Tuesday, April 21, 2015

කුණාටුව ඇතුළෙන්

අද අපිට කුණාටු. නගරය ඉක්මනින් හිස් කරගන්න මිනිස්සුන්ව ගෙදර යවන්න කියලා ආණ්ඩුවෙන් සේවා ආයතන වලට දැනුම් දීල තිබ්බා. කල්තියාම ගෙදර ඇවිත් කුණාටුව එනකම් ඉන්න අතරේ මතක් වුනේ සාමාන්‍ය දැනීම සමූහයේ කතාවට ගත්ත මෙන්න මෙයාගේ කතාව.

කිසියම් කෙනෙක් වරක් කිසියම් ක්‍රීඩා ඉසව්වක පුහුණුවක යෙදෙමින් පොළොවේ ඉහල ස්ථානයක සිට පහලට පාවීගෙන එනවා. එහෙත් සුළු වෙලාවකින් අසාමාන්‍ය ලෙස ස්වාභාවික සංසිද්ධියකට ගොදුරුවන මේ කෙනා ඉහල වායුගෝලයේ ගුවන් යානා කෲස් කරන මට්ටමේ අහසේ පාවෙමින් ඉන්නවා. පැයක් පමණ එහෙම ඉඳලා මෙයා මහපොළොවේ පයගහද්දී නොමැරී පමණක් නොවේ සිහියෙන් ඉන්නේ. අදාළ වැඩේට අවශ්‍ය කිසිම යානයක් හෝ සුවිශේෂී ඇඳුමක් තිබිලා නැහැ. හැබැයි සුළු තුවාල කීපයකට වඩා දෙයක් වෙලා නැහැ. ඒ ගානෙන් බේරෙන්න පුදුමාකාර වාසනාවක් තියෙන්න ඕනේ. මේක ලෝකයේ වෙච්ච වාසනාවන්තම සිද්ධි අතරින් එකක්.

1. මේ කවුද?

2. වුනේ කොහෙද? මොන කාලේද?

3. මොකද්ද වුනේ? සිදු වූ ආකාරය විස්තර කරන්න.

4. වාසනාවන්ත කිව්වේ තිබ්බ අවදානම් මොනවගේ ඒවාද?

5. තවත් කෙනෙක් මීට පෙර තරමක් සමාන අත්දැකීමකට භාජනය වෙනවා. මේ දෙපොල බොහෝවිට ලෝකයේ එවැනි අත්දැකීමක් ලද එකම අයවලුන් ලෙස සලකන්න පුළුවන් [කන්ෆර්ම්ඩ් නැත] මේ අනිත් පුද්ගලයා කවුද? ඔහුගේ කතාව මොකද්ද?

---------------------------------------------------------------------------------------

ඊවා විස්නීස්කා [Ewa Wiśnierska ] කියන්නේ ජර්මන් පැරා ග්ලයිඩර් චැම්පියන් කෙනෙක්. ඇය හා ජර්මන් පිල පුහුණුවීම් සඳහා ඕස්ට්‍රේලියානු උස්බිම් වල තියෙන මැනිලා නම් නගරයට එනවා. පැරා ග්ලයිඩින් කියන්නේ උස්බිමක සිට පැරචූටයක ආධාරයෙන් පහලට යාම. පොළොවේ සිට මීටර සීයක් වගේ තමා වැඩිම උඩ යන්නේ.



ඊවා විස්නීස්කා [පින්තුරය  ගත්තේ මෙතනින්]

එදා එතන තරමක් කාලගුණ අර්බුදයක් තිබ්බත් මේ කට්ටිය ඒක ගණන් ගන්නේ නැහැ. ඊවා අහසේ ඉන්න කොට ස්ටෝම් සෙල් දෙකක් එකිනෙක ගැටෙනවා. මේක මහා භයානක දෙයක්. ඒ මොහොතේ ඒ කුනාටු වළාව විශාල අකුණු කුණාටුවක් හදන අතර ඊවා සහ තව පැරා ග්ලයිඩර් කෙනෙක් එය තුලට ඇදලා ගන්නවා. මෙතැන් සිට කතාව විද්‍යාත්මක දැනුමෙන් අනුමාන කෙරෙන සහ ඇගේ උපකරණ කියවීම් අනුව වුනා කියා හිතන දේ විනා කවුරුත් දැක්ක දෙයක් නොවේ.


අකුණු කුණාටු වලාකුළක්  එහෙමත්  නැත්නම්, Cumulonimbus cloud එකක් හෝ  එහිම  දියුණු  අවස්තාවක්  වන  Supercell එකක් සැලකුවොත්; අභ්‍යන්තරයේ ඉතා අඩු පීඩනයක් තියෙන්නේ [මේ වගේ ප්‍රබල එකක රික්තයකට ආසන්නයි]. ටෙනිස් බෝල සයිස් හේල් [අයිස් බෝල] වර්ෂාවක් වදිනවා. හිතා ගන්න බැරි තරම් විදුලි අකුණු ප්‍රමාණයක් එහා මෙහා වදිනවා. මෙහි වායුධාරාවේ ෆ්ලෝ එක තියෙන්නේ උඩට. පහත  පින්තුරය  ගත්තේ  මෙතනින්.



ඊවා මැරෙන්න තිබ්බ විධි ගණන හිතා ගන්න බැරි තරම්. අනික් කෙනා මැරෙනවා. මැරුණේ අකුණු වැදිලද හුස්ම හිරවෙලද කියලත් හොයන්න අමාරුයි.

ඊවාගේ වැදගත්ම වාසනාව නම් ඒ මොහොතේම ඇයගේ සිහිය නැතිවීමයි. ඒ නිසා අඩු පීඩනය තුල හුස්ම හිරවීම මගහැරෙනවා. ඊවා අධික වේගයකින් උඩට යනවා. ඉහළ නගින වායුධාරාවට හසුවන පැරචුටය රුවලක් වගේ එයාව ඇදගෙන යන්නේ. පැකිමි 70 වගේ වේගයෙන් ඉහලට ගිය බව උපකරණ වල සටහන් වෙනවා. වැඩේ කියන්නේ සිහි නැතිවෙච්ච ඊවා නිරුපද්‍රිතව කුණාටුවේ ඉහළ කටෙන් එලියට එන එකයි. මේ වෙද්දී ඇය කිමි දහයක් විතර උඩට ගිහින්. මීටර 9946 වාර්තා වෙනවා උපකරණ වල. මේ මුළු ගමනේම පැරචුටය නොකඩවා හේල් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ මත ලොකු අයිස් තට්ට්ටුවක් හැදෙන්න ඇති කියා හිතන්නේ. එහෙත් එය ඉරෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. ඊවාගේ පාලනය නැතුවට එය හැරෙන්නේ අසමතුලිත වන්නේත් නැහැ.

මේ ගුවන් යානා යන උස. එවරස්ට් ට වඩා කිලෝ මීටරයක් උසයි. මේ හරියේ හුස්ම ගන්න බැහැ. උෂ්ණත්වය සෙ -40 වගේ. සිහි නැති වූ සිරුර මෙම තත්වය දරා ගත්තේ කෙසේද කියා පැහැදිලි නැහැ. ඊවා විනාඩි 40 ක් විතර මේ උසේ පාවෙමින් ඉන්නවා. සිරුරේ දරා ගැනීමේ හැකියාව පුදුමාකාරයි. එහෙත් තව ටිකක් හිටියනම් ක්ලිනිකලි මරණයට පත්වෙන්න ඉඩ තිබ්බා.

ඊවාගේ ඊ ගාව වාසනාව නම් මොකක් හෝ හේතුවකට පැරචුටය හැකිලෙනවා. සමහර විට අයිස් වල බර නිසා. ඊවා වැටෙනවා නිදහස් ගුරුත්වය යටතේ. දැන් ගැටලුව සිහිසුන් ඊවා කෙලින්ම බිමට එන එක. එක්තරා වේගයක් ඉක්මවා ගියොත් මේ වර්ගයේ පැරචුටයක් දිගහැරගෙන බේරෙන්න අමාරුයි. පැරචුටය නැවත අහම්බෙන් දිග හැරෙන්නේ මේ වෙලාවේ. එහෙම වෙන්නේ ඇයි කියලා දන්නෙත් නැහැ.

ඊවා පාවෙවී පහලට එද්දී සිහිය එන්නේ කිමි හතක උඩදී.

සිහිය ආ ගමන් පළමු ප්‍රශ්නය සීතල. ඇය මාර දක්ෂ ග්ලයිඩර් කෙනෙක්. මේ අසීරු තත්වයේ ඇය හිතන්නේ මේ වේගෙන් ආවොත් සීතලට මැරෙනවා කියා. ඒ නිසා ඇය ස්පයිරල් කරගෙන වේගයෙන් පහලට එනවා. මේ වගේ වෙලාවක ක්ෂණිකව හරි දේ තීන්දු කරන එක මාර හැකියාවක්.

ඊවා නෝමල් පැරචුට් එකකින් වගේ බිමට එන්නේ දෙපා වලින්. ඊට පස්සේ ඇය ටීම් එකට කතා කර ජී පී එස් ඛණ්ඩාංක දෙනවා. භුමියේ කිමි බරගානක් දුර ගොස්. හොස්පිටල් ගියාම සීතල හා හේල් නිසා වූ සුළු තුවාල කීපයක් පමණයි. එදාම ගෙදරත් යවනවා. ඇය සතියකින් නැවත පුහුණු වීම පටන්ගන්නවා.

මේ සිද්ධිය 2007 දී වෙච්ච එකක්. මම මේක දැක්කේ රූපවාහිනී වාර්තා වැඩසටහනක. ඒක මෙන්න මේ යූටියුබ් එකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝව සත්‍ය සිද්ධිය වගේ ප්‍රතිනිර්මාණය කළ එකක්. සත්‍ය සිද්ධිය එහෙම රෙකෝඩ් වෙලා නැහැ [කැමරාවක් තිබිලා නැහැ ඇය සමග]

අනෙක් සිදුවීම විලියම් රැන්කින් නම් ෆයිටර් පයිලට් කෙනෙකුට  වෙන්නේ. 1960 විතර කාලේ ඔහු කුනාටුවකට අහුවෙනවා. එය මගහරින්න ඔහු අඩි 45000 මගී යානා යන උපරිමය දක්වා යනවා. මෙතැනදී ජෙට් එක නවතිනවා. ඔහු ඉජෙක්ට් කරගන්නවා. රැන්කින් ගේ පැරචුටය දිගහැරුනානම් ඔහුට හුස්ම ගන්න බැරුව මැරෙන්න තිබ්බා උස  වැඩි  නිසා. එහෙත් එසේ වන්නේ නැහැ. ඔහු වැටෙන්නේ පහල තියෙන  කුණාටුවට. පස්සේ පැරචුටය දිග හැරුනම ඔහු ඉහල  ධාරාවට  හසුවෙමින් කුණාටුවේ ඉහල පහල යමින් සැහෙන දුරක් ඒ එක්ක ගියාලු. ඔහු කියන්නේ දුටු විදුලි රේඛා අඩි ගණන් පළලයි කියා. එතරම් ආසන්නයේ ඒවා  වදින්නේ. රැන්කිනුත් නොමැරී බිමට එනවා.

11 comments:

  1. මේක මාර වැඩක්නෙ

    ReplyDelete
    Replies
    1. කොහොම බේරුනාද මන්දා

      Delete
  2. සිහි නැතිවීමෙන් ඇතිවන වාසිය මොකද්ද?

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය විද්‍යාව ගැන මගේ තියෙන්නේ බොහොම අඩු දැනුමක්. ඒත් කෙනෙක් අඩු වායු පීඩනයකට මුහුණ දෙද්දී ඒ එක්ක ඇතිවන සන්ත්‍රාසය නිසා අ හර්ද ක්‍රියාකාරිත්වය වැඩිවුනොත් ඒ අඩු ඔක්සිජන් තත්වය ඒ කෙනාගේ මරණයට හේතු වෙන්න පුළුවන් නේද? ඒ එව්ලාවේ එයාට සිහිසුන් වී පාලිත තත්ව තුල ඉබේ වෙන ශ්වසනය වුනොත්, හර්ද ක්‍රියාකාරිත්වය අවම නිසා ගොඩ යන චාන්ස් එකක් තියෙනවා. මේක තමා මට තේරෙන හේතුව.

      Delete
    2. අහල පහල කන්සල්ටන්ට් ඩොකෙක් ඉන්නවා නේද රාජ්. mek වෙරිෆයි කරලා දෙන්නකෝ. අපේ නිවසේ වෛද්‍ය වරයෙක් නැහැනේ. මං කිව්වේ ෆැමිලි ඩොක්ට කෙනෙක්.

      Delete
    3. අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් නොමිලේ ලැබුණු වෛද්‍ය උපදේශයක් මෙන්න.

      අඩු පීඩනය යටතේ ඔක්සිජන්වල පීඩනයත් අඩුයි. ඒ නිසා ඔක්සිජන් ඌනතාවයට ලක් වීමේ අවදානම වැඩියි. සිහිය නැති වුණාම, මොළයේ ඔක්සිජන් අවශ්‍යතාවය අඩු වෙනවා, අඩු ක්‍රියාකාරිත්වය නිසා. ඒ එක්කම සීතල නිසාත් මොළයේ ඔක්සිජන් අවශ්‍යතාවය අඩු වෙනවා. සුජීව අහලා ඇති, කාඩියැක්ඇරස්ට් එකකින් පසු උෂ්ණත්වය 32-34ට අඩු කරන ට්‍රෙන්ඩ් එකක් ආවා ඉන් මොළය ආරක්ෂා වන නිසා. බයිපාස් සර්ජරි වලදිත්, බයිපාස් ටයිම් එක අනුව උෂ්ණත්වය 28-32ට අඩු කරනවා අඩු බ්ලඩ් ප්‍රෙෂර් එක යටතේ අවයවවල ඔක්සිජන් අවශ්‍යතාවය අඩු කර, ඒවා ආරක්ෂා කිරීම පිණිස.

      අනික් උදාහරනය දියේ ගිලුන අය. සීත රටක සීත වතුරේ ගිලුන කෙනෙක්ගෙ හෘදය නැවතීමට පෙර සීතල වෙන නිසා, ඒ අයගෙ මොළයට වෙන හානිය අඩු වෙනවා. අපේ රටවල වෙන්නෙ මුලින් හෘදය නැවතීම. මේ කිව්ව අය ඉක්මණින් සීතල වෙන්නත් සිහි නැති වෙන්නත් ඇති.

      ස්තූතිය උපදේශය දුන්නු කෙනාට

      Delete
  3. හිතාගන්නවත් බැරි දෙයක්

    ReplyDelete
  4. බළල් පණ.. හැක්.. අර අඩි ගානක් පළල විදුලියෙන් බේරිලා ආව එකා ඊටත් හපන් මගේ හිතේ. මේවට කියන්න වෙන්නේ 'අසාමාන්‍ය දැනීම' කියලා..

    ReplyDelete
    Replies
    1. දෙන්නටම විදුලි වදිනවා. එකෙක් සිහිසුන් නිසා අ දැක්කේ නැහැ

      Delete
  5. සුපිරි කතා තමා මේවා කොකා

    ReplyDelete
  6. සත්‍යය සිද්ධීන් ප්‍රබන්ධයන්ට වඩා සුන්දරයි කියන්නේ මේ නිසා වෙන්නැති...!

    ReplyDelete