Wednesday, April 8, 2015

මෝර-කිඹුල් නගරය සහ කහට-දිවුල් අධිරාජ්‍යය

මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයෙන් තවත් ප්‍රශ්නයක්. ටිකක් දිග ප්‍රශ්නයක් :)

මෝරා සහ කිඹුලා සතුරෝය. දිගින් දිගටම ඇවිලෙන මොර කිඹුල් සටන් වළකන්නට මෝරුන් හා කිඹුලන් අතර ගිවිසුමක් ගහන ලදී. මෝරාට මුහුදත් කිඹුලා ට ගොඩබිමත් වශයෙනි. එහෙත් එක් මෝරෙක් ගංගාවක් දිගේ රට ඇතුලට ආවේය. මෙය දුටු කිඹුලෙක් ඌට එරෙහි විය. ගංගාවල ඇත්තේ මුහුදේ මෙන්ම ජලය නිසා එය අයිති මෝරාට බව මෝරා කීවේය.ගංගා ගලන්නේ ගොඩබිම නිසා එය අයිති තමන්ට බව කිඹුලා කීවේය. දෙදෙනා අතර විශාල සටනක් හටගත්තේය. අවසානයේ මෝරුන් පරදා ගංගාවල අයිතිය කිඹුලා රැක ගත්තේය.

මෙය කිසියම් රටක පුරාවෘත්තයකි. අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන අතීතයේ පලකල අනාවැකියක් ලෙස සැලකේ. ඒ පුරාවෘත්තය අනුව සටන සිද්ධ වූ තැන මෝරාගේ හා කිඹුලාගේ නමින් නගරයක් බිහිව තිබේ. එය අද සුවිසල් නගරයකි

කෙසේ නමුත් කතාවේ දෙවෙනි කොටස සත්‍ය සිද්ධියකි, අනාවැකිය එලෙසින්ම සිදුවීමක් ලෙස සැලකේ. මෙම නගරය ආශ්‍රිත රාජධානිය අල්ලන්නට මහා අධිරාජ්‍යයක සුවිසල් හමුදාවක් ආවේය. මේ මොහොතේ එම රාජ්‍යය පාවා දෙමින් සතුරා සමග එක ගමක පාලකයෙක් ගිවිසුමක් ගැහුවේය. ගිවිසුම අනුව එක්ව සටන් කර රාජ්‍යය අල්ලාගෙන පසුව එය අධිරාජ්‍යය යටතේ ඔහුට හිමිවේ. සටන ජයගන්නට ආක්‍රමණිකයා සමත් විය. එහෙත් ගිවිසුම් ගැන ඇතිවූ ගැටලුවක් නිසා රට පාවා දුන් කෙනා පෙරලා ආක්‍රමණිකයාට පහර දුන්නේය. ඇතුළෙන්ම එල්ල වූ දෙවැනි ප්‍රහාරය හමුවේ ආක්‍රමණික සුවිසල් හමුදාව අසරණ විය. තවත් රැඳුනොත් ආපසු යා නොහෙන නිසාත් රෝගාබාධ හා මහන්සිය නිසාත් විශාල ජීවිත හානි සමග ඔවුන් එම රට අතහැර පලා ගියහ. එය එම අධිරාජ්‍යය ලද දුර්ලභ අන්ත පරාජයකි. ආක්‍රමණිකයා එලවූ මෙම පුද්ගලයා එම රට තම ගමේ නමින් අධිරාජ්‍යයක් දක්වා පුළුල් කොට වර්තමාන ලෝකයේ විශාල රාජ්‍යයක සීමා මායිම් සලකුණු කළේය. ඔහු අද දේවත්වයෙන් වන්දනා වේ.

1. මෙම කතා වලට පදනම වැටෙන ප්‍රදේශයේ මෝරා හා කිඹුලා නමින් නම්කළ නගරය කුමක්ද?

2. මෝරාගේ භූමිකාව රඟපෑ විශාල අධිරාජ්‍යය කුමක්ද? එහි එවකට අධිරාජයා කවුද?

3. කිඹුලා ගේ භූමිකාව රඟපෑ පුද්ගලයාගේ නම කුමක්ද? [නම් බරගානක් තියේ]

4. ගමේ නමින් බිහිකළ අධිරාජ්‍යය කුමක්ද? අද එම අධිරාජ්‍යය සීමා මත බිහිවී ඇති රට කුමක්ද?

[බෝනස්] 5. අදාළ කතාවේ වීරයා ආක්‍රමණිකයා එළවා රාජාභිෂේක ලබද්දී තමන්ට පනවා ගත් රාජනාමය කුමක්ද?

___________________________________________________

පින්තූර  සේරම  ගත්තේ  විකියෙන් 



මෝර-කිඹුල් සටන ගැන පුරාවෘතය පො යු 11 සියවසේ උන්නු අමුතු මානසික බලයක් සහිත රජකෙනෙක් කියූ අනාවැකියක් ලු. මේ අනාවැකිය සත්‍ය වූයේ කියා හිතෙන තැන තමා සුරාබයා නගරය හැදෙන්නේ. මෝරා-සුරෝ, හා කිඹුලා-බයෝ නිසා ඒ නම දැම්මා කියා ජනප්‍රවාද කියන්නේ. නගරයේ සංකේත වල මේ සත්තු දෙන්නා ඉන්නවා. සුරාබයා එස්ටුවාරියක තියෙන්නේ. ඒ නිසා අර්ධ ලවන දියේ මේ සතුන් දෙදෙනා අතර නිතර ගැටුම් වෙන්න ඇති. නැගෙනහිර ජාවා රාජ්‍ය වලට අයිතිව තිබ්බ සුරාබයා නගරය ඉන්දුනීසියාවේ දෙවැනි විශාල නගරය. මෙට්‍රෝ ජනගහනය මි 5 ට වැඩියි [කොළඹට වඩා ලොකුයි]



කුබ්ලායි ඛාන් ජාවා අධිරාජ්‍ය ගැන දැනගෙන සුමාත්‍රා වල රාජ්‍යය තමන්ගේ වෙසල් එකක් හෙවත් යටහත් රාජ්‍යයක් කරගෙන නැගෙනහිර ජාවා රටට තානාපතියෙක් එවනවා. සාමාන්‍යයෙන් පනිවුඩය වන්නේ අපේ මහා අධිරාජයාගේ බලය පිළිගෙන අපට පඬුරු සපයන යටහත් රාජ්‍යයක් වෙයන් කියන එක [යටත් වීම හැරෙන්න වෙනත් එකක් මොංගල් වරුන් දෙන්නේ නැහැ]. මේ මොහොතේ නැගෙනහිර ජාවා රජු මේ තානාපතියට කුරිරු වද දීලා ආපහු එවනවා. එය කුබ්ලායි ට යුධ ප්‍රකාශ කිරීමක් තමා.

කුබ්ලායි සෙන්පතිවරුන් තිදෙනෙක් යටතේ නැව් දහසක බල ඇණියක් එවනවා වසරක සප්ලයි එක්ක. 30000 වගේ ගානක් කියා කියන්නේ. මීට සුමාත්‍රා යටත් රාජ්‍යයේ පිරිසකුත් එකතු වෙනවා. මේක ඒ කාලේ මාර ලොකු හමුදාවක්.

මේ අතරේ නැගෙනහිර ජාවා දේශයේ අභ්‍යන්තර ආරවුලකින් රජු මරා රජපවුලේ කෙනෙක් රජ වෙනවා. ඔහු පෙර රජුගේ ඥාතින් එහෙට මෙහෙට එළවා දමනවා. කතා නායක වන රාදෙන් විජය ව යවන්නේ වනාන්තරෙකට. මේ වනන්තරේ හෙළි කරගෙන ගමක් හදාගෙන ඉනේ. ගමේ නම තමා මාජාපහිත්, වනන්තරේ පලතුරු වර්ගයක [දිවුල් - මාජාපහිත් කියන්නේ "දිවුල්-කහට" වගේ නමක්] නමින් එන්නේ.

මොංගල් ආක්රමනය ගැන දැනගන්නා රාදෙන් ඊට පෙරම අලුත් රජුට එරෙහිව කැරලි ගහලා මොංගල් හමුදාවට එකතු වෙනවා. මොන්ගලයින් යටතේ යටහත් රාජ්‍යයක් ලෙස ඔහු රජවීමයි එකඟතාවය වනුයේ. ඔහුට සහය දෙන මොන්ගලයින් එක්ක ඔහු රජුව මරනවා. හැබැයි ඊට පස්සේ ඔහු හා මොන්ගලයින් අතර ගැටුම් ඇතිවෙනවා. ඇත්තෙන්ම අභිෂේකයට නිරායුධව එන ලෙස ඔහුගේ ආරාධනයෙන් ආපු මොන්ගලයින්ට පහර දෙන රාදෙන් පෙරලා පැමිණ මොංගල් හමුදාවට හදිසි පහරදීමක් කරනවා. මේ අනපේක්ෂිත පහරදීම වෙද්දී ඔවුන් සමකාසන්න රෝග වලින් හා දිගු ගමනේ මහන්සියෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ. අනික ප්‍රහාරයත් එක්ක සටනට දිගටම ගියොත් ආපහු චීනයට යන්න අවශ්‍ය සුලන් නතර වෙන නිසා මොංගල් වරුන් වසරකට මදක් අඩු කාලයක් මේ දූපතේ හිරවෙන්න සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා සැහෙන ජීවිත හානි එක්ක පරදී පලා යාම පමණයි කල හැකි වන්නේ.

මෙය කුබ්ලායි ඛාන් ට මෙන්ම මොංගල් අධිරාජ්‍යයටද ලැබුණු ලොකුම පරාජයක්. ආපහු ආවම සෙන්පතියන්ට දැඩි දඬුවම් විඳින්න වෙනවා.

රාදෙන් විජය Kertarajasa Jayawardhana නමින් රජවෙනවා. ඔහු රාජ්‍යය වටේටම පතුරනවා. ජාවා දූපතේ නැගෙනහිරින් පටන් ගන්න ඔහුගේ අධිරාජ්‍යය ඉවර වන්නේ වර්තමාන ඉන්දුනීසියාවට අමතරව මැලේසියාවේ හා තායිලන්තයේ කොටසුත් අල්ලාගෙන. නිව්ගිනි දූපතේ කොටසක් බාලි දූපත සිංගප්පුරුව බෝනියෝ සුමාත්‍රා ආදී ලෙස ඔහු හදන මාජාපහිත් අති විශාල අධිරාජ්‍යයක්. මේක මුස්ලිම්කරණය හා ඊට පස්සේ ලන්දේසින් එන්න ලං වෙනකම්ම පවතිනවා. වර්තමාන ඉන්දුනීසියාව ආසන්නව සමාන වන්නේ මේ මාජාපහිත් අධිරාජ්‍යට. සුකර්ණෝ බලය යොදා නිව්ගිනි දූපත අල්ලන්නේ [ඉරියන් ජයා] මේ අයිතිය මතයි. අද බාලි දූපතේ හරිහරා දෙවියන්ගේ නැවත ඉපදීමක් ලෙස රාදෙන් විජය සැලකෙනවා.



3 comments: