Monday, October 3, 2022

අද අපේ කම්කරු දිනය යි



අද අපේ කම්කරු දිනය යි.
 
මේ ඩේ එක නොවී අද අපේ කම්කරු දිනය වුණේ කෝමද හෙවත් අපෙ මේ ඩේ එක ඔක්තෝම්බරේ තියෙන්නෙ කෝමද කියන එක ටිකක් දිග කතාවක්.

එක්දාස් අටසිය ගණන් වල ලෝකෙ හැමතැනම වගෙ සේවා ස්තාන හෙවත් කම්හල් වල තිබ්බෙ සැහෙන්න අමාරු තත්වයක්. සේවකයින් ලෙස වැඩිහිටි පිරිමින් ගැහැණුන් මෙන්ම දරුවන් පවා යොදා ගත්ත. දරුවන් ගෙත් වයස් කාණ්ඩ කඩමින් වයස 10 ට පවා අඩු අය යොදාගත්ත. මේ සේවකයන්ට කරන්න තිබ්බෙ ඉතාම අසීරු රාජකාරි. ජීවිත අතපය අන්තුරට ලක්වෙන වර්ගෙ එව්ව,. ඊට අවශ්‍ය නිසි ආරක්ශක මෙවලම් හෝ ආරක්ශිත සේවා ස්තාන සැකසුම් තිබ්බෙ නෑ. ඒ නිසාම අනතුරට ලක්වෙන ප්‍රමාණය අති විශාලයි. මේ සියලු වයස් කාණ්ඩ වල මිනිසුන්ට දිනකට පැය 10 12 15 වගේ වැඩ කරන්න වුණා. පැය 18 ක් වැඩ ගත්ත ස්තාන පවා තිබ්බ. සතියේ දින හයක් වැඩ කරන්නත් ඕනෙ. යාන්තම් බයිබලේ නිසා ඉරිද බේරුණා. මේ හේතුව නිස ඇතිවන අසාමාන්‍ය තෙහෙට්ටුව (මානව පරිණාමය මේ කාර්මික විප්ලවයට අවශ්‍ය ආකාරයෙ මානවයින් බිහිකර නෑ. ඉතින් කාටවත් ඕක දිගකාලයක් කරන්න බෑ) හෙතුවෙන් ඔවුන් සදාකාලික රෝගින් වීම හා මියයාම සාමාන්‍ය තත්වයක්. මෙතරම් අසීරු තත්ව යටතේ සේවය නොකර මේ මිනිසුන්ට වෙන ජීවන අවස්තා තිබ්බෙ නෑ. ඉඩම් හිමිකම් තිබ්බෙ නෑ. වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ඔවුන්ට අනිවාර්‍යයෙන්ම මේ ආකාරයේ රස්සවක් කරන්න වුණා. මේ තමා කාර්මික විප්ලවය එක්ක හැදුණු ක්‍රමය.
 
ඔය හේතුව නිසා යුරෝපයේ ලොකු රැල්ලක් ආව පැය අටක් සේවය කරන්න, පැය අටක් රෙස්ට් කරන්න ඉතිරි පැය අට විනෝද කටයුතු කරන්න ඔනෙ කියල. ඇත්තෙන්ම මං හිතන්නෙ මුලින්ම පැය අට කතාවට ආවෙ ස්පාඤ්ඤ රජ කෙනෙක් කිසියම් තෝරාගත් ශ්‍රමිකයන් පිරිසකට පැය අටේ වැඩ දිනයක් ලබා දීමෙන්, කෙසේ වෙතත් බ්‍රතාන්‍ය තුල කාර්මික විප්ලවය එකක් පැය අටෙ වැඩ දිනය හෙවත් අටයි අටයි අටේ කතාව ( 8 8 8 කියල සංකේත කල) තදින් පැතිරුණා. ඒත් සේවකයින් මොකක් කිව්වත් ව්‍යාපාර හිමියන් හා රජය (ඒ කාලෙ මේ දෙක අතර තිබ්බෙ ළග සම්බන්ධයක්. නෝට්: සර්වජන චන්ද බලය නෑ. පාලකයින් පත් කරන්නෙ ධනවතුන් වංශවතුන් විසින් ඔවුන් අතරින්) ලොකුවට ගණන් ගත්තෙ නෑ.
 
එක්දාස් අටසිය ගණන් වල ඔස්ට්‍රෙලියාවෙත් මේ තත්වය එහෙම්ම තමා තිබ්බෙ. හැබැයි සෙසු රටවලට වඩා වෙනසක් තිබ්බ. 1800-1850 කාලවල ඔස්ට්‍රෙලියාවේ ස්තාන කීපෙක රත්‍රන් හොයාගෙන ආපු ගෝල්ඩ් රශ් එකත් එක්ක විවිධ නිපුණතා සහිත හෝ බර වැඩ කරන ශ්‍රමිකයන් අධික ලෙස ඕනෙ වුණා. ඒ නිසාම ඒ කාලෙ බ්‍රිතාන්‍යයෙන් විශාල පිරිසක් ඔස්ට්‍රෙලියාවට ගෙනාව. මොවුන් එක්ක බ්‍රිතාන්‍යයෙ තිබ්බ 8 8 8 සන්කල්පයත් ඔස්ට්‍රෙලියාවට ආවා. හැබැයි ඒත් නිපුණතා සහිත ශ්‍රමයට හිගයක් තිබ්බ. ඉතින් හිගයක් තියෙන තැනක ඩිමාන්ඩ් කරන්න ලේසියි.

ඕශනියා කලාපෙ මුල ම පැය අටේ වැඩ දිනය ගැන අහන්න ලැබෙන්නෙ නවසීලන්තෙන්. 1840 ගණන් වල නවසීලන්තෙ වඩුබාස් කෙනෙක් තම සේවාහිමියාට කියනව මං වැඩ කරන්නෙ දවසට පැය අටයි කියල. බාස් ලගෙ හිගේටම මේකට සේවාහිමියා කැමති වෙනව. ඕක ගැන ඒ බාස් පස්සෙ වතාවක කියනව ලෝකෙ පළමු කම්කරු සටන කිසිම ලේ වැගිරීමකින් තොරව එකගතාවයෙන් දින්න කියල.

ඔස්ට්‍රෙලියාව කියල දැන් කියන ප්‍රදේශයෙ මුලින්ම මේක පටන් ගන්නෙ එවකට තිබ්බ නිව් සවුත් වේල්ස කොළණියෙ 1855 දි. සිඩ්නි වල ස්ටෝන්මේසන්ලා පිරිසක් පැය අටේ වැඩ දිනයක් ඉල්ලා පටන් ගන්න වර්ජනයක් නිසා 1855 ඔක්තෝබර් මාසෙ ඔවුන්ට ඒ වැඩ දිනය දෙනව ඒත් දෙන්නෙ වැටුප් අඩු කරල. මෙන්න මේක තමා ඔක්තෝබරයේ යෙදෙන පළමු සදුදා කම්කරු දිනය ලෙස නිසවේ ප්‍රාන්තය සමරන්නෙ.

හැබැයි මේක බොහෝ කම්කරු සන්විධාන වල කේන්තියට හේතු වන්නෙ ඔවුන්ගෙ වැටුප් කපපු නිසා. අන්තිමේ 1856 දි මෙල්බන් විවි හදමින් උන්නු ස්ටෝන්මේසන් ලා පිරිසක් වැඩ වර්ජනය කරල පාර්ලිමේන්තුව වටලල කරන උද්ඝෝශණයක් නිසා පඩි නොකපා පැය අටේ වැඩ දිනයක් සියලුම රජයේ සේවකයින්ට දෙන්න වික්ටෝරියා කොළණි රජය තීන්දු කරනවා. මෙන්න මේක තමා මේ කලාපෙ මුලින්ම මහ පරිමාණෙන් පැය අටේ වැඩ දිනයක් තීන්දු කළ අවස්තාව. මේක වෙන්නෙ 1856 මැයි මාසෙ. ඒත් වෙන මොකද්දෝ හේතුවකට වික්ටෝරියා කොළණිය අදාල දවස මාර්තු මාසෙට දාගන්නවා. ඉතින් එයාලගෙ මේ ඩේ එක එන්නෙ මාර්තුවේ

ඔස්ට්‍රෙලියාව කියල රටක් නෑනෙ ඉතින්, ඒ නිසා වෙනවෙන කොළණි වල මිනිස්සු තම තමන්ගෙ 8 8 8 කැම්පේන් වෙන වෙනම කරල ඉදිරි දශක කීපෙ පැය අටෙ වැඩ දින දිනාගන්නව. දකුනු ඔස්ට්‍රෙලියාව හා නිසවේ වලින් පස්සෙ කඩාගත්ත කැපිටල් ටෙරිටරියත් අද තමා ඒක සමරන්නෙ. ටැස්මේනියා හා බටහිර ඔස්ට්‍රෙලියාව (වික්ටෝරියා එක්ක) මාර්තුවල. ක්වීන්ස්ලන්තෙ හා උතුරු ටෙරිටරිය ලෝක සම්මත මැයි 1 සන්කේත කරමින් මැයි වල මුල්ම සදුද ගන්නව. හොලිඩේ එකේ තේරුමක් තියෙනන් ඔනෙ නිසා සදුදාවක හැමෝම ගන්නෙ.

හැබැයි මේ අයිතින් හැමෝටම එකපාර ලැබෙන්නෙ නෑ. පැය අට දශක ගානක් ලැබෙන්නෙ නිපුණතා ශ්‍රමිකයන්ට පමණයි. ඒ වගේම කාන්තාවන්ට හා ළමයින්ට ලැබෙන්නෙ නෑ. ඒව ඉතින් කාලයත් එක්ක තමා සිද්ද වෙන්නෙ. ඒ විතරක් නෙවි ඒ මත පදනම් ව සෙනසුරාදා නිවාඩුවක් කරගන්න එක එතකොට සේව ස්තාන වල ආරක්ශක තත්වයන් සේවක අයිතීන් ආදිය දිනාගන්න කම්කරු ව්‍යාපාර දිගටම සටන් කරනවා.
 
1891දි බැටලු ලොම් කපන සේවකයන්ගෙ වර්ජනයකට පොලිසිය යෙදවීමෙන් ඇතිවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ කම්කරු නායකයින්ට නඩු දාල ඔවුන් සෙන්ට් හෙලේනා දූපතෙ සිර කිරිම නිසා සටන් කරන්න්නයි නඩු කියන්නයි එකතුවෙන කම්කරු ව්‍යාපාර විසින් ඔස්ට්‍රෙලියානු කම්කරු පක්ශය හදාගන්නව. 1898 ලෝකෙ මුල්ම කම්කරු රජය පත්කරගන්න ක්වීන්ස්ලන්ත කොළණීය සමත් වෙනව. රට නිදහස් කරගන්නත් මේ ක්‍රියාව්ලියෙන් ලොකු දය්කත්වයක් ලැබෙනවා. ඊට පස්සෙ ස්වාධින රටක මුල්ම කම්කරු ආන්ඩුව 1910 දි ඔස්ට්‍රෙලියාවෙ පිහිටුවා ගන්නෙ මේ කම්කරු ව්‍යාපාරය. දැන් ඔස්ට්‍රෙලියාවෙ සහ එහි ප්‍රාන්ත වැඩි හරියක බලයේ ඉන්නෙ ඒ පක්ශය.

ඔස්ට්‍රෙලියාව මේ දිනය වෙනස් ව සමරන්නෙ ඇත්තෙන්ම ලොකු ලේ හැලීමක් නොවී අනිත් රටවලට කලින් ඒක දිනාගන්න සමත් වීම නිසාත් ලෝක කම්කරු ව්‍යාපාර වලින් ස්වායත්තව දේශිය කම්කරු ව්‍යාපාර අනන්‍යතාවයක් පවත්වා ගන්න සමත් වීම නිසාත්.

මේකටම අතුරු කතාවක් එකතු කලොත්, කාලයෙ වෙනස නිසාත් විශේශයෙන්ම කෝවිඩ් නිසාත් ඇතිවූ නව සේවක සටන් වෙලා තියෙනෙන් පැය හයේ වඩාත් ප්‍රඩක්ටිව් වැඩ දින, නිවසේ සිට හෝ කැමති ඕනෙම තැනක සිට සේවය කිරීමේ නිදහස, සහ ඉක්මනින් හම්බකරගෙන ඉක්මනින් සේවයෙන් ඉවත් වෙල තරුන කාලෙ ම රස්සවලින් ලබන නිදහස (F.I.R.E.), තව ඉස්සරහට ඇත්තෙන්ම වෙන්න ඉඩ තියෙන එකක් තමයි ඔටෝමේශන් කියන සන්සිද්ධිය අපි හිතන ආකාරෙටම වුණොත් පැය කීයක් හෝ වැඩ කරන්න දෙන්නෝ කියල ඉල්ලන ව්‍යාපාර බිහිවීම, මොකද ඔටෝමේශන් වලින් ලොකු පිරිසකට රස්සා නැතුවම යන්න පුලුවන් නිසා.

තවත් අතුරු කතාවක් එකතු කලොත් ලොව පුරා කම්කරුවන් සේවකයන් තමන්ට හාම්පුතාලගෙන් වෙන කරදර වලට එරෙහිව සටන් කිරීම එක්දාස් අටසිය ගණන් වල පොදු කතාවක් නෙ. ඒත් සම්පුර්ණ සාමාන්‍ය මිනිසුන් (ටෙක්නිකලි කියමු නිර්ධන පාන්තිකයන්) මේ ආකාරෙට හාම්පුතා ඔවුන්ගෙන් මුදල් උපයාගන්න හූරාකන්න ඇතිකල සිස්ටම් එකට එරෙහිව නැගී සිටි මුල්ම කැරැල්ල 1848 මාතලේ කැරැල්ලද? මේ කැරැල්ලේ තියෙන ලෝකෙ සෙසු සමකාලින කැරලි වල නැති වැදගත් ම ස්වරූපය නම් වංශවතුන් පාලකය්‍යින් දේශිය නායකයින් කවුරුත් මේකට සහබාගි වන්නේ නෑ. මේක තනිකරම සාමන්‍ය මිනිසුන්ගේ කැරැල්ලක්. ඒ වගේම ඊට හේතුව රට නිදහස් කරගන්න අරමුණත් නෙවි. සුද්ද මිනිසුන්ගෙන් මුදල් හූර ගන්න අසාධාරණ බදු ගහපු එක. මං දන්නෙ නෑ කවුරුත් මාතලේ කැරැල්ල මේ කෝණයෙන් බලල තියේද කියල.