Sunday, September 6, 2020

ඩොලමයිට් සහ ජලාශ හෙවත් වයොන්ට් වේල්ලේ කතාව


ප්‍රශ්නයක්...

1. මිනිසා විසින් නිර්මාණය කරගත් එකම සුවිසල් සුනාමිය කුමක්ද?

2. කිනම් රටක කිනම් ස්තානයකද?

3. සුනාමිය ඇතිවන්නට බලපෑ මානව ව්‍යාපෘතිය කුමක්ද?

4. වැඩේ පටන් ගද්දිම වෙන්න යන දේ ගැන සලකුණු පහල වෙනවා. ඒ මොනවාද? ඒ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවාද?

5. මෙම ව්‍යාපෘතිය තුල එකිනෙකාට වෙනස් විෂයන් දෙකක නියැලෙන ප්‍රසිද්ධ පියපුතු දෙපොළක් ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ ව්‍යාපෘතිය ගැන දරන්නේ ප්‍රතිවාදී මත. එක්කෙනෙක් අනිකාගේ මතය යටපත් කරනවා එහෙත් හරි ගියේ ඒ මතය. මේ දෙන්න කවුද? දරණ තනතුරු හා විෂයන් මොනවාද? දෙන්නගේ මත දෙක මොනවාද?

6. සුනාමියේ ප්‍රතිපලය ලෙස වන හානිය කෙබඳුද?

7. හානියෙන් පසුව ඒ සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය කෙබඳුද?

[බෝනස්] 8. දැනට දන්නා තරමින් මෙම අනතුර වෙන්න බලපාන සුවිශේෂී භූ විද්‍යා සාධකයක් තියෙනවා. ඒ කුමක්ද?

--------------------

කතාව ඉතාලියේ වයෝන්ට් [Vajont/Vaiont] බැම්ම සහ විනාශය ගැන.

ඉතාලියේ වයෝන්ට් හි ඉතා ගැඹුරු නිම්නයක බැම්මක් බන්දලා ජල විදුලි වැඩසටහනක් පටන් ගන්නවා සමාගමකින්. ඉතාම ශීඝ්‍ර බෑවුම් තියෙන හුණුගල් ඉවුරු දෙකක් අස්සේ මෙහෙම එකක් හදන්න හරි අවසරයක්වත් නැහැ කියලයි කියන්නේ. එහෙත් දෙවෙනි ලෝක යුද්ධය හා පසුකාලින දූෂිත දේශපාලනය කාර්මික විප්ලවය නිසා ආ බලශක්ති අවශ්‍යතා ආදිය නිසා වැඩේ කෙරෙනවා. ඉතාලියේ ඉන්න හොඳම සිවිල් ඉංජිනේරුවෙක් ලීඩ් කරන්නේ උස මීටර දෙසිය පනහට වඩා වැඩියි, එවකට [1960 අවට] ලෝකයේ උසම වේල්ල.

Vajont Dam (Italy, 1963) | Case Study | ASDSO Lessons Learned

වැඩේ පටන් ගන්න කොටම ඒ ආසන්නයේ වෙනත් ජලාශයක ඉවුරක් කැඩිලා සුනාමියක් එහි හැදෙනවා එහෙත් ඔවුන් එය ගණන් ගන්නේනැහැ. වයෝන්ට් හදලා පුරවන කොට වයෝන්ට් වලත් එලෙසින්ම පොඩි සුනාමියක් එනවා. කඳු පුපුරා වටේ පිටේ ගොඩනැගිලි කැඩෙනවා. අහල පහල කුඩා නගර වාසින් මීට විරුද්ධයි කොහොමත්. ඔවුන් දකිනවා පොලොව නායයන සලකුණු. මේවා ගැන කතා කිරීම ඉතාලියේ සමාජ සංවර්ධනයට බාධා කිරීමක් ලෙස සළකා පත්තරකාරයින්ට එරෙහිව කටයුතු කරන එක තමා වෙන්නේ. සමාගම සැහෙන්න බලවත් නිසා.

වේල්ල හදලා වතුර පුරවන්නේ ඒ ගැන තැකීමකින් තොරව. මේ අතර එක ඉවුරක කන්දේ බොහොම ඈතින් විශාල පැල්මක් එනවා. හොඳට පෙනෙන පරිදි. ඒ පැත්තේ නිවාස පාසල් පුපුරා යනවා. පැල්ම එක්ක ඇති කඳු කොටස සෙමින් පහලට රූටා යන්න පටන් ගන්නවා.

මේ සියල්ල නිසා සමාගම ම භූ විද්‍යාඥයින්ගේ සහය ගන්නවා. භූ විද්‍යාඥ පැනල් එකේ ලාබාල භූ විද්‍යාඥයෙක් තමා අර ප්‍රධාන ඉන්ජිනේරුවාගේ පුතා. ඔහු තමා කඳු වල ඇවිදලා සර්වේ එක කරන්නේ. ඔහුගේ මතය අනුව පාෂාණ ඝන මීටර මිලියන 200 ඉක්මවා වැටිලා මීටර දෙසීයකට වඩා උස සුනාමියක් හැදෙනවා ජලාශයේ. ඔහු කියන මතය අනුව පියාගේ ලෝක වාර්තා ව්‍යාපෘතිය අතහැර දමන්න ඕනේ. මේ ගැන පියා සතුටු වන්නේ නැහැ. සමාගම අනිත් භූ විද්‍යාඥයින්ගේ මතත් අරගෙන ඉතාම අඩුම අවදානම තියෙන මතයට තමා තැන දෙන්නේ.

සිවිල් ඉංජිනේරුවා තම පුත්‍රයා වැරදියි කියා ඔප්පු කරන්න පර්යේෂණ කරනවා. ඔවුන් වතුර මට්ටම අඩු කළාම කන්ද රූටා යාම අඩුවෙනවා. ඒ අනුව ඔවුන් හිතනවා වතුර මට්ටම අඩු හා වැඩි කරමින් ටික ටික ඉස්සරහට ගෙනත් ඒ කන්ද හෙමිහිට වට්ටන්න තමන්ට හැකියි කියා. එනම් නායයාම පාලනය් කරන්න තම දැනුමෙන් හැකියි ඒ නිසා පාලිත තත්ත්ව තුල අනතුරක් නොවී කරගන්න පුළුවන් කියා. ඒ වගේම නායයන ගැඹුර මනින්න උත්සහ කරනවා. එතැනදී ඒ ගැන හරි දත්තයක් නොලැබෙන නිසා සමාගම තීන්දු කරනවා නායයාම වෙන්නේ බොහොම උඩින් කියා. ඇත්තෙන්ම දත්ත නොලැබෙන්නේ ඔවුන් හාරපු ලොකුම දුරටත් යටින් නාය යන නිසා.

කෙසේ වෙතත් අඩු අනතුරක් තක්සේරු කල භූ විද්‍යාඥයින් හා පුත්‍රයා වැරදියි නායයාම් මට පාලනය කල හැකියි කියන සිවිල් ඉංජිනේරුවා එක්ක සමාගම ඉස්සරහට යනවා. ඒ අතරේ ඒ සිවිල් ඉංජිනේරුවා මැරෙනවා. ඊට පස්සේ එන කෙනා සත්‍ය දත්ත යට ගහපුවා දන්නේ නැහැ. ඔහු සමාගම දෙන පින්තුරෙන් පටන් ගන්නේ. ඔහුත් දත්ත මකලා තියෙනවා. මේ ආකාරයට සමාගම කරන ගණනයක් අනුව වැඩිම සුනාමි උස එන්නේ මීටර විස්සයි.

එක අවස්තාවක කන්ද පහලට රූටා යාම වැඩි වෙනවා. තත්වය පාලනය කරගන්න බැහැ කියා දැක්කම කට්ටිය අර පෙර ගණනය කල මීටර විස්සේ සීමාවට වඩා පහලට වතුර මට්ටම බස්සනවා. නාය යන මොහොතේ මේ ඉලක්කම් ඔවුන් කෙතරම් විශ්වාස කලාද කිව්වොත් ඒ ටීම් එකම වේල්ල මත සිට සුනාමිය නරඹන්න සෙට් වෙනවා. නාය යන බව දැකලත් කාටවත් අනතුරු අඟවන්නෙත් නැහැ. සියල්ල තම ඉලක්කම් තුල වේවි කියා හිතන්නේ.

එහෙත් නාය යන හුණුගල් ස්තරය පවතින්නේ මැටි ස්ථරයක් මත. මේ මැටි ස්තරය මෙයාලට අහුවෙන්නේ නැති තරම් යට තියෙන්නේ. ජලාශයේ වතුර නිසා මේ මැටි ස්ථරය ඇදිලා ඇදිලා එක පාරට කැඩෙනවා, ඒ මොහොතේ සිට ඒ කඳු කොටස තවත් මොකකින්වත් රැඳිලා නැහැ, චලිතය මඩ එක්ක යන විස්කෝස් එකක් නොවේ ගුරුත්වය සමග වැටීමක්. ඒ නිසා නායයාම් වෙන්නේ හිතුවට වඩා වේගයෙන්. සාමාන්‍ය නාය යාමක් වගේ නොවේ කන්ද කඩා වැටීමක්. තත්පර 45 කදී මුළු කන්දම බිම. ඝන මීටර මිලියන 270ක් පමණ. සුනාමිය මීටර දෙසිය පනහක් විතර.

මෙන්න  මේ මැටි ස්තරයේ  ප්‍රතිරෝධය  සහ  බිද දැමීම  තමයි භු කම්පනයක් වගේ ක්‍රියා කරන්නෙ.  ඒක තමා  අනතුර ලොකුවෙන්න. පහත පින්තුරේ තියෙන්නේ හුණුගල් තට්ටුව රූටා ගියපසු ඉතිරි කඳු මුහුණත.




ජලාශයේ බඳ සැහෙන්න පිරෙනවා. පළමු විනාශය අනිත් ඉවුරට. මීටර දෙසියගානක් උසට වතුර ඉහල යනවා. ඒ පැත්තේ ගම්මාන වනසමින්. ඒ රැල්ලම එනවා බැම්මට. මීටර විස්සේ ගැප් එක උඩින් මීටර දෙසිය ගානක් උසට වතුර එනවා අර බලන්න ආපු ටීම් එකත් යට කරගෙන. ඒ වතුර යන්නේ පහල නගර දිහාට. බැම්ම යට පැත්තේ මීටර 40 ක් ගැඹුර 80ක් පළල වලක් තිබුනලු වතුර වැටුණු තැන. පහල සුනාමිය මීටර 70 වගේ ගානක්. පහල නගර වල ගන්න දෙයක් ඉතිරි වන්නේ නැහැ. මුළු ජීවිත හානිය 2000 ඉක්මවනවා. බැම්ම නම් කැඩෙන්නේ නැහැ.

ආණ්ඩුව හා සමාගම් සිද්ධිය යට ගහනවා. ආණ්ඩුවේ ලේඛන වල තියෙනවලු එච්චර එකක් වෙලත් බැම්ම කැඩුනේ නැහැ කියා දෙඩු වහසිබස්. විපතට පත් අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන අගමැති වරයා චන්දෙන් පැරදුනාම ඊ ගාවට නීතිඥයෙක් ලෙස සමාගාම් වෙනුවෙන් නඩුවට පෙනී ඉන්නේ. ඔහු බොහෝ දෙනෙකුගේ වන්දි අහිමි කර, අනිත් වන්දි අඩුකර, දඬුවම් අවම කරනවා. එක්කෙනෙක් අවු දෙකකට හිරේ යනවා එපමණයි.

එදායින් පස්සේ වයෝන්ට් වල කවදාවත් වතුර පුරවන්නේ නැහැ. බැම්ම ඔහේ අදටත් තියෙනවා, 

පියාට එරෙහිව ගිය භූ විද්‍යාඥයා එදුවාදෝ සෙමෙන්සා ඉතාලියේ ඉහලම භූ විද්‍යාඥයෙක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් කෙනෙක්. ඔහු පසුව මේ වගේ නායයාම් රාශියක් වලක්වලා තියෙනවා. සම්මාන දිනු කෙනෙක්.

ප.ලි. 2015 දි  ෆේස්බුක් සමූහයක අහපු  ප්‍රශ්නයක් නැවත  ඉස්මතු වන්නෙ  වික්ටෝරියා  ජලාශය ආශ්‍රිත භු කම්පන වාර්තා  වීම නිසා.  මේකෙන් මම කියන්නෙ නෑ  මේ  ක්‍රියාවලිය  වික්ටෝරියාවෙත් වේවි කියල. ඒ වගේම  නෝට්  කරන්න ඕනෙ  මේක  වෙන්නෙ  වයොන්ට් හදාපු  අලුතම, ඒ කිව්වෙ  ඉන්ෆැන්ට් මෝටලිටි  තත්වයක්, වික්ටෝරියා  හදල  අවු  තිස් පහක් නිසා  තත්වය වෙනස් කියල. ඒ වගේම එහෙම  අනතුරක් වෙන්න කළීන් භුමියේ සාධක රාශියක් පේනවා.  ඒ   වුණත්  වික්ටෝරියා වගේම  අනිකුත් ජලාශ  වෙනුවෙනුත් මේක ලියන්න ඕනෙ.  හදන්න එපා කියල නම් නෙවි කියන්නෙ.  හදන්නෙ  විද්‍යා  දැනුමෙන් නෙ. භු විද්‍යාවත්  විද්‍ය දැනුමක්.  ඒකත්  කන්සල්ට් කළ  යුතුයි. භුමියේ පෙන්වන  සළකුණු  ගැන සැලකිළිමත්  වෙන්නත්  ඕනෙ.

3 comments:

  1. වික්ටෝරියා වේල්ල හදන කාලෙ වෙනකොට ඉවුරු වල ස්ථායිතාවය තිර්ණය කරන දැනුම සහ තාක්ෂණය '60ගණන් වලට වඩා ඉදිරියෙන් තියෙන්න ඇති කියල සැනසෙන්නයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකෙන් මම කියන්නෙ නෑ මේ ක්‍රියාවලිය වික්ටෝරියාවෙත් වේවි කියල. ඒ වගේම නෝට් කරන්න ඕනෙ මේක වෙන්නෙ වයොන්ට් හදාපු අලුතම, ඒ කිව්වෙ ඉන්ෆැන්ට් මෝටලිටි තත්වයක්, වික්ටෝරියා හදල අවු තිස් පහක් නිසා තත්වය වෙනස් කියල. ඒ වගේම එහෙම අනතුරක් වෙන්න කළීන් භුමියේ සාධක රාශියක් පේනවා. ඒ වුණත් වික්ටෝරියා වගේම අනිකුත් ජලාශ වෙනුවෙනුත් මේක ලියන්න ඕනෙ. හදන්න එපා කියල නම් නෙවි කියන්නෙ. හදන්නෙ විද්‍යා දැනුමෙන් නෙ. භු විද්‍යාවත් විද්‍ය දැනුමක්. ඒකත් කන්සල්ට් කළ යුතුයි. භුමියේ පෙන්වන සළකුණු ගැන සැලකිළිමත් වෙන්නත් ඕනෙ.

      Delete
  2. ලෝකෙ ඕනි තරම් වේලි ඉදිකරල තියනව. එකක් දෙකක් ඔහොම සීනුත් වෙනව... ඒව පෙන්න පෙන්න රට්ටු තුල භීතිකා මවන්නෙ නැතුව හිටු....

    ReplyDelete