Monday, June 6, 2016

කැළණි ගංවතුර - II (කැළණි ගඟ දකුණට හරවමු !!!)


කැළණි ගංවතුර  ගැන  ලියවුනු  පළමු  පෝස්ටුවේ  දිගුවකි.

අපි  කලින්  පෝස්ට් එකේ  කතාකලේ  ගංවතුර  ඇතිවෙන්න  බලපාන  දීර්ඝකාලීන  හේතු,  කොළඹ  නගරයේ  ව්‍යාප්තිය  සහ  ගංගාව  අවට  පෙදෙසේ  භූ  විෂමතාවය  ආදිය  ගැන.

වර්තමාන විසඳුම්

කැළණි  මෝයෙන්  වතුර  ඔක්කොම  ඔහේ  බහින  එක  හැරුණු විට,   දැනට  යෙදෙන  විකල්ප  විසඳුම්  මොනවාද  කියල හරියටම පැහැදිලි  නැහැ.

පහුගිය  ගංවතුර  සමග  පොම්පාගාර  පද්ධති  වලින්  ගන්වතුර  බැස්සීම,  කෝට්ටේ  ඇල  හරහා වතුර  බැස්සීම  ආදිය  ගැන ප්‍රවෘත්ති  වාර්තාකරුවන්   දේශපාලකයින්  එහෙම   කතාවෙනවා  දුටුවා. ලොක්  ගේට්ටු  වහලා  ගඟේ  වතුර  විවිධ  ස්ථාන  වලින් ඇල  පද්ධතියට පොම්ප  කිරීම [ඇලවල්  ගඟට  වඩා උස  නිසා]  තමයි ඒ  කතා  වලින්  ගන්න  තිබ්බ  අර්ථය.  එම  පොම්ප  කරන  ජලය  මුට්වොල්  උමග  වැල්ලවත්ත  ඇල,  වෙරස්ස ගඟ  ආදී  පෙදෙස්  කරා  යැවෙනවා.

ගඟේ  විශාල ගංවතුර  අවස්තාවක  හංවැල්ල  හරියෙන්  තත්පරයට  ඝන  මීටර  2700  ඉක්මවන  ධාරිතාවයකින්  වතුර  ගලන  බව  චමිලාගේ පෙර  සටහනේ  සඳහන් කල  පර්යේෂණයේ  සටහන්  වෙනවා. ලංකාවේ  භාවිතා වෙන  පොම්පාගාර  වල  ඇත්තේ  තත්  ට  ඝ මී 1.5  සිට  3  දක්වා  මෝටර්  කියලයි  කියවෙන්නේ.  යෝජිත  මට්ටමේ  තියෙනව  5, 10  වගේ. බොටම් ලයින්  එකනම්  මෙහෙම  පොම්ප  කරලා  විශාල  හානියක්  නවතාගන්න  බැහැ. එසේම අපි  විශාල  වියදමක්  දරල  තත්  ට  ඝ මී  100  ඉක්මවන  ප්‍රමාණයක්  පොම්ප  කළත්,  කොළඹ  ප්‍රධාන  නගරය  හරහා  ඒ  ජලකඳ  ගියොත්  නගරය  යටවෙනවා.  ඒ  කියන්නේ  පොම්පාගාර  සහ  කොළඹ  ඇලවල්  හරහා ලබාගන්න  පුළුවන්  සීමිත  වතුර  ඉවත්  කිරීමක්.  තත්  ට  ඝ මී දහස් ගණනක  ගංගාවේ  ගැලුම ට  සාපේක්ෂව  තත්  ට  ඝ මී පහක්  දහයක්  වගේ.

[ප.ලි] කෙසේ   වෙතත්  මේ  සටහන  කියවූ  අදාළ  ආයතන  වල  සේවය  කරන  අය  කියා  තියෙනවා  කැළණි  ගංවතුර  එහෙම  බස්සන්න  ක්‍රමවේදයක්  එයාලා  කරන්නේ  නැහැ.  ලොක්  ගේට්ටු  පවා  වහල  නගරයට  ඒ  වතුර  එන  එක  නවතා  දමනවා  කියලා.  පහල  තියෙන  මාදිවෙල  දකුණ  ව්‍යාපෘතිය  "ගංවතුරට  පිලියමක්"  කියා  මාධ්‍ය  තුලින්  දුන්නට  ඒ  ව්‍යාපෘතියෙන්  කතා  කරන්නේ  කොළඹ  වැසි  ජලය  බැස්සවීම  ගැන  කියා  ඔවුන්  කියනවා. ඒ  අනුව  කැළණි  ගංගාධාර  ගංවතුරට  විසඳුම්  හැටියට  ප්‍රසිද්ධ  මාධ්‍ය  කතාවෙන්නේ  කොළඹ  වැසි  ජලය  බස්සන  විසඳුම්  කියා  හිතන්න  වෙන්නේ.  මම  කලින්  පෝස්ටුවේ  මෙන්න  මෙහෙම  කිව්වේ  ඔය  පැටලවීම  නිසා.

"කැළණි ගංවතුර ගැන කතා කරන බොහෝ අවස්ථා වල අපි දකින තවත් පැටලිල්ලක් තමා කොළඹ වැසි ජලය බැසයාමේ ගැටළු නිසා ඇතිවන ගංවතුර එක්ක මේ කතාව පැටලෙන එක. මේ තත්වය අපි දැක්කා කැළණි ගංවතුර එක්ක සෙබස්තියන් ඇල කොළඹ අභ්‍යන්තරයේ ජලමාර්ග සහ මුට්වෝල් උමඟ ආදිය කතාවට සම්බන්ධ කිරීමෙන්. එහෙත් මේවා කැළණි ගන්ගාධාරයේ එන ගංවතුරට සම්බන්ධයක් නැහැ. අනික ගන්ගාධාරයේ වතුර එනකොට කරන්නේ සෙබස්තියන් ඇලේ කට ලොක් කරන එක. දැනට මෙට්‍රෝ කොළඹ පවතින ඇලවල් සහ ජලාශ අතරින් දියවන්නාව හැරුණුවිට සියල්ල කැලණියට වඩා උසින් වැඩි නිසා නගරයේ වර්ෂා ජලය ගඟට බස්සන එකයි ගංගාධාරයේ වර්ෂා ජලය නගරය දෙසට ගලන එකයි සිද්ධ වන්නේ දෙපැත්තට."


තව  සමහරු  කතා  කරපු තමයි කැළණි  වතුර  හැමිල්ටන්  ඇල  හා  මුතුරාජවෙල  වගුර  දිහාවට  යවන  එක.  එතන  අවුල  වෙන්නේ  ගඟ ඇල  වගුර  සහ  මුහුද  සියල්ලම  පවතින්නේ  එකම  වගේ  උසක.  ඉතින්  වතුර  වේගවත්ව  යන්නේ  නැහැ.  ඒ  වගේම  මේ  හරිය එනම්  කොළඹටත්  තව  ගඟේ  මෝය  දිහාට  වෙන්න  තියෙන  තැනකින්  හරවලා  කඩුවෙල  සිට  ඔරුගොඩවත්ත  දිහාවේ  වතුර  ගලන  එක  නවතන්න  බැහැ. කොහොමත්  දැන්  මුතුරාජවෙලත්  කැළණි ගඟෙන්   වෙන්  කරලා  ජනාවාස  හැදිලා  තියෙන්නේ.

ඒ  අනුව  කැළණි  ගංවතුර  සම්බන්ධයෙන්  ප්‍රබල විසඳුම්  දැනට  භාවිතාවේ   නැහැ.  ගංවතුර  වලකන  කිසිම  ක්‍රමයක්  නැහැ  වගේම  ගන්වතුර  ආවට  පස්සේ දැනෙන  ආකාරයට  ජලය  බස්සන  කිසිම  ක්‍රමයකුත්  නැහැ.

වෙනත්  ගැටළු

මූලිකම  ගැටලුව  ගන්  මෝයේ  වැලි  පිරීම. ඉඩම්  ගොඩකිරීමේ  සංස්ථාවේ  හිටපු  ප්‍රධානියෙක්  කියන  මෙන්න  මේ  මහත්තය  කියනවා මීට  පෙර  ගංවතුර  අවස්තාවක  පළමු  වැස්සත්  එක්කම  ඔහු  මෝය  සුද්ද  කල  නිසා  වතුර  ඉක්මනින්  බැස්සා  කියා.  කොළඹ  වරාය  දකුණ  දියකඩනය  නිසා දැන්  වැලි  පිරීම  වැඩි  බවත්  කියවෙනවා. 


 [පොඩි  නෝට්  එකක්  දාන්න  ඕනේ  ඒ  ලිපියේ  ඉගොයිස්ටික්  ගතිය  වැඩියි.  ගංවතුර  කාලෙට "අපේ  කාලේ  ඔහොම  නැහැ,  උඹලට  දැන්  කරගන්න  බැහැ"  වර්ගයේ  කතා  පත්තර  වල  නිතර  ලියවෙන  බව  දකින්න  ලැබුනා]


මාදිවෙල දකුණු  හැරවුම


 කැළණි  ගංවතුර  සමග  බොහෝ  දෙනෙක් කතාවෙන  එකක්  තමයි කෝට්ටේ  පැත්තෙන්  මාදිවෙල  දිහාවට  වතුර  අරගෙන  ඒවා වෙරස්ස   ගඟෙන්  බොල්ගොඩ  ජලාශයට  හරවන  එක. දැනටත්  අබලන්ව  පවතින  ඇල  පද්ධතිය  වඩාත්  වැඩිදියුණු  කරවීම. මාදිවෙල  දකුණ  හැරවුම  කියන  මේ  වැඩ  සටහන පහත  පින්තුරයෙන්  පේනවා.





ඒ  වගේම  එකක්  කතාවෙනවා  අඹතලේ  හරියෙන්  ජලාශයකට  වතුර  පොම්ප  කරන්න. මේ  වගේ  කොළඹ  ගංවතුර  බස්සන්න  කතාවෙන  විවිධ  ව්‍යාපෘති  තියෙනවා. හැබැයි  මගේ  පළමු  සටහනේ  කියූ  පරිදි  ගංගාධාර ගංවතුර  සහ  කොළඹ  වැසි  වතුර  මේ  කතාවේ  ගලන්නේ  දෙපැත්තට.  ඒ  දෙක  පටල  ගෙන  ලොකු  විසඳුමකට  යන්න බැහැ.

[ප.ලි.] ඉතාම  සරළව  පෙනෙන්නේ  මේ  එක  ව්‍යාපෘතියක්වත්  කැළණි  ගංගාධාර  ගංවතුර  වෙනුවෙන්  සැලසුම්  කළ  ඒවා  නොවන  බවයි. මෙය  අදාළ  ආයතනවල  සේවය  කරන  විසින්  ස්ථිරවම  ලබා දුන්නු  ප්‍රතිචාරයක්.

සහෝදර  බ්ලොග්  කාරයෙක්  වගේම  විෂය  විද්වතෙක්  වෙන  කස්සප ලියනවා  මෙන්න  මෙහෙම  ලිපියක්. කස්සපගේ විසඳුම්  වනුයේ  කොළඹ  නගරයේ  ස්වාභාවික  ව්‍යාප්තිය  සලකා  බැමි  පද්ධතිය  තවත්  ගඟ  දිගේ  ඉහලට  ගෙනයාම හෝ  ඔරුගොඩවත්ත  කොලොන්නාව  කඩුවෙල  පලාත්වල  අනාරක්ෂිත  ජනතාව  වෙනත්  පෙදෙස්  වලට  යැවීම.

කස්සපගේ  දෙවැන්න  ප්‍රායෝගිකයි  කියා  හිතන්නේ  නැහැ.  පළමුවන  විසඳුම  මූලික  ගැටලුව  එනම්  කොලොන්නාව  කඩුවෙල ආදී  පෙදෙස්  යටවීමට  විසඳුමක්  වුනත් ඒ  අදහස  එක්ක  මට  එකඟ  වෙන්න  බැරි  හේතු  දෙකක්  තියෙනවා.  එකක්  තමයි ඔහු  කියන්නේ  කොළඹ  නගරය  විසින්  ගඟ  අහුරන නිසා  කඩුවෙල  යටවෙන  තත්වය  තවත්  නැගෙනහිරට  යවන්න  කියන  එක.  ඒ  අනුව  කඩුවෙල  දක්වාම  ගඟේ  පැතිරීම  බැමි  වලින්  වලකා  දැම්මම  එන  වතුර  බහින්න  තැනක්  නැති  නිසා  හංවැල්ල  සීතාවකපුර  ආදී  පෙදෙස්  යටවෙනවා.  ඒ  වගේම  ගඟේ  උතුරු  බැම්ම උසින්  අඩු  නිසා වත්තල  ජා  ඇළ  ආදී  පෙදෙස්  යටවෙනවා. ඒ නිසා  මට  එය  සාර්ථක  විසඳුමක්  ලෙස  පෙනෙන්නේ  නැහැ. සමහරවිට  ඔහු  කියන  ආකාරයේ  බැමි  වලින්  ස්තානිය  වැදගත්කමක්  සහිත  ප්‍රදේශ  කීපයක්  වගේ  බේරන්න  පුළුවන්  වේවි.  එහෙත්  ඒ  වෙනුවෙන්  වෙනත්  කොහේ  හෝ  බිල්ලට  දෙන්න  වෙනවා.

මේ  කතන්දර  වලට  අමතරව  1961  සිට  සැලසුම්   කරපු  වැඩසටහනක්  තියෙනවා කැළණි  ගඟේ  කඳුකර  පෙදෙස්  වල  ජලාශයක්  හදලා  ඒ  වතුර  වයඹට  හරවන්න.  ඒ  සමග  ජල  විදුලියත්  නිපදවන්න.  විශාල  බැම්මක්  සහ  කිමි  අසූ  ගානක්  දිග  ඇලක්. මේකනම්  කලොත්  ගංවතුර  නවතියි.  එහෙත්  අධික  වියදම්  වැඩක්.  කරන්න  වෙන්නෙත්  ජනාකීර්ණ  ප්‍රදේශයක.  මේක  කලොත්  බොහෝවිට  ලංකාවේ  විශාලම  ව්‍යාපෘතිය  වෙන්න  පුළුවන්.


සියල්ල  සලකා  පෝස්ට්  එකට පස්සේ  ආපු  ප්‍රතිචාරත්  අනුව  මට  පෙනී  යන්නේ  කැළණි  ගඟේ  මෝසම්  කාලෙට  එන  වසර  පනහ  චක්‍රයේ  ගංවතුරක්  වලකන්න  දැනට  යෝජනා වෙන්නේ  අර  ජලාශයක්  හදන  එකම  පමණයි.  ඒ  නිසා  අපිට  මේ  ගැන  තවම  කතාවට  ගන්න  දේවල්  ඉතුරු වෙලා තියෙනවා.

බොල්ගොඩ ජලාශය

කැළණි  ගඟේ  කතාවේ  නොකිය  බැරිම  කොටස  තමයි   බොල්ගොඩ  ජලාශය.  පානදුර  නගරය  දෙපැත්තේ  පිහිටි  ජලාශ  දෙකක් ගොඩබිමින් සම්බන්ධ  කරමින්  පානදුර  මොරටුව  අතරිනුත්  පානදුර  වාද්දුව  අතරිනුත්  මුහුදට  වැටෙන  බොල්ගොඩ  ජලාශ  පද්ධතිය  ලංකාවේ  විශාලම  ජලාශ  පද්ධතිය.  වකිමි 394  ලෙස  මැනෙන  මේ පද්ධතිය  ලංකාවේ ලොකුම  ජල  වර්ගපලය  සහිත  කෘතීම  ජලාශය  වන  සේනානායක  සමුද්‍රයට  වඩා සැහෙන්න  ලොකුයි.  පද්ධතියට  ජලය  සපයන වේරස්ස  ගඟ (රත්මලාන බොරලැස්ගමුව  අවට),  සහ  මහා  ඔය  (පන්නිපිටිය මහරගම හෝමාගම  අවට)  වගේ  කුඩා ප්‍රාදේශීය   ගංගා  හැරෙන්න  වෙනත්  ස්වාභාවික  පෝෂකයක්  නැහැ.  


හැබැයි  බොල්ගොඩ  කියන්නේ  විශාල  ගංගාවක්  මුහුදට  වැටීමෙන්  සැකසෙන  එස්ටුවාරියක්. මේ  ගැන  පර්යේෂණ  කරපු  විද්වත්තු කියන  හැටියට  බොල්ගොඩ  කියන්නේ  අතීතයේ  කළුගඟ  මුහුදට  වැටුණු  එස්ටුවාරිය. කලකට පෙර  සාගර මට්ටම  මීට  වඩා  ඉහල  ගිය  කාලෙක  බොල්ගොඩ ට  ගලපු  කළු  ගඟේ  ඉවුර  බිඳෙන  නිසා  ගඟ  වර්තමාන  ක්‍රමයට  ගලන්න  ගත්තම බොල්ගොඩ  සැපයුම  නවතිනවා. සිතියම  බලන්න  කළු ගඟ  කෙලින්ම  යන්න  බොල්ගොඩ  දිහාට,  එක  තැනකින්  බොහොම  ලඟින්  මිස්  කරගෙන  තමයි හැරෙන්නේ. අද එතනින්  ඇලකින්  ඒ  දෙක  සම්බන්ධිතයි. 

මේකත්  ගන්නේ  ජයිකා  වාර්තාවකින්.








බොල්ගොඩ  කැළණි  ගඟට  වඩා ලෙහෙසියෙන්  වතුර  බහින  ඕනෑම වතුර  ප්‍රමාණයක්  දැරිය  හැකි  ගඟක්.  මුහුදු  මට්ටම පහත  කාලේ කළුගඟ  හාරපු  කැනියන්  එකක්  මුහුද  යට  තියෙන  බව කියවෙනවා.  ඒ  නිසා දිය  බැස්ම  ප්‍රබලයි.

බොටම්ලයින්  එකනම්  කැළණි  වතුර  යම්හෙයකින්  බොල්ගොඩ  ට හරවන්නේ  නම්  බොල්ගොඩ  අවට  පෙදෙසේ  ලොකු  වතුර  මට්ටම්  වෙනසකින්  තොරව  මුහුදට  ගලා  යන  බවයි. අද  වෙද්දී  ප්‍රබල  පෝෂකයක්  නැති  නිසා බොල්ගොඩට  තමන්ගේ  ලොකු  ජලකඳක්  එන්නේ  නැහැ.

යෝජනාවක්


දැන්  අපි  දකින  ගැටලුව  වෙන්නේ  කැළණි  ගඟේ  වෝටර්  හෙඩ්  එක  පහත  නිසා ගංවතුර බස්සන්න  බැරි  එකනේ.  ඒ  නිසා මේ  වැඩේ  ටිකක්  ගඟ  ඉහත්තාවෙන්  කරන්න  බැරිද?  කඩුවෙලට  ඉහලින්  කැළණි  ගඟ  බොල්ගොඩ  දිහාට  හරවන්න  බැරිද?

මෙන්න  ආයිත්  ගංගා  දෙකේ  සිතියම. ගත්තේ  මෙතනින් 







මේ  සම්බන්ධයෙන්  කතා කරන්න  සමෝච්ච  රේඛා  සිතියම්  අවශ්‍යයි.  මට  එහෙම  සිතියමක්  ලැබුනේ  මෙන්න  මේ  ප්‍රකාශනයෙන්. දළ  අදහසක්  පමණයි  ගන්න  පුළුවන්.





ඔය  භුමියේ  උස  පෙන්වන  සිතියමේ  මා  ඊ  තලයක්  ඇඳලා  තියෙන්නේ  කැළණි  ගඟේ  හංවැල්ල  සිට  බොල්ගොඩ  ද්‍රෝණියේ  මහ  ඔය  කියන  අත්ත  ගලන  නිම්නයක  පිහිටි  පොල්ගස්  ඕවිට  දිහාට.  ඒ  ප්‍රදේශයේ  පටු  නිම්න  තියෙනවා  උස  මීටර  10 , 20  අවට. ඒ  ප්‍රදේශ  අනෙක්  සිතියමේ  පෙන්නා  දෙන  ආකාරයට  නිතර  ගංවතුරට  ලක්වන  ජනාවාස  රහිත  වගුරු.

යෝජනාව  තමයි මේ  ප්‍රදේශ  යාකරලා  කැළණි  ගඟේ  විශාල  ජල  පරිමාවක්  කඩුවෙල  හංවැල්ල  අතර  හරියෙන්  පොල්ගස් ඕවිට  පැත්තට  හරවන්න  කියන එක.

මේක තනිකරම  ඇලකින්  කරන්න  බැහැ.  හංවැල්ල  අවටදී   කැළණි  ජල  මට්ටම  මීටර  දහයක්  පමණ.  ඒ නිසා ඇලවල්  වගේම  උමං  පද්ධතිත්  යොදා ගන්න  වෙන්න  පුළුවන්. ජනාවාස  පාරවල්  කඳුගැට  ආදිය  උමං  වලින් ක්ලියර්  කරගෙන  ඉතිරි  වගුරු  දිගේ  ඇල  මාර්ග  හරහා  වතුර  ගන්නවා  නම්  සැහෙන  කොටසක්  මහ  ඔය  දිගේ  ගලන්න  අරින්න  පුළුවන්  වෙයි.  මොන  ආකාරයට  කලත්  අඩුම  ගණනේ  තත්  ට  ඝ මී  100  ඉක්මවන  ප්‍රවාහයක්  එන්නේ  නැතිනම්  තේරුමක්  නැහැ.  ඇලමාර්ගය  දිගේ වතුර පරිමාව වැඩි  වුනත්  වගුරු තත්වය  නිසා ඒවා මිනිසුන්ට  ලොකු  හානියක්  නොවී  රඳවාගෙන   බොල්ගොඩ  පැත්තට  යවන්න  පුළුවන්.

මේකත්  ඉතා  ලාබදායි  සරල  වැඩසටහනක්  නෙවි.  එහෙත්  අර  ජලාශය  හදන  එකට  වඩානම්  බොහෝ  සෙයින් අඩු  මිලකින්  කල  හැකි  වේවි.  මේ දිනවල  කෙරීගෙන  යන  උමා  ඔය  වැඩපිළිවෙලේ  මෙහෙම  උමගක්  තියෙනවා  කිමි  15  ට  වඩා  දිගයි [බදුල්ලේ  භූගත  ජල  සංචිත  නිසි  අධ්‍යනය  නොකිරීමෙන්  වෙච්ච  අවුල්  මේකට  ගාවන්න  එපා -  ඒවා  ඉංජිනියරින්  මිස්ටේක්ස්].

හැබැයි  බ්ලොග්  පෝස්ට්  දෙකක්  දිගට  ලියන්න  තරම් සැහෙන  මහන්සි  වෙලා හෙව්ව  කැලණි ගඟේ  ගංවතුර "වලකන්න"  තියෙන  හොඳම  ක්‍රමයක්  මේක  කියලා  මට  හිතෙනවා.  බොහෝ  විට  එකම  ප්‍රායෝගික  ක්‍රමය  ඕක  විතරක්  වෙන්න  පුළුවන්.

1989  වසර 50  චක්‍රයේ  ගංවතුර  එද්දී  තිබ්බ  පිට්ටනි  වල කුඹුරු  වල  දැන්  මිනිස්සු  පදිංචි  වෙලාලු.  නිකමට  හිතන්න  වසර 50  චක්‍රයේ  ඊ  ගාව  එක  එද්දී  කොහොම  තත්වයක්  තියේවිද? ඒ  නිසා  අර  කොලොනියල්  කාලේ  ඇලවල්  මත්තේ  එල්ලිලා  වතුර  බස්සන්න  පොම්ප  හයි  කරනවාට  එහායින්  හිතල  "ගංවතුර  වැළකීමේ"  ක්‍රමවේදයකට  ඉක්මනින්  නොගියොත්  ඊ  ගාව  එක  ලොකු  ව්‍යසනයක්  වෙන්න පුළුවන්.






22 comments:

  1. හ්ම්ම්... සෑහෙන්න වටිනවා අදහස් ටික.. අර ලොකු ජලාශය හදනවනම් හදන්න වෙන්නේ කොහේද?

    අර පොඩි කාලේ ඉස්කෝල පොත්වල තිබ්බ සමෝච්ච රේඛා වගේ සිතියමක් තිබ්බනම් මේක ලේසියෙන් බලාගන්න තිබ්බ.. මම නිකමට බැලුවා ගුගල් මැප් එකෙන්.. ඔය බෝල්ගොඩට වැටෙන මහඔය අතු ගංගාව පොල්ගසොවිටටත් එහා ගිහින් හෝමාගම දියගම කිට්ටුවට වෙනකල්ම පෙන්නනවා.. හංවැල්ල සීතාවකපුර හරියේ ඉඳලා එතනට කෙලින් දුර කි.මි. 10 ටත් අඩුයි.. හිතල බැලුවනම් උමං හා ඇල මාර්ගයක් හරහා කරන්න බැරි වෙන එකක් නෑ.. තව අවුරුදු 50ක් යද්දී අපි නෑනේ කියල හිටියෝට්ය්හ්නම් සොරි.කොම් තමයි..

    ReplyDelete
    Replies
    1. ලොකු ජලාශාය් ගොඩක් ඉහලින් හදන්න වෙයි කිමි 80 ක් වතුර ගෙනියන්න. හරියටම දන්නේ නැහැ, රුවන්වැල්ලට උඩින් කිතුල්ගලටත් උඩින්

      මහඔයේ සමහර තැන් උසයි. බොහෝ විට උමගෙන් එන වතුර පොල්ගස් ඕවිට හරියට කැනල් කරන්න වෙයි. කැනල් එකනම් ලොකු වියදම් දෙයක් නෙවී දැනටත් එව්වා ඇති.



      විශාල ටනල් එකක් තමා වියදම.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙහෙම කමෙන්ට් කීපයක් කරන්නම්.

    1. හෙන මහන්සි වෙලා කරුණු හොයාගෙන කරපු වටිනා ලිපියක්. ඒ වගේම සාර්ථක වෙයි කියලා මටත් හිතෙන යෝජනාවක්. මට මේ ප්‍රදේශය (බොල්ගොඩ) ගැන ලොකු අදහසක් නැති නිසා ටෙක්නිකල් කමෙන්ට් දාන්නේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම මට පුළුවන් මට්ටම් වලට මේ යෝජනාව අරන් යන්නම්.

    2. ගොඩක් දෙනෙක් කර ගන්න පටලැවිල්ලක් මේ ලිපියෙත් තියෙනවා. ඒ තමයි කැලණි ගඟේ වතුර කොළඹ හරහා බස්සන යෝජනා ගැන. එහෙම ඒවා නෑ. කාලෙකට කලින් කරපු ජයිකා ස්ටඩි වගේම දැනට කරලෙන යන වර්ල්ඩ් බෑන්ක් ෆන්ඩඩ් මෙට්‍රො කලම්බු ප්‍රොජෙක්ට් එකෙත් තියෙන්නෙ කොළඹ ඇතුළෙ (කොළොන්නාව පවා අත ඇරලා) වතුර බස්සන ප්‍රොපෝසල්. එතනදි කැලණි ගඟේ වතුර මට්ටම අඩු වැඩි වීම සිනාරියෝ විදියට සලකනවා විතරයි. නාගලගම්, ගොතටුව, අඹතලේ පම්පින් වල ඉඳන් මාදිවෙල සවුත් ඩයිවර්ෂන් දක්වාම ඔක්කොම කොළඹ වතුර බස්සන්න තියෙන ප්‍රොපෝසල්. කියුමෙක් 2500ක වතුර කඳක් කොළඹ ඇතුළට දාගන්න එක ඉල්ලන් කෑමක් වගේම ඒකෙන් 10ක් 15ක් කොළඹට දාගෙන ගඟ බස්සන්න හදන එක මූද ඉහින්න හදපු ලේනටත් අවනම්බුවක්.

    3. අර කියල තියෙන විදියේ "විෂය විද්වතෙක්" නෙමෙයි මම. අනිත් එක මේ දවස්වල හැමොම ප්‍රොපෝස් කරන ගඟේ බැමි උස්සන එකේ බරපතලකම කියන්නයි "වම් ඉවුරේ මට්ටම එසවීම අනිවාර්යයෙන්ම ගඟේ ඉහළ ජලාධාරයන්ට පමණක් නොව නුදුරුවම ඇති දකුණු ඉවුරු බැම්මට හා ඉන් ආරක්ෂා කරනු ලැබ ප්‍රදේශයන්ට සෘජුවම ඇති බලපාන බැවින් එය සිදු කළ යුත්තේ මුළු ගං ද්‍රෝණියම ආවරණය වන පරිදි සිදු කරන විස්තරාත්මක අධ්‍යයනයකින් පසුව පමණකි" කියලා ලිව්වේ. ඒක බෙස්ට් ප්‍රොපෝසල් එක නෙවෙයි. බොල්ගොඩ හරහා බස්සන එක බෙටර්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      අර කැළණි වතුර පොම්ප කරලා කොළඹින් බස්සන කතාවක් මම කියෙව්වා කොහේ හරි. සමහරවිට මට වරදින්න ඇති. කැළණි වතුර විකල්පයකින් බස්සන එක විතරයි එකම විසඳුම. කාලයකට පෙර ගඟ තනියම කරගෙන හිටපු දේ. ඒ හරහට කොළඹ නගරයක් හදාගෙන අපිමයි අහුරගෙන තියෙන්නේ


      ඩයික්ස් දාන එක නරකම නැහැ. සමහර ඉතා වැදගත් ප්‍රදේශ පමනක් හෝ බේරාගන්න. හැබැයි එහෙම කල ගමන් සීතාවකපුර හරියට බබා හම්බුවෙනවා

      Delete
  4. //තව එකක් තමයි කැළණි වතුර හැමිල්ටන් ඇල හා මුතුරාජවෙල වගුර දිහාවට යවන එක//

    ඒ වැඩේ නං හොද එකක් නෙමෙයි , මුතුරාජවෙලේ සමහරක් තැන් මුහුද් මට්ටමටත් වඩා පාතයි , රාගම අවට එහෙම අනිවා යටවෙනවා ඔය වැඩෙන් ,

    අනික හැමිල්ටන් ඇල පටන් ගන්නේ මෝයකට ලගින් උනාට මුහුද් මට්ටමත් එක්ක සමාන වෙන්නයි හදලා තියෙන්නේ , වඩ දිය බාදිය වෙනස හොදට නිරික්ෂනය කරන්න පුලුවන් එතනදි ...ඒකේ දෙපැත්තටම ජලය ගමන් කරනවා ..පායන කාල සහ වහිනකාලවල වෙනසක් නැතුව...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් පත්තරවල කට්ටිය කතාවෙනවා. මගේ මතයත් එහි තේරුමක් නැති බවයි. මාත් ඒක මෙතන හයිලයිට් කළා.

      "එතන අවුල වෙන්නේ ගඟ ඇල වගුර සහ මුහුද සියල්ලම පවතින්නේ එකම වගේ උසක. ඉතින් වතුර වේගවත්ව යන්නේ නැහැ. ඒ වගේම මේ හරිය එනම් කොළඹටත් තව ගඟේ මෝය දිහාට වෙන්න තියෙන තැනකින් හරවලා කඩුවෙල සිට ඔරුගොඩවත්ත දිහාවේ වතුර ගලන එක නවතන්න බැහැ. කොහොමත් දැන් මුතුරාජවෙලත් කැළණියෙන් වෙන කරලා ජනාවාස හැදිලා තියෙන්නේ."

      Delete
  5. සමහර විට මේ ප්‍රශ්න විහිලු වගේ පේන්න පුලුවනි.. එහෙම නම් සමාවෙන්න...

    1. කැලණි ගඟේ ජල මට්ටම ගොඩක් ඉහල යන්නේ එහි ඉහල ඇති ජලාස වල ගේට්ටු ඇරියාම නේ.. එම් ගේට්ටු විවුර්ත නොකොට ජලය වෙන පැත්තකට යවන්න නල එලන්න බැරිද?

    2. පහුගිය ජල ගැල්මේදී ඉස්සෙල්ලාම කෝට්ටේ දියවන්නා ජල මට්ටම නැග්ගා... ඒත් මාලබේ SAITM හන්දිය යට වුනේ නැහැ... හැබැයි දින දෙකකට පසු දියවන්නා ජල මට්ටම බැස්ස... ඒත් ඉහල යන කැලණි ජල මට්ටම එක්ක SAITM හන්දිය ජලයෙන් යට වුන... ඉතින් ඔය කැලණි ජලය වේරැස් ගඟට යවනා එක හන්දිය හරහා ගලනා ඇල දිගේ යවන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පළමු ප්‍රශ්නය ට පිලිතුරනම්. ඒ තරම් ඉහලින් ඒ ජලය වෙනත් පැත්තකට යවන්න විශාල ඇළමාර්ග පද්ධතියක් අවශ්‍යයි මොකද සැහෙන ලොකු පෙදෙසක් කැළණි කැච් මන්ට් එකට අහුවෙනවා. ඒ ඇතුලේ මුදාහරියොත් නැවත එන්නේ ගඟට මයි. ඉතින් සැහෙන දුරක් ගෙනියන්න ඕනේ. ඒ ගෙනුහින් අතහරින්න ඕනේ කොහේ හෝ වතුර අඩු ගඟකට කැලණියට සාපේක්ෂව කළු සහ මාඔය දෙකටත් වතුර එනවා. ඒ දෙක තම කැලණි පෝෂක පෙදෙසේ දෙපැත්ත. කැලණි ජලාශ තියෙන්නේ කඳුකරයේ. කඳුකරයේ ඇල මාර්ග හදන්න ඇති අපහසුවත් බලපානවා.

      බොල්ගොඩ ගඟෙන් කළුගඟ ගැලවීම නිසා අ හම්බුවෙන අහඹු චාන්ස් එකක් තමා මෙතන මම හයිලයිට් කරන්නේ. බෝල්ගොඩට ලොකු කැච්මන්ට් එකක් නැහැ.

      2. මේකනම් මට වඩා දන්නවා ඇත්තේ කස්සප වගේ කෙනෙක්. ගෙස් උත්තරයක් දෙන්නේ. කැළණි ඉහල වර්ෂා ජලය නිසා අහදෙන කැළණි ගංගාධාර ගංවතුරට සමගාමිව කොළඹට වහින නිසා හැදෙන කොළඹ ගන්වතුරකුත් එනවනේ. ඔබ කියන සේද්ධි දෙක වුනේ කොළඹ ගංවතුර නිසා අ වෙන් පුළුවන්. නාසා එකෙන් කරපු මේ කොළඹ සමෝච්ච රේඛා සිතියම අනුව කැලණිය හැරුණුවිට කොළඹ පහතම තැන දියවන්නාව. ඒ අනුව කොළඹ වසිජලයෙන් දියවන්නාව යටවෙන චාන්ස් එක වැඩියි.

      හැබැයි පහු වෙද්දී ගඟෙන් එන වතුර එනකොට මුලින් හමුවන්නේ මාලඹේ. ඒ වගේම කැළණි වතුර දියවන්නාවට එන්න දෙන්නේ නැහැ ගේට්ටු වහලා නිසා. මාලඹේ ට එනවා.

      ඔන්න ඔහොම හේතුවක් තමා මට වැටහෙන්නේ.

      කොළඹ කියන්නේ හරිනම් කැලණියට යටවෙන්න ඕනේ එහෙත් කෘතිමව ඒ යටවීම වලකාගෙන ඉන්න නගරයක්. කොලොන්නාවෙන් එහාට ටික බිල්ලට දීලා තමයි ඒ වැඩේ කරන්නේ.

      Delete
    2. "කොළඹ කියන්නේ හරිනම් කැලණියට යටවෙන්න ඕනේ එහෙත් කෘතිමව ඒ යටවීම වලකාගෙන ඉන්න නගරයක්. කොලොන්නාවෙන් එහාට ටික බිල්ලට දීලා තමයි ඒ වැඩේ කරන්නේ." 100% Agreed.

      Sa rasa ගේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම් මෙහෙමයි. SAITM හන්දියෙන් යන ඇළ තාක්ෂණිකව හඳුන්වන්නේ "මාදිවෙල නැගෙනහිර හැරවුම් ඇළ" වශයෙන්. ඒ නමේම ඔබට උත්තරය තිබෙනවා. ඒ කියන්නේ මේ ඇළෙන් කරන්නේ දියවන්නාවේ නැගෙනහිර කැච්මන්ට් එක ටැප් කරලා ඒ වතුර දියවන්නාවට නොයවා මාලබේ බේසින් එක හරහා කැලණි ගඟට යවන එක. මේක පටන් ගන්නේ තලංගම වැවෙන්. එතන ඉඳන් ඇවරිහේන, අමරගොඩ, අරංගල හරහා ඇවිත් නව නුවර පාර ක්‍රොස් කරලා අඹතලේ දක්වා ගිහින් ගඟට වැටෙනවා.

      මේකෙ තැන් කිහිපයක වැඩිදියුණු කිරීම් හඳුනාගෙන දැනට කරගෙන යන මෙට්‍රො කලම්බු ප්‍රොජෙක්ට් එක යටතේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවායින් බලාපොරොත්තු වෙන්නේ මේ ස්කීම් එකේ තැන් කීපයකින් තවමත් දියවන්නාවට වතුර එන්න තියෙන චාන්ස් අඩු කරලා වැඩි වතුරක් ගඟට බස්සන එක.

      හැබැයි ගඟ වැඩි වුණ ගමන් අඹතලේ ගේට්ටු වැහෙනවා. එතකොට ඇළ දිගේ එන වතුර අඹතලේට උඩින් තියෙන පහත්බිම් වල පිරිලා තවත් එන වතුර බැක් ෆ්ලෝ වෙලා මාලබේට එනකම්ම යට වෙනවා මේ පාර වුණා වගේ. ඇත්තටම මේ පාර දවස් ගානක් අඹතලේ ගේට්ටු වැහිලා තිබුණා ගඟේ මට්ටම වැඩි නිසා. ඒකට සොලූෂන් එක ඉතින් අඹතලේටත් පම්ප් හවුස් එකක් දාලා ගඟ වැඩි කාලෙට කොළඹ වතුර ගඟට පම්ප් කරන එක තමයි. ඒකට කන්සෙප්චුවල් මට්ටමේ ඩිසයින් එකකුත් දැනට කරලා තියෙනවා.

      Delete
    3. මේ උඩ "Unknown June 7, 2016 at 8:03 PM" කියලා වැටිලා තියෙන්නේ මගේ කමෙන්ට් එකක් හොඳේ :P

      Delete
    4. මොකද ඒ සීන් එක? කමක් නැහැ කොහොමින් හරි පැහැදිලි කිරීම වටිනවා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කස්සප මෙන්ම අදාළ ආයතන වල සේවය කරන කිහිප දෙනෙකුගේ අදහස් දැක්වීමත් සමග තරමක් මේ පෝස්ට් එක වෙනස් කරන්න අවශ්‍යයි.

    ReplyDelete
  8. වටිනා ලිපියක්.......... හොද සාකච්ඡාවකට මගක්...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. හොඳ සමෝච්ච රේඛා ට්සිතියම් ටිකක් තියේනම් අගෙයි

      Delete
  9. ඉතා ඉහලින් අගය කරනවා ඔබේ මේ ලිපි දෙකම. මේ ගැටළුව ගැන හොඳ අවබෝධයක් ලැබුණා මෙයින්. ඇත්තටම ඔබේ යෝජනාව කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. යෝජනාවේ ශක්‍යතාවය සිතියම් මත රඳා පවතිනවා. මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයක් වනුයේ සමෝච්ච රේඛා සිතියම්

      Delete
  10. කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන මීටර දහයට අඩු ප්රෙසිෂන් එකක් සහිත සමෝච්ච රේඛා සිතියම් අවශ්‍යයි මේක කතා කරන්න. තියෙන පින්වතෙක් වේ නම් ලැබෙන්න සලස්වන්න. සිතියම් කියවන ටූල් නැති නිසා පින්තුරයක් අවශ්‍යයි

    ReplyDelete
  11. හොඳ ලිපියක් බව පේනවා. මම මේ ගැන වැඩිය දන්නේ නැති නිසා කොමෙන්ට් කරන්න යන්නේ නැහැ. අර ජලාශයක් තැනීමේ යෝජනාව නම් හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැනනම් මමත් වැඩිය දන්නේ නැහැ. ගංවතුර සමයේ දින කීපයක් විවේකි වෙලාවට කියවපු සහ පසුව විවිධ විෂයට සම්බන්ධ පාර්ශ්ව විසින් නිවැරදි කරපු දත්ත පමණයි. මගේ යෝජනාවේ ප්‍රායෝගික බව රැඳිලා තියෙන්නේ ප්‍රදේශයේ එසවුම සහිත සිතියම් මතයි.

      අර ජලාශයක් හදල කිමි 80 ට වැඩි ඇලකින් වතුර ගෙනයන එක 1961 කතා කලාට දැන් වෙද්දී කරන්න අමාරුයි. ඒ මුළු ප්‍රදේශයම ජනාකීර්ණ කලාපයක්. ඒ නිසා එය කලොත් ලංකාවේ කරුණු ලොකුම සහ වියදම් අධිකම වැඩසටහනක් වෙනවා. අනික ලොකු සිවිල් ඉංජිනේරු වැඩසටහන් වල බලාපොරොත්තු ප්‍රතිපල ලැබෙනවා අඩුයි.

      Delete