Saturday, February 16, 2019

සරස්වතී දෙවඟන සොයා බිම කණින ඉන්දියානුවෝ

සරස්වතී කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් පිරුණු එක්රැස් වුණු විල්ලුව, පිරුණු තැනැත්තිය කියන එකට. ඒ අර්ථය ක්‍රමයෙන් විකාශනය වෙලා දැනුම සපිරි, පාරිශුද්ධ දැනුම, වචනය හෙවත් ප්‍රකාශනයේ පරිපූර්ණත්වය, ප්‍රකාශනයේ පාරිශුද්ධත්වය, කලාව කියන තැනට එනවා.

සරස්වතී කියන්නේ ගඟක්. භාරතීය ශිෂ්ටාචාරයේ මුල්ම යුගවල වේද ග්‍රන්ථ වල මුල්ම හරියේ සරස්වතී කියන්නේ දිය පිරුණු ලොකු විල්ලු තියෙන ගඟ. ඒ ගඟේ පිරුණු බව සහ පාරිශුද්ධත්වය සංකේතකරණය කරමින් හින්දු දර්ශනයේ පවතින ස්වභාවයේ එසෙන්ස් එකක් සංකේතිය නිරුපනය කිරීමේ "ආත්ම" කරණය කිරීමේ ලක්ෂණය තුල ඒ පිරුණු පාරිශුද්ධ ගංගාව තමයි සරස්වතී දෙවඟන ලෙස විකාශනය වන්නේ. වේද ග්‍රන්ථ වලත් මුලින්ම ගඟ, පසුව ගඟ නම් දෙවඟන වෙලා පස්සේ පරිපුර්ණ සහ පාරිශුද්ධ වචනයේ, ප්‍රකාශනයේ සහ කලාවේ දෙවඟන දක්වා සරස්වතිය එනවා. ත්‍රි දේවි නමින් ලක්ෂ්මි [ධනය] සහ  පාර්වතී [උත්සාහය] සමග  මිනිස් චර්යා නිරුපනය කරන කාන්තා චරිත තුනෙන් එකක් ලෙස හින්දු පුරුෂ දේව ත්‍රිත්වය [විශ්වයේ බිහිවීම, පැවැත්ම  සහ  විනාශය] සමග මනුෂ්‍යයා නිර්මාණය කිරීමට සරස්වතිය දායක වෙනවා. හින්දුන් දෙවියන් කියන්නේ ස්වභාවයේ එසෙන්ස් එකකට.

කෙසේ වෙතත් ශිල්පයට කලාවට දරණ සම්බන්ධය නිසා සරස්වතිය ඒ ගඟෙන් ස්වායත්ත වෙලා මිනිස් රූපික දෙවඟනක් වශයෙන් තනිව සමාජගත වෙනවා උප ඉන්දීය සංස්කෘති වල. රත්මලානේ තෙලවල පාරට හැරෙන හන්දිය වෙනකම් ඉන්දියාවේ සරස්වතී ගඟ ගලන්නේ එහෙම. රත්මලානට ආවේ මිනිස් රූ ගත් දෙවඟනක් මිස ගඟක් නෙවි. හැබැයි ඇත්තටම සරස්වතී කියන්නේ දේව රූපික ගඟ.

සරස්වතී ගංගා සහ යමුනා එක්ක උත්තර්කන්ද් ආසන්නයෙන් පැන නගින්නේ පොලොව යටින්. සරස්වතී හිස එසෙව්වා කියා තැනක් වෙනම ආගමික වන්දනාවට ලක් වෙනවා. ඒ ගංගා ත්‍රිත්වය සොයුරියන් සහ දෙවඟනන් ලෙස සැලකෙන්නේ ඒ වතුර මාතෘ තත්වයෙන් සලකන්නේ ඉන්දීය ශිෂ්ටාචාරවල පදනම ඒ ගංගා නිසා. වේද ග්‍රන්ථ අනුව සරස්වතිය ගලන්නේ රාජස්ඨාන කාන්තාරයට. කාන්තාරය තුල සැගව ගොස් ඉවර වෙන ගඟ අවසාන අවධියේ තියේ කියල ඒ කාලේ කියන්නේ. දැන් සරස්වතී නමින් ගඟක් නෑ.

සරස්වතී වසර දොළොස් දාහකට පෙර බොහෝ පළල දැවැන්ත ගඟක් ලෙස උත්තර්කන්ඩ් හර්යානා රාජස්තාන් ඉන්දු පකිස්තාන් දෙකේම පන්ජාබ හරහා ගොස් ගුජරාටයෙන් මූදට වැටුණා කියනවා. ඒ සරස්වතියේ ශේෂ මත ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන එකේ සමහර නගර බිහි වුනා කියනවා. වේද යුග වෙද්දී එය රාජස්තානය කරා පමණක් ගලන්න ඇති. විද්‍යාඥයින් හිතන්නේ භූ ගර්භමය හේතුවක් නිසා ගඟට සැපයුම් දෙන ග්ලෙසියරයක් අවහිර වුනා කියල.

2002 බලයට එන බී ජේ පී විශාල මුදලක් දාල සරස්වතී සෙවීම් වැඩසටහන අරඹනවා. ලංකාවේ වගේ උප ඉන්දීය සංස්කෘති වලට හුදෙක් දෙවඟනක් වුනාට හින්දු රාශ්ට්‍රිය ස්වයන්සේවක් සංග් වගේ මූලධර්මවාදී හින්දුන්ට ඒ දෙවගන සහ ගඟ කියන්නේ එකක්. ස්වභාවයේ මිනිස් හැසිරීමේ එසෙන්ස් එකතු කර ඔවුන්ගේ දේව සංකල්ප හැදෙන්නේ. ඉතින් ඔවුන්ට සරස්වතී ගඟ ඕනේ. ඒ තමා සරස්වතී.

ඒ ප්‍රොජෙක්ට් එක රීශ්රායෙල් චන්ද්‍රිකා මගින් ගන්න භූ ලක්ෂණ සහ ශාඛ සැකසුම චායාරූප අනුව ගඟ කියල එකක් මාක් කරනවා. ගඟ දිගේ පස සහ වැවෙන ගස් සුවිශේෂී කියල ඒ අනුව තවම ගඟේ ශේෂයක් පවතී කියල ඔවුන් කියනවා. මෙතන ආගමික සහ දේශපාලන දැඩි මත වලින් විද්‍යාව දූෂණය වෙනවා. ඒ නිසා මෙලෝ දෙයක් ෂුවර් නෑ.

බී ජේ පී ගෙදර ගිය ගමන් කොන්ග්‍රසය ප්‍රොජෙක්ට් එක නවතනවා. සරස්වතී ගඟ සම්පුර්ණයෙන්ම නොපවතින්නක් කියල කියන විද්වතුන් ඉස්මතු වෙනවා. ආයෙම එතනත් දේශපාලනය සහ ආගමික විරෝධය නිසා විද්‍යාව දූෂිත වෙලා තියෙන්නේ.

මෝධි දිනපු ගමන් සරස්වතී සොයා පරණ සිතියම දිගේ හාරන්න පටන් ගන්නවා. රුපියල් කෝටි ගණනක් දාල කරන මහා ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ හාරන අයට මීටර දහයක් පමණ යටදී වතුර හමුවෙනවා.

සරස්වතී දෙවඟන යලි ඉපදෙනවා, වේද ග්‍රන්ථ අනුව ඇය පොලොව යටින් ඇවිත් හිස එසෙව්වා කියන තැන ආසන්නයේදීම. ඒ නිසාම මුස්තාපාබාද් කියන ඒ ගමේ නම එක පාරට සරස්වතී නගර් වෙනවා. පළාතේම මුස්ලිම් උන්ගේ කනට ගහල හින්දු ආගමික අන්තවාදය නැගිටිනවා. අයිරණිය කියන්නේ ගඟ කියල හමුවෙච්ච වතුර හමුවන උදලු පාර ගහන්නේ පොලොව හාරන තැන වැඩ කල මුස්ලිම් සේවිකාවක්.

හැබැයි ප්‍රතියෝජක පිල කියන ආකාරයට මේ තරම් යටදී කෝමත් භූගත ජලය ලැබෙනවා. අනික මේක ගලන තරම් ලොකු වතුරක් නෙවි. ඒ නිසා මේක සරස්වතී නෙවි. මේ කාරනේදී හින්දු පූජකයිනුත් ඒ මතයට සහය දෙනවා. කාව රවටුවත් දෙවියන් රවටන්න බැරි නිසා. ඒත් බී ජේ පී ප්‍රාන්ත සහ ජාතික රජයන් කොහෙත්ම ඇහුම්කන් දෙන්නේ නෑ. කිමි පනහක් සරස්වතී හාරන්න තීන්දු කරනවා. ඒ හෑරුවම පිරෙන්න ස්වාභාවික ලෙස වතුර නැති නිසා ඉහලින් වේල්ලක් බැඳලා කෘතිමව ජලය දෙන්න. බේසිකලි උන්ට ඕනේ කෘතිමව හෝ සරස්වතී හදන්න.

මේ වීඩියෝ එක ටිකක් පරණයි, සරස්වතී කියල අපි දන්නා තෙලවල හන්දියේ ඉන්න මනුස්ස රූපී කෙනාගෙන් එහාට හින්දු ආගමික එසෙන්ස් එක කෙළවර ඉන්න ඇත්ත සරස්වතී හොයා යන ගමනක්.

අවසාන වශයෙන්. සරස්වතී කියන්නේ ගඟක්. දෙවඟනක් ලෙස අපි වඳින්නේ ඒ ගඟේ ස්වභාවික ලක්ෂණ වල එසෙන්ස් එක අරගෙන මනුෂ්‍යකරණය කරපු සංකල්පයකට.


2 comments:

  1. සුජීව, මෙතන සරස්වතී කියන ආගමික සංකේතය යටපත් කරගෙන ඉස්මතු වෙන/කරන දේශපාලනික tool එකක් ගැන කථාවක් නේද යන්නේ? කොටින්ම ආගම කියන එකේ දේශපාලනික realization එක.

    ReplyDelete