Wednesday, April 8, 2015

ජීවත් වන පාලම්

මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයෙන් තවත් ප්‍රශ්නයක්

ශාඛයක මුල් වල වර්ධනය තමන්ට රිසි සේ රිසි දුරකට හා දිශාවකට ගෙනයන අපූර්ව ක්‍රමවේදය සොයා ගත් ඔවුන් ඒ මත සිය දුෂ්කර පරිසරයේ ජීවිතයට නැතුවම බැරි අපූර්ව නිර්මාණයක් බිහි කරන ලදී.

1. ඔවුන් කිනම් ප්‍රදේශයක ජනතාවද?

2. බිහි කළ නිර්මාණය කුමක්ද?

3. මේ වැඩේ කළේ කෙසේද?

_____________________________________________

නිවැරදි පිළිතුර වනුයේ ඉන්දියාවේ මේඝාලය ප්‍රදේශයේ ජනතාවයි. ඔවුන් ජීවත් වන්නේ ලෝකයේ වැඩිම වර්ෂාපතන ලැබෙන කලාපයක, සමහර වර්ෂාපතන ලෝක වාර්තා පවා හිමියි. ඒ වගේම කඳු බහුල අසීරු පරිසරයක්. කොටින්ම ලෝකේ වෙනත් තැනක නම් ජනාවාස නොවෙන තරම් අසීරු තැනක් ඉන්දියානු ජනගහන බෝම්බය පුපුරා යාමෙන් විසි වූ මිනිසුන් පදිංචි වෙලා.

මේ කඳු අතර තියෙන ගැඹුරු පටු නිම්න හරහා එහා මෙහා යන්න අමාරුයි. සම්මත පාලම් හදන්න බැහැ මොකද ගැඹුර වැඩි වීමත් අධික වර්ෂාව නිසා ඉක්මනින් දිරාපත් වීමත් හේතුවෙන්. වාර්ෂික වර්ෂාපතනය මිමි 12000-15000 විතර නිසා ලී දිරනවා. මේ ජනතාව ඊට දෙන විසඳුම නම් දිරාපත් නොවෙන "ජීවත් වෙන" පාලම හැදීමයි.

මේ කට්ටිය කරන්නේ පළාතේ වැවෙන ඉන්දියානු රබර් (රබර්  කිව්වට මේ නුග  පවුලට  අයිති  ගහක්) ශාඛයේ මුල් අරගෙන ඒවා පුවක් පටි වලින් හදාපු බටයක් වැනි ආධාරකයක් දිගේ ඒ තුලින් වැවෙන්න සලස්වනවා. මුල බිම හොයාගෙන බටය තුලින් යනවා එයට බිම හමුවන්නේ ගහ තියෙන පැත්තේ නොවේ අනිත් පැත්තේ. දැන් මේ මුල පොලොවට සවි වෙලා වැඩෙනකම් ආධාරකය දෙනවා. එක මුලක් යැව්වම තව මුලක් යවන්න ලෙහෙසියි. මේ වගේ මුල් පද්ධතියක් එක ඉවුරක සිට එහා ඉවුරට යැව්වම දවසක ශක්තිමත් පාලමක් ඒ සජීවී මුල් වලින් තැනෙනවා. මේ විදිහට හැදුවම ඒවා කැඩෙන්නේ නැහැ ලෙහෙසියෙන්. දිරන්නෙත් නැහැ. අනික එක මුලක් කැඩුනත් තව මුලක් හදා ගන්න පුළුවන්. කැඩෙන තරමට වැවෙන පාලමක්.

පාලමක් සැලසුම් කරලා හදා ගන්න අවු 15 කට වඩා යනවලු. ඒත් මේවා වසර සියගානක් පවතින නිසා ඒකෙ වරදක් නැහැ. අඩි සියයක් විතර දිග, බයිසිකල්, පුංචි වාහන යා හැකි මිනිසුන් පනහකට එකවර නගින්න පුළුවන් පාලම් තියෙනවලු මේ විදිහට හදලා. පාලම නඩත්තු කරන පවුලකට ඒ බිම ලබා දෙනවා මොකද නොකඩවා පාලමට සාත්තු කරන්න ඕනේ.

සියවස් ගණනාවක් ආපු ශිල්පයක්, තාක්ෂණයක්. අදටත් භාවිතා වෙන පාලම්.





පින්තූර  ගත්ත  සබැඳිය  වැඩිපුර කියවීමකට  දානවා:  Living Root Bridges

No comments:

Post a Comment