Sunday, May 3, 2015

නේපාලය ගාධිමායි සහ හිමාල කන්දේ භූ තැටි මායිම

නේපාලයේ සිදුවූ රික්ටර් 7.9 ක භූමිකම්පාව මෑතකාලයේ නිච්චියටම අනාවැකියක් ලෙස කියන්න හැකි වූ එකක්. එම ස්ථානයේ භූ විද්‍යා ඉතිහාසය ගැන පරීක්ෂණ කරන විද්වතුන් අතීත භූ කම්පන වල රටාවක් අනුව 1934 කම්පනයෙන් වසර හැත්තෑවක් අසූවක් යද්දී තව එකක් වෙන්න ඕනේ කියා අනාවැකියක් පළකරනවා කම්පනයට  සතියකට  පෙර. මේක හරියටම පෙර  කම්පනයට වසර අසූවක් ගෙවෙන මොහොත. කම්පනය වෙන බව ස්ථිර නිසා ඔවුන් හදිසි සමුළුවකින් ඊට මුහුණ දෙන ආකාරය පවා කතා කළාලු [ලු කිව්වේ ඒ කතාව කිව්වේ නේපාල ජාතිකයෙක් නිසා]. එහෙම දැනගෙන හිටියත් මේ වගේ සුවිසල් කම්පනයකින් පස්සේ මිනිසාට කල හැක්කක් නැහැ. කම්පනයෙන් මියගිය නිවැරදි ගණන් දැනගන්න ලැබෙන එකක් නැහැ. මොකද සමහර පෙදෙස් වල ටිබෙටයේ චීන පාලනයෙන් පලා ආපු අනවසර අනාථයින් පදිංචිවී උන්නු නිසා. ඒ ගම්මාන වල කීයක් උන්නද කියන එකට නිශ්චිත සංඛ්‍යාලේඛන නැහැ. හොයා ගන්න තරම් කෙනෙක් ඉතිරි වෙලාත් නැහැ.

කම්පනය නිසා වෙලා තියෙන්නේ භූ පැළුම තවත් අස්ථාවර වීම කියා කියන්නේ. ඒ අනුව නේපාලයේ භූතානයේ ඉන්දියාවේ පකිස්තානයේ හෝ බුරුමයේ කම්පන වෙන්න ඉඩ තියෙනවා. රික්ටර් 7.9 ට පස්සේ 6.5 හා 6.6 පසු කම්පන දෙකක් වෙනවා. ඒත් බොහෝ දෙනා බයේ ඉන්නේ තවත් ලොකු එකක් වේවි කියා. ඒ වගේම කඳු නායයාම් නිසා වතුර එකතු වෙලා විශාල ගංවතුර ඇතිවීමේ අවදානමක් තියෙනවා. ගැස්සිච්ච පොළොවේ නායයාම් දිගටම වෙන්න පුළුවන්. ඒ වගේම ඇවලාන්ච් වෙන්නත් පුළුවන් ඉහල කඳු වල.

නේපාලයේ කත්මන්ඩු අගනුවර මීටර කීපයක් දකුණටත් මීටරයක් පමණ ඉහළටත් ඉස්සෙනවා. එවරස්ට් මුදුනත් මීටරයකින් උස ගිහින් [කම්පනය නිසා නායයාමක් නොවුනානම්]. කොහොමත් එවරස්ට් අවුරුදු දෙසියකදී විතර ඒ ගානට උස යනවා වර්තමාන වර්ධන වේගය සැලකුවොත්.

හිමාල කඳුවැටිය මීටර අටදාහට වඩා උස මුදුන් සියල්ලේ හිමිකරු. මම දන්නා තරමින් හත්දාහට වඩා උස මුදුනක්වත් ඊට පිටින් නැහැ. හිමාල කන්ද එක්තරා භූ විද්‍යා අසාමාන්‍යතාවයක් වන්නේ කන්දේ උස මගින් භු තැටියට දෙන භාරය සාමාන්‍ය අගය ඉක්මවා යන නිසා. කවදා හෝ දවසක එය ගුරුත්වය නිසා කඩා වැටෙන්න [Gravitational Collapse] ඕනේ. පොළොවේ කබොලේ ගනකම, පාෂාණ වල බර හා ගුරුත්වාකර්ශන බලය අනුව එවරස්ට් වගේ උස කන්දක් හැදෙන්නේ මේ වගේ බොහොම සුළු කාලෙකට පමණයි. හිමාලයේ වර්තමාන උස සීමාව වසර මිලියන 10 කට වඩා වයසින් අඩු "ලාබාල" අවස්තාවක්. භූ විද්‍යා වයස් අනුව තාවකාලික අවස්තාවක් ලෙස සැලකිය හැකියි. කන්ද කලප්ස් වෙන එක කාලයක් තිස්සේ වෙන්න නියමිත එකක්.

බොටම් ලයින් එක: ඔය හරියේ භූ කම්පන තව තවත් සිද්ධ වේවි. මේකෙනුත් කිසිම දෙයක් ස්ථාවර වී නැහැ

පහත  පින්තුර  ගත්තේ  මෙතනින් හා විකියෙන්.





නේපාල් භූමිකම්පාව හා ගාධිමායි නම් සත්ව බිලි පූජාව බොහෝ දෙනා සම්බන්ධ කරගන්නවා. ගාධිමායි නිසා භූ කම්පනය වුනා කියලා බෞද්ධ කර්ම කියවීමෙන් මේක පැහැදිලි කරන්න හදනවා. විශාල විනාශයක් වුනාම ඒක ආගමික ක්‍රමවේදයකින් පැහැදිලි කරන්න හදන එක සුලබ සිද්ධියක්. ඒ මිනිස්සු නරක නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා, උන්ගේ කරුමේ ආදී ලෙස මිනිස්සු කැෂුවල් තාලෙට ආගම අරගෙන මේවා පැහැදිලි කරන්නේ. එහෙත් ස්වාභාවික සංසිද්ධි වලට එහෙම දේවමය හෝ කර්ම බලපෑමක් නැති බවත් ඒවා වෙන්නේ ඒ මිනිසුන්ගේ වරදින් නොවන බවත්, ඒවා ලෝකයේ සාමාන්‍ය ධර්මතාවක් සේ සිදුවන බවත් අහඹු ලෙස කවුරුන් හෝ ඊට හසුවිය හැකි බවත් එක්තරා විද්‍යාත්මක දර්ශනයක් ගෙනාපු ඉපැරනි විද්‍යාඥයෙක් පවසා සිටියා. පාරම්පරිකව එයාට සිද්ධාර්ථ ගෞතම කිව්වට පස්සේ මිනිස්සු ගෞරවනීයව බුදුන් වහන්සේ කියා කිව්වා. බුදු දහමේ එන නියාම ධර්ම පැහැදිලි කිරීම අනුව මෙය උතු නියාමයක් හෙවත් ස්වාභාවික සංසිද්ධියක් ලෙසයි මට තේරෙන්නේ. බුදු දහම උතු නියාම හා කම්ම නියාම දෙකක් සේ සලකන බව නවය වසරේ බුද්ධාගම පොත හෝ සාමාන්‍ය පෙළ මට්ටමින් එහාට  නොකියවපු අපිත් දන්නවා. ඒත් ඔව්වා බුදු හාමුදුරුවෝ ම ආපහු කිව්වත් අපේ එව්වෝ පිළිගනීද?

අනික තමා ඔය ගාධිමායි නේපාල උත්සවයක් ලෙස සැලකීම වැරදියි. ගාධිමායි කියන්නේ ඉන්දියාව හා නේපාලය අද තියෙන ලෙස වෙන්කර නොතිබුණු කාලේ වර්තමාන නේපාලයේ ඉන්දීය බෝඩර් එක හරියේ ගමක උන්නු රදලයෙක් කල හොරකමක් - සමහරු කියන හැටියට හරක් හොරකමක් - සඳහා දඬුවම් නොලබුනොත් වාර්ෂිකව සතුන් බිලිදෙනවා කියා ඒ මනුස්සයා ගාධිමායි දෙවඟනට වූ පොරොන්දුවක ප්‍රතිපලයක්. මිනිහා බිලි පූජාව තම හිතවතුන්ටත් විකුනනවා. ඒ අයත් තමන්ගේ හිතේ තියෙන දේවල් කරගන්න සත්තු ගෙනත් බිලිදෙනවා. අර රදළයා මෙතන දේවාලෙකුත් හදනවා. ඒ හරහා මෙතෙක් හොරෙන් කාපු හරක්මස් මිනිහට නීත්‍යානුකූලව නොමිලේ ලැබුනා වෙන්නත් බැරි නැහැ. මොකද හොරුන් හොරෙන් ගන්න දේවල් නීත්‍යානුකූලව ගන්න උන්ටනේ දේවාල අයිතිකාරයෝ කියන්නේ. අදකාලේ ගාධිමායි වල මස් බාරගන්න වෙනම සමාගම් ඉදිරිපත් වන්නේ.

දැන් ඔය බිම්කඩ අයිති වන්නේ ටෙරායි කලාපයට. ටෙරායි කියන්නේ ඔය භූ පැලුම් නිසා ඉන්දීය තැටිය හිමාලයේ යටට රින්ගද්දී හැදුනු මුහුදු මට්ටමට ආසන්න පහත් බිම. මෙහි හිමාලයේ වතුරෙන් ගලන ගංගා හා යමුනා නදී දෙකෙන් සශ්‍රීක වෙන සරු ගොවිබිමක් හැදෙනවා. මේ තමා ඉන්දියාවේ ආර්ය ශිෂ්ටාචාරයේ තොටිල්ල. ටෙරායි කිව්වම උත්තර්කන්ද, උත්තර ප්‍රදේශ් බිහාර් හරහා බංග්ලාදේශය ආසන්නයට එනවා. ටෙරායි වල වැඩිහරිය තියෙන්නේ ඉන්දියාවේ. එහෙත් එහි සුළු කොටසක් නේපාලයේ දකුණු දේශ සීමාව දිගේ පටියක් සේ විහිදෙනවා. අන්න ඒ පටියේ තමා ගාධිමායි දේවාලේ තියෙන්නේ. ටෙරායි වල බෝඩර් එකේ දෙපැත්තේම ඉන්නේ ඉන්දියානු සම්භවය සහිත මාදේසි [මධ්‍ය දේශි] කියන මිනිස්සු. මේ අය චීන ආර්ය මිශ්‍ර කත්මන්ඩු ප්‍රජාවෙන් සපුරා වෙනස්. ඒ මිනිස්සු බෝඩර් එකවත් හරියට ගණන් ගන්නේ නැහැ. ගාධිමායි උත්සවයට එන්නේ වැඩිපුර ඉන්දියානුන්. මරන්න සත්තු වැඩියෙන් ගේන්නේ ඉන්දියාවෙන්. නේපාලය කරන එකම බලු වැඩේ තමන්ගේ වාසියට මේ උත්සවයට ලොකු කොක්කක් දාන්නේ නැති එකයි. එහෙත් එක අතකින් එය රටේ සුලුජාතියකගේ ආගමික අනන්‍යතාවය සම්බන්ධ කතාවක් [මම පුද්ගලිකව ඔය "ආගමික අනන්‍යතාවය යොදාගෙන කුප්ප වැඩ කිරීමට" එකඟ නැති වුනත්]

මේ සිතියම විකියෙන්. ටෙරායි කියන්නේ කොළපාට කෑල්ල. මායිම කහපාටින්.


මුහුදු මට්ටමෙන් මීටර එක්දාස් පන්සීයක් උස කත්මන්ඩු සහ ඊටත් ඉහල කඳුවල වසර දහස් ගානක තිබ්බ රාජ්‍ය අනාර්ය එකක්. චීන සම්භවයෙන් එන කිරාට [හෙවත් ආර්ය බසින් යක්ඛ] ප්‍රජාවක් එහි පාලනය ගෙනියන්නේ. ආර්යයින් තමන් නොවන හැමෝටම යක්ඛ කිව්ව බවක් පෙනෙනවා. රාවණාගේ ගෝලයින්ට "අවදි වෙන්න " අවශ්‍ය නැහැ ඒ නිසා. මේ නේපාල යක්ඛ හෙවත් කිරාට ප්‍රජාව පැහැපත් චීන ලකුණු සහිත අයයි. ඒ කත්මන්ඩු හා කඳුකර ජනයා ගාධිමායි එකට කැමති නැහැ.

දැන් භූ කම්පනයෙන් මැරුණේ කවුද? ගාධිමායි කරන පහත්බිම් වල මිනිස්සුද? නැතිනම් ඊට එරෙහි කඳුකර මිනිස්සුද?

2009 ගාධිමායි ඝාතන ලෝකයට රිදෙන්න වදිනවා. ඒ නිසා සත්ව හිංසන  විරෝධී 
කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා 2014 උත්සවයට ඉන්දියාවෙන් ගෙනෙන සතුන් බෝඩර් එකෙන් ගේන්න නොදෙන තැනට දෙරටේ බලධාරීන් තල්ලු කරනවා. ඒ නිසා 2014 ගාධිමායි එකේ මරන්නේ පෙර උත්සව වලින් බාගෙටත් අඩුවෙන්. දැන් මෙන්න ඉන්දියන් කාරයෙක් කියනවා "අන්න දැක්කනේ බිලිපූජාව අඩු කල නිසා දෙවඟන කෝප වෙලා " කියලා.

මිත්‍යා විශ්වාස කියන්නේ සුදු හිස් කඩදාසියක දෑස පියාගෙන අඳින බලි කුරුට්ටක්. හැරෙන හැරෙන අතට කරකැවිය හැකියි.

කෙසේ වෙතත් මේ තුලින් හෝ ලෝකයා ගාධිමායි ගැන දැනගෙන නේපාල වාසීන්ට එය තහනම් කරන තැනට එන්න කටයුතු සලසන්නේ නම් එය සතුටට කාරණයක්. එහෙත් ගාධිමායි තිබ්බත් නැතත් තාවකාලිකව ඉහලට එසවුණු දිනෙන් දින බරින් වැඩිවන අස්ථාවර හිමාල කඳුවැටියේ ජීවිතවල හෙට දවස එක සේ ම අවිනිශ්චිත වේවි.

22 comments:

  1. මේ ගැන නම් ඉක්මන් තීරණ ගත යුතුයි....................

    ReplyDelete
    Replies
    1. ලොකු චොයිස් එකක් නැහැ. එවරස්ට් සයිස් ප්‍රශ්නයක්

      Delete
  2. හරක් මැරිල්ල සහ භූ කම්පනය පටලවාගන්නෙ බුද්ධාගම හරියට නොදන්න බෞද්ධයො.
    අර කන්ද ඉස්සෙන සීන් එක තවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
    ඔය කියන්නෙ ආනතව එකිනෙක මත බැලන්ස් වෙලා තියනව වගේ කතන්දරයක්ද?(පොත් දෙකක් නොවැටෙන්න තිව්ව වගේ)

    ReplyDelete
    Replies
    1. ඉන්දීය භූ තැටිය මැඩගස්කරේ පැත්තේ සිට තරමක් වේගයෙන් [සාපේක්ෂව] ඇවිත් යුරේසියානු තැටියට වදින්නේ. එතැනදී එක භූ තැටියක් අනිකේ යටට යනවා. ඒ භූ තැටිය යද්දී අනික එසවෙනවා. සිම්ප්ලි වෙරළ එසවෙනවා.

      ඉන්දීය භූ තැටියේ උතුරු කෙළවර වඩාත් ඝන පාෂාණ තිබ්බ නිසා වඩාත් ලිහිල් පාෂාණ තිබ්බ ටිබෙටයේ "වෙරළ" [ඒ කාලේ] උස්සගෙන ඉන්දියන් තැටිය තමා යට යන්නේ. යටයන භූ තැටියේ කෙළවර පහත්බිමක් හැදෙනවා ගංගා නදිය ගලා යන නිම්නය එයයි. ඉන්දියාවේ රටේ මැද කොටස [උත්තර ප්‍රදේශ් බිහාර්] පාතයි වටේ සමහර පැති වලට වඩා.

      අනිත් තැටියේ වෙරළ තමයි උඩ ගිහින් හිමාලය හැදෙන්නේ ඒ නිසා හිමාලය පුරාම බෙල්ලන් වැනි මුහුදු සතුන්ගේ ෆොසිල සහ හුණුගල් පාෂාණ වලින් හැදුනු පර්වත [වෙරළේ තිබ්බ] හමුවෙනවලු. එක උදාහරණයක් තිබ්බා ඩේවිඩ් අටෙන්බෝරෝ ගේ The Living Planet සීරිස් එකේ පළමු එපිසොඩයේ . පොර නේපාලෙන් හොයා ගන්න බෙල්ලෙක්ගෙන් තමයි කතාව පටන් ගත්තේ. ඕකේ වී 15 හරියේ බලන්න

      භූ කම්පනය වෙන්නේ පාෂාණ ස්මූත්ලි ලිස්සන්නේ නැතුව හිර වුනාම. කම්පනයත් එක්ක ඒ ලිස්සීම ක්ෂණිකව වෙනවා. ඒ අනුව තව ටිකක් ඉන්දියාව ආසියාව තුලට යනවා. එතැනදී නේපාලය හා හිමාලය [ආසියාවේ ඉපැරණි වෙරළ] තව ටිකක් උස යනවා. මෙතැනදී දකුණට තල්ලු වීමකුත් වෙලා තියෙනවා. සමහරවිට ඒ භූ තැටිය එන්නේ දකුණට වෙන්න ඇති.



      Delete
    2. මම පින්තුරයක් එකතු කළා පෝස්ට් එකට

      Delete
    3. නියමයි.වටිනා විස්තරයක්.

      Delete
  3. භූ තැටි එහෙ මෙහෙ වෙන එක ගැන පොඩි රූප සටහනකුත් තිබ්බ නම් තවත් අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරි මම තව කීපයක් එකතු කළා. දැනට දාපු තරම ඇති නේද අපි කතාකරන කොටසට

      Delete
    2. මේ තියෙන්නෙ බටර් බනිස් වගේ... හෙහ් හේ..

      Delete
  4. මේ වටිනා ලිපිය කියවන්ට ලබාදීම වෙනුවෙන් සුජීවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තූතියි. ඉතිරි ලිපිත් කියවන්න ඉඩ ඇති වෙලාවක

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේ තියෙන්නේ ලඟදි බලන්න ගිය ප්‍රදර්ශනයක, අවුරුදු මිලියන 130 කලින් ලෝකේ තිබ්බ හැටි. මේක සුජීව දාලා තියන මිලියන 71 පින්තූරෙත් එක්කත් ගැලපෙනවා. මේ පින්තූරේ ලංකාව හොයන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ගොන්ද්වානා ලන්තය කැඩිලා ඉන්දු ඕස්ට්‍රේලියා තැටිය වෙන්වී යන කාලය. ලංකාව තියෙන්නේ මැඩගස්කරේ ගිනිකොන වෙරළට ෆිට් වෙලා. ඉන්දියාවේ බටහිර වෙරළත් මැඩගස්කරයට තමා ෆිට් වෙලා තිබිලා තියෙන්නේ. ඕක නොදැන මිනිස්සු මවාගත්තු විකාර නිසා රටක යුද්ධයකුත් වුනාලු. කියවන්න ලෙමුරියා හා හෝම්ලෑන්ඩ්

      Delete
  7. ඊයෙ රෑ මම හිටියෙ නුවර අඹතැන්න පන්සලේ..අපි කිහිප දෙනෙක් පොඩි හාමුදුරුවො එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා..මගේ යාලුවා ඒ පන්සලේ හොද දායකයෙක්..හාමුදුරුවො කතාව අතරමැද ඔය ගාධිමායි ගැනත් කියන්න හැදුවා ..මම එතකොට සීන් එක ගැන විකිපීඩියා එකෙන් දැනගෙන උන්නෙ..ඔය උත්සවේට එන සියයට හැත්තෑවක් විතර ඉන්ඩියන් අය කියලා මම දැනං උන්නා...
    සර්දාවෙ හැටියට මට කටවහන් ඉන්න හැකි වුනත් මම පැනලා කිව්වා හාමුදරුවනේ එන සෙනගින් සියයට හැත්තෑවක් ඉන්ඩියන් කාරයො..නේපාලෙ හරි දුප්පත් රටක් සහ ඉන්දියාවට සාපේක්ෂව බලය අඩු රටක්..ඒ නිසා නේපාලයට මේක නවත්වන්න අමාරුයි... ඒ වගේම නේපාල ජාතිකයෝ මේකට විරුද්ධයි කියලා...ඒ ගමන හාමුදුරුවො ඒක පිලිගත්තා..

    නැත්තං ඕකත් දිට්ඨදම්ම වේදනීය කරුමෙ එකවුන්ට් එකට බැරවෙනවා..

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවොත් වරද්ද ගන්නවනම් ඉතින් ...

      Delete
  8. හරිම වටින බ්ලොග් එකක් වගේම මේක බොහොම හරවත් රසවත් ලිපියක්. මේ වගේ දේවල් බ්ලොග් අවකාශයේ දැක්කම හරි සතුටක් දැනෙනවා.
    ස්වභාවික විපත් අපිට නතර කරගන්න බැරි උනාට ඒවා ගැන අනාවැකි පලකරන්න හැකිවීම කොයි තරම් වටිනවද?...නේපාලය මේ වගේ තත්වයකට මුහුණ දෙන්න සූදානමක් නොතිබුන නිසා අනතුරට පත්වූවන් වැඩි උනාට මේක කලින් ප්‍රකාශ කරන්න හැකිවීම ලොකු ජයග්‍රහණයක්.
    ජපානය වගේ නිතර භූ කම්පන වලට ලක්වන රටවල ඒවාට පෙර සූදානමක් තියෙන නිසා සිදුවෙන අනතුරු මීට සාපේක්ෂව අඩුයි. පාසැල් අවදියේ ඉදලම කෘතිම කම්පන ලබාදීලා ආරක්ෂිත ක්‍රමෝපායන් දරුවන්ට පුරුදු පුහුණු කරවනවා. ජපානයේ හැම පසැල් දරුවෙකුගෙම මේසෙ භූකම්පනයකදි පලදින ආරක්ෂිත හිස්වැස්මක් එල්ලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවාට. ජපානය එක්ක අපිට නේපාලය සංසන්දනය කරන්න බැහැ. රික්ටර් 7.9 කින් බේරෙන්න තිබ්බා ගොඩනැගිලි ශක්තිමත්නම්. එහෙත් නේපාලයේ ගෙවල් යන්තම් අටවාගෙන ඉන්නේ.

      ඔව් මිනිසුන්ට අනතුරු අඩුකරගන්න පුළුවන්. වෙන කළහැකි දේකුත් නැහැ

      Delete
  9. රික්ටර් 7.4 ක කම්පනයක් කත්මන්ඩු සිට කිමි 80 ක් නැගෙනහිරට වන්නට සිද්ධ වෙලා තියෙනවා. නරක ආරංචි අහන්නට නොලැබේවා කියා පතමු

    ReplyDelete
  10. බොහොම හොඳ විද්‍යාත්මක සාධක සහ වඩාත් නිවැරදි තාර්කික කරුණු ආධාර කරගනිමින් ලියන ලද, ශාස්ත්‍රීය ලිපියක් ලෙස, ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
  11. සුපිරි විස්තරයක්.පට්ට සතුටුයි කියවන්න ලැබීම ගැන

    ReplyDelete
  12. Nepal tsunamiya nisa everest kanda 1m kin pahalata giya welawe lokaye usama kanda une mona kandada?

    ReplyDelete