ඇඳි පුටු වලට පයින් ලීයෙන් තට්ටුව දැම්මේ තාත්තා. තාත්තා කළින් ම ගියා. මාස ගානකට කළින්. ගේ පොඩ්ඩක් හදලා ළිඳක් එහෙම කපන්න. වටේට ලෑලි ගහපු වහලට ලෑලි කෑලි අතුරපු, කාමර දෙකකට යන්තම් ඉඩ තියෙන ගෙයක්. කාමර දෙකවත් බෙදලා වෙන්කරලා තිබ්බේ නැහැ. මුලදී බිමට තිබ්බේ නිකම්ම මහ පොලොව. පස්සේ තාත්තා ලෙවල් වෙන්න පසුයි ගොමයි කවලම් කරලා ගෑවා. දිගටම මාසෙකට පාරක් එහෙම ගොමමැටි ගානවා. අලුත්ම ගොම ගෙනත්. එදාට පොළොව වෙලෙනකම් ඔක්කොම එළියේ තමා ඉන්න ඕනේ. දොරට අගුලු නැහැ. පොඩි කොක්කකින් බැඳගෙන ඉන්නේ රෑට. බිත්තිවල ලෑලි මැද්දෙන් අහලින් යන මිනිහෙක් හොඳට පේනවා. වහලේ ලී පතුරු අස්සෙන් පෙනෙන තාරුකා ගණන් කර කර මා යි ජෝ යි සෙල්ලම් කරනවා.
ආවට පස්සෙන්දා තාත්තා අම්මවයි අපිවයි අරගෙන ගියා බෑවුමෙන් එපිටහ වගා කරන්න හිතා ඉන්න තණකොළ ගොල්ලයි තැනිතලාවයි බලන්න. වැටක් වත් තිබ්බේ නැහැ. මිනින්දොරුවා සලකුණු දාපු ගහක් තමා සීමාව. පොලොව නම් සරුසාර ඇති, තාත්තගේ වැඩේම ඒක කියවන එක. අනික තව වටින ලී ගන්න පුළුවන් ගසුත් තියේලු. තාත්ත රත්‍රන් ගොඩක් පොලොව යට ඇති කියා හිතාන ඉන්න ගල් ගෙඩියකුත් පෙන්නුවා එහාපැත්තෙ වැටියේ. තාත්තට මාර විස්වාසයි වගේ. අපිනම් මොකුත් කිව්වේ නැහැ. ඒ වුණාට මා යි ජෝ යි හවස ගිහින් එතන ගල් ඔක්කොම පෙරලලා බැලුවා. තිබ්බ රත්තරනක් නැහැ.
මේක අමු කැලයක්. ගස් ඉවරයක් නැතුව. තලගොයි, දිරන කඳන්, වලස්සු. ළඟම ගෙදරට හැතැක්ම තුනක් !!! මේ මුල අවුරුදු කීපයේ ගෙදර තනියම ඉන්න ගෑණු උන්නේ කොහොමද කියලා මම තාම හිතනවා. ඇත්තෙන්ම අපේ අම්මා ඒ කාලේ දැන් ඔය පොඩි ලේන් එක යන තැන තිබ්බ කොටයක් උඩ වාඩිවෙලා පැය ගණන් අඬනවා මතකයි - තනිකරම පාළුව නිසා. පාලුයි කියන්නේ පට්ට ම පාලුයි !!!
------------------------------
මේ කෙටිකතාවක පළමු පිටු දෙකේ පරිවර්තනය. පසුබිම වන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉඩම් බෙදා දීලා දුෂ්කර පිටස්තර කොලනියක පදිංචියට ගිය ඕස්ට්‍රේලියානු පවුලක්. නුපුරුදු පරිවර්තන කර්තව්‍ය එතනින් නතර කරලා පුරුදු විස්තරයට බැස්සොත්;
මේ කතාවේ කියන්නේ පහත පින්තුරයේ ජාතියේ ගෙයක් ගැන. නිව් සවුත් වේල්සයේ ග්ලෙන්කෝ වල 1898 ගත්ත ඒ පින්තූරය විකියෙන්
ඉස්තන්තරිප්පුව කියල ටිකක් සිංහලකරණය කරලා පරිවර්තනය කල Stanthorpe කියන ප්‍රාදේශීය නගරය තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ කතාව දිගහැරෙන්නේ ඔය සිතියමේ මාක් එක තියෙන වටාපිටාවේ.
මම මේක පරිවර්තනය කලේ පොලොවට දමාපු ගොමමැටි නිසා. ඒ හන්දාම ලිව්වෙ ලංකාවේ වගේ හිතෙන්න. ඒ කාලේ මෙහෙත් ගොමමැටි හරිය. හොඳ දේවල් කාටත් වටිනවා. ගොමමැටි විතරක්ම නොවේ. කතාවම අපේ රටේ මේ වගේ අවස්ථාවකට කෙතරම් සමීපද? නිකමට හරි ආණ්ඩුවෙන් ඉඩම් බෙදාපු ගම්බද කොලනියක හිටපු හෝ ගිහින් තියෙන කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක එකඟ වේවි.
මේක අවුරදු 120 වගේ පරණ කෙටි කතාවක් පස්සේ නවල් එකක් වෙච්ච. ලේඛකයා ස්ටීල් රඩ්. කෙටි කතාව Starting the Selection පස්සේ හැදෙන නවකතාව් On our Selection. දැන් බැලුවම මුළු නවල් එකම තියෙනවා වෙබ් එකේ.
On our Selection - Steele Rudd
ස්ටීල් රඩ්ගේ රචනා විලාශය කෙටි කතාවේ ප්‍රබේදයක් වන ස්කෙච් ස්ටෝරි හෙවත් සැකිලි කතා [සිංහල වචනය මගේ ගානේ - වඩාත් නිවැරදි එකක් තියේනම් කියන්න] ලෙස සලකන්න පුළුවන්. ඒ කතා වල ලොකු සිද්ධියක් නැහැ. කෙටි කතාවකටත් වඩා කුඩායි. කිසියම් රිද්මයකට එකතු කල සිද්ධි ගොඩක් විනා වෙන ලොකු දෙයක් නැහැ.
නොස්ටල්ජික බ්ලොග් ලියු කතන්දරකාරයා ඇතුළු බොහෝ බ්ලොග්කරුවන් මේ වර්ගයේ විස්සයි විස්සේ කෙටිමකෙටි කතා සම්ප්‍රදායක් හඳුන්වා දුන්න සිංහල බ්ලොග් අවකාශයේ. ඒ බොහෝ දෙනෙකුගේ ජීවන අත්දැකීම් අලලා ලියැවුණු බ්ලොග් නිර්මාණ වැඩිහරියක් අයිති වෙන්න ඕනේ ස්කෙච් පවුලට. මේ ස්කෙච් එකෙත් ඔවුන් ට ආණ්ඩුවෙන් ඉඩම් ලැබිලා පදිංචිය පටන් ගත්ත හැටි ගැන කරන කතා සැකිල්ල පමණයි. වෙන මොකුත් නැහැ.
විකියෙන් ගත් ඉහත පින්තුරයේ ඉන්න ලේඛක ස්ටීල් රඩ් ගේ සත්‍ය නම ආතර් ඩේවිස්. ඔහුත් මේ කතාවේ ඉන්න කතා නායකයා වගේම ක්වීන්ස්ලන්තේ ඔය කියන පළාතේම දුෂ්කර පැත්තක ආණ්ඩුවෙන් ඉඩමක් ලබාගෙන ගියපු [සිලෙක්ෂන් කියන්නේ ඒකට] දුසිමක් සහෝදර සහෝදරියන් ඉන්න පවුලක කොලුවෙක්. අවුරුදු දොළහේදී අධ්‍යාපනයෙන් සමු ගෙන ගොවිපොලවල කුලියක් කර එදා වේලක් හොයා ගත්තු රඩ්, ක්‍රමයෙන් ගිණුම් තබන්නෙකු ලිපිකරුවෙකු ලෙස ඉදිරියට ඇවිත් අවසානයේ නීතිය පසිදන්නෙක් [උප ෂෙරිෆ් වරයෙක්] ඉඩම් බෙදාදීම මෙහෙයවන්නෙක් [සිලෙක්ටර් කෙනෙක්] දක්වා ඉහලට ගොස් තමා අතින් දුන් මරණ දඬුවමක් ගැන කලකිරී සේවයෙන් විශ්‍රාම යන්නේ.
ස්ටීල් රඩ් කියන අන්වර්ථ නාමයෙන් මේවා පත්තරේට ලියන්නේ වෘත්තීය ආරක්ෂාවට කියා කියන්නේ. මේක හෙළි වීම නිසා ඔහුගෙන් වෘත්තීය ලෙස පළිගත්ත කියා ඔහු හිතනවා. පස්සේ කාලෙක ආයිත් මේ ලේඛකයා ඉඩමක් අරගෙන වගා කටයුතු එහම කරනවා. ඇතැම් කාලවල බොහොම දුප්පත් අඩියට වැටිලා බොහෝ නිර්මාණ කුණු කොල්ලෙට දීලා දානවා.
කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ බහුතරයක් මේ වගේ දුෂ්කර පළාත් වල මුල් යුගය ගැන ලියවුනු ස්කෙච්. මුලින් මුලින් එක එක තැන්වල වෙච්ච සිද්ධි ලෙස ලියවෙන ස්කෙච් එකතු කරලා සියල්ල එකම පවුලක කතාවක් කරලා නවල් එකක් කරන්නේ වෙනත් ලේඛකයන් ගේ උපදෙස් නිසා. මේ පවුල ඉබේම රඩ් පවුල කියා සැලකෙනවා. රඩ් මේ කතාපෙලේ නිර්මාණය කරන "තාත්තා" හා "ඩේව් (ලොකු අයියා)" දෙන්නා Dad and Dave ලෙස ඕස්ට්‍රේලියානු සාහිත්‍ය හා මිනිස් මතකයන් තුල සැහෙන ජනප්‍රියකමක් ලබා ගන්නවා.
රඩ් ගේ ජීවිතේ මේ කතාවල ඉන්න ගැමියා, ගොවියා, නිලධාරියා ආදී ඔක්කොම වල එකතුවක් ලෙස මේවායේ තියෙන දුක්ඛ දෝමනස්සයන් එක්ක ඒ පරිසරයේම ගෙවී ගිය ජීවිතයක්. නිර්මාණ හා සත්‍ය නොගැලවිය හැකි තරම් සූක්ෂම ලෙස බද්ධ වෙලා තියෙන්නේ.
ෆේස් බුක් එකේ දාන ඒවා ඉක්මනින් සැඟවිලා යනවා . මෙහෙම ලියල තියන්න ගත්තු එක හරි වටිනවා සුජීව. ඔව් ඇත්තටම අපේ ගොවි ජනපදවල පදිංචි කල කෙනෙක්ගේ කතාවක් වගේ තමයි.
ReplyDeleteස්තුතියි බින්දී ආවට.
Deleteබ්ලොග් එකේ අරමුණ වුනේ එහෙම තැන තැන දාපුවා එක තැනකට ගන්න එක.
මේ ඕස්ට්‍රේලියාවේ මුල්යුගයේ කතන්දර සෙට් එකම ලංකාවේ දුෂ්කර පැතිවල කතා වගේ තමා. එකම ස්වාභාවික සංසිද්ධි.
ෆේස් බුක් එකේ දාන ඒවා ඉක්මනින් සැඟවිලා යනවා .
Deleteඅපරාදෛ ගොඩ දෙනෙක් එහෙම කරනව
පට්ට මචන්. ගන්ඩගායි වල තියෙන "ඩෝග් ඕන ටකාර් බොක්ස්" මේ වගේ නිධාන කතාවක් තියෙන්නේ
ReplyDeleteGreat reading your blog
ReplyDelete