවයෙන් එන කිරාට [හෙවත් ආර්ය බසින් යක්ඛ] ප්‍රජාවක් එහි පාලනය ගෙනියන්නේ. ආර්යයින් තමන් නොවන හැමෝටම යක්ඛ කිව්ව බවක් පෙනෙනවා. රාවණාගේ ගෝලයින්ට "අවදි වෙන්න " අවශ්‍ය නැහැ ඒ නිසා. මේ නේපාල යක්ඛ හෙවත් කිරාට ප්‍රජාව පැහැපත් චීන ලකුණු සහිත අයයි. ඒ කත්මන්ඩු හා කඳුකර ජනයා ගාධිමායි එකට කැමති නැහැ.

දැන් භූ කම්පනයෙන් මැරුණේ කවුද? ගාධිමායි කරන පහත්බිම් වල මිනිස්සුද? නැතිනම් ඊට එරෙහි කඳුකර මිනිස්සුද?

2009 ගාධිමායි ඝාතන ලෝකයට රිදෙන්න වදිනවා. ඒ නිසා සත්ව හිංසන  විරෝධී 
කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා 2014 උත්සවයට ඉන්දියාවෙන් ගෙනෙන සතුන් බෝඩර් එකෙන් ගේන්න නොදෙන තැනට දෙරටේ බලධාරීන් තල්ලු කරනවා. ඒ නිසා 2014 ගාධිමායි එකේ මරන්නේ පෙර උත්සව වලින් බාගෙටත් අඩුවෙන්. දැන් මෙන්න ඉන්දියන් කාරයෙක් කියනවා "අන්න දැක්කනේ බිලිපූජාව අඩු කල නිසා දෙවඟන කෝප වෙලා " කියලා.

මිත්‍යා විශ්වාස කියන්නේ සුදු හිස් කඩදාසියක දෑස පියාගෙන අඳින බලි කුරුට්ටක්. හැරෙන හැරෙන අතට කරකැවිය හැකියි.

කෙසේ වෙතත් මේ තුලින් හෝ ලෝකයා ගාධිමායි ගැන දැනගෙන නේපාල වාසීන්ට එය තහනම් කරන තැනට එන්න කටයුතු සලසන්නේ නම් එය සතුටට කාරණයක්. එහෙත් ගාධිමායි තිබ්බත් නැතත් තාවකාලිකව ඉහලට එසවුණු දිනෙන් දින බරින් වැඩිවන අස්ථාවර හිමාල කඳුවැටියේ ජීවිතවල හෙට දවස එක සේ ම අවිනිශ්චිත වේවි.

Friday, May 1, 2015

ඇළක් කිව්වට ඇළක් ම නොවේ

සාමාන්‍ය දැනුම සමූහයෙන්. මේක තරමක් විවාදාත්මක මාතෘකාවක්. මගේ අදහස් දැක්වීමත් පාර්ශ්වීය වෙන්න පුළුවන්. මේ ගැන දන්නා අය අධ්‍යනය කරපු අය බ්ලොග් අවකාශයේ ඇති. ඒ නිසා මීට යමක් එකතු කරන්නේ නම් උදක්ම ස්තුතිවන්ත වෙනවා.

මේ ගැන මම කියවා එකතු කල කරුණු ඇසුරෙන් තමා මේ ප්‍රශ්නය හා උත්තරය සකස් වන්නේ. මට මෙහි සිතියම හා ශාස්ත්‍රීය අධ්‍යනයක් හොයන්න අවශ්‍ය වුනා. එහෙත් ලැබුනේ නැහැ. ශාස්ත්‍රීය අධ්‍යනයක් එක්තරා ඊ සඟරාවක තිබ්බ. එය සොයාගන්න බැහැ දැන්. මේ වගේ දේවල් ඔබ සතුනම් එකතු කරන්න. තරමක් වෙනස් මුහුණුවරකින් මෙතන නැවත සංවාදයට විවෘත කරන්න උත්සාහයක් ගන්නේ.

මුලින්ම ප්‍රශ්නය.

ජලය හිඟ ප්‍රදේශයක කණින ලද ඇළකි. පෙනුමෙන් මෙහි බොහෝ අඩුපාඩු තිබේ. ඇළ යන්නේ කෙටිම පාරකින් නොවේ, වංගු ගොඩකිනි. ඒ නිසා ඇළෙහි වතුර වැඩි වැඩියෙන් වාෂ්ප වේ. ඇළෙහි වංගු වල පිට පැත්තේ බැමි නොමැති නිසා වතුර අසල ගොඩ නැගුනු පිටාර තැනි වලට කාන්දු වේ. ඇළෙහි ආනතිය අඩු නිසා එහි වතුර සෙමින් ගලන අතර එබැවින් අසල පසට වැඩි ප්‍රමාණයක් කාන්දු වේ.

පසුකාලින ඉංජිනේරුවෝ මෙම අඩුපාඩු සකස් කර ඇළ පිළිසකර කළහ.

එහෙත් පසුව සොයාගත් පරිදි මේවා අඩුපාඩු නොවේ, නිර්මාණයේ ලක්ෂණයන් හෙවත් ඩිසයින් ෆීචර්ස් ගොඩකි. එනයින් දැන් සිතන ආකාරයට මෙය ඇළකුත් නොවේ වෙනත් දෙයකි.

1. අදාළ "ඇළ" කුමක්ද?

2. ඉහත සඳහන් අඩුපාඩු හිතා මතා සාදා ඇත්තේ ඇයි?

3."ඇළ" ට දැන් කියන වඩාත් ගැලපෙන නම කුමක්ද?

--------------------------------------------------------------------------------

පිට කොහෙවත් එකක් නොවේ, මේ අපේම යෝධ ඇළ හෙවත් ජයගඟ ගැන කතාවෙන්නේ. කලාවැව හා තිසාවැව අතර දඟර වැටුණු ඇළ මාර්ගයක ස්වරූපයෙන් ඇති යෝධ ඇළ දුවන්නේ සමෝච්ච රේඛාවක් දිගේ. ඉතින් එහි බෑවුමක් ඉහලක් හෝ පහලක් නිච්චියටම කියන්න බැහැ .

යෝධ ඇළ ගලන්නේ වංගු ගොඩක් එක්ක. එහි පිට පැත්තේ බොහෝ ස්ථානවල ඉවුරක් නැහැ. කියන හැටියට කවදාවත් තිබිලා නැහැ. හැම වන්ගුවෙන්ම වතුර පිටාර ගලනවා. හෙමි හෙමින් දිගු දුරක් ගලන නිසා වාෂ්ප වෙනවා වැඩියි. ඒ වගේම හෙමින් ගලන නිසා පොලොවට උරනවත් වැඩියි.

ඇළක් හැටියට ගත්තොත් මේක කළා වැවේ වතුර අනුරාධපුරයට සපයන කාර්යය සඳහා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ලවුසි වැඩක්. අඩුපාඩු ගොඩක්.

ඒත් එය ඇළක් නොවේ. අනික අනුරාධපුරයට ජලය සැපයීම එහි එක වැඩක් පමණයි. එය බහුකාර්ය ව්‍යාපෘතියක්. එය ගලා යන ප්‍රදේශය තුල ප්‍රධාන ජල සැපයුමක් නැහැ. ඒ නිසා එයින් කරන්නේ වාෂ්පීකරණය තුලින් වාතයේ ජලවාෂ්ප වැඩි කරමින්, පොලොවට උරා ගන්නවා ගෙන උල්පත් පෝෂණය කරමින් වන්ගුවලින් එලියට උතුරවා ගෙන එම ප්‍රදේශ සශ්‍රීක කරමින් ගලලා ඉතිරි වතුර අනුරාධපුරයට දීම.

කාර්යය සලකා බලු විට යෝධ ඇළ වැවක කාර්යභාරයක් කරනවා. ඒ නිසා දැන් ඉන්න කට්ටිය එය වර්ගීකරණය කරනවා දිග් ගස්සපු වැවක් [elongated tank] හැටියට. එසේ දිග් ගැස්සීමෙන් වඩා වැඩි පරාසයකට සේවා සපයනවා.

සරලව කිව්වොත් බෑවුමක සමෝච්ච රේඛාවක් දිගේ බැම්මක් බැඳ දිගට වතුර එකතු කල සිහින් දිග වැවක්. කොහෙන් වතුර ලැබුනත් අවශ්‍ය තැනකට යොමු කල හැකියි. ෆ්ලෝ එක දෙපැත්තටම. එහි සැතපුමට අඟලක බෑවුමක් තියෙනවා කියන්නේ ඒ නොගැඹුරු වැවේ වතුර ගලායාමට දුන්නු ආධාරකයක් පමණයි.

කලාවැවේ සිට තිසාවැවට යන ප්‍රධාන "දික් වැව" පමණක් නොවේ රටපුරා වෙනත් ස්ථාන රාශියක මේ සංකල්පය ඇති අතර ඒ සියලු ස්ථාන වල ඒවාට යෝධ ඇළ කියා කියවෙනවා. ඒ අනුව යෝධ ඇළ වාරි සංකල්පයක් විනා මේ නිර්මාණයට කියන නම නොවේ.

මේක නොදත් මහවැලි ඉන්ජිනේරුවන් මේ දඟර හරි මැද්දෙන් කෙලින් ඇළක් කපලා කළා වැව තිසා වැවට යා කළා. එක නෝමල් ඇළක්. ඒ වෙනකම් පවා ජයගඟ සැහෙන දුරට ක්‍රියාත්මක වුනා ලු. එතනින් ඒ නිර්මාණය ඉවරයි. කොටින්ම අපේ සමාජ අධ්‍යනය පොතේ මහවැලි ව්‍යාපාරයේ සිරා වැඩක් ලෙස ලියා තිබ්බා "සැතපුම් පනස් හතරක ජය ගඟ හෙවත් යෝධ ඇළ සැතපුම් දහ අටක් දක්වා කෙටි කොට පිළිසකර කරන ලදී" කියලා. ඔන්න අපේ ලොරි ටෝක්.

පහත දැක්වෙන සටහන් මේ ගැන ලියවුනු මාධ්‍ය සටහන්. 100% නිවැරදි නැතුව ඇති. ශාස්ත්‍රීය අධ්‍යන නොවේ. මෙතන දාන්නේ අදහසක් ගන්න පමණයි.

එළිච්චියක විසින් මග හෙළි කෙරුණු යෝධ ඇල

යෝධ ඇල සංකල්පය

"යෝධයන්" කැපූ ඇළ

හැකිනම් යමක් එකතු කරන්න.