Sunday, June 5, 2016

කැළණි ගංවතුර - I (අතීතය සහ වර්තමානය)

පොඩි බ්‍රේක්  එකක් ගන්නවා කියල  ගිහින් කෙලින්ම අවුරුද්දක් මේ බ්ලොග් එක  නවතා දමා තිබ්බා. 2016  මැයි මාසේ කැළණි ගඟේ  ආපු ගංවතුර වගතුග ආයිත් ලියන්න පටන් ගන්න  හොඳ හේතුවක්. අපි  එතනින්  ආපහු පටන් ගම්මු.

කැළණි ගංවතුර සම්බන්ධයෙන් විවිධ ලිපි  කියවන්න පටන් ගැනුනේ  ඉබේම වගේ.  මම මේ  සම්බන්ධ  විෂය විද්වතෙක් නොවුණත්, විෂය  සම්බන්ධයෙන් බොහෝ  දේ  ලියවී  ඇති  නිසාත්  තාක්ෂණික  සහය  සපයන්න  පෙළඹුණු  තම  පර්යේෂණ ප්‍රකාශන  ලබාදීලා  උදව්  කරපු  විෂය  විද්වතුන් කීප  දෙනෙකු නිසාත්  මට  මේ  සටහන සම්පුර්ණ  කරගන්න පුළුවන්  වෙන්නේ.

විශේෂ  ස්තුතිය  යන්න  ඕනේ ඔරිජිනලි  මේ  ප්‍රශ්නය  මතු  කල  උදිත  මීගහතැන්නටත්,  පර්යේෂණ  ප්‍රකාශන, ව්‍යාපෘති සැලසුම් ආදිය  ලබා දී  උපකාර  කල  චමිලා නිරෝෂිනී, නදීෂා  චන්ද්‍රසේන  සහ  කස්සප  දෙව්මිණි ගම්ලත්  වැනි  විෂය විද්වතුන්ටත්, පුවත්පත්  වාර්තා  ලබා  දුන්නු  තරිඳු උඩුවරගෙදර, හෂිත අබේවර්ධන සහ සුභාෂ් වීරතුංග  ජයවර්ධන වැනි  විෂය  ගැන  උනන්දුවක්  දක්වන සහ මාධ්‍යකරණයේ  නියුතු අයටත්.

සටහනේ මූලික අරමුණ කැළණි  ගංවතුර ගැන කියවන්න  යෙදුනු  දේවල් එක  තැනකට  ගන්න  එක. ඒ නිසාම  ඔබ  දන්නා  වෙනත්  මූලාශ්‍ර  තියේනම් ඒවා  මෙතනට  එකතු  කරන්න.  ඒ  සමග  පෝස්ට්  එක  තවත්  දිගට  ලියවෙයි.  හැබැයි  මගේ  අදහස්  සහ  යෝජනාත්  මීට එකතු  වෙනවා.  විෂය  විද්වතෙක්  නොවුනත්  මට  හිතෙන මතයක්  මට  හැකි   පමණ  ස්තාවරත්වයකින්  ඉදිරිපත්  කරන්න  බලාපොරොත්තු  වෙනවා. සටහන  දිගු  වීම  ගැනනම්  කරන්න  දෙයක්  නැහැ. බොහෝ  විට  කොටස්  දෙකකට  කඩන්න වෙයි.



අතීතය 

කැළණි  ගඟ  කියන්නේ  සැහෙන  දුරක් ඉතාම පහත්  තැනිතලාවක් දිගේ ගලන  විශාල  ජල ප්‍රවාහයක්  සහිත ගඟක්. ඇවරේජ් ඩිස්චාජ්  එක  (වාර්ෂික) අනුව  දෙවැනි විශාලම  ගඟ. කැළණි  ගඟේ  ජලය මුදාහැරීම  මූලිකව  පවතින්නේ  මෝසම්  කාලයට  පමණයි. ඉතිරි  කාලෙට  ගඟ දිගේ  ලවන  ජලය ඉහලට  ගලනවා. ඒ කියන්නේ   කැළණි ගඟ මෝසම්  කාලෙට  එක  පාරට විශාල  ජල  ප්‍රමාණයක්  ඉතාම  පහත, මුහුදු මට්ටමට  ආසන්න ප්‍රදේශයකට මුදාහරින බව. මේ  නිසා  ගඟේ  නැවුම් ආශිතව පිටාර  තැනි  බිහිවෙනවා.  අතීතයේ  කැළණි ගඟ  වර්තමාන  කොළඹ  නගරය  මෙන්ම  ජා ඇල  වත්තල  ආදී  ප්‍රදේශ  හරහා  මෙසේ  පිටාර  ගලන්න  ඇති.  කොළඹ  නගරයේ  හා  අවට  පෙදෙස්  වල  පැතිරුණු   වගුරු  පද්ධතියක්  පවතින්න හේතුව ඒ  කැළණි  ගඟේ  පිටාර තැන්න  නිසා. 

කැළණි  ගඟ හරස්  කරලා හදන මුල්ම  ජනාවාසය  වනුයේ  නිශ්ශංක  අලගක්කෝනාර කැලණියේ  ජලය  බස්සවා  තැනු කෝට්ටේ  [බලකොටුව] පසුව  මෙය  අගනගරයක්  වෙනවා.  ඊට  ටික  කලකට  ප්‍රතුගීසින් කොළඹ  නගරය  තම  වාසස්ථානය කරගන්නවා.  පෘතුගීසින්  කොළඹ  කිව්වේ  වර්තමාන ගාලු  මුවදොර  හරියේ  ඉඳලා  කොටුව දිහාට  තියෙන   කඳුගැටයක්  වැනි පෙදෙස. මේ  වෙද්දී  වර්තමාන දකුණු කොළඹ  වගුරේම  කොටසක්.  කැළණි  ගඟ  එතනින්  පිටාර ගලන්න  ඇති.  මෙම වගුරෙන් කොටසක් ජලාශයක්  බවට  පත්කරන්නේ පෘතුගීසින්.  බෙරේ  වැව  ලෙස හඳුන්වන ජලාශය නිර්මාණය කරගන්නේ  රාජසිංහ  රජුගේ  ආක්‍රමණ  වලින්  නගරය  බේරා ගන්න. මේ  වගුරු  කොළඹ  හා  කෝට්ටේ  මැදින්  ගඟට  සම්බන්ධ  වී  තිබුණු  බවට  පහත  ඕලන්ද  සිතියම  සාධකයක්. එහි  ලොකු  කොටු  වශයෙන්  තියෙන්නේ  වගුරු  හෝ කුඹුරු.







ලන්දේසි යුගය සහ සෙබස්තියන් ඇල 

ලන්දේසින් කොළඹ කොටුව පුළුල්  කරද්දී  කොටුවට  මදක්  උතුරෙන්  වේල්ලක්  බන්දලා කැළණි  ගඟ  එක්ක  ඇති  වගුරු  සම්බන්ධය  බිඳ  දමනවා. අද  වේල්ල  වීදිය  කියන්නේ  එතන. ඒ  සමගම  ඔවුන් එතනින්  ඇල මාර්ගයක්  දානවා. සෙබස්තියන් ඇල  ලෙස  ප්‍රකට  වෙන  මේ  ඇල  බෙරේ වැව  සහ  කැළණි  ගඟ  සම්බන්ධ  කරනවා.  ගූගල් ගෙන්  හොරකම් කල  මේ  සිතියමේ  තියෙන්නේ  ඒ  ඇල.


 වර්තමානයේ  සෙබස්තියන්  ඇලේ  කොටසක්  කොළඹට  නැගෙනහිරින්  ගිහින්  කෝට්ටේ  ඇලට  වගේම  නාවල  දිහාවෙන්  වැල්ලවත්ත  ඇලටත්  තව  දෙහිවල  නැදිමාල  බෙල්ලන්තර  කවුඩාන ඒ  වගේම  කෝට්ටේ මාදිවෙල  වගේ  පැතිවලින් ඇවිත්  වේරස්ස  ගඟටත්  සම්බන්ධ  වෙනවා.  ඒ  වගේම  මුතුවැල්ල  හෙවත්  මුට්වෝල්  හරියෙන්  උමඟකින්  මුහුදට  ගලා බහිනවා.

ඕලන්දක්කාරයින් මේ  ඇල  තනන්නේ  ගොඩබිම්  ප්‍රවාහනය  දුබල  කාලේ  නගරයට  ප්‍රවාහන  මාධ්‍යයක්  ලෙස  භාවිතා  කරන්න.  සෙබස්තියන්  ඇලේ  මැද  හරිය  කැළණි  ගඟට  වඩා  උසයි.





මුතුරාජවෙල 


කැළණි  ගඟ  මෝය  ආසන්නයට ගලද්දී  මුතුරාජවෙල  වගුර  හමුවෙනවා  එය  තියෙන්නේ  කැළණි  ගඟට  උතුරට  වන්නට, එයත්  ගඟේ  නැම්මක  පවතින  පිටාර  තැන්නක්.  මුතුරාජවෙල  ඉස්සර  කැළණි  ගඟේ  සිට  මීගමුව  දක්වාම  පවතින්න  ඇති,  එහෙත්  දැන්  ඉතුරු  පුළු  ප්‍රමාණයක්  පමණයි.  මුතුරාජවෙලට  සමාන්තරව  ඕලන්ද  කාරයින්ගේ  ඇලක්  යනවා.  මුතුරාජවෙල  දැන්  කැළණි  ගඟට  සම්බන්ධ  වන්නේ  නැහැ  ම අ දන්නා  තරමින්. එය වර්තමාන  සිතියම්  වල  එතරම්  විශාල  ලෙස  නැති  නමුත්  මාර්ග  සැලසුමක   පහත  පැරණි  සිතියමෙන්  පෙනෙනවා වඩාත්  පැහැදිලිව.

මුතුරාජවෙල  හරියේදී  ගඟ  මුහුදු  මට්ටමට  ආසන්නයි.    




ඉංග්‍රීසි  යුගය

 
ඉංග්‍රීසි  යුගයේ  කැළණි  ගඟේ  දකුණු  පිටාර  තැන්න  අහුරමින් කරන  ඉඩම්  ගොඩ  කිරීම නිසා  තමයි  අද  තිඹිරිගස්යාය  තුම්මුල්ල  හරියේ  ඉඳලා  නාරාහේන්පිට  වෙනකම්  තීරුව  ගොඩබිමක්  වන්නේ.  මේවාත්  ගඟෙන්  අල්ලපු  ඉඩම්.  කොළඹ  හත  කියන සැලසුම්  කල කොළඹ  ටිකක්  ලස්සන හරිය  හදන්නේ  එහෙම.

මේ  කාලේ  මතය  අනුව  මූලික  වැදගත්  පෙදෙස  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  නිසා  
[ග්‍රෑන්ඩ් පාස්  පෙදෙසේ සිට] ඉවුරට  ආරක්ෂක  පවුරු  දමනවා නගරය  ගංවතුරෙන්  බේරාගන්න. හදිසි  ගංවතුර  තත්වයකදී  කැළණි  ගඟ  සෙබස්තියන්  ඇල  හරහා  කොළඹ දිහාට  උතුරන  එක  වලකන්න  ග්‍රෑන්ඩ්පාස්  හරියෙන් ලොක්  ගේට්  එකක්  දානවා,  නෝත්  ලොක්  ගේට්  කියන්නේ  ඒකට.

ඒ  අනුව  ගඟ  හරහට  නගරය පුළුල්  කරලා  නගරය පමණක්  බේරනවා. ඒ කාලේ  දැක්මෙන්  ඔරුගොඩවත්තේ  විතර  ඉඳලා  කඩුවෙල  දිහාට  පෙදෙස  බේරාගන්න  ලොකු  උනන්දුවක්  නැහැ  මොකද  ඔය  කියන  කාලේ ඒවායේ  වැඩි  [උසස්  සමාජයේ] ජනගහනයක්  නැති  නිසා වෙන්න ඇති.  ඒ  අනුව  ගඟේ  ස්වාභාවික  ගමන  බාධා කරලා නගරය පුළුල්  කිරීමෙන් නගරයට  කලින්  ගඟේ  පිහිටි  එම  පෙදෙස්  යටවීම  ඔවුන්  බලාපොරොත්තු  වූ තත්වය  වෙන්න ඕනේ.

පහත  "ස  රස" කොමෙන්ටුවක  කියන පරිදි ලොක්  ගේට්ටු  කැළණි  ගඟට  ගලන  හැම  ඇලකම  වගේ  තියෙනවා.  මේ  ලොක්  ගේට්ටු  වලින්  මනාව  පැහැදිලි  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  පමණක්  බේරාගන්නට  එවකට  පාලකයින්  දැක්වූ  උනන්දුව.  නගරයේ  වතුර  ගඟට  බස්සන්නත්,  ගඟේ  වතුර  නගරය  හරහා  පුරුදු  විදිහට  ගලන  එක  නවතන්නත්  තමයි  ඉවුරු  වල  පවුරු  බන්දලා  ලොක්  ගේට්ටු  දාන්නේ.  මේ  හේතුව  නිසා  කැලණියේ  පිටාර තැනි  වලින්  මුහුදට  ගැලීම  නැවතෙනවා.  ඒ  බ්ලොක්  වෙච්ච  වතුර  තමයි දැන්  ගංවතුරක්  වන්නේ.

පසුකාලීනව  කෙරෙන  වැඩේ  තමයි  කිසිම  සැලසුමකින් තොරව  ඒ  යටවෙන්න  නියමිත  පළාතේ  ජනාවාස  පුළුල්  කිරීම. අද  ගඟ  දිගටම  විශාල  ජනගහනයක්  සහිත  මහා  නගර  සභා  කීපයක්  තියෙනවා. එතනින්  එහාට  ගියත්  මිනිස්සු  දිගටම  පදිංචිව  ඉන්නවා.

කැළණි ගඟ 

කැළණි  ගඟේ  හැසිරීම  ගතහොත්  ගංවතුර  චක්‍ර  තුනක්  ගැන  කියවෙනවා,  වසර  පහකට, දහයකට  හා පනහකට  වරක්  ලෙස - කාලය  වැඩි  වෙද්දී  ප්‍රමාණාත්මකව  විශාලයි.  මේ  චක්‍රීය  කාලයන්  සරල  සාමාන්‍ය  අගයන්  පමණයි.  වසර  පනහකට  වරක්  එන  මහා  ගංවතුර  අවසාන වරට  ආවේ 1989.  ඊට  වසර  27  කට  පස්සේ  2016  ආපු  ගංවතුර  ඒ  වසර  පනහ  චක්‍රයේ  ඊ  ගාව  එක  කියා  හිතන්න  පුළුවන් [පර්යේෂණාත්මක  දත්ත  තවම නැහැ]

මේ  වසර  පනහ  චක්‍රීය  ගංවතුර  වේගයෙන්  ව්‍යාප්ත  වෙන  ජනාවාසකරණය  තුල  සැලකිල්ලට  ගන්නේ  නැහැ.  කඩුවෙල  පැත්තෙන්  හොයා  බැලුවොත්  දකීවි  1989  යටවෙච්චි ඉඩම්  පිට  පැතිවල  අයට  විකුනපු  බවත් මෙවර  යටවුණේ  ඔවුන්ගේ  නිවාස බවත්.  ඒ අනුව  ගැටලුවේ  ප්‍රධානම  අර්බුදය  කෙටිකාලින  දැක්මක්  එක්ක  කෙරෙන  නගර  ව්‍යාප්තියට  දිගුකාලින  ගංවතුර  චක්‍රය  නිසි  ලෙස  අවබෝධ  නොවීම  කිව්වොත්  වඩාත්  නිවැරදියි.

කැළණි  ගංවතුර  ගැන  කතා  කරන  බොහෝ  අවස්ථා  වල  අපි  දකින  තවත්  පැටලිල්ලක්  තමා  කොළඹ  වැසි   ජලය  බැසයාමේ  ගැටළු  නිසා  ඇතිවන  ගංවතුර  එක්ක  මේ  කතාව පැටලෙන  එක.  මේ  තත්වය  අපි  දැක්කා  කැළණි  ගංවතුර  එක්ක  සෙබස්තියන්  ඇල  කොළඹ  අභ්‍යන්තරයේ  ජලමාර්ග  සහ  මුට්වෝල්  උමඟ  ආදිය  කතාවට  සම්බන්ධ කිරීමෙන්.  එහෙත්  මේවා  කැළණි  ගන්ගාධාරයේ  එන  ගංවතුරට  සම්බන්ධයක්  නැහැ. අනික  ගන්ගාධාරයේ  වතුර  එනකොට  කරන්නේ 
සෙබස්තියන් ඇලේ   කට  ලොක්  කරන එක.  දැනට මෙට්‍රෝ කොළඹ  පවතින  ඇලවල්  සහ ජලාශ  අතරින්  දියවන්නාව  හැරුණුවිට  සියල්ල  කැලණියට  වඩා උසින්  වැඩි නිසා  නගරයේ  වර්ෂා  ජලය  ගඟට  බස්සන  එකයි  ගංගාධාරයේ  වර්ෂා ජලය  නගරය  දෙසට  ගලන  එකයි  සිද්ධ  වන්නේ  දෙපැත්තට.

භූ  විෂමතාවය  සැලකුවොත් ගඟ  ඉතාම පහත  මට්ටමකින්  ගලන්නේ. කැළණි ගංවතුර  ගැන  වටිනා  පර්යේෂණ  රාශියක්  කරපු  චමිලා  නිරෝශානි ගේ  මේ  පර්යේෂණයෙන්  උපුටාගන්නා  පරිදි  කොළඹ  ආසන්නයේ  ගඟ  මුහුදු  මට්ටමින්  මීටර  දෙකක්  විතර  තමා  උස.  හංවැල්ල  ප්‍රදේශයේදී  මීටර  දහයක්  පමණ. දකුණු  දිහාවට  ගලන  ගඟ  හංවැල්ලෙන් අංශක  අනුවක  නැම්මකුත්  ගන්නවා.  ඊට  පස්සේ  අහුවෙන  පහත්  බිමේ  දඟර  ගැහෙමින්  ගලන්නේ.

පහත සිතියම  ගන්නේ ජයිකා  පර්යේෂණ  වාර්තාවකින්.


ඒ  අනුව  ඇත්තෙන්ම  දැන්  සිද්ධ  වන්නේ  ගංගාධාරයේ  එන ගංවතුර  හංවැල්ල  හරියේ  සිට  පිටාර  තැනි  වලට  එකතු  වෙන්න  පටන්  ගැනීමයි. ගඟ  පහලින්  ඇති  කොළඹ  මෙට්‍රෝ  පෙදෙස  නිසා  ඒවා  මුහුදට  ගලන්න  විකල්ප  මාර්ග  නැහැ.  වෝටර්  හෙඩ්  එක  මදි  නිසා  [මු මට්ටමට  වතුරේ  උස] වේගයෙන්  බහින්නේත්  නැහැ.  ඒ  නිසා ඒ  ඔක්කොම  වතුර  ගඟ  දිගේ  ගලනකම්  දෙපැත්තේ  පහත්බිම්  වලට  ගංවතුර  පිරෙනවා.

මෙහි  දෙවැනි  කොටසින්  මේ  ගැටලුවට  වර්තමානයේ  දී  ඇති  විසඳුම්  සහ  අනාගතයේ  දෙන්න  යන විසඳුම්  එක්ක  මගේ  අදහසත්  ලියන්න  බලාපොරොත්තු  වෙනවා.

10 comments:

  1. Re phone eken kiyawapu nisa sinhala akuru walin comment karanna amarui. Eth obe kathawata ma godakma ekagai. Kolonnawa weni pradeshayak yata wenna erala balan inne issara idan ena puruddata wage thamai. Issara minissu inna nathuwa athi. Dan inna ayawa ganan ganne ne. Kohomath ma danna paridi owun hemotama wage neethyanukula idam himikamuth ne.
    Dewana kotasa ena thuru bala innawa. Suba pethum...

    ReplyDelete
    Replies
    1. අද ඉතිරිය ලිය අ ඉවර කරන්න හිත අ ඉන්නවා. ඔබේ සටහනට මගේ කොමෙන්ටුවත් ඒ සමගම

      Delete
  2. Re phone eken kiyawapu nisa sinhala akuru walin comment karanna amarui. Eth obe kathawata ma godakma ekagai. Kolonnawa weni pradeshayak yata wenna erala balan inne issara idan ena puruddata wage thamai. Issara minissu inna nathuwa athi. Dan inna ayawa ganan ganne ne. Kohomath ma danna paridi owun hemotama wage neethyanukula idam himikamuth ne.
    Dewana kotasa ena thuru bala innawa. Suba pethum...

    ReplyDelete
  3. මුතුරාජවෙලත් කැලණි ගගේ පිටාර තැන්න හා සම්බන්දයක් තියනවා...බටහිරුන්ගේ ඉදිකිරීම් නිසා කිවුල් වතුර ඒම වෙල නිසරු වීමට බලපෑව කියල....

    ReplyDelete
    Replies
    1. මුතුරාජවෙල දෙවැනි සටහනේ ලියන්න උන්න දෙයක්. කෙසේ වෙතත් එහි ඉතිහාසගත වැදගත්කම නිසා ඔබ කියූ පසු මේ සටහනට එකතු කරන්නට හිතුනා. ස්තුතියි

      Delete
  4. හුඟක් වටිනා කාලීන ලිපියක්. ඔබ මේ සම්බන්ද විද්වතෙකු නොවෙයි කීවට ඔබගේ රැස්කරගත් දැනුම සහ එය කැළණි ගඟේ ගන්වතුරට පැහැදිලි පිලියමක් හොයන්න යොදාගන් අන්දම ගැන සතුටුයි, දෙවෙනි කොටස එනතුරු බලාසිටිමි. සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. අද ලියන්න ට්‍රයි කරනවා

      Delete
  5. දෙමටගොඩ සහ කොලොන්නාව අත්‍රින් දිවෙන ඇලේ ත් ලොක් ගේට් එකක් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. අත්‍රින් පත්‍රින් නටයිද කැත්‍රින්?

      Delete
    2. කැළණි ගඟ දිඝාට එකතු වෙන සියලු ඇළවල මේ ලොක් ගේට් එක අත්යාවහ්ය දෙයක්. එයින් පෙනෙන්නේ ඒ කාලේ තිබ්බ තින්කින් එක.

      Delete