Saturday, November 25, 2017

ගොඩබිමට ගලා බසින ගංගාව

මේකත් සාමාන්‍ය දැනුම සමූහවල අහපු එකක්.

බොහොම කාලෙකට කලින් එක්තරා කාන්තාර පෙදෙසකින් විශාල ගංගා කීපයක් ගලනවා. මේ ගංගා ගලන තැනිතලාව එක පසෙකින් කාන්තාරේ වැලි පර වලිනුත් අනෙක් පසින් ඉස්මතුවන කඳුවැටියකිනුත් හිරවෙනවා. ඒ පාර එම ගංගා කාන්තාරයේ හැදෙන බේසින් එකකට පිරෙන්න ගන්නවා. එම නිසා එතන අතිවිශාල විලක් හැදෙනවා. විල මගින් කාන්තාරය සශ්‍රීක කරනවා, කලාපයේ විශාල සත්ව ගහනයක් හැදෙනවා. පහුකාලීනව මානව ගහනයත් මේ පළාතේ වර්ධනය වෙනවා.

ඊට පස්සේ එකපාරටම අර විල කන්දේ දුබල තැනක් හොයාගෙන එතන විවර කරගන්නවා. මේ හරහා ලෝකයේ ඉතාමත්ම සුන්දර නිර්මාණයක් බිහිවෙනවා. හැබැයි විල හින්දෙනවා.

අද මෙම විල නැහැ, ඒ වෙනුවට තියෙන්නේ ලවණ තලාවක්. සුන්දර නිර්මාණය පවතින්නේ අර එක ගංගාවක. ඒ වගේම තවත් ගඟක වතුර මුහුදට හෝ විලකට නොගොස් ලෝකයේ දුර්ලභ භූ ලක්ෂණයක් බිහිකරනවා. තැනිතලාව ආයිත් මහා කාන්තාරයක් වෙනවා. වැඩේ තියෙන්නේ මේ ඔක්කොම වෙන්නේ බොහොම වේගයෙන් නිසා අදටත් ඒ කාන්තාරේ සත්තු මිනිස්සු ඉන්නවා. ඒ අය මේ අසීරු පරිසරයට හැඩ ගැහිලා තියෙන්නේ.

හැබැයි තාමත් ගංගා පෝෂක ප්‍රදේශයට වැස්සම ටික කාලෙකට ඒ කාන්තාරේ විල තිබ්බ හරියේ පරණ විලේ කොටසක් ප්‍රතිෂ්ටාපනය වෙනවා. වැලි කාන්තාරේ එක පාරට විලක් වෙනවා. වැලි අස්සේ තියෙන ගස් ඉක්මනින් හැදෙනවා. මේක දන්නා සත්තු ඒ කාලෙට ඒ කාන්තාරේ ට ඇවිත් වතුර ඈත කඳු අස්සෙන් ගලාගෙන එනකම් බලා ඉන්නවා. ඔක්කොම ජොලිය ටික දවසයි වතුර හිඳුන ගමන් ආයිත් කාන්තාරේ

1. කාන්තාරය කුමක්ද?

2. විල කඩාගෙන ගිහින් හැදුනු සුන්දර නිර්මාණය කුමක්ද?

3. මුහුදට හෝ විලකට යන්න බැරිවුණු ගඟ නිර්මාණය කරන අමුතු භූ ලක්ෂණය කුමක්ද? එහි නම කුමක්ද?

4. එදා විලට කිව්ව නම අද ලවන තලාවට කියන්නේ. ඒ මොකද්ද? [ඒක සිංහලෙන් ලියන්න මටත් බැහැ, ඒ නිසා ඉංග්‍රීසියෙන් තිබ්බත් ඇති]

---------------

මේ කතාව සැම්බෙසි ඔකවන්ගෝ ගංගා සහ කලහාරි කාන්තාරය ගැන කතාවක්. පහත පින්තුරේ ස්ථාන තියෙනවා දළ වශයෙන් අතීත විලේ සටහනකුත් සමග. [ලෝක  ව්‍යවහාරයෙන්  කලහාරි  කාන්තාරය  කිව්වට  කලහාරිය  කාන්තාරයක්  නොවේ.  එය  අර්ධ  ශුෂ්ක  පෙදෙසක්. එහි  වාර්ෂික  වර්ශාපතනය  කාන්තාරෙකට  වඩා  වැඩියි.  එහෙත්  ඒ  වැස්ස  එකපාරට  කෙටි  කාලෙක  වැටෙන  නිසා  ස්වභාවය  කාන්තාරයක්  වගේ. මේක  සයිඩ්  ෆැක්ට්  එකක්]



No automatic alt text available.

කලහාරි කාන්තාරයේ උස වැලි පර සහ සිම්බාබ්වේ වල භූගෝලීය හේතුවක් නිසා උස්වන කඳු පද්ධතය නිසා තමයි බොට්ස්වානා නැමීබියා අවට බේසින් එකක් හැදෙන්නේ. කාලෙකට කලින් මේ බේසින් එක සපුරා ලොක් වීම නිසා ඉහල සැම්බෙසි, ඔකවන්ගෝ ආදී ගංගා රාශියකට මුහුදට ගලන්න බැරි වෙනවා. මේ ගංගා ගෙනෙන ජලය රැස්වීමෙන් විශාල ජලාශයක් හැදෙනවා. ජලාශය බොට්ස්වානා නැමීබියා දෙරටේ කලහාරි කාන්තාරයට වර්තමානයේ අයිති විශාල ප්‍රදේශයක පැතිරෙනවා, විශාලත්වයෙන් වර්තමාන සුපිරියර් විල [විශාලම මිරිදිය විල] තරම් අගයක් ගන්න බව හිතන්නේ. විලට කියන නම මක්ගඩික්ගඩි [Makgadikgadi]. අද එතන තියෙන ලවන තලාවට කියන නමින් තමා විල නම් කෙරෙන්නේ

විල නිසා අවට සශ්‍රීක වෙනවා. කලහාරි  කාන්තාරය  වනාන්තරයක්  වෙනවා.  අප්‍රිකාවේ දකුණු කලාපයේ සත්ව ගහනය වර්ධනය වන්න විලෙන් සැහෙන වැඩක් වෙනවා. පූර්ව ශිලා යුග මිනිස් ක්‍රියාකාරකම් පවා සුලබයි. විශාල මිනිස් ගහනයක් උන්නු බවට සාධක තියෙනවා

විල පිරිලා ජල උස ක්‍රමයෙන් වැඩි වෙද්දී එක තැනකින් උතුරනවා මේ ඉතිරීම නිසා එම දුර්වල ස්ථානය ඛාදනය වන්න පටන් ගන්නවා. ඒ ගලාගිය පාර දිගේ තමා අද මධ්‍යම හා පහල සැම්බෙසි ගඟ ගලන්නේ. [මතක ලෙසට ටාසන් කතාව දිග ඇරෙන්නේ මෙන්න මේ හරියේ - පින්තුර මතක් කරගන්න] මීට වසර ලක්ෂයක් එකහමාරක් පමණ පෙර කෙටි කාලෙක විශාල වතුරක් ගලාගිය සලකුණු තියෙනවලු බොහෝ දෙනා හිතන්නේ ඒ ඛාදනය වීමෙන් විශාල විල එකපාර ගලාගිය මොහොත ලෙස. කෙසේ වෙතත් මේ ඉවුර බිඳෙන තැන ලස්සන දිය ඇල්ලක් හැදෙනවා ඒ ලෝක ප්‍රසිද්ධ Mosi-oa-Tunya හෙවත්  වික්ටෝරියා ඇල්ල.

මීට වසර දහදාහකට පෙරත් විල තිබුනලු. ඒ අනුව  විල  හැදෙන  සහ  කැඩෙන  එක  චක්‍රීයව  වෙනවා  කියා  හිතන්නේ. ඒ කාලෙ විශාල ජල ගලායාමක් එක පාර වෙලා කෙටි කලකින් තමා හිඳිලා තියෙන්නේ. ඒ වෙද්දී අවට උන්නු සත්ව හා මිනිස් ප්‍රජා ශුෂ්ක තැනිතලාවක සහ වැලි කාන්තාරයක හිර වෙනවා. අද ඒ ප්‍රජාවන් කලහාරි තත්වයන්ට හුරුවෙලා ඉන්නේ. කලහාරි වනගත මිනිසුන් ඒ වගේ එක ප්‍රජාවක්. දැන් විල වෙනුවට තියෙන්නේ පතුලටම හිඳිලා ලුණු මිදුණු ලවන තලා කීපයක්.

පැරණි විල දිගේ ගලා බහින ප්‍රධාන සැපයුම්කරු වන සැම්බෙසි ගඟ අද කෙලින්ම වික්ටෝරියා ඇල්ල ලෙස වැටෙන්නේ. ඒ හරහා ඉස්සර ගංගා දෙකක් වෙච්ච ඉහල සැම්බෙසි හා මධ්‍ය-පහල සැම්බෙසි එකතු වෙනවා. සැම්බෙසි ලෝකයේ ධාරිතාවය අධිකම ගඟක්. ඒ හැරෙන්න තවත් ගංගා කීපයක් පැරණි විල හරහා ගලලා පහලට යනවා. කැනියන් සුලබ ප්‍රදෙශයක්.

මේ පැරණි විලට ආපු ඔකවන්ගෝ ගඟ තියෙන්නේ කෙලින්ම අනිත් පැත්තේ නිසා යනවනම් මුළු ලවන තලාවම ක්‍රොස් කරන්න ඕනේ. ඒ නිසා ඒ ගඟ ලවන තලාව දිහාට ගලනවා. එය කලහාරි  බේසින්  එකේදී    අතු ගානකට බෙදෙනවා ඒ අතු බෙදෙමින් පැතිරී ගිහින් අන්තිමේදී මුළු ගඟම පොලොවට පැලැටි වලට හා වාතයට උරාගෙන සපුරා ඉවර වෙනවා. මේක ඔකවන්ගෝ ඩෙල්ටාව විශාලත්වයෙන්  ලංකාවෙන්  හතරෙන් එකක්  විතර. සාමාන්‍ය ඩෙල්ට වලට වඩා වෙනස් මේ ඩෙල්ටා එක මුහුදට හෝ විලකට සම්බන්ධ නැහැ. නිකම්ම අභ්‍යන්තර බිමක තියෙන කොහේටවත් යන්නේ නැති ඉන්ලන්ඩ්  ඩෙල්ටාවක්. එය දුර්ලභ භූ ලක්ෂණයක් ඔකවන්ගෝ ඩෙල්ටා පෙදෙස ජලය සහිත වගුරක්. ඔකවන්ගෝ ගඟ කිසිම ජලාශයකට නොගලන ගඟක්, තනිකර වාෂ්ප වෙලා ඉවරවෙන [අතීත ඉන්දියාවේ තිබ්බා කිව්වා සරස්වතී ගඟත් මෙහෙම එකක් කියල භාරත සාහිත්‍ය පොත්වල තියේලු. ඒ ගඟ එහෙම පිටින්ම වේලිලා කියල කියන්නේ]


වසරේ එක කාලෙක ඇන්ගෝලාව අවටට වහින කොට ඔකවන්ගෝ ඩෙල්ටාවට ඔබ්බෙන් කාන්තාර පෙදෙස් වලට සත්තු එකතු වෙනවා උන් එන්නේ වටේ ශුෂ්ක පෙදෙස් වලින්. බොහෝ විට ඒ වෙද්දී එතැන වැලි කාන්තාර වුනත් උන් අපහසුතා නොතකා එතනට එනවා. මේක ලෝකේ ලොකුම සත්ව ඒකරාශී වීමක්. ඔකවන්ගෝ ගඟේ වතුර ඩෙල්ටා පහුකරලා කාන්තාරේ දිගේ ගලාගෙන ගිහින් කලහාරියේ නැගෙනහිර කොටස තනිකර විලක් බවට හැරෙනවා. සීසනල් ගස් එක පාරට මතුවෙනවා. සත්තු එකතු වෙනවා. මේ සිද්ධිය ඩේවිඩ් අටෙන්බොරෝ එක වාර්තා වැඩසටහනක ලස්සනට පෙන්නනවා. අලි කාන්තාරේ දිගේ ඇවිත් වතුර එනකම් බලා ඉන්න හැටි.

සැන්දෑ හිරුරසින්  දිදුලන ඔකවන්ගෝ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෙනෙන ආකාරය

4 comments:

  1. පිස්සු හැදෙන චිත්‍රයක් වගේ.. කලහාරි කාන්තාරය ගැන එකෙක් අහනකොට මට මෙහෙම පොස්ට් එකක් එයි කියල නිකමට හිතුන.. :)

    ReplyDelete
    Replies
    1. පරණ ප්‍රශ්න. හෙව්ව දැම්ම

      Delete
  2. ඔකවන්ගෝ ඩෙල්ටා එක ගැන කිව්වාම මතක්වුනේ වගුරු බිම්වල වාසයට හම හා විශේෂයින්ම කුර හැදී ඇති සියාටුන්ගා ඇන්ටිලෝප් විශේෂය

    ReplyDelete