Sunday, April 19, 2015

ලෝකයට අකුරු කියවීම

සාමාන්‍ය දැනීම සමූහයෙන් තවත් එකක්.

මේ ශිෂ්ටාචාරය විශාල භූමියක් ඇල්ලුවේ නැත. භූමියට අයිතිය කී වෙනත් අය සිටි නිසා ඔවුන් ඇල්ලුවේ මුහුදයි. මුහුදු ගමනට වැදගත් වන ස්ථාන වල නගර රාජධානි සදමින් ඔවුහු සාගරය තමන්ගේ පාලනයට ගත්හ. ඔවුන් සාගරය දිගේ කල විසිරීම සමකාලින විශාල ගොඩබිම් අධිරාජ්‍ය වල විසිරීමට වඩා වැඩිය.

එහෙත් මේ ශිෂ්ටාචාරය ලෝකයට දුන් වැදගත්ම දෙය වෙනකකි. එය මානවයාගේ අනාගතයට බිහි වූ වැදගත්ම නිර්මාණයකි. සමහර කල්පිත අනුව මුළු ලෝකයම ඒ අනුව හැඩ ගැසුණි. එය විවාදාත්මක වුවත් අඩුම ගානේ ලෝකයෙන් විශාල කලාපයකට එහි බලපෑම ඇතිවිය.

1. මෙම ශිෂ්ටාචාරය කුමක්ද?

2. ඔවුන්ගේ විසිරීම පැවතියේ කොහෙද?

3. ඔවුන් ගමනාගමනයට යොදාගත් වැදගත් යාත්‍රාවක් තියේ. එහි නම කුමක්ද?

4. මේ ශිෂ්ටාචාරය ලෝකයට දුන් වැදගත්ම තෑග්ග කුමක්ද?

------------------------------------------------------------------------------------------------------

මේ  කතා  කරන්නේ ෆිනිශියානුවන්  ගැන. ලෝක  ඉතිහාසය  මගේ  වෘත්තීය  විෂය  පථයට  සම්බන්ධ  නැති  නිසා  මෙතන  වැරදි  ඇති.  එසේ  වී නම්  පෙන්නා දෙන මෙන් ඉල්ලා  සිටිනවා.

ෆිනිශියානුවන්ගේ මුල් බිම ලෙබනනය. ෆිනිශියන් වරුන් සෙමිටික් [යුදෙව්] වාර්ගීකයන් පිරිසක්. ඔවුන් ගේ නගර හැදෙන්නේ සාගර ආශ්‍රිත ආරක්‍ෂිත තැනක [ලෙබනන උස්බිම් වලින් සෙසු භූමියෙන් වෙන්වූ මුහුදට නෙරාගිය බිම්කඩවල]. ගොඩබිමට ව්‍යාප්ත වෙන්න බැහැ මොකද කන්දෙන් අනිත් පැත්තේ තියෙන්නේ ලෝක ශිෂ්ටාචාරයේ තෝතැන්නක්. බැබිලෝනියන්, අකාදියන්, මිසර, අසිරියන්, මෙසපොතෙමියන් ආදී ශිෂ්ටාචාර විසින් ඒ හරිය තහවුරු කර තිබ්බේ.

අපි  මේ  කතා කරන්නේ  පොයුපෙ [BCE හෙවත් BC] 1500 - 500 විතර  කාලය  ගැන. විජයට  සහශ්‍රයකට  පෙර සිට  විජයගේ  කාලය  වෙනකම්  වගේ. ග්රීකයින්  බලවත්  වෙන්නෙත්, නගරයක් ලෙස රෝමය  හැදෙන්නෙත්  ඔවුන්ගේ  අවසාන කාලේ.  ඒ  අනුව  ෆිනිශියන්  වරු  සෙසු  ප්‍රබල යුරෝපා  ශිෂ්ටාචාරවලත්  මුලකාලේ  තමයි බලවත්  වෙන්නේ.

ඔවුන් ව්‍යාප්තියට තෝරන්නේ මධ්‍යධරණිය. මධ්‍යධරණිය දිගේ ගිහින් ඉතාම වැදගත් තැන්වල නගර තනමින් දැවැන්ත අධිරාජ්‍යයක් හදනවා. ඔවුන්ගේ නගර මධ්‍යධරනියේ අනික්  කෙලවරේ ජිබ්රෝල්ටා පමණ දක්වා විහිදෙනවා යුරෝපය දිගේ මෙන්ම අප්‍රිකාව දිගෙත්. දූපත් වලත්. මේ  මුළු  කලාපයේම වෙරළින්  වැඩි  හරියක් ඔවුන්ගේ  පාලනයට  යටත්ව පවතින්නේ.  හැබැයි  සාගරික  ප්‍රජාවක්  ලෙස  වෙළඳාම පාලනය  කරනවා මිසක ඇතුලට  පැතිරෙන්නේ  අඩුවෙන්.

ඒ  සම්මුතිය  කඩාගෙන  ගොඩබිමත් අල්ලාගෙන ටියුනීසියාවේ හැදෙන කාතෙජියන් අධිරාජ්‍ය පසුකාලින ෆිනිශියන් අධිරාජ්‍යයක්. හැනිබල් ගේ රට. කාතෙජියාව  පසුකාලින විශේෂ  අවස්තාවක්  ලෙස  සැලකුවොත්  සෙසු  අවස්ථා වල  තියෙන්නේ  වෙරළ  නගර  මූලික  වශයෙන්. මේ  නගර  එකිනෙකින්  ස්වාධීනව  තිබ්බේ.  හැබැයි  එකිනෙකා  එක්ක  සහයෝගෙන්  වෙළඳාම  කරගෙන  ගියා.  එනයින්  ෆිනිශියන්  ශිෂ්ටාචාරය අධිරාජ්‍යයකට  වඩා කොමන්වෙල්ත්  එකක්  වගේ.

ෆිනිශියානු සාගරික ශිෂ්ටාචාරය විකියෙන්  ගත්ත පහත පින්තුරේ බලන්න.



ෆිනිශියන් වරුන් මධ්‍යධරණිය ඉක්මවා ගිය බවත් රතු මුහුද ඔස්සේ ආසියාවට හා අප්‍රිකාව වටේ බටහිර අප්‍රිකාවට ගිය බවත් කියවෙනවා. කැමරූන් එක්ක පවා වෙළඳ සම්බන්ධ තිබ්බ බවට මත තියෙනවා.

මේ ගමන් සඳහා භාවිතා කලේ මිනිසුන් හබල් ගහන කුඩා නැව් වන ගැලිය හෙවත් බයිරීමය. පසුකාලීනව ෆිනිශියන් වරුන්ගෙන් පුරුදු වෙලා ග්රීකයින් රෝමයිනුත් ගමන් ගියේ හා යුද්ධ කලේ ගැලී වල.

ෆිනිශියානුවන් ලෝකෙට දුන්න වැදගත්ම දේ තමා කොන්සනන්ට්ස් හෙවත් ගතකුරු වලට සංකේත ලබා දී හදාපු පළමු සංවිධිත භාෂාව. ඊජිප්තු  හා පූර්ව ග්‍රීක  ශිෂ්ටාචාරවල  භාෂා  රටා  වැඩි  දියුණු  කිරීමෙන්  තමයි ෆිනිශියන්  වරු  මේ  අකුරු  ක්‍රමය  නිර්මාණය  කරන්නේ.


මීට පෙර භාෂා තිබ්බට ඒවායේ ලියමන් කෙරුනේ භෞතික ද්‍රව්‍ය වලට සංකේත දීමෙන්. රූපාක්ෂර කියන්නේ. මේක අමාරු වැඩක්. සරල මූලික දෙයක් ලිව්වට වැදගත් සාහිත්‍යයක් හැදෙන්න බැහැ. නිකමට  සිංහලෙන්  උදාහරණයක්  දුන්නොත් බල්ලට එක  සංකේතයක් - බෙල්ලට  තව  එකක්. මොකද බල්ල බෙල්ල දෙක  එකම  වගේ  කියවෙන  බව  රූපාක්ෂර භාෂාවෙන්  නිරුපනය කල  නොහැකියි. සංකේත  දෙන්නේ  නිරුපනය  කරන  ද්‍රව්‍යයට විනා  පිටවෙන  ශබ්දයට  නොවේ.

ෆිනිශියන් වරුන් සංකේත දුන්නේ මිනිස් කටින් පිටවෙන ශබ්ද වලට හෙවත් ගතකුරු වලට. කතා  කරද්දී ඒ  ශබ්ද  කීපයකින්  අපි  දෙයක්  නිරූපණය  කරනවා [බ - ල් - ලා වගේ]. ෆිනිශියන්  වරු ඒ ශබ්ද වල  සංකේත  එකට  ලිවීමෙන් හැදෙන  වචනය  ඒ  නිරූපනයට යොදාගත්ත. මැජික්  එකක්  නොවේ  මේ  අපි  දැන්  කරන දේ. ඒ  අනුව  සුළු  අක්ෂර  ගණනකින් මිනිස්  කථන  හැකියාව  නියෝජනය  කරලා  ඒ  අකුරු  මිශ්‍ර කර  හැදෙන  සංකරන  රාශියකින්  භෞතික ලෝකය  නිරූපණය  කළා.  දැන්  ලියන්න ලෙහෙසියි.

මීට  මද  කලකට පස්සේ ඉන්දියාවේත්  මේ  ගතකුරු  ක්‍රමය  ඇතිවෙනවා. සමහරු කියන හැටියට ඉන්දියාවේ ගතකුරු භාෂා හදන ආර්යනුත්  අසල්වැසි පර්සියානුවනුත් මේකෙන්ම තමා ආභාෂය ලැබුවේ. මේ කතාව විවාදාත්මකයි. ආර්යයන්  ඒ  පෙදෙසින්  ඉන්දියාව  කරා ආව කියා දැනට  හිතන  කාලේ වෙද්දී  ෆිනිශියානුන්  ප්‍රබලව  ඉඳලා  තියෙන  නිසා ආභාෂයක්  තියෙන්නත්  ඉඩ  තියෙනවා. මේක  හොයා ගන්න බැරි  වෙන්නේ ෆිනිශියන් යුගයට පෙර ලියවුනු සාහිත්‍යයක් නැති  නිසා.

වෙනස්  ක්‍රමයක් තියෙන්නේ චීන-ජපන්  කලාපයේ විතරයි හැමෝම දන්නා පරිදි ඒ කලාපයේ භාෂා රූප සංකේත වලින් විදාරණය වූවක්. ෆිනිශියන් මොඩලයේ  එකක් නොවේ. ඒ ඇරෙන්න ඉතිරි ලෝකයේ දියුණු වී ගිය භාෂා ෆිනිශියන් මූලයකින් එන බව එක මතයක්. අඩුම ගානේ යුරෝපයේ හා මැද පෙරදිග භාෂා වලටවත් මේක නිවැරදියි.

[ලෝකයට  අකුරු  කියවීම  කියල කැච් ෆ්රේස් එකක්  වගේ  දාපු මගේ  හෙඩිමත්  විවාදාත්මකයි - කිසියම්  කෙනෙක්  ඒ  ගැන  මට  කෝට්  මාෂල්  කරන්න හිතා  ඉන්නවනම්  ඔන්න මෙතනම  පිලිගන්නවා "ලෝකේ  කිව්වට  ලෝකෙම  නෙවෙයි"  කියලා :) ]

ග්‍රන්ථකරණය ආශ්‍රිත බිබ්ලෝ බිබ්ලියෝ බයිබල් වැනි වදන් වල මූලය එන්නේ බිබ්ලෝස් කියන ෆිනිශියානු නගර නාමයෙන්.

ෆිනිශියන්  වරුන්  ගේ  අවසානය  වන්නේ  කාරනා දෙකක්  නිසා.  එකක්  තමා මුහුදේ  පැතිරුණු  නිසා කවදාවත්  ලොකු  රටවල්  හැදිලා යුද්ධ කරන්න  හමුදා  හදාගන්නේ නැහැ [කාතේජියානුන්  හැරුණුවිට]. පස්සේ කාලේදී  ගොඩබිම උන්නු  අධිරාජ්‍ය  මුහුදට  ව්‍යාප්ත  වෙද්දී [එයාලත්  ෆිනිශියන් ගැලී කොපි  කරලා  ගැලී  හදද්දී] ෆිනිශියන්  බලය  ප්‍රමාණාත්මක  නැහැ පවතින්න.

මේ වෙද්දී ෆිනිශියන්  වරුන්  පර්සියාව වගේ  විශාල  අධිරාජ්‍ය  එක්ක  එකඟතා  ගිවිසුම්  ගහගෙන  පවතින්න උත්සහ  කරනවා. එහෙත්  ලෙබනනයේ  පවතින  මූලික  ෆිනිශියානු ශිෂ්ටාචාරය  වනසන්නේ  ඇලෙක්සැන්ඩර්, ෆිනිශියානුවන්  දිගටම සාමය  ඉල්ලද්දීත්  ඔහු  පහර  දෙන්නේ  එය  මිසර  නගර  සැකැස්මට  හැඩරුවින්  සමාන  තැනක්  නිසා මිසරයට  ගහන්න පෙර  හුරුවක්  ලෙස. ඇලෙක්සැන්ඩර්ගේ  බලහත්කාරයට  යටත්  නොවුණු නිසා   ෆිනිශියානුවන්ගේ  ප්‍රධානම  නගරය  වන සූර්  හෙවත්  ටයිරය  ඇල්ලු  පසු  පිරිමි සියල්ලන්  සමූලඝාතනය  කරනවා.

අන්තිමේදී  රෝමයට  අමතක  නොවෙන  පාඩමක්  උගැන්නු  එකේ  පලිය  ගන්න  රෝමන්කාරයෝ  කාතේජියාවත්  විනාශ  කලාම  ලෝකේ  ෆිනිශියානු  කියා දෙයක්  ඉතිරි  වී නැහැ. සියල්ල  මීට  වසර  දෙදාහකටත්  වඩා  ඉස්සරම  ඉවරයි.

මෙන්න ෆිනිශියන් නගර ලිස්ට් එක

8 comments:

  1. හොඳ විස්තරයක්. මා නොදැන සිටි කරුණු ගොඩක් ඔබෙන් ඉගෙන ගත්තා .
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      නැවත එන්න සමරසේකර

      Delete
  2. ඉතා හොඳ ලිපියක්

    ReplyDelete
  3. හැනිබල් ගෙන් පැවතගෙන එන කට්ටිය නෙමෙයි ද ස්පාඥ්ඥය, පෘතුගාලය පැත්තෙ ඉන්නෙ? එහෙම බැලුවොත් ඒ ෆිනීෂියන් ශේෂ.

    ReplyDelete
    Replies
    1. මේක සංකීර්ණ සිද්ධියක්.

      1. ස්පාඥ්ඥ වෙරළේ මුල්ම නගර හදල එහෙ පතල් කර්මාන්තෙ පටන් ගන්නේ ෆිනිශියානුවන්.

      2. කාතෙජියානු අධිරාජ්‍යයේ පැතිරීම නිසා ස්පාඥ්ඥය තුල විශාල ෆිනිහ්සියානු ජනතාවක් හැදෙනවා,

      3. කාතෙජියානු ශිෂ්ටාචාරය වනසා දමන රෝමකාරයින් ඔවුන්ව වහලුන් ලෙස යුරෝපේ පුරා විකුණන නිසා අ ෆිනිශියානුන් යුරෝපේ විසිරී යනවා.

      මධ්‍යධරණිය වටේ ජනගහනයෙන් 6% පමණ ෆිනිශියානු ජාන් ලක්ෂණ පෙන්වන බවට මතයක් තියෙනවා. අදටත් ලෙබනන් කාරයෝ කියන්නේ උන් අරාබි නොවේ ෆිනිශියානුන් කියලා. ටියුනීසියන් මිනිස්සු අදටත් කාතේජ් තමන්ගේ පූර්වජයන් ලෙස සලකනවා . කිසිම දෙයක් ලෙහෙසියෙන් ඔප්පු කරන්න බැහැ. මේ ෆිනිශියන් කතාව ජාතිවාදයක් දක්වා ඇදෙන නිසා ඒක සමහරු තරමක් ටැබූ එකක් ලෙස සලකන්නේ.

      රටක් ඇල්ලුවට ජනතාවක් ඉවර කරන්න බැහැනේ. ඒ නිසා ෆිනිශියානුන් මිශ්‍ර වෙලා යන්න ඇති. හැබැයි මම මෙතැන් කිව්වේ ෆිනිශියානු ශිෂ්ටාචාරයේ අවසානය ගැන,

      Delete
  4. //"ලෝකේ කිව්වට ලෝකෙම නෙවෙයි"// අයිති වෙන කොටසට මාවත් දා ගන්න. ස්තූතියි විස්තරේට..

    ReplyDelete
  5. ඔබේ බ්ලොගය ලොකු දැනුමක් දෙනවා අපිට ... දිගට ම ලියමු.. මේවා ඉතා වැදගත් ලිපි

    ReplyDelete
  6. ලක්ෂාන් වික්‍රමJuly 9, 2015 at 1:18 AM

    ෆීනීෂියානුවන් සෙමිටික් වුවත් යුදෙව්වන් නොවේ - අරාබින්ද සෙමිටික්ම තමයි - යුරෝපයේ සිටි එකම සෙමිටික්( වර්ගයට අයත් යැයි යුරෝපීයයන් සිතූ) වරු යුදෙව්වන් නිසා තමයි ඇන්ටි සෙමිටික් = යුදෙව් විරෝධය වන්නේ

    ReplyDelete