Friday, May 1, 2015

ඇළක් කිව්වට ඇළක් ම නොවේ

සාමාන්‍ය දැනුම සමූහයෙන්. මේක තරමක් විවාදාත්මක මාතෘකාවක්. මගේ අදහස් දැක්වීමත් පාර්ශ්වීය වෙන්න පුළුවන්. මේ ගැන දන්නා අය අධ්‍යනය කරපු අය බ්ලොග් අවකාශයේ ඇති. ඒ නිසා මීට යමක් එකතු කරන්නේ නම් උදක්ම ස්තුතිවන්ත වෙනවා.

මේ ගැන මම කියවා එකතු කල කරුණු ඇසුරෙන් තමා මේ ප්‍රශ්නය හා උත්තරය සකස් වන්නේ. මට මෙහි සිතියම හා ශාස්ත්‍රීය අධ්‍යනයක් හොයන්න අවශ්‍ය වුනා. එහෙත් ලැබුනේ නැහැ. ශාස්ත්‍රීය අධ්‍යනයක් එක්තරා ඊ සඟරාවක තිබ්බ. එය සොයාගන්න බැහැ දැන්. මේ වගේ දේවල් ඔබ සතුනම් එකතු කරන්න. තරමක් වෙනස් මුහුණුවරකින් මෙතන නැවත සංවාදයට විවෘත කරන්න උත්සාහයක් ගන්නේ.

මුලින්ම ප්‍රශ්නය.

ජලය හිඟ ප්‍රදේශයක කණින ලද ඇළකි. පෙනුමෙන් මෙහි බොහෝ අඩුපාඩු තිබේ. ඇළ යන්නේ කෙටිම පාරකින් නොවේ, වංගු ගොඩකිනි. ඒ නිසා ඇළෙහි වතුර වැඩි වැඩියෙන් වාෂ්ප වේ. ඇළෙහි වංගු වල පිට පැත්තේ බැමි නොමැති නිසා වතුර අසල ගොඩ නැගුනු පිටාර තැනි වලට කාන්දු වේ. ඇළෙහි ආනතිය අඩු නිසා එහි වතුර සෙමින් ගලන අතර එබැවින් අසල පසට වැඩි ප්‍රමාණයක් කාන්දු වේ.

පසුකාලින ඉංජිනේරුවෝ මෙම අඩුපාඩු සකස් කර ඇළ පිළිසකර කළහ.

එහෙත් පසුව සොයාගත් පරිදි මේවා අඩුපාඩු නොවේ, නිර්මාණයේ ලක්ෂණයන් හෙවත් ඩිසයින් ෆීචර්ස් ගොඩකි. එනයින් දැන් සිතන ආකාරයට මෙය ඇළකුත් නොවේ වෙනත් දෙයකි.

1. අදාළ "ඇළ" කුමක්ද?

2. ඉහත සඳහන් අඩුපාඩු හිතා මතා සාදා ඇත්තේ ඇයි?

3."ඇළ" ට දැන් කියන වඩාත් ගැලපෙන නම කුමක්ද?

--------------------------------------------------------------------------------

පිට කොහෙවත් එකක් නොවේ, මේ අපේම යෝධ ඇළ හෙවත් ජයගඟ ගැන කතාවෙන්නේ. කලාවැව හා තිසාවැව අතර දඟර වැටුණු ඇළ මාර්ගයක ස්වරූපයෙන් ඇති යෝධ ඇළ දුවන්නේ සමෝච්ච රේඛාවක් දිගේ. ඉතින් එහි බෑවුමක් ඉහලක් හෝ පහලක් නිච්චියටම කියන්න බැහැ .

යෝධ ඇළ ගලන්නේ වංගු ගොඩක් එක්ක. එහි පිට පැත්තේ බොහෝ ස්ථානවල ඉවුරක් නැහැ. කියන හැටියට කවදාවත් තිබිලා නැහැ. හැම වන්ගුවෙන්ම වතුර පිටාර ගලනවා. හෙමි හෙමින් දිගු දුරක් ගලන නිසා වාෂ්ප වෙනවා වැඩියි. ඒ වගේම හෙමින් ගලන නිසා පොලොවට උරනවත් වැඩියි.

ඇළක් හැටියට ගත්තොත් මේක කළා වැවේ වතුර අනුරාධපුරයට සපයන කාර්යය සඳහා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ලවුසි වැඩක්. අඩුපාඩු ගොඩක්.

ඒත් එය ඇළක් නොවේ. අනික අනුරාධපුරයට ජලය සැපයීම එහි එක වැඩක් පමණයි. එය බහුකාර්ය ව්‍යාපෘතියක්. එය ගලා යන ප්‍රදේශය තුල ප්‍රධාන ජල සැපයුමක් නැහැ. ඒ නිසා එයින් කරන්නේ වාෂ්පීකරණය තුලින් වාතයේ ජලවාෂ්ප වැඩි කරමින්, පොලොවට උරා ගන්නවා ගෙන උල්පත් පෝෂණය කරමින් වන්ගුවලින් එලියට උතුරවා ගෙන එම ප්‍රදේශ සශ්‍රීක කරමින් ගලලා ඉතිරි වතුර අනුරාධපුරයට දීම.

කාර්යය සලකා බලු විට යෝධ ඇළ වැවක කාර්යභාරයක් කරනවා. ඒ නිසා දැන් ඉන්න කට්ටිය එය වර්ගීකරණය කරනවා දිග් ගස්සපු වැවක් [elongated tank] හැටියට. එසේ දිග් ගැස්සීමෙන් වඩා වැඩි පරාසයකට සේවා සපයනවා.

සරලව කිව්වොත් බෑවුමක සමෝච්ච රේඛාවක් දිගේ බැම්මක් බැඳ දිගට වතුර එකතු කල සිහින් දිග වැවක්. කොහෙන් වතුර ලැබුනත් අවශ්‍ය තැනකට යොමු කල හැකියි. ෆ්ලෝ එක දෙපැත්තටම. එහි සැතපුමට අඟලක බෑවුමක් තියෙනවා කියන්නේ ඒ නොගැඹුරු වැවේ වතුර ගලායාමට දුන්නු ආධාරකයක් පමණයි.

කලාවැවේ සිට තිසාවැවට යන ප්‍රධාන "දික් වැව" පමණක් නොවේ රටපුරා වෙනත් ස්ථාන රාශියක මේ සංකල්පය ඇති අතර ඒ සියලු ස්ථාන වල ඒවාට යෝධ ඇළ කියා කියවෙනවා. ඒ අනුව යෝධ ඇළ වාරි සංකල්පයක් විනා මේ නිර්මාණයට කියන නම නොවේ.

මේක නොදත් මහවැලි ඉන්ජිනේරුවන් මේ දඟර හරි මැද්දෙන් කෙලින් ඇළක් කපලා කළා වැව තිසා වැවට යා කළා. එක නෝමල් ඇළක්. ඒ වෙනකම් පවා ජයගඟ සැහෙන දුරට ක්‍රියාත්මක වුනා ලු. එතනින් ඒ නිර්මාණය ඉවරයි. කොටින්ම අපේ සමාජ අධ්‍යනය පොතේ මහවැලි ව්‍යාපාරයේ සිරා වැඩක් ලෙස ලියා තිබ්බා "සැතපුම් පනස් හතරක ජය ගඟ හෙවත් යෝධ ඇළ සැතපුම් දහ අටක් දක්වා කෙටි කොට පිළිසකර කරන ලදී" කියලා. ඔන්න අපේ ලොරි ටෝක්.

පහත දැක්වෙන සටහන් මේ ගැන ලියවුනු මාධ්‍ය සටහන්. 100% නිවැරදි නැතුව ඇති. ශාස්ත්‍රීය අධ්‍යන නොවේ. මෙතන දාන්නේ අදහසක් ගන්න පමණයි.

එළිච්චියක විසින් මග හෙළි කෙරුණු යෝධ ඇල

යෝධ ඇල සංකල්පය

"යෝධයන්" කැපූ ඇළ

හැකිනම් යමක් එකතු කරන්න.

17 comments:

  1. මේ ලිපි නම් හරිම වටිනවා............. දිගට ම ලියමු

    ReplyDelete
    Replies
    1. දිගටම එන එකට ස්තුතියි

      Delete
  2. යටත්විජිත කාලයේ මහ වැව් මැදින් මහ පාරවල් ඉදිකරමින් ඇරඹි ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨචාරය ඝාතනය කිරීමේ අග්‍රඵලයක් ගැන ඔබේ අවධානය යොමු වීම අගෙයි.
    ජාතික රූපවහිනියේ මේ ගැන වටිනා වැඩසටහනක් විකාශනය උනා.සාරවත් අදහස් බහුලයි එහි.
    හැකි නම් මේ මාතෘකාව ඉදිරියටම ගෙනයමු.තාක්ෂණික කරුණු සමඟින්ම.
    ඔබ පවසන පරිදිම මූලාශ්‍ර අඩුයි.වටිනා ආයෝජනයක් වේවි.
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙතැනදී මට අවශ්‍යයි විද්වත් මතයක්. අවාසනාවට තවම එහෙම සපෝට් එකක් ආවේ නැහැ. පුරා විද්‍යා එකෙන් කරන සඟරාවක තිබ්බා මේ ගැන ලිපියක්. මට දැන් ලින්ක් එකක් නැහැ.

      Delete
    2. අඩුගානේ යෝධ ඇලේ සිතියමක්වත් නැහැ

      Delete
    3. මම කියපු රූපවාහිනී වැඩසටහනේ අදහස් ඉදිරිපත් කළේ 'උදුල බණ්ඩාර' වගේ නමක් තියෙන කෙනෙක්.ලින්ක් එකක් වත් හොයගන්න්න බලමු.මමත් මේක දන්න දන්න තැන්වල ශෙයා කොරන්නම් නේද?ඔබතුමා නවතින්න එපා... මේවා කොයි වෙලේ හරි ට්‍රිගර් වෙයි. දන්න කියන එක්කෙනෙක් වත් කම්මැලි නැතිව අදහසක් දක්වයි නෙ.

      Delete
    4. උදුල බණ්ඩාර අවුසදහාමි කියා කෙනෙකුව ඔය ඔරිජිනල් බුකි ප්‍රශ්නේ ටැග් කළා කොමෙන්ට් කරුවෙක්. ඒත් ඒ කෙනා අපිට සෙට් වුනේ නැහැ. ඔහු ඒ සමූහයේ හිටිය කෙනෙක් වුනත්

      Delete
  3. යෝධ ඇල වෙනස් කළ බව ඇසුවේ අදමයි

    යෝධ ඇලේ බැම්මක් ගැන රංබණ්ඩා සෙනෙවිරත්න ගේ ගීතයේ කියවෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ බැම්මේ.

      මේ කියන්නේ අපි කතා කරන යෝධ ඇල වෙන්න ඕනේ. රම්බන්ඩා ගේ උපන් පළාත අනුව

      Delete
    2. යෝධ ඇළ කපාපු හැටි දැකලා ගොවියෝ හාට් ඇටැක් හැදිලා මළා කියා කතාවක් තියේය

      Delete
    3. වැරදීමක්......!

      "බිරිඳකගේ සෙනෙහෙ ගිය යෝධ ඇලේ නැම්මේ" - බැම්මේ නොවෙයි.

      මේක නිකං "බාල ළියන් මල් නටුවෙන් හබල් ගසාලා" වගේ කේස් එකක්.

      Delete
    4. එහෙනම් දෙකායි.

      එනිවේස් එයාත් කියන්නේ ඇලේ නැම්ම ගැන. ඒත් මැප් එකක් නැහැනේ බලාගන්න

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔබ සඳහන් කළ වැඩසටහන තමයි, ජාතික රූපවාහිනියේ විකාශය වූ සහ දැනට නැවත විකාශය වන(සෙනසුරාදා රාත්‍රී 7 ට) "වාහල්කඩ" වැඩසටහන. මෙහෙයවන්නේ උදුල බණ්ඩාර මහතා තමයි...(එතුමා ගැන මමත් විස්තර දන්නෙ නෑ. ඒත් මට යන්තමට මතකයි ඒ කාලෙ වාහල්කඩ වැඩසටහන මම පොඩි කාලෙ බලද්දී, මේ කොටස තිබුණ. මෑතකදී ගිය වැඩසටහනෙත් මේක තිබුණ)

    කොහොමහරි, විශිෂ්ට ලිපියක්! අපේ පරම්පරා දෙකක් විසින් කරපු යහපත් දෙයක් සහ අයහපත් දෙයකට නිදසුනක් තමයි යෝධ ඇළ...

    බ්ලොග් අඩවියට සුභ පැතුම්!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. https://scontent-ord1-1.xx.fbcdn.net/hphotos-xtl1/v/t1.0-9/1794628_1033130446747805_3227357138559565976_n.jpg?oh=e2fff94ca290ece60e7e9a72d1987234&oe=570BD215 මෙන්න ඇලේ සිතියමක්

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තුතියි

      Delete